ඉඩෝරය දිගටම

 
 

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක'

 
 

අලුත් ව්‍යවස්ථාව සා අඟින් පනා කැපීමක්ද?

 
 

ලස්සන වී වැස්ස පතන මහකනදරා වැව

 
 

ලෙඩත් නෑ බයත් නෑ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං මුලින් ම රැවටුණේ නිළියන්ට

 
 

නියඟයට හා ආහාර හිඟයට සැනසිලිදායී විසඳුමක්

 
 

තකතීරු

 
 

පුංචි පැළේ ගසවෙනා

 

.


'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක'

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක'

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක යි.' එමෙන් ම 'ඉඳි හැදෙන්නේ ශුෂ්ක කලාපයක කටු සහිත ගසක යි.' චීන කවියක එන මේ අරුත චීන ජනාධිපති ෂී ජින් පිංග් මහතා ගෙනහැර දක්වන්නේ, පසුගිය දා ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර පැවති 2017 ලෝක ආර්ථික සමුළුව අමතමිනි. 'එය හොඳ ම කාලය මෙන් ම නරක ම කාලය යි' යනුවෙන් කාර්මික විප්ලවය ගැන ඉංග්‍රීසි ලේඛක චාල්ස් ඩිකන්ස් ලියූ ආකාරය ද චීන ජනාධිපතිවරයා සිය කථාවේ දී සිහිපත් කළේ ය. ඔහු එසේ සඳහන් කළේ අප ජීවත් වන්නේ නිරන්තර ව ගැටීම් සහිත ලෝකයක බව අවධාරණය කරන්නට යි.

අද මෙන් ම එදාත් මේ ගැටුම් සහිත ලෝකය පැවති බවත්, ලොව රටවල් මුහුණ දෙන ආර්ථික අර්බුද ජය ගැනීම පිණිස සියලු දෙනා එකට අත්වැල් බැඳගෙන අභියෝගවලට මුහුණ දිය යුතු බවත් එහි දී සඳහන් කළ චීන ජනාධිපතිවරයා, ප්‍රශ්න ජය ගන්නට නම් දැනට සිටින තැනින් වෙනස් විය යුතු බවත් වැරදි අඩු-පාඩු හදා ගෙන ගෝලීයකරණ මාවතේ ඉදිරියට ගමන් කළ යුතු බවත් පැවසුවේ ය.

චීන ජනාධිපතිවරයා ලෝක ආර්ථික සමුළුවේ දී කළ මේ අදහස් දැක්වීම ශ්‍රී ලංකාවට ද වැදගත් වේ. ශ්‍රී ලංකාව ආර්ථික ව ශක්තිමත් වීම පිණිස අලුත් වැඩ අරඹන හා ගිවිසුම්වලට එළඹෙන මෙසමයෙහි වැඩියෙන් ම කතා-බහට ලක් වන තේමාවක් වේ නම් ඒ චීනය හා චීන ආයෝජන ගැන වීම නිසා ය. චීනය සිය ආයෝජන සඳහා ඒ විධියට ශ්‍රී ලංකාවට පැමිණෙන විට, චීනයට පැමිණ ආයෝජනය කරන්නැ යි චීන ජනාධිපතිවරයා ලෝක ධනවතුන්ගෙන් ඉල්ලීමක් කරයි. භෞතික ව ලොව කොතරම් දියුණු වුව ද කලාපීය ගැටුම්, ත්‍රස්තවාදය, අනාථයන් පිළිබඳ ප්‍රශ්නය, රැකි-රක්ෂා හිඟය හා ආදායම් විෂමතාව නිමක් නැති බව තම කථාවේ දී සඳහන් කරන්නට ද චීන ජනාධිපතිවරයා අමතක නො කළේ ය.

මේ ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, 2030 වසර වන විට ශ්‍රී ලංකාව ඉහළ ම ආර්ථිකයක් සහිත රටක් බවට පත් වන බව යි. එ් ඉලක්කය ඇති ව ඉදිරියට යන ගමනේ දී ලොව විශාලතම වෙළෙඳපොළ හතර සඳහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන විවෘත කෙරෙන බවත්, ඒ ගැන කල්පනා කරන ආයෝජකයන්ට ශ්‍රී ලංකාව දොරටු විවර කරන බවත් ඔහු එහි දී සඳහන් කළේ ය.

චීන ජනාධීපතිවරයාගේ කථාවෙන් පැහැදිලි වන්නේ ලොව විශාලතම වෙළඳපොළක් වන 'සමාජවාදි චීනය' ගෝලීය ආර්ථිකය පිළිගෙන ඇති බව යි. ඒ වෙනුවෙන් ඉදිරියටත් චීනය වෙනස් වන්නට සූදානම් බව මෙන් ම ලොව සෙසු රටවල් ද ඊට සමගාමි විය යුතු බව දන්වයි. ගෝලීය ආර්ථිකය මතින් ප්‍රශ්න-ගැටලු පැනනැඟුණු බව චීනය පිළිගනී. ඒවා නිරාකරණය කර ගෙන ඉදිරියට යනවා විනා, ගෝලීය ආර්ථිකයට පිටින් වෙනත් ක්‍රමයකට යන්නට චීනය සූදානම් නැත.

අද ලෝක බලවතකු සේ පෙනී සිටින චීනය දරන මේ ස්ථාවරය තම ඉදිරි දිශානතිය ලකුණු කර ගන්නට ශ්‍රී ලංකාවට ද හොඳ සංඥාවකි. එනම්: අපට ලෝකයෙන් හුදෙකලා ව ඉදිරි ගමනක් නැති බව මෙවර ලෝක ආර්ථික සමුළුවේ විශේෂ අවධානයට ලක් වූ චීන ජනාධිපතිවරයාගේ මේ කථ‍ාවෙන් පවා පැහැදිලි වේ. මේ ලෝක ප්‍රවණතාව දෙස බැලුවත්, දේශීය වශයෙන් දැවන්ත ආයෝජන අප සතු ව නැති නිසාත්, විදේශ ආයෝජන සඳහා මෙරට දොරටු විවර කරන්නට ම සිදු වේ. සීමාව විය යුත්තේ ශ්‍රී ලංකාවේ අනන්‍යතාව හා ආරක්ෂාව පිළිබඳ ව යි. ලෝකයට විවෘත වන අතර ම ස්වාධින රටක් ලෙස නැඟී සිටිය යුතු අභියෝගය ද ඉතිරි යි.

භෞතික සම්පත් අතින් මෙන් ම තාක්ෂණික දියුණුව අතින් ද විශාල ඉදිරියක් ලෝකය පෙන්වන නමුත් නිරන්තර ව වැඩෙන ගෝලීය ගැටලු කිහිපයක් ගැනත් තම කථාවේ දී චීන ජනාධිපතිවරයා අවධාරණය කරන බව සිහි තබා ගත යුතු යි. එයින් එකක් වන්නේ කලාපීය අර්බුද යි. කලාපීය දේශපාලන බලය කා සතු ද යන කාරණය මත හෝ බලය තහවුරු කර ගැනීම මත හෝ මේ අර්බුද පැනනඟියි. ලෝක සිතියමේ පිහිටීම අනුව ද ශ්‍රී ලංකාව මේ ගැටලුව නිරන්තර අවධානයට ගත යුතු යි. අනෙක් ගෝලීය අර්බුදයක් වන ත්‍රස්තවාදය ද මීට ම ඈඳී තිබීම ගැන ශ්‍රී ලංකාවට දැන් ඕනෑවටත් වඩා අත්දැකීම් ඇත.

ශ්‍රී ලංකාව ආර්ථික ව විශාල පසුබෑමකට ලක් කළ වසර 30ක ත්‍රස්තවාදය රට අභ්‍යන්තරයේ ම ගැටලුවක් නොවූ බව ලෝකය ම දන්නා කතාවකි. ලෝක දේශපාලනය හෝ කලාපීය දේශපාලනය හෝ ඇති කරන ප්‍රවණතා එබඳු වුව ද, රටේ ආදායම් විෂමතාව නැති කිරීමට මෙන් ම රැකි-රක්ෂා හිඟය අවම කිරීමට ද නිෂ්පාදන ආර්ථිකයකට දොරටු විවර කරන්නට සිදු වී ඇත.

ගෝලීය ආර්ථිකයට අනුගත වීමත්, රටේ අනන්‍යතාව හා ආරක්ෂාව සහතික කිරීමත් යන දෙඅංශය ම ගැන කලපනා කරන විට මේ කාලය ශ්‍රී ලංකාවට ද හොඳ ම මෙන් ම නරක ම කාලය ද විය හැකි යි. එහෙත් ඉදිරියට යා යුතු යි.

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක' යනු ඉදිරි ගමනට, අනාගතයට ඉතා වැදගත් ඉතිහාස පාඩමකි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්