![]() ![]() |
||
ළදරු මනාලිය ලෝක මල්ලවපොර ශූරිය වෙයි
ඇයගේ ජීවන පුවත කෙනෙකුට කිසිසේත් ම අදහගත නොහැකි අපූරු කථාවකි. පාන්දර 3 ට පිබිදෙන ඈ තමන් පදිංචි හර්යානා ප්‍රාන්තයේ භිවානි ගමේ සිට දිනපතා රොක් නගරය කරා එනුයේ බස් රියෙනි. ඒ සඳහා ඇයට පැය එකහමාරක කාලයක් ගතවෙයි. ඇය එතැනින් කෙළින් ම යන්නේ පුහුණු මධ්‍යස්ථානයටයි. උදේ නවය වනතුරු මල්ලව පොර ක්‍රීඩාවට අයත් දැඩි ව්‍යායාම පද්ධතියකට හා පුහුණු මල්ලවපොර කