ඉඩෝරය දිගටම

 
 

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක'

 
 

අලුත් ව්‍යවස්ථාව සා අඟින් පනා කැපීමක්ද?

 
 

ලස්සන වී වැස්ස පතන මහකනදරා වැව

 
 

ලෙඩත් නෑ බයත් නෑ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං මුලින් ම රැවටුණේ නිළියන්ට

 
 

නියඟයට හා ආහාර හිඟයට සැනසිලිදායී විසඳුමක්

 
 

තකතීරු

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ලෙඩත් නෑ බයත් නෑ

ලෙඩත් නෑ බයත් නෑ

හිමිදිරි පාන්දර ව්‍යායාම කරන ගමක්

ගැමි­යෝ­ ශ­රීර සුව­තාවේ නියැ­ළෙද්දී

එය කොමාන්ඩෝ පුහු­ණු­ව­කට සමාන ය. සියලු දෙනා පාන්දර ම පිට්ට­නි­යට පැමි­ණිය යුතු ය. පළ­මුව ඇඟ උණු­සුම් කරන ව්‍යායාම, දෙව­නුව ඇඟ ඇදෙන හා නැමෙන ව්‍යායාම තෙව­නුව ශක්තිය වඩන ව්‍යායාම හා සටන් ශිල්ප...

ඌව පරණගම වසරේ තුන්සිය හැටපස් දවසින් වැඩි කාලයක් වැස්ස සහ සීතලෙන් පිරී පවතින පළාතකි. ඒ ප්‍රදේශයේ ‍කොරදේකුඹුර ගැමියනට නම් මේ උදෑසන සීතල වගේ වගක් නැත. මෙගම බොහෝ දෙනෙක් දිනපතා හිමිදිරියේ අවදිවෙති. පින්න සීතල නොතකා ඔවුන් දිව එන්නේ ගමේ ක්‍රීඩා පිටියටය. උදෑසන සිට ශරීර සුවතාව උදෙසා ව්‍යායමවල නිරතවීම ඔවුහු කලක සිට කරගෙන එති. අලුයම සිට උදෑසන 6.30 පමණ වනතුරු ඔවුහු එලෙස දිනපතා ව්‍යායාම්වල නිරතවෙති.

ජය­වීර ජය­සු­න්දර

කොරදේකුඹුර ගම්මානය ඒ අවට බොහෝදෙනා හඳුන්වන්නේ කරාතේ ගම්මානය ලෙසිනි. මේ ගම්වැසියන් ශරීර සුවතාව උදෙසා මෙලෙස ව්‍යායාම කිරීම අරඹා තවමත් වසරක් ගෙවී නැත. ඔවුන් ව්‍යායාම කිරීම ආරම්භ කළේ පසුගිය වසරේ අගෝස්තු මාසයේය. උදෑසන ගමේ ක්‍රීඩා පිටියට රැස්වන ඔවුහු ව්‍යායාමවල නිරතවෙති. ඔවුන් මේ ව්‍යායාම පුහුණුව සඳහා යොමුකරවූයේ ඒ ගමෙහි වෙසෙන විශ්‍රාමලත් මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයවීර ජයසුන්දර මහතාය. ඔහු කරාතේ උපදේශකවරයෙක් ද වෙයි.

මේ වෙද්දී සමාජය පුරා විවිධ බෝනොවන රෝග නිසා අබල දුබලතාවට පත්වන සහ ශාරීරික අපහසුතාවලට ලක්වන පිරිස බොහෝය. රටේ ජනතාව මේ තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා රජය මඟින් ද විවිධ වැඩසටහන් දියත් කර තිබේ. එවන් තත්ත්වයකදී රජය මඟින් කෙරෙනතුරු බලා නොසිට මේ ගම්මානයේ බාල, තරුණ, මහලු, ගැහැනු, පිරිමි භේදයකින් තොරව සැමදෙනා සහභාගී කරගෙන ඉතා සාර්ථකව දිනපතා මේ ශරීර සුවතා වැඩසටහන පවත්වාගෙන යන ආකාරය දකින්නට ඉතා අපූරුය.

කෘෂිකාර්මික ජීවන රටාවක නියැළී ගැමියන් කෘෂි රසායන අධිකව භාවිතය සහ පාරම්පරික ආහාර රටාවෙන් ඉවත්වීම යන කරුණු කාරණා මත වකුගඩු, හෘදය රෝග, ඇදුම, ආතරයිටිස් (හන්දි ඉදිමීම) ඇතුළු විවිධ රෝගවලට ගොදුරුවීමේ වට පිටාවක මේ ගැමියෝ මේ ශරීර සුවතා වැඩසටහන නිසා නිරෝගී ජීවිත ගත කිරීමේ වරම් ලබා සිටිති. එසේ ම දුම් වැටි හා මතින් තොර ගම්මානයක් ලෙසට අද වන විට මෙම කොරදේකුඹුර ගම්මානය පරිවර්තනය වී තිබේ.

මේ පිළිබඳව අප හා මුලින් ම විස්තර කළේ කොරදේකුඹුර කරාතේ ගම්මානයේ පදිංචි ඒ. ජේ.එම්. නන්දාවතී මහත්මියයි. ඇය දැන් හැ‍ට තුන් හැවිරිදිය.

“අපි පාරම්පරික ගොවියෝ - මට වයස අවුරුදු 49 දී පපුවේ අමාරුවක් හැදුණා. මම බදුල්ල මහ ‍රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සතියකට වඩා කාලයක් මරණයත් සමඟ පොර බැදුවා. මම හෘදය රෝගයට මාස් පතා බදුල්ල මහ රෝහලේ වෛද්‍ය සායනවලට සහභාගි වෙනවා. මම වැසිකිළියට ගියත් දිව යට තබා ගන්නා බෙහෙත් පෙත්ත රැගෙන යන්න කියලයි වෛද්‍යවරු උපදෙස් දුන්නේ.

මුතුමැණිකා

මට මහන්සි වී වැඩ කරන්න බෑ. හුස්ම ගැනීම අපහසු වෙනවා. පපුවේ දැවිල්ලත් තිබුණා. මේ විදිහේ රෝගවලින් පෙළෙමින් සිටි මම කොරදේකුඹුර පොදු ක්‍රීඩා පිටියේ සෑම දිනකම උදෑසන 5 ත් 6.30 අතර පවත්වන ශරීර සුවතා වැඩසටහනට සහභාගි වෙනවා. අනෙක් ගම්වල මිනිසුන් සුව නින්දේ පසුවෙද්දී අපේ ගමේ පිරිස් අලුයම 4 ට පමණ අවදි වෙනවා. වැස්ස සීතල ගැන තැකීමක් නොකර ගිනිපන්දම් දල්වා­‍ෙගන අලුයම 05 වන විට ක්‍රීඩා පිටියට එක් රැස් වෙනවා. අපිට ගැළපෙන ව්‍යායාම් තමයි මෙහි සිදු කරන්නේ. අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයවීර ජයසුන්දර මහතා තමයි මේක මෙහෙයවන්නේ.

‍මම දැන් ඉතාමත් නිරෝගි ජීවිතයක් ගත කරනවා. බදුල්ල මහ රෝහලේ වෛද්‍ය සායන වෛද්‍යවරුන් මගේ ශරීර සුවතාව ගැන පුදුම වෙනවා. අද ‍මම වයස අවුරුදු 40 ක ගැහැනු කෙනෙකු වගේ වැඩපළ කරනවා. බයත් සැකක් නැතුව ගමන් බිමන් යනවා.”

කොරදේකුඹුර පදිංචි එච්.ඇම්. මුතුමැණිකා මහත්මියගේ ද වයස අවුරුදු 63 කි.‍

“මම වසර 06 ක සිට හන්දි ඉදිමීම සහ අධික රුධිර පීඩන නිසා අනන්ත දුක් වින්දා. ජීවිතයම එපා වෙලා කලකිරීමෙන් හිටියේ. මේ අතර තමයි කොරදේකුඹුර පොදු ක්‍රීඩා පිටියේ පවත්වන ව්‍යායාම්වලට එකතු වුණේ. එදා අත්වාරුවක් නැතිව ඇවිදගන යෑමට අපහසුයි. අධික රුධිර පීඩනය නිසා ඇඟ වෙහෙසෙන කිසිදු වැඩක් කරන්න බැරි තත්ත්වයක හිටියේ. නමුත් මේ ව්‍යායාම්වල නියැළීමත් සමඟ අද වනවිට මගේ හන්දි ඉදිමීමේ තත්ත්වයෙන් මිදිලා. ඉතාමත් පහසුවෙන් කඳු පල්ලම්වල ඇවිද යනවා. අධික රුධිර පීඩනයත් පාලනය වෙලා.

අපි පාරම්පරික ආහාර රටාවට නැඹුරු වෙලා. කෘත්‍රීම ආහාර, කෙටි කෑම වර්ග පමණක් නොවෙයි කිරිපිටි පානයෙන් ද ඉවත්වෙලා. පැරණි යුගයේ මෙන් නැවුම් එළකිරි හෝ කහට තේ තමයි පානය කරන්නේ. කවුපි, මුං, එළවළු, පලා වර්ග, අල බතල, කොස්, බත තමයි අපේ ආහාර ලෙසට ඇත්තේ. එසේ ම පාරම්පරික සහල් වලින් කැඳ පිසීමටත් ගැමියන් පුරුදු වෙලා. අද වනවිට අපේ ගමෙන් නිරෝගී ජනතාවක් බිහිවී සිටිනවා.”

කොරදේකුඹුර කරාතේ ගම්මා‍නයේ දෙමවුපිය සංසදයේ සභාපති බන්දුසේන බණ්ඩාරනායක මහතා ද අප සමග අදහස් පළ කළේය.

“ලංකාවට වසර පුරා එළවළු සපයන ගොවින් පිරිසක් තමයි අපේ ගම්මානයේ ජීවත්වෙන්නේ, අපේ ගමේ පාසල් හැර යන තරුණයන් බොහෝ දෙනෙක් විවිධ වැරැදි මඟ යන බවට අපිට දැන ගන්න ලැබුණා. මෙයින් තරුණයන් බේරා ගැනීම සඳහා විශ්‍රාමලත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ කරාතේ උපදේශක ජයවීර ජයසුන්දර මහතා සමඟ අපි සාකච්ඡා කළා. ඉන්පසු කාලය නාස්ති කරමින් සිටි තරුණයන්ට කරාතේ පුහුණු කිරීමට පටන් ගත්තා. ඒ නිසා ම තරුණයන් යහපත් පිරිස් බවට පත් වුණා.

අපේ ගම්මානයේ ද ‍‍බෝ නොවන රෝගීන් බහුලව සිටිනවා. ඒ නිසා අපි ජයවීර මහතා සමඟ ක්‍රීඩා පිටියේ ශාරීරික සුවතා වැඩසටහන ආරම්භ කළා. අද වනවිට ගමේ සෑම වයසකම 100 – 150 අතර පිරිසක් දිනපතා සිය කැමැත්තෙන් පැමිණෙනවා. අනික වේලාවට වැඩ කිරීම වගේ පුහුණුවක් ද මේ තුළින් ලබා දෙනවා. අපේ අරමුණ මුළු ගම්මානයම සෞඛ්‍ය සම්පන්න බවට පරිවර්තනය කරන්නයි.”

විශ්‍රාමික මහජන සෞඛ්‍ය ප‍රීක්ෂක හා කරාතේ උපදේශක ජයවීර ජයසුන්දර මහතා සේවය ‍කළේ ඌව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බෝ නොවන ‍‍රෝග ඒකකයේය. මේ ව්‍යායාම ව්‍යාපෘතියේ නිර්මාතෘ ඔහුය. ගමේ බාල මහලු සැම ඔහුගේ ව්‍යායාම වැඩ සටහනට අනුව එක්ව ව්‍යායාමයේ යෙදෙති. ඔහු ගමේ අයගේ වයස අනුව එක්එක් කෙනා වෙනුවෙන් ව්‍යායාම වැඩ සටහන් සකසා ඇති අතර පොදු ව්‍යායාම වැඩ සටහනක් ද එහි වෙයි.

“විවිධ හේතු මත කලකිරීමට ලක්වුණු මම වසර පහක සේවා කාලයක් ඉතිරිව තිබියදී විශ්‍රාම ගත්තා.

මම වයස අවුරුදු 17 පාසල් වියේදීම කරාතේ පුහුණුව ලබා කරාතේ පුහුණු උපදේශකවරයකු ලෙසින් කටයුතු කරනවා. කොරදේකුඹුරේ ගමේ වැඩිහිටියන් පැමිණ මා සමඟ කළ සාකච්ඡාවට අනුව පාසල් හැර ගිය වයස අවුරුදු 17 – 26 අතර තරුණයන්ට රාත්‍රී කාලේ කරාතේ පුහුණුව ලබාදීමට පටන් ගත්තා. ඒ නිසා ම ඔවුන් යහපත් මඟට ආවා.

මේ අතර මැදහීන්න පාසලේ ළමයින්ට උදෑසන 6.30 සිට 7.15 දක්වා ශරීර සුවතා වැඩසටහනක් ආරම්භ කළා. මෙය දුටු වැඩිහිටියන්ගේ ඉල්ලීම මත කොරදේකුඹුර පොදු ක්‍රීඩා පිටියේ මේ ශරීර සුවතා වැඩසටහන 2016 අගෝස්තු මාසේ ආරම්භ කළා. කිසිම බලපෑමක් නැතුව දිනපතා 100 – 150 අතර පිරිසක් අලුයම 5 සිට 6.30 මීට සහභාගි වෙනවා. තමන්ගේ දෛනික වැඩවලට මෙයින් කිසිදු අවහිරයක් නෑ.‍

සරල ව්‍යායාම් සමඟ යෝගී ව්‍යායාම් තමයි කරන්නේ. මේ නිසා වයස් ගත අයගේ මස් පිඩු පෙරළීම, වාත ‍රෝග, හන්දි වේදනා - සමඟ බෝ නොවන රෝගවලට නිසි පිළියම් මේ මඟින් ලැබිලා.

වයස අවුරුදු 04 සිට වයස්ගත පිරිස් මීට එක්වෙනවා. දැන් ගැමියන් පාරම්පරික ආහාර රටාවට නැඹුරුවෙලා. එනිසාම ගමේ වෙ‍ෙළඳසල් හිමියන් කෘත්‍රිම ආහාර වර්ග අලෙවි කිරීමත් නතර කරලා. අද පාරම්පරික, සහල් වර්ග, මුං ඇට වැනි ආහාර වර්ග තමයි වෙළෙඳුන් අලෙවි කරන්නේ. අද වනවිට දුම්වැටි, මත්පැන්වලින් තොර ගම්මානයක් බවට පත් වෙලා ඉවරයි.

අපේ කොරදේකුඹුර ගම්මානය කරාතේ ගම්මානයක් බවට පරිවර්තනය කළා. ජපානයේ සකු නගරයේ හෙල්දි ගම්මානයත් සමඟ මිතුරු ගමක් ලෙසට කටයුතු කිරීමට වෛද්‍ය කිපෝ දෙවිරා මහතා පියවර ගෙන තිබෙනවා. 2020 ලෝකයේ ජනප්‍රිය කරාතේ ගම්මාන වැඩසටහනට අ‍ෙප් මෙම ගම්මානයත් තෝරා ‍ෙගන තිබෙනවා‍.

රජය බෝ නොවන රෝගවලින් ජනතාව මුදා ගැනීමට වෙහෙසක් දරනවා. එය සාර්ථක කර නිරෝගී පුද්ගලයන් බිහි කිරීමට නම් මේ අන්දමට ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු ”යැයි ද ජයවීර ජයසුන්දර මහතා අවධාරණය කරයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්