ඉඩෝරය දිගටම

 
 

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක'

 
 

අලුත් ව්‍යවස්ථාව සා අඟින් පනා කැපීමක්ද?

 
 

ලස්සන වී වැස්ස පතන මහකනදරා වැව

 
 

ලෙඩත් නෑ බයත් නෑ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං මුලින් ම රැවටුණේ නිළියන්ට

 
 

නියඟයට හා ආහාර හිඟයට සැනසිලිදායී විසඳුමක්

 
 

තකතීරු

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»

අලුත් ව්‍යවස්ථාව සා අඟින් පනා කැපීමක්ද?

අලුත් ව්‍යවස්ථාව සා අඟින් පනා කැපීමක්ද?

එදා පොදු අපේක්ෂකයා ලෙස මේ රටේ ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතා එම ධුරයට තෝරාගත්තේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ පොරාන්දුව ඉටු කිරීමට බව පිරිසක් කියති. එදා ඒ ස්ථාවරයේ සිටි අතුරලියේ රතන හිමි මෙන්ම තවත් කීප දෙනෙක්ද විධායක ජනාධිපති ක්‍රමය වෙනස් නොකළ යුතු බව කියති.

මෛත්‍රී - රනිල් සම්මුති ආණ්ඩුව විසින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ආරම්භ කරන ලද අභිනව දේශපාලන ගමන පිළිබඳ යුරෝපා කොමිසම සෑහීමකට පත්ව සිටින බව ඔවුන් විසින් කරන ලද නිවේදනයකින් ප්‍රකාශ කර තිබිණි. මානව හිමිකම් ගරු කරමින්ද යහපාලනය ස්ථාපිත කිරීම සඳහා පියවර ගනිමින්ද යන දේශපාලන ගමනට දිරිදීමක් ලෙස ශ්‍රී ලංකාවට යුරෝපා වෙළෙඳපොළ වෙත පිවිසීමේ අවකාශය පුළුල් කිරීමට කොමිසම යෝජනා කර ඇති බවද එම නිවේදනයේ සඳහන් විය. මේ අනුව ශ්‍රී ලංකාව විසින් කරනු ලබන නිෂ්පාදනවලට මෙතෙක් අහිමිව තිබුණු තීරුබදු සහනය යළි හිමි වනු ඇත. ජීඑස්පී+ ලෙස හැඳින්වෙන මේ සහනය හිමි වූයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවලට පමණි.

මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද ගත වූ දෙවසර මුළුල්ලේ වැඩි වශයෙන් අවධානය යොමු කළ කරුණක් වූයේ ලෝකය දිනාගැනීමටය. ශ්‍රී ලංකාව යනු දේශපාලන වනාන්තරයක් ලෙසත් මානව හිමිකම් හෝ අධිකරණ ස්වාධීනත්වයක් නොමැති රටක් ලෙසත් එදා අවමානයට ලක්ව තිබිණි. එල්ටීටීඊ ත්‍රස්තවාදය තුරන් කිරීමත් විශේෂයෙන් එහි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කිරීමත් අන්තර්ජාතිකව පැතිර සිටි කොටි හිතවාදීන්ගේ වෛරයටද අපේක්ෂාභංගත්වයටද හේතු වූ බව රහසක් නොවේ. ඒ නිසා ඒ රටවල ඊළාම්වාදීන් මේ රටට එරෙහිව ගතු කේළාම් කී බවද සැබෑය. එහෙත් ඒ මතවාද බොරු කිරීමට ආණ්ඩුවක් ලෙස කළේ කුමක් ද?

