කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
රට බෙදන බලවේග අද පරාජිතයි ජාතික ප්‍රශ්නයට නව සංවාදයක් ඕනෑ

රට බෙදන බලවේග අද පරාජිතයි ජාතික ප්‍රශ්නයට නව සංවාදයක් ඕනෑ

ජාතීන් බිහි වූයේ ඉතිහාසමය වශයෙන් මුහුකුරා ගිය වාස්තවික සහ මනෝමූල සාධක සපිරීමෙනි. යටත් විජිත ජනතාවන් අතර ජාතීන් බිහි වීමෙහි ක්‍රියාදාමය සම්භාව්‍ය යුරෝපීය ආකෘතියට වඩා වෙනස් විය. එය ජාතික විමුක්ති අරගලය සමඟ බද්ධ වූවකි. එබැවින් 17 වැනි හෝ 18 වැනි සියවසෙහි න්‍යාය 20 වැනි සියවසෙහි හෝ 21 වැනි සියවසෙහි යථාර්ථයට ගළපන්නට යාම අසාර්ථක වන බව අමුතුවෙන් කිව යුතු නැත.

බලය බෙදා හැරීම පිළිබඳ සංවාදයෙහි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හැම විටම වාගේ මංසන්ධියක් සලකුණු කළා ය. බලය බෙදීම ප්‍රතික්ෂේප කරන්නවුන් හැරුණ විට සාකච්ඡා වූයේ 13න් එහා ද මෙහා ද යනුවෙනි. පක්ෂපාතී වූවෝ කිසිදු විමැසීමකින් තොරව එය අවමයක් ලෙස සැලැකූහ. යා යුත්තේ ඉන් පෙරට බව ගම්‍ය විය.

කෙසේ වෙතත් නොබෝ දිනක කොළඹ වැල්ලවත්ත දෙමළ සංගම් ශාලාවෙහි ජාතික සහෝදරත්ව සාමූහිකය විසින් සංවිධානය කරන ලද සංවාදයක දී සැලැකිල්ල යොමු විය යුතු නව අදහසක් ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් විය. ජාතික සහෝදරත්ව සාමූහිකය සිංහල දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්හි ක්‍රියාධරයන් පිරිසක් එක්ව පිහිටුවා ගන්නා ලද අතර වැල්ලවත්ත සංවාදයෙහි දී බහුතර ප්‍රේක්ෂකයන් වුයේ දෙමළ ජාතිකයෝ ය. එබැවින් එහි සාකව්ඡාව එක්තරා ආකාරයකින් ජාතික මට්ටමෙහි සංවාදයක කුඩා අනුරුවක් බඳූ විය.

එහි දී ප්‍රශ්නයක් නඟමින් උතුරෙන් ආ නියෝජිතයකු ඇසුවේ බලය බෙදීමෙහි ප්‍රමිතිය 13 වැනි සංශෝධනය ද යන්නය. පළාත් සභාවන්හි ඌනතාවන්ට නිදසුනක් වශයෙන් ඔහු කී එක් කරුණක් වූයේ ඉඩම් අයිතිය මහ ආණ්ඩුව සතුව පවතින බැවින් මහ ආණ්ඩුවෙන් ඉඩම් නොලැබෙන්නේ නම් පොදු පහසුකමක් ඉදිකිරීම වැනි සංවර්ධන කටයුත්තක් පවා කළ නොහැකි බවයි. එහෙයින් 13 පිළිබඳ යළි විමැසීමක් කළ යුතු බව පැහැදිලිය. ඉන්පසු සිදු වූ සංවාදයෙහි දී පැහැදිලි වූයේ පළාත් සභා යනු මහේශාක්‍ය පළාත් පාලන ආයතන ක්‍රමයක් වන අතර එයින් දේශපාලන පක්ෂ නායකයන්ට සිය දෙවැනි පෙළ නායකයන් තනාගැනීමට සහ ඔවුන් සමග කොල්ලය බෙදාගැනීමට පොටක් පෑදී ඇති බවය.

