සිව් යුගයක විපරිණාමය මැද අභියෝග ජයගත් දිනමිණ
 

සිව් යුගයක විපරිණාමය මැද අභියෝග ජයගත් දිනමිණ

 

දිනමිණ දැනට ශ්‍රී ලංකාවේ පළ වන පැරණිතම දිනපතා සිංහල පුවත්පතයි.

වර්තමානයේ එය රජය යටතේ පාලනය වන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL) යටතේ පළවුවද දිනමිණ ආරම්භයේ සිට බලන කළ එහි හිමිකාරීත්වය යුග 4 කට බෙදා දැක්විය හැකි ය.
 

01. එච්.එස්. පෙරේරා යුගය (1909 – 1914)
 

02. ඩී.ආර්. විජේවර්ධන යුගය (1914 – 1950)
 

03. ලේක්හවුස් යුගය (1950 – 1973)
 

04. රාජ්‍ය හිමිකාරීත්ව යුගය (1973 – 2009)

දිනමිණ පුවත්පතේ ගමන්මග මේ යුග හතර තුළ එකිනෙකට වෙනස් ඉලක්කයන් ඔස්සේ සිදුවූ බව ඒ ඒ යුග පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පෙනී යයි.

එච්.එස්. පෙරේරා යුගය (1909 – 1914)

එච්.එස්. පෙරේරා දිනමිණ ආරම්භ කරනුයේ පුද්ගල මූලික හිමිකරුවකු වශයෙනි. (කර්තෘ මූලික) මෙම ආකෘතිය තෝරා ගැනීමට ඔහුට අතීත සිද්ධීන් බලපෑවේ ය. පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම යටතේ “සරසවි සඳරැස” හි කටයුතු කිරීමේ දි ඔහුට ඇතිවූ ඇතැම් අමිහිරි සිද්ධි මත තමන්ට ම අයත් තමන්ට කර්තෘත්වය දරන පුවත්පතක් ආරම්භ කිරීමේ පෙලැඹවීමක් ඇති කරන්නට ඇතැයි සිතිය හැකි ය. සැබැවින් ම ‘දිනමිණ’ නාමයෙන් පවා සඳරැසට ප්‍රතිපක්‍ෂය පෙන්වීමට උත්සාහ ගත් බව ජනපි‍්‍රය මතයකි. මීට අමතර ව ඉංගී‍්‍රසි අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයේ ප්‍රමුඛ බලවේගයක් වූ විද්‍යාලංකාර පිරිවෙන නියෝජනය කරමින් එහි ආශිර්වාදය සහිත ව ප්‍රකාශයට පත්වූ පුවත්පතක් ලෙස දිනමිණ සැලැකිය හැකි ය.

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුරවැසියා වීමට සෙසු සියල්ලන්ට ම වඩා සුදුසුකම් සපුරා සිටි ඩී.බී. ජයතිලක මහතා ද දිනමිණේ මුල් ආධාරකරුවෙකි. ජයතිලක මහතා දිනමිණට ලියන ලද ලිපි හේතුවෙන් පුවත්පත තවදුරටත් ජනපි‍්‍රය වූ බව ප්‍රකට කරුණකි.

නිදහස් පුවත්පතකට, හිමිකාරීත්වය බාධාවක් ය යන්න එච්.එස්. පෙරේරා වටහාගෙන සිටි බවට දැක්විය හැකි යෙදුම් මුල් කතුවැකියෙන්ම ඉදිරිපත්ව තිබේ.

”....... තවද කිසිම නිකායකට පක්‍ෂයකට හෝ සමාගමකට බැඳීමක්වත් යටත්වීමක්වත් නොමැති හෙයින් කවර කරුණක දී වුවත් සත්‍යයත් යුක්තියත් පමණක් භජනය කිරීමෙන් සාධාරණ ගුණයෙහි පිහිටා ස්වෛරී බලයෙන් යුක්තව ලෝකාභිවෘද්ධිය සඳහා යථාශක්තීන් ක්‍රියාකිරීමට අපට අවකාශ ඇතිවීමත් අපගේ කෘත්‍යාප්ල්‍යයට අනල්ප උපකාරයක් වේ යැයි හඟිමු...”

දිනමිණ පුවත්පතේ අයිතිය, හිමිකාරිත්වය එච්.එස්. පෙරේරා සතුවුවද ඒ සඳහා මුද්‍රණයෙන් දායක වූ ලංකාභිනවිචිශ්‍රැත මුද්‍රණාලයේ හිමිකරු වූ රොබට් බටුවන්තුඩාවේ මහතා ද අමතක කළ නොහැකි ය.

ලංකාවේ ප්‍රථම දිනපතා සිංහල පුවත්පත වූ “දිනපතා ප්‍රවෘත්ති” (1896 – 1907) පුවත්පතින් පසු එතැන හිමිකරගත් පුවත්පත වශයෙන් දිනමිණ සාර්ථක වූ බව කිව හැකිය.

ආරම්භ කර මුල් මාස කීපය ගත වන විටම යටත්විජිත ආණ්ඩුවේ දෙපාර්තමේන්තු දැන්වීම් දිනමිණට ලබාදීමට යටත් විජිත ලේකම්වරයා තීරණය කළේය. ඒ දිනමිණ පුවත්පත් දැක්ම යටත්විජිත පාලකයන් අනුමත කිරීමක් නොව සිංහල භාෂාවෙන් වැඩි පිරිසක් කියවන පුවත්පත මඟින් රටේ වැඩි පිරිසකට නීති, නියෝග ආදිය විසුරුවා හැරීමට ගත් උත්සාහයක් ලෙස දැක්විය හැකිය.

ඩී.ආර්. විජේවර්ධන යුගය (1914 – 1950)

හිමිකරුවකුගේ අර්ථයෙන් ගත් කළ ඩී.ආර්. ‘දිනමිණ’ මෙහෙයවූයේ තම දේශපාලන අභිලාෂයන් සපුරා ගැනීමටය. හිමිකරුවා මෙහෙයවීමෙන් පසු මුල් හිමිකරුවාගේ ප්‍රධාන ආධාරකරුවකු වූ ඩී.බී. ජයතිලකට එරෙහිව වැඩිම ප්‍රහාරාත්මක ලිපි හා කතුවැකි පළවූයේ දිනමිණ පුවත්පත මඟිනි. එහෙත් දිනමිණ ඔස්සේ පුවත්පත් කලාව සැලැකිය යුතු මට්ටමකින් වෙනස් කිරීමට ද ඩී.ආර්. දායක විය.

1815 උඩරට ගිවිසුමට වසර 100 ක් පිරුණු දින ප්‍රකාශයට පත් කළ විශේෂ දිනමිණ පුවත්පත, 1918 දිනමිණ ශාස්ත්‍රීය අතිරේකය, ඡායාරූප භාවිතය ආදිය ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය.

හිමිකරුවකු ලෙස දිනමිණ කතුවරුන්ට උපදෙස් දීම ඔහුගේ චරිත ලක්‍ෂණයක් විය. ඒ අනුව දිනපතා දිනමිණ කතුවැකිය ලියැවෙන්නේ ඩී.ආර්. ගේ උපදෙස් අනුවය.

සිංහල - බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් විශේෂ පුවත් ආවරණයක් ලබාදීමට ඔහු සිය කතුවරු මෙහෙයවී ය. එහෙත් ඇතැම් අවස්ථාවල දී තෝරාගත් පන්සල්, පිරිවෙන් හා නාහිමිවරුන්ට පමණක් දිනමිණ තුළ අවස්ථාව ලබාදීමත් සෙසු පාර්ශ්වයන් හෙළා දැකීමත් නිසා සිංහල - බෞද්ධ බලවේගයන්ගේ විවේචනයන්ට ලක්වීමට ද සිදුවිය.

ලේක්හවුස් යුගය (1950 – 1973)

දිනමිණ පුවත්පත දැඩි ලෙස දේශපාලනීකරණය වූ යුගය ලෙස මෙය නම් කළ හැකිය. ඩී.ආර්. විජේවර්ධනගේ අභාවයෙන් පසු ලේක්හවුස් ආයතනයේ මුල් පුටුවලට පත්වූ ඔහුගේ බෑනාවරුන් වන එඩ්මන්ඩ් වික්‍රමසිංහ, ජී.බී.එස්. ගෝමස් සහ එල්.සී. ගුණරත්න දිනමිණේ යන්තම් හෝ ඉතිරි වී තිබූ සිංහල - බෞද්ධ මුහුණුවර බිඳ දමමින් නග්න දේශපාලන ඉලක්ක සපුරා ගැනීමට මෙහෙය වීය.

එතැන් සිට, මෙරට ප්‍රධාන පුවත්පත් ආයතනය වූ ලේක්හවුසිය දේශපාලන ක්‍රියාවලියේ කේන්ද්‍රය බවට පත්වී එහි කුමන්ත්‍රණකාරයාගේ භූමිකාව නිරූපණය කරන්නට සිදුවූයේ ‘දිනමිණ’ පුවත්පතට ය.

1952 මහමැතිවරණය, 1953 හර්තාලය, 1956 මහමැතිවරණය, 1956 බණ්ඩාරනායක ඝාතනය, 1960 පළමු හා දෙවන මහමැතිවරණ, 1964 පුවත්පත් පනත, 1965 මහමැතිවරණය හා 1970 මහමැතිවරණය යනාදී අවස්ථාවල දිනමිණ පුවත්පතේ හැසිරීම මඟින් උක්ත කාරණය තවදුරටත් සනාථ කළ හැකිය.

එසේ වුවද දිනමිණ හිමිකාරීත්වය හා කතුවරුන්ගේ සම්බන්ධතාව ඍජු දේශපාලන නොවන කාරණාවල දී මඳක් ලිහිල් වූ බව පෙන්වා දිය හැකිය.

විශේෂයෙන් එම්.ඒ. ද සිල්වා දිනමිණ කර්තෘ ධුරය දැරූ කාලය සඳහන් කළ හැකිය. මුලින් බී.ඒ. සිරිවර්ධනත් පසුව හේමා ගුණවර්ධනත් ලියූ දිනමිණ කතුවැකි මේ යුගයේ ‘දිනමිණ’ පුවත්පත පිළිබඳව කතා කළ හැකි යමක් ඉතිරි කළ බව කිව හැකිය.

රාජ්‍ය හිමිකාරීත්ව යුගය (1973 – 2009)

පාර්ලිමේන්තු පනතකින් ලේක්හවුස් ආයතනය මහාභාරකාරවරයාට පවරා දෙන ලද්දේ තාවකාලිකව එහි කොටස් අයිතිය පුළුල් කරන තෙක් ය. නමුත් එම පනතේ කිසිදු කාලරාමුවක් නොමැති බැවින් එය තවදුරටත් මහාභාරකරු යටතේ පවතී. මේ අර්ථයෙන් ‘දිනමිණ’ රජයට අයත් පුවත්පතකි. මේ නිසා දිනමිණේ ඉරණම විවිධාකාර වෙනස්කම්වලට ලක්වෙමින් පවතින බව පෙන්වා දිය හැකිය.

පුවත්පතක හිමිකාරීත්වය එම පුවත්පතේ අන්තර්ගතයට කරනු ලබන බලපෑම් සම්බන්ධයෙන් ලෝකයේ සියලු ම පුවත්පත්වලින් උදාහරණ සපයා ගත හැකිය. දිනමිණට ද එය පොදු වූවකි. එක් රජයකින් පුවත්පත් හිමිකාරීත්වය වෙනස් වන සැණින් දිනමිණ පුවත්පතේ මතය ද පූර්ණ වශයෙන් වෙනස් වේ.

හිමිකාරීත්වයේ දෘෂ්ටිකෝණයෙන් මෙසේ කරුණු දැක්විය හැකිවුවද දිනමිණ පුවත්පත ගත වූ වසර 100 තුළ මෙරට පුවත්පත් කර්මාන්තයටත්, පුවත්පත් කලාවටත්, සිංහල පුවත්පත් පාඨකයින්ටත් ඉටු කළ සේවාවන්හි ධාරිතාව ඉතා ඉහළ මට්ටමක පවතින බව කිව යුතුය.

පුළුල් ජන නියෝජනය, ග්‍රාමීය පුවත් ආවරණය, කලා, ක්‍රීඩා ආදී විවිධ ක්‍ෂේත්‍රයන්ට දැක්වූ දායකත්වය, අධ්‍යාපන මාධ්‍යයක් ලෙස පාසල් විෂය නිර්දේශ යටතේ විධිමත් අධ්‍යාපන ක්‍රියාවලියක් ගෙන යාමට දැරූ ප්‍රයත්නය, විවිධ අතිරේක සමරු කලාප වැනි ජාතික වැදගත්කමින් යුත් අවස්ථාවන්හී නිකුත් කළ ප්‍රකාශන එකී කරුණු සනාථ කිරීමට ප්‍රමාණවත් සාධක බව ද පෙන්වා දිය යුතුය.

එවැනි සාධනීය ලක්‍ෂණයක් තවදුරටත් ඉදිරියට ගෙනයාමට රාජ්‍ය හිමිකාරීත්වය යටතේ ම වුවද කටයුතු කිරීමට දිනමිණට හැකියාව තිබේ. ඒ සඳහා කළ යුත්තේ කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය (Editorial Independence)  පිළිබඳ එකඟතාවක් හිමිකරුවන් සමඟ ඇතිකර ගැනීමයි.