ඇමෙරිකාව ඉරාකයේ සදාම් හුසේන්ට බොරු චෝදනා එල්ල කර නඩු අසා මරාදැමීම පිළිකුල්සහගත ක්‍රියාවක් බව ඇත්තය; ලක්ෂ ගණන් ජනයා බෝම්බ දමා විනාශ කළ බවත් ඇත්තය. එහෙව් ඇමෙරිකාවට අපේ මානව හිමිකම් හා යුද අපරාධ ගැන සෙවීමට සදාචාර අයිතියක් නැති බවද ඇත්තය. එහෙත් එසේ වූ පමණින්ම අපට මේ රටේ යුද මෙහෙයුම්වලදී හෝ මානව හිමිකම් සුරැකීමේදී හෝ හිතුවක්කාර ලෙස ක්‍රියා කළ හැකිද? එසේ නම් අවම වශයෙන් අපට ලෝකය අබියස අපගේ සද්භාවය තහවුරු කළ යුතුය. අපව විවේචනය කරන විවේචකයන්ට අප පිළිතුරු දිය යුත්තේ ක්‍රියාවෙන් හා භාවිතයෙන්ය. එවිට ලෝකයේ බහුතරයද අප සමඟ සිටිනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරු යුගයක් තිබුණු බව අප පිළිගත යුතුය. මාධ්‍යවේදීන්ට වූ හිරිහැර, අධිකරණයට බලපෑම්, තමන්ට අවනත නොවන අයට හිරිහැර කිරීම් ආදිය පිළිබඳ දැක්විය හැකි නිදසුන් බොහෝය. ඒවා යළි යළි කිව යුතු නැත. දේශපාලන බල අධිකාරියකට යටත් වූ ජනතාවක් ලෙස ගෙවූ ඒ යුගය දැන් වෙනස් වී තිබෙන බව ජාත්‍යන්තරයටද පෙනී යන්නකි.

යුරෝපා සංගමය අපට සහන දෙන්නේ ඒ වෙනස ඔවුන්ට පෙනී ගිය නිසාය. එහෙත් ජීඑස්පී සහනය ලබාගැනීම සඳහා ඉදිරිපත් කෙරෙන අසාධාරණ, පදනමක් නැති කිසිදු කොන්දේසියකට මේ ආණ්ඩුව එකඟ නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කර සිටියි. මේ ආණ්ඩුව තුළ පොදු න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වුවත් ඒ සමඟ යම් යම් වෙනත් අභිලාෂයන් මුදුන් පමුණුවාගැනීම සඳහා මුට්ටි දමන ස්වල්ප දෙනෙක්ද සිටිති. දේශපාලනය යනු විවිධ මතවාද, විවිධ අරමුණු සමග යන අසීරු ගමනකි. එහෙත් ඒ ගමනේදී සියල්ල විමසා බැලෙන, කිරා බැලෙන ප්‍රබල පෙරහන්කඩය වන්නේ ජනාධිපති, අගමැති ඇතුළු ඇමැතිවරුන් සිටින කැබිනට් මණ්ඩලයයි.

ජීඑස්පී+ සහනය ලබා දීමට අදාළ යුරෝපා කොමිසමේ කරුණු අධ්‍යයනය කර වාර්තාවක් සපයන ලෙස ජනාධිපතිවරයා විසින්ම කමිටුවක් පත් කරනු ලැබ තිබෙන බවද සඳහන් කළ යුතුය. අපට ඉටු කළ හැකි හා නොහැකි දේවල් තෝරා-බේරාගෙන ඒ බව යුරෝපා කොමිසමට දැනුම් දීම ආණ්ඩුවේ පිළිවෙත වී තිබේ. එය වැරදිදැයි නුසුදුසුදැයි අපි මේ ඝෝෂා කරන මහත්වරුන්ගෙන් අසමු.අද ආණ්ඩුව විවේචන කරන බොහෝ දෙනකු‍ට එදා තමන් ක්‍රියා කළ ආකාරය මෙන්ම තම හෘදයසාක්ෂිය නිහඬ කර කැබිනට් මණ්ඩලය තුළ අත් එසවූ ආකාරයද අමතක වී තිබීම කනගාටුදාකය.

අද දේශපාලනය තුළ කාටත් පැහැදිලිව පෙනෙන කරුණක්ද තිබේ. ඒ යම් කිසි අදහසක්, මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් වූ විගස එය අල්ලාගෙන රට දෙවනත් කිරීමය. මේ දිනවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුව පසුබසින බවට සමහරු ඝෝෂා කරති. විශේෂයෙන් ශ්‍රීලනිපය තුළ විධායක ජනාධිපති ක්‍රමය අත් නොහළ යුතු බව අදහස් කරන පිරිසක්ද සිටිති. එමතු නොව ශ්‍රීලනිපයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බව ප්‍රසිද්ධියේ කියන පිරිසක්ද සිටිති. එය එම පක්ෂයේ ස්ථාවරය වී තිබේ නම් අනෙක් අයට කළ හැක්කේ කුමක් ද? එසේම තවම ජනාධිපතිවරයා මේ පිළිබඳ අදහසක්ද පළ කර නැත. ජනාධිපතිවරයාගේ ආස්ථානය වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතු බවයි.

එදා පොදු අපේක්ෂකයා ලෙස මේ රටේ ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතා එම ධුරයට තෝරාගත්තේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ පොරාන්දුව ඉටු කිරීමට බව පිරිසක් කියති. එහෙත් එදා ඒ ස්ථාවරයේ සිටි අතුරලියේ රතන හිමි මෙන්ම තවත් කීප දෙනෙක්ද විධායක ජනාධිපති ක්‍රමය වෙනස් නොකළ යුතු බව කියති. පසුගිය දිනක පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දුන් එදා පොදු අ‍පේක්ෂකයාගේ ජයග්‍රහණය උදෙසා පෙනී සිටි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා කියා තිබුණේද දැන් තත්ත්වය අනුව විධායක ක්‍රමය අහෝසි නොකළ යුතුයැයි තමන්ද කල්පනා කරන බවයි.

මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ආණ්ඩුව තුළම විවිධ අදහස් තිබෙන බව පැහැදිලිය. එසේම විපක්ෂය ඇතුළු ආණ්ඩුවේ බොහෝ විවේචකයෝද අලුත් ව්‍යවස්ථාව ගැන සැක පහළ කරති. අතුරලියේ රතන හිමියෝද ඒ ගැන සිය අප්‍රසාදය පළ කළා පමණක් නොව, එහි කුමන්ත්‍රණයක් තිබෙන බවට චෝදනාවක්ද කර තිබිණි.

ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථාව යනු සමස්ත ජනතාවගේ හෝ බහුතරයක අව්‍යශතාවක්ද නොවේ. මේ රටේ සම්මත වූ හැම ව්‍යවස්ථාවක‍දීම පොදු ජන මතයක් විමසුවේද නැත.

පවතින ව්‍යවස්ථාවක් වෙනස් කිරීමේදී රටේ ආයතන පද්ධතිය බිඳ නොවැටෙන පරිදි මෙන්ම, ආරක්ෂා විරහිත භාවය හා අස්ථාවරත්වය යන කරුණුද සැලකිල්ලට ගත යුතු බව ඒ පිළිබඳ ප්‍රාමණිකයන්ගේ අදහසය. ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීම මෙන්ම සංවර්ධනය හා නිදහස මානව හිමිකම් සුරැකීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම ආරක්ෂා වීමද ව්‍යවස්ථාවකින් අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ බහුතරයකට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස පිළිබඳ අත්දැකීම් තිබේ. එහෙත් ආණ්ඩු වෙනස් කිරීම යන කරුණේදී මේ රටේ ජනතාව බුද්ධිමත්ව ක්‍රියා කර ඇත්තේ ඉතා අඩුවෙනි. දැන් පවතින ක්‍රමය යටතේ මහජන මන්ත්‍රීවරයකු විය හැක්කේ අධික ධනයක් හිමි අයකුට පමණි. දේශපාලන වශයෙන් තබා ‍සදාචාරාත්මක වශයෙන්ද කිසිදු වටිනාකමක් නැති පුස්සන්ටද ජනතා බලය උදුරාගත හැකි ක්‍රමවේදයක් සකසා දුන්නේ '78 ව්‍යවස්ථාවෙන් බව කවුරුත් දනිති.