දකුණෙහි දේශපාලන තත්ත්වය පිළිබඳ සිය කියැවීමට අනුව වාර්ගික ආගමික මූලධර්මවාදීන් ඉස්මතු වී ඇති හෙයින් සහ බහුතරයක් ජාතිවාදයෙන් මුළාවට පත්ව ඇති හෙයින් මේ මොහොතෙහි ජාතික ප්‍රශ්නය විසඳීමට වාතාවරණයක් ඇත්දැයි ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි සැක පළ කෙළේය. එයට ප්‍රතිචාර දක්වමින් දෙමළ සංගම් නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අසා සිටියේ ජාතික ප්‍රශ්නය විසඳීම වර්තමාන න්‍යාය පත්‍රයෙන් බැහැර කරන්නේ ද යනුවෙනි. කෙසේ වෙතත් ආචාර්ය දේවසිරිගේ මතයට පටහැණි පරිදි රටෙහි පෙර නොවූ විරූ පරිදි ජාතික සමගියට හිතකර වාතාවරණයක් පවත්නා බව සභාවෙන් මතු විය.

උතුරේ සහ දකුණේ අන්තවාදීන් මහා මැතිවරණයෙහි දී පරාජය වූ බව කී ගජේන්ද්‍රකුමාර් කියා සිටියේ මැතිවරණ දෙකක දී ම තමන් දැක්වූ සහයෝගයට උතුරේ ජනතාව ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බව ය. ඔවුහු නව ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බව ද ඔහු කී ය. තව ද අද කිසිදු දේශපාලන බලවේගයක් රට බෙදීම හෝ වෙනම රාජ්‍යයක් අපේක්ෂා නොකරන බව ද ඔහු සහතික ව කියා සිටියේ ය. එහෙත් ලාංකීය දෙමළ ජනයා සන්ධීය රජයක් පතන බව ද ඔහු පැවැසී.

මෙහි අපේ අභිලාෂය ඉහත සංවාදය පූර්ණ ව වාර්තා කිරීම නොව ඇතැම් කරුණූ අවධාරණය පිණිස ඉන් බිඳක් ගෙන හැරැ දැක්වීම පමණකි. අපේ අවධානය යොමු වන කරුණූ කිහිපයෙකි. පළමු වැන්නල එම සංවාදයට සහභාගි වූවන් හා ප්‍රේක්ෂකයන් ගේ ස්වභාවය ය. ඔවුන්ගෙන් බහුතරයක් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් වූ අතර සංවාදයට සිංහලල දෙමළල මුස්ලිම් ජාතිකයන් මුහුණ දෙන ප්‍රශ්න විෂය වී. ඒ අතින් බලන කල එය ජාතික සංවාදයෙහි ම සංක්ෂේපයක් බඳූ වී.

දෙවැන්න එයින් පිළිබිඹු වුයේ නැඟෙමින් එන ජනතා ව්‍යාපාරයක කළල ස්වරූපයකි. ආණ්ඩුව ජාතිකවාදීන් හමුවෙහි ආරක්ෂක ප්‍රවේශයක් අනුගමනය කරන හෙයින් ආණ්ඩුවෙන් ස්වාධීන මෙන් ම ජාතික සමගියට සහ සංහිඳියාවට හිතකර ජනමතය කුළුගැන්වීමෙහි වැදැගත්කම අවධාරණය කළ යුතු බැවින් එබඳූ ව්‍යාපාරයක් කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා ශක්තිමත් කළ යුතු වෙයි. තුන් වැන්න වන්නේ යල් පිනූ සහ ආධානග්‍රාහී මතවාදවලින් මිදී මහ පොළොවට බැස එහි තතු අනුව අලුතෙන් සිතීමේ වැදැගත්කම යි.

හණමිටි කරපින්නාගෙන දැඩි මත දැරීමෙහි ආදීනව ජාතික ප්‍රශ්නයෙහි දී අපි හොඳින් අත්විඳ ඇත්තෙමු. වසර 1970 ගණන්වල වාම ව්‍යාපාරයෙහි විශේෂයෙන් ම කොමියුනිස්ට් පක්ෂය තුළ දෙමළ ජනතාව පමණක් නොව සිංහල ජනතාව පවා මාක්ස්වාදී අර්ථයෙන් ජාතියක් ද යන වග පිළිබඳ න්‍යායයික විවාද පැවැතියේ ය. වමේ ඇතැමුන් දෙමළ ජනතාව ගේ ස්වයං - නිර්ණ අයිතිය බැහැර කෙළේ එබඳූ ආධානග්‍රාහී මතවල පිහිටා ය. යාපනයෙහි කොමියුනිස්ට් නාකයයෙකු වූ වී පොන්නම්බලම් ගේ නායකත්වයෙන් සෙන් තමිලර් ඉලක්කම් (රතු දෙමළ ව්‍යාපාරය) බිහි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

එතෙකුදු වුව වාම පක්ෂ දෙමළ ජනයා ගේ ජාතික භාෂා සහ ජාතික අයිතිවාසිකම් සඳහා වන අරගලය පිළිබඳ සිය ප්‍රතිපත්තිමය ස්ථාවරය පාවා දුන්නේ න්‍යායයික කාරණාවලට වඩා ධනේශ්වර ආණ්ඩුවලින් ලැබුණු ඇමැති ධුරවලට ගිජු කම නිසා ය. එහි ප්‍රතිඵලය වූයේ විමුක්ති කොටි සහ වෙනත් සටන්කාමී සංවිධානවලට වාමාංශික දෙමළ සහෝදරවරුන් ඇදී යාම සහ බිලි වීම ය.

ජාතීන් බිහි වූයේ ඉතිහාසමය වශයෙන් මුහුකුරා ගිය වාස්තවික සහ මනෝමූල සාධක සපිරීමෙනි. යටත් විජිත ජනතාවන් අතර ජාතීන් බිහි වීමෙහි ක්‍රියාදාමය සම්භාව්‍ය යුරෝපීය ආකෘතියට වඩා වෙනස් විය. එය ජාතික විමුක්ති අරගලය සමඟ බද්ධ වූවකි. එබැවින් 17 වැනි හෝ 18 වැනි සියවසෙහි න්‍යාය 20 වැනි සියවසෙහි හෝ 21 වැනි සියවසෙහි යථාර්ථයට ගළපන්නට යාම අසාර්ථක වන බව අමුතුවෙන් කිව යුතු නැත. සුප්‍රකට ඉතිහාසඥ ඊ ජේ හොබ්ස්බවුම් පවසන පරිදි “ජාතිකවාදය ජාතීන්ට පූර්වගාමී ය. ජාතීන් විසින් රාජ්‍ය සහ ජාතිකවාද හදන්නේ නැත. සිදු වන්නේ එහි අනෙක් පැත්තය.”

ශ්‍රී ලාංකීය දෙමළ ජනතාව ගේ ස්වයං - නිර්ණ අයිතිය පැරැණි න්‍යාය අනුව බැහැර කළ වුන්ට වැරැදුණේ එහෙයිනි. අද ලෝකයෙහි ගෝලීයකරණ ක්‍රියාදාමයක් පවතී. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජාතික වෙනස්කම් අකා මකා දැමීමෙහි උපනතියක් ඇතැ යි ද එහෙයින් ස්වයං නිර්ණ සංකල්පය යල් පැන ගොස් ඇතැයි ද ඇතැම්හු කියති. මෙහි ඇත්තේ අර්ධ සත්‍යයකි. ඇත්ත වන්නේ අද ජාතීන්ගේ බලය හීනව අන්තර්ජාතික සංවිධාන සහ සමායතනයන්හි බලය වැඩි වීමය එය ස්වයං - නිර්ණයට බලපාන බව ද ඇත්තය. අනෙක් අතට ශ්‍රී ලංකාවෙහි පවත්නා වාස්තවික මෙන් ම මනෝමූල සාධක හේතුවෙන් ස්වයං - නිර්ණ අයිතිය ජාතික සමඟිය සඳහා අනිවාර්ය ය. ගෝලීය වශයෙන් ගත්ත ද ගෝලීයකරණය සමඟ නව රාජ්‍ය බිහි වීමෙහි ප්‍රවණතාවක් ද වර්ධනය විය. බටහිර අද තත්ත්වය එලෙසින්ම පෙරදිග හෝ දියුණුූවන ලෝකයෙහි එසේම බලපවත්වන්නේ නැත. අනෙක් අතට ස්වයං - නිර්ණ අයිතිය යනු වෙන් වීම හෝ රාජ්‍ය කැබැලි කිරීම හෝ නොවේ. ඉහත දැක්වූ පරිදි අද වෙන් වීම දේශනා කරන දෙමළ සංවිධාන මෙරට නැත.

හොඳම දෙය නව ව්‍යවස්ථා සම්පාදන අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳූමක් සැපැයීමය. අපරෝක්තය රහිතව පූර්වෝක්තය නිෂ්ඵල වෑයමක් වනු ඇත. මෙහි දී ද පැරැණි අගති පසෙක ලා නැවුම් අදහස් ඔස්සේ විසඳූම් සෙවීම අවශ්‍යය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]