ඉඩෝරය දිගටම

 
 

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක'

 
 

අලුත් ව්‍යවස්ථාව සා අඟින් පනා කැපීමක්ද?

 
 

ලස්සන වී වැස්ස පතන මහකනදරා වැව

 
 

ලෙඩත් නෑ බයත් නෑ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං මුලින් ම රැවටුණේ නිළියන්ට

 
 

නියඟයට හා ආහාර හිඟයට සැනසිලිදායී විසඳුමක්

 
 

තකතීරු

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ලස්සන වී වැස්ස පතන මහකනදරා වැව

ලස්සන වී වැස්ස පතන මහකනදරා වැව

අපේ රටේ මොන සංවර්ධන ක්‍රියාදාමයක් ආරම්භ කිරීමට උත්සාහ දැරූවද බොහෝ විට ඒ සඳහා ජනතා විරෝධයක් එල්ල වීම සාමාන්‍ය සිරිතක්ව පවතී. මෙයට බොහෝ සෙයින් හේතු වී ඇත්තේ ජනතාව නිසි පරිදි දැනුවත් නොකිරීමයි. ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මෙන්ම අනාගතයට සැලසෙන නව මංපෙත් පිළිබඳව ජනතාවගේ නොදැනුවත්කම නිසා සුළු සිද්ධියක් පවා අතිවිශාල ගැටලුවක් බවට පත් වන බව අපට පෙනෙන්නට ඇත.

ජනතාවගේම යහපතට ගනු ලබන ක්‍රියාමාර්ග රකුසකු බවට පත් වීම සැබැවින්ම කනගාටුදායකය. තම සුළු කැප කිරීම වෙනුවෙන් තමන්ට ඒ වෙනුවෙන් අතිවිශාල සෙතක් සැලසෙන බව ඔවුන් නොදැනීමේ වරද ඇත්තේද ඔවුන් තුළ නොවේ. එහි වගකීම රාජ්‍ය නිලධාරීන් හෝ ආයතන විසින්ම දැරිය යුතු වේ.

රජරට වාරික්‍රම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති වසර 50කට-60කට පමණ පසු පසුගිය වකවානුවේ යළි ආරම්භ කළේද ඒ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ උන්නතිය උදෙසාය.

මෙහිදී ශ්‍රීීී ලංකාවේ පැවැති සාමාන්‍ය ක්‍රමවේදයට වඩා වෙනස් ක්‍රමයක් සකස් කරන්නට වාරිමාර්ග අධ්‍යක්ෂවරුන් මෙන්ම ඉංජිනේරුවන් කටයුතු කිරීම සැබැවින්ම ප්‍රශංසනීය වේ. ඔවුන් පළමුවෙන්ම කළේ ගොවි ජනතාව හමු වී ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමය; ඔවුන්ගේ අදහස් දැන ගැනීමය; ජලාශ හා බැඳී පවතින ජනතා ජීවන රටාව පිළිබඳව විමර්ශනය කිරීමය.

විශේෂයෙන්ම රජරට විශාලතම වාරි කර්මාන්තයක් වන මිහින්තලේ මහකනදරාව ජලාශය ප්‍රතිසංස්කරණය පිළිබඳව වසර 60ක් පමණ පෙර සිටම කතා බහට ලක් වූවකි. දීර්ඝ කාලයක සිට ප්‍රතිසංස්කරණය නොකරන ලද මේ ජලාශයේ වේල්ල සේම රළපනාව ප්‍රතිසංස්කරණයට ආධාර ලබා දීමට ලෝක බැංකුව ඉදිරිපත් විය. ඒ එක් කොන්දේසියක් පමණක් පනවමිනි. ඒ කොන්දේසිය වූයේ ජන ජීවිතය ගැන විශේෂ අවධානය යොමු කළ යුතු වීමත් සමාජීය ගැටුම් නිර්මාණය නොවන ආකාරයෙන් මේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ යුතු බවත්ය.

මහකනදරාව ජලාශයෙන් ගොවි පවුල් 3500කට අධික සංඛ්‍යාවක් තම ජීවනෝපාය සරි කරගනිති. එසේ අතිවිශාල ගොවි ජනතාවක් සමඟ කටයුතු කිරීමේදී ඇති වන ගැටලු ප්‍රමාණයද සුවිශාල විය හැකිය. එසේ වුවත් ප්‍රතිසංස්කරණ කටයුතු නිම කළ යුතු කාලයෙන් අඩකටත් අඩු කාලයකදී මේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂවරයාට හැකියාව ලැබිණි. අපි ඒ ගැන අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂ ප්‍රසන්න සිල්වා මහතා හමු වී කතා කෙළෙමු.

"ලෝක බැංකුවෙන් අපිට මිලියන 92ක් ලැබුණා. අපි ටෙන්ඩර් කැඳවා මහකනදරාව වැව පිළිසකර කිරීමේ කටයුත්ත බාර දුන්නා. එහෙත් අපිත් විශේෂ කොන්දේසියක් කොන්ත්‍රාත්කරුට ලබා දුන්නා. ඒ කොන්දේසිය වූයේ මසකට වරක් ප්‍රගති සමලෝචන රැස්වීමක් පවත්වා ගොවි ජනතාව දැනුවත් කර ඔවුන්ගේ අදහස් ලබාගැනීමටයි. කොන්ත්‍රාත්තුව බාර ගත්තේ දිස්ත්‍රික්කයේම දේශීය සමාගමක්. ඔවුන් ඒ කොන්දේසිය සතුටින් පිළිගත්තා. මේ නිසා මසකට වරක් අපි පවත්වන ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ගොවි ගැටලු ගැන අදාළ සමාගම හොඳින් අවබෝධ කර ගෙන තිබුණා. මේ නිසා කඩිනමින් මේ වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු කෙරීගෙන ගියා. අදාළ සමාගම දිවා-රෑ නොබලා වේලාව-අවේලාව නොබලා වැඩ කටයුතු මැනවින් සිදු කළා. දෙපාර්තමේන්තුව සියලු අධීක්ෂණ කටයුතු සිදු කළා. අලුත් තාක්ෂණයට අනුවයි මේ සියලු ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලැබුවේ. ඒ අනුව පළමුවෙන් වැවේ රළපනාවට විශේෂ බුමුතුරුණු ඇතිරිල්ලක් දැම්මා. පසුවයි රළපනාවට අරක්ෂික ගල් බැම්ම ඒ මතින් ඉදි කෙළේ. මේ නිසා වතුර කාන්දුවීමක් සිදු වන්නේ නැහැ.

"අවශ්‍ය ස්ථානවල කැණීම් පවා සිදු කළා. ජනතා අවශ්‍යතා හොඳින් තේරුම් ගත් නිසා මාස 18කදී නිම කිරීමට යෝජිත මේ සංවර්ධන ව්‍යාපෘතිය මාස 9කදී නිම කරන්නට අදාළ සමාගම පියවර ගත්තා. එහි ප්‍රමිතියත් ඉහළ මට්ටමක තිබෙන බවට අපේ පර්යේෂණ අංශ මෙන්ම ඉංජිනේරුවන් විසින් වාර්තා කළා. මේ සංවර්ධන කටයුතු සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිත වුණේ. ඒත් දෙසැම්බර් මාසයේදී වැඩ අවසන් කළා. ඇත්තෙන්ම ගොවි ජනතාව සමඟ එක්ව ගිය ගමනක් ලෙසයි මා මෙය දක්න්නේ."

ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු (අනුරාධපුර) ප්‍රසන්න තිලකරත්න මහතා පවසන්නේ මේ වන විට වැවේ ජල මට්ටම අඩි 5යි අගල් 9ක් දක්වා පහත බැස ඇති බවයි. ඒ නිසා මේ වන විට අක්කර අඩි 5800ක් දක්වා වැවේ ජල ධාරිතාව අඩු වී ඇති බවත් එය ගොවි ජනතාවට ගොවිතැන් කිරීමට නොහැකි තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දෙයි.

"ගොවි ජනතාව කැමැත්තෙන්ම පසුගිය මහ කන්නයේ වගාවෙන් වැළකී සිටියා. ඒ වැවේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට සහාය දෙන්නයි. ඒත් මේ නියඟය නිසා යල කන්නයත් වගා කිරීමට නොහැකි තත්ත්වයකට පත් වෙලා. එය ඇත්තේන්ම අභාග්‍යයක්.

"මිරිදිය ධීවර කර්මාන්තය නංවන්න අප වැවට මත්ස්‍යයන් බිහි කරන්න මත්ස්‍යය අභිජනකයන් වැවට යොදන්න මිරිදිය ධීවර අංශයට මිලියන 1.2ක් ලබා දී තිබෙනවා. ඒත් තවම ඒ කාර්යය කරගන්නට ඉඩ ලැබුණේ නැහැ වැස්ස නොමැති නිසා. වැස්ස ලැබුණු වහාම ඒ කාර්යය කරන්නට ධීවර අංශ සූදානමන් ඉන්නේ. ගොවි ජනතාව වගේම මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන අයත් ඒ ගැන දන්නවා.

"අප බලාපොරොත්තුවෙන් ඉන්නේ වැස්ස ලැබෙන තෙක්. අපේ කාර්යයන් දැන් අවසානයි. දැන් ගොවි ජනතාව වගේම අපත් බලා සිටින්නේ වැස්ස ලැබෙන තෙක්."

මහකනදරාව ව්ම් ඉවුර රණමයුර ගොවි සංවිධානයේ ලේකම් එස්.එම්. ඩිංගිරි බණ්ඩා මහතා උපතින්ම ගොවියෙකි. පළාතේ ග්‍රාම නිලධාරිවරයා ලෙසද කලක් සේවය කළ ඔහු දැන් 71 වියේ පසු වෙයි.

"අපි උපන්දා ඉඳලම මේ වැවත් එක්ක තමයි ජීවත් වුණේ. වැවට වතුර පිරෙනවා කියන්නේ අපේ ඇඟට කෑම ලැබෙනවා වගේ. අපි හැමදාම මේ වැව වෙනුවෙන්ම තමයි කතා කෙළේ. වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු කාලෙකින් සිද්ධ වුණේ නෑ. අපි ඒ ගැන රජයට දැනුම් දුන්නා. අපේ ඉල්ලීම ඉටු වුණා. වාරි මාර්ග නිලධාරීන් ඇවිත් අපිත් එක්ක කතා කළා. වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න කන්න දෙකක් වගා කරන්න බැරි වෙයි කියලත් කිව්වා. අපේ ගොවි ජනතාවෙට වෙනත් ආදායම් මාර්ග නැති බවත් අපි පෙන්නලා දුන්නා.

"අපේ ඉල්ලීම ගැන මේ මහත්තුරු හොඳින් අවධානය යොමු කළා. අපි සංවිධාන සේරම එකතු වෙලා මේ ගැන කතා කළා. කන්නයක් දෙකක් වගා නොකර හිටියත් අපේ වැව රැකෙන එක ගැනයි අපිට අවශ්‍යතාව මතු වෙලා තිබුණේ. ඒ වගේම කන්න දෙකක් අපි ජීවත් වෙන්නේ කොහොමද කියන ගැටලුවත් අපිට මතු වුණා. පස්සේ දවසට පැය 4ක් වැඩ කරන්න කියලා අපට ඉල්ලීමක් ලැබුණා. ඒ පැය 4 වැඩේට ගොවි මහත්තුරුන්ට රුපියල් 600ක් දවසකට ලැබුණා. ඒකෙ අපේ ජීවත් විමට ලොකු උපකාරයක් වුණා. ඒ මහත්තුරු වැවත් රැකගෙන අපිවත් රැක ගන්නයි ඒ සේරම කරේ. කොහොමහරි වැවේ වැඩ ඉවර වුණා. නමුත් වැස්ස ආවේ නෑ. දැන් ඒ මහත්තුරුත් අපිත් දෙගොල්ලම බලා ඉන්නේ වැස්ස වහිනතුරුයි."

මහකනදරාව වම් ඉවුර රණමයුර ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික සුබසිංහ රත්නායක මහතා පවසන්නේද වැස්ස නොලැබීම නිසා ගොවි ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි.

"අපි ලොකු කැපවීමක් කරා මහ කන්නය වගා නොකර වැව හදන්න ඉඩ ලබා දීමෙන්. කොන්ත්‍රාත් බාර ගත් සමාගමේ මහත්තයත් පෞද්ගලිකවම අපේ මේ දේවල් ගැන හොයලා බලලා ඉක්මනට වැඩේ ඉවර කරන්න කටයුතු කරා. එ මහත්තයටත් අවශ්‍ය වුණේ අපිට යල කන්නයට කොහොම හරි වැව හදල දෙන්නයි. ඒ මහත්තයටත් සමාගමේ සියලු අයටත් පින් දෙන්න ඕන වැඩේ දවල් රෑ නොබලා හරියටම කළා. කොයිතරම් උනන්දුවෙන් කළාද කියනවා නම් කන්න දෙකක් වගා කරන්න බැරි බව කිව්වත් අපිට එක කන්නයයි අහිමි වුණේ. ඒත් මේ කන්නයත් දැන් වගා කරන්න බෑ වැස්ස නැති නිසා. දැන් ඉදිරිය හරිම අවිනිශ්චිතයි. මේ පැත්තේ සේරම ගොවි ජනතාව. දරුවො පාසල් යවන්න ඕන. අපට දැන් කන්න බොන්න පවා නැති වෙන තරමට අසරණ වෙනවා. අපට මේ ගැටලුවට සහනාධාරයක් ලබා දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා."

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව්-අමුණු සංඛ්‍යාව 334කි. එයින් 102ක්ම ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේය. රජරට මේ වාරි ක්‍රම සංරක්ෂණයට දැන් ලෝක බැංකුවේ දායකත්වය හිමි වෙමින් පවතී. ඒවා රැකගැන්මට කටයුතු කරන්නා සේම ජනතාවගේ දිවි පෙවෙත ආරක්ෂා කිරීමට ලෝක බැංකුව මඟින්ම ජන සහන සේවයක් හඳුන්වා දී තිබීම පැසසුම් කටයුතුය. ඒ අනුව ව්‍යාපෘතියට මිලියන 92ක් ලබා දී ඇති අතර ජන සහන සඳහා මිලියන 82ක් ලබා දී ඇත. එයින් මිලියන 71.27ක් මේ වන විට ජනතාවගේ සහන උදෙසා ලබා දී ඇත.

මෙය ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ සෙසු ව්‍යාපෘතීන්ට ලබා දී ඇති ආදර්ශයකි. ජනතාවගේ ගැටලු ගැන පළමුවෙන් සිතා-බලා දෙවනුව සංවර්ධනය ගැන සොයා බැලීම මේ ව්‍යාපෘතියේදී සිදු විය. එය සංවර්ධනය කඩිනම් කළ ක්‍රමවේදයකි. ජනතාවද සුරකිමින් සංවර්ධනයද කාර්යක්ෂමව සිදු කරන ලද්දකි. මාස 18කින් නිම කිරීමට තිබූ සංවර්ධන ව්‍යාපෘතියක් මාස 9කදී නිම කිරීමට හැකියාව ලැබුණේ ඒ සංවර්ධනය ජනතාව දැනුවත් වූ සංවර්ධනයක් වූ නිසාය.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්