බොහෝ නායකයන්ට ඇත්තේ බලය රස විඳීමේ තෘෂ්ණාව පමණි. ජනතා වරමින් සුවඳ බොජුන් සැප සයනා ලබාගෙන චුත වී යෑම හැර රට වෙනුවෙන් සේවය කිරීමට ඔවුන්ට අවශ්‍යද නැත. සත්තකින්ම මේ ක්‍රමය මෙන්ම එයට අනුබල දී තිබෙන ව්‍යවස්ථාවද වෙනස් විය යුතුය. එහෙත් ආණ්ඩුවට ඒ සඳහා සාධනීය පියවරකට යා හැකි ද? ප්‍රධාන පක්ෂ දෙක එක්ව සිටින මේ මොහොතේදී අනෙක් සුළු පක්ෂද සමග සුහදව මේ අවුල ලිහාගත යුතුය. දැනට ජනතාව තුළ වුවද කිඳා බැස ඇති අදහස නම් ව්‍යවස්ථා සංශෝධනයක මුවාවෙන් රටට විනාශයක් කිරීමට යන බවය. ජනාධිපතිවරයා හා අගමැතිවරයා අලුත් ව්‍යවස්ථාව පිළිබඳ ජනතාවට දී තිබෙන රක්ෂණ සහතිකය දෙස ඔවුන් සැකමුසුව බලන බවද ඉතා පැහැදිලිය. අලුත් ව්‍යවස්ථාවක් සඳහා කිසිදු කෙටුම්පතක් නැතිව වුවද අද ඒ පිළිබඳ මහා විවාදයක් ඇරඹී තිබේ. එය හරියටම සා අඟින් පනා කැපීමක් වැන්න. අද සිදු වන්නේ එබඳු දෙයකි. ශ්‍රීලනිපය, එජාපය මෙන්ම විපක්ෂය ඇතුළු මේ රටේ හැම පක්ෂයක්ම එකම මේසයකට වී සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක් ලෙස මේ ව්‍යවස්ථා සම්පාදනය පත් විය යුතුය. නිෂේධනය කළ යුතු අංග හලා, සාධනීය අංග ඇතුළත් කළ යුතුය. ඇත්ත වශයෙන්ම ජනතාවටද මේ ප්‍රශ්නය ගැන පහදා දිය යුතුය.

මේ ආණ්ඩුව පත් කළ කමිටුවල යෝජනා ගැන බොහෝ විවේචන තිබේ. අතුරලියේ රතන හිමි වැනි මේ ආණ්ඩුවේ ප්‍රධාන බලවේගයකින්ද ඒ විවේචනය සිදුවේ නම් තත්වය බරපතළ නොවේ ද? ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පෙනී සිටින අය පිළිබඳවද රට පුරා විවේචන තිබීම මේ ප්‍රශ්නය වඩාත් සංකීර්ණ කර තිබේ. බලය බෙදීම ගැන නොයෙක් කථා ඇසෙයි. එහෙත් ඒ ගැන එකඟතාවක් ඇති වී නැත.

ඒකාබද්ධ විපක්ෂය අද ආණ්ඩුවේ ප්‍රබලම ප්‍රහාරකයා වී තිබේ. ඒ තත්වය වර්ධනය වූයේ ද ආණ්ඩුවේ තෙපරබෑම් හා පසුබෑම් නිසාය. ශ්‍රීලනිපයේ හා එජාපයේ මැති-ඇමැතිවරු ඇනුම්පද කියාගනිමින්ද, එකිනෙකා විවේචනය කරමින්ද නොයෙක් විසූකදස්සන ඉදිරි‍පත් කරති. හොරු ඇල්ලීම, දූෂිතයන් අනාවරණය කිරීමද දැන් ආණ්ඩුවට වඩා වේගයෙන් ඒකාබද්ධය කරන බවක් පෙනේ. ඔවුන්ගේ ටොප් ටෙන් මේ වන විට ටොප් ටුවෙන්ටිත් ඉක්මවා ඇතැයිද කියනු ඇසෙයි. රූපවාහිනි නාලිකා ඔස්සේ කෙරෙන සමහර විවේචන අසන දකින සමහරු තිගැස්සෙති. රෑ නිඳාගන්නේද උදේට මොකක් හෝ දෙයක් සිදුවනු ඇතැයි යන සැක මුසු අවිනිශ්චිත හැඟීමක්ද සමඟය. මෛත්‍රී ජනාධිපති හා රනිල් අගමැති යන දෙදෙනාම රට වෙනුවෙන්, හෙට වෙනුවෙන් කතා කරති. ඒකාබද්ධය මහින්දගේ නායකත්වයෙන් හදන ආණ්ඩුව ගැන කතා කරති. ආණ්ඩුවේ ගල් එකින් එක ගැලවෙන බව කියමින් උදම් අනති. 2020 ජනාධිපතිවරණයට දැන් තියාම අමුඩ ගසන පිරිසක්ද සිටිති. මහින්දගේ හෙංචයියලා ආණ්ඩුව මෙහෙයවන බව කියන අයද සිටිති.

තතු මෙසේ හෙයින් ආණ්ඩුවට ස්ථිරසාර ප්‍රතිපත්ති හා එඩිතර ක්‍රියාමාර්ග අවශ්‍යය. යමක් කළ යුත්තේ හොඳින් විමසා බලා වැ‍ඩි දෙනකුට එකඟ විය හැකි ආකාරයෙනි. සංහිදියාව යනු රට එක් කළ හැකි හොඳම හා නිවැරදි ඔසුව බව ආණ්ඩුව ඉතා නිවැරදිව තේරුම් ගෙන තිබේ. එහෙත් ආණ්ඩුව එක පෙළට සිට එක කණ්ඩායමක් ලෙස ඒ අරමුණ සවිබල ගැන්වීමට අසමත්ව සිටියි. ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ගබඩාවේ තිබෙන්නේ ෆෙඩරල් විරෝධය, රණවිරු දඩයම, බුද්ධාගමට හිමි තැන අහිමි කිරීම, නිදහස් කරගත් රට බෙදීම වැනි පැරණි අවි පමණි. එයට අලුතින් එකතු වී ඇත්තේ බැඳුම්කර ගිවිසුම, ගල් අඟුරු ටෙන්ඩරය හා රට චීන කොලනියක් කිරීම වැනි කීපයක් පමණි. එහෙත් ඒ සියල්ල නිෂ්ක්‍රීය කර ජනතා විශ්වාසය සමග ඉදිරියට යෑමට තවමත් ආණ්ඩුවට බාධාවක් නැත. එහෙත් එය අභියෝගයකි.

“යහපාලන සංකල්පයෙන් බැහැර වී තිබුණු සමාජයක, යහපාලන සංකල්පය ක්‍රියාත්මක කිරීම පහසු කාර්යයක් නොවේ. එය අභියෝගාත්මකය. ඊට විකල්ප ක්‍රියාදාමයන් තුළ ඊ‍‍ට විකල්ප වූ දේශපාලන ක්‍රම තුළ ඊ‍‍ට විකල්ප වූ දේශපාලන මතවාදයන් තුළ විකල්ප වූ දේශපාලන භාවිතයන් තුළ කටයුතු කරන සමාජයක මෙවැනි දර්ශනයක් මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පහසු කාර්යයක් නොවෙයි.”

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නොබෝදා කරන ලද ඒ ප්‍රකාශය මොනතරම් යථාර්ථවාදී දැ යි අමුතුවෙන් විග්‍රහ කළ යුතු නැත. ආණ්ඩුවේ හැම ඇමැතිවරයකුගේම, හැම ක්‍රියාකාරිකයකුගේම නිවෙසේ, කාර්යාලයේ පෙනෙන තැනක රාමු කර මේ ප්‍රකාශය තබා ගත යුතු යැ යි ද අපි යෝජනා කරමු.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්