ඉඩෝරය දිගටම

 
 

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක'

 
 

අලුත් ව්‍යවස්ථාව සා අඟින් පනා කැපීමක්ද?

 
 

ලස්සන වී වැස්ස පතන මහකනදරා වැව

 
 

ලෙඩත් නෑ බයත් නෑ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං මුලින් ම රැවටුණේ නිළියන්ට

 
 

නියඟයට හා ආහාර හිඟයට සැනසිලිදායී විසඳුමක්

 
 

තකතීරු

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»


කවි රස දන්නෝ කුමට උපන්නෝ!

කවි රස දන්නෝ කුමට උපන්නෝ!

කවිය වනාහි මනුෂ්‍ය වර්ගයාගේ හෘදයංගම වූ කලාංගය යි. ශිෂ්ට මනුෂ්‍යයන්ගේ ප්‍රමුඛ ලක්ෂණය සංස්කෘතිය වන්නා සේ ම සංස්කෘතියෙහි ප්‍රමුඛතම අංගයක් වනුයේ කලාව යි. කලාවෙහි දු උත්තම ස්ථානය හිමි වනුයේ කවියට යි. ඉතා පුළුල් අරුතින් ගත් කල්හි, අනෙක් සියලු කලාංගවල පදනම වන්නේ ද කාව්‍යය මැ යි. චිත්‍රයෙහි වේවා, නර්තනයෙහි වේවා, වර්තමානයෙහි චිත්‍රපට ආදි නවීන කලාංගවල වේ. පදනම වනුයේ කාව්‍යය ම බව ඒකාන්ත කාරණයෙකි. සන්දර්භය අතින් කො පමණ උසස් වූයේ වී නමුදු කාව්‍යාත්මක භවයෙන් පිරිහුණු කල්හි කවර කලාංගයක් වුව ද ශීතත්වයෙන් තොර වූ හිම කිරමක් සෙයින් අගයෙන් පිරිහී යයි.

මෙසේ සියලු කලාවෙහි පදනම කාව්‍යය වන නමුදු භාවිතයෙහි ලා කාව්‍ය නාමයෙන් ගැනෙනුයේ වචනයට නැඟුණු අර්ථය යි. 'කාව්‍යං රසාත්මකං වාක්‍යං' යි විශ්වනාථ කවිරාජයන් විසිනුදු පැවැසුණේ එ හෙයිනි. මේ අනුව කවියෙහි ඒක ලක්ෂණය නම් රසාත්මක භාවය යි.

භාවිතයෙහි දී වනාහි කාව්‍ය යන්නෙහි අර්ථය තව ද ලටු වූ සේ ය. යට කියැ වුණු අර්ථකථනය අනුව නම් රසාත්මක වූ කවර වාක්‍යයක් වුවත් කාව්‍යයක් විය යුතු නමුදු කාව්‍ය නාමය භාවිතා වූයේ වෘත්තයෙකින් - විරිතෙකින් - යුක්ත වූ වාක්‍යයට ම ය. එ හෙයින් අද කවි නමින් ගැනෙනුයේ පද්‍ය ම ය.

කවර නාමයෙන් ගැනුණ ද කාව්‍ය රස වින්දනය ඉතා පුරාතනයේ සිට මෙ රට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් විය. එය කොපමණ මහෝත්කර්ෂයෙන් කැරුණේ ද යන්නට අද්‍යතනයෙහි පවා ශේෂ වැ ඇති කාව්‍ය, මහා කාව්‍ය, සන්දේශ කාව්‍ය ආදිය මනා සාක්ෂ්‍ය වේ. එ මතු ද? රස වින්දනයෙහි මතු නො ව, කාව්‍ය කරණයෙහි දු සාමාන්‍ය ජනයා පවා දැක්වූ ඉමහත් කෞශල්‍යයට, නෛපුණ්‍යයට සීගිරි කැටපත් පවුරේ පැදි පමණ අගනා අන් කවර නිදස­ුනෙක් ද? එ ද වේවා! මහා කවීන් නුදුටු සියුම් අරුත්, සැබෑ මිනිසියාවේ දිවි මිහිර හඟවන සියුම් අරුත් නිපැදැවුමෙහි ලා අපේ ගැමි කවියා දක්වන බුහුටි බව කවර මිනුමෙකින් නම් නිසි සේ අැගයිය හැකි ද?

සිංහල කවිය වනාහි ආකස්මික වැ පහළ වූවෙක් නො වේ; අද අප දන්නා තොරතුරු හැටියට, අනුරපුර, පොලොන්නරු, දඹදෙණි, ගම්පොළ, කෝට්ටේ ඈ අවදි පසු කොට නුවර, මාතර අවදි හරහා වත්මනට සැපත් වූවකි. කිවි, මහ කිවි උයන්පල්ලන් අතින් මැනැවින් සැකැසී සරු පෝර, දිය ලැබ, මල් පල සසිරි වැ බැබැළුණු හෙළ කව් උයන පේරාදෙණි නියඟයෙන් හේබා ගොස් කර වී වියැළී දඬුගොඩක් වූ අයුරු සුපතළ කරුණෙකි. අර පුදුම රටෙහි හෙවත් හන්තානෙහි ආචාර්ය, මහාචාර්යාදීන් ප්‍රමුඛ විදග්ධයන් එහි ලා දැක්වූ අනර්ඝ දායකත්වය සියලු රසිකයන් විසින් සදා සැමැරිය යුත්තේ ය.

දැන් ආචාර්ය, මහාචාර්යාදි තව ද විද්වජ්ජනශේඛරායමාන පිරිස මහරගම පැත්තේ දී එකතු වැ සිංහල කාව්‍යය විෂයයෙහි මෙතෙක් නොවූ විරූ උදාරතර සංග්‍රහයක් කරමින් සිටුනා බව ද දැනගැන්මට ඇත. එ නම් උසස් පෙළ සිසුන් මෙතෙක් භුක්ති විඳි රසවත් කව් අහර ඉවත් කොට, 'මස් ලේ නැති ඇට' කැබැල්ලක් දෙකක් ඔවුනට වීසි කොට සිංහල කවිය එපා කැරවීමේ අතිප්‍රශංසාර්හ ප්‍රයත්නය යි. මේ අත්‍යුදාර පරමාර්ථය සාධනය කිරීමේ පළමු පියවර ලෙසින් කොළඹ කවීන් හෙළ හවුල් කවීන් නව විෂය නිර්දේශයෙන් කපා හැර ඇතැයි කියැවේ.

කොළඹ කවිය, හෙළ හවුල් කවිය ඈ ලෙසින් හන ගැසීම එ තරම් හොබනා නොවතුදු විචාරයේ පහසුව පිණිස එ සේ කැරේ. කවර නමින් හැඳින්වුණ ද කවි නම් කවි ම ය. අද්‍යතන සිංහල කාව්‍යයෙහි යම් අභිවර්ධනයෙක් වී ද මේ සකල කාව්‍ය ම එහි ලා උපස්තම්භක විය. යන්තම් හතර පදයක් ගැට ගසා අග එළිය කෙසේ හෝ රැක පැබැඳුණු 'කොළඹ' කවියක් පවා මහජනයා අතරින් වියෝ වන්නට නොදී සිංහල කවිය රැකගැන්මට උපකාර වූ බව කිය යුතු වෙයි.

හෙළ හවුල් කවිය වනාහි සිංහල කව් උයනේ ඉතා මිහිරි අගනා පල වෙයි. අනුරපුර යුගයේ සිට පැවැත ආ නියම සිංහල කව් මඟ රැකගෙන සුරස කිවි හැඟුම් වත්මන් පරපුරට පිරිනමනුව මෙ කිවියන්ගෙන් වූ මහ මෙහෙය විචාරයකයන‍්ගේ නොමඳ පැසැසුමට වෙසෙසින් බඳුන් වැ ඇත.

එ සියල්ල ප‍ෙසකට යේ වා! සිංහල කවිය උගන්නා සිසුන් එහි වර්ධනය, විකාශනය වූ අයුරු නො දත යුතු යැයි මේ ආචාර්ය මහාචාර්යාදීහු සිතත් ද? පරපුරින් පරපුර කවිය වෙනස් වූ අයුරු සමාජීය වෙනස්කම් හා අනුරූප වැ කවිය වෙනස් වූ අයුරු දැන ගැන්මෙන් සිසුන්ගේ විචාර බුද්ධිය තියුණු වෙති යි මොවුහු බිය වෙත් ද? ගොනුනට පිදුරු පුන්නක්කු දෙන්නා සේ සියලු සිසුනට යන්තම් රොඩු කවි ටිකක් පැටවීම ප්‍රමාණවතැ යි මොවුහු සිතත් ද?

නැත. ඒ එකෙකුදු නො වේ. කවි වැඩි වූ කල, විවිධ සම්ප්‍රදායවල කවි ගන්නට වූ කල සිසුනට කවර නම් හිරිහැරයක් ද? ඔවුන්ගේ ටිකිරි මොළවලට ඒ ඔරොත්තු දෙන්නේ ද නො වේ.

කොතැනින් කවර කවිය විචාරය පිණිස දෙති යි කවුරු දනිත් ද? හැයි, ගුරුනට ඇති වධය? විවිධ සම්ප්‍රදායවල විවිධ කවි උගන්වන්ට යෑමෙන් ගුරුනට ඇති වනුයේ ද මහ වධයෙකි. ඒ මේ සියල්ලෙන් ගැලැවීම පිණිස යන්තම් රොඩු ටිකක් සිසුනට පටවා අත පිස ගැන්ම වේ ද කළ මනා කිස නම්?

කුමට කවුරු කවිය වෙනුවෙන් හඬ නඟත් ද? කවිය ද ඇතුළු ඊනියා සාහිත්‍යයෙන් කවර වැඩෙක් ද? සාහිත්‍යය ඉගෙන මෝටර රියක්වත් ගත හැකි දැ යි ඇසූ අපගේ පාලකයනට උපනුපන් ආත්මයෙහි ජය වේවා! ඔවුන්ගේ පරපුරින් එන ගමන් මඟෙහි සහකරුවනට ද ගිය ගිය අත ජය මැ වේ වා!

- හිතමිතුරා


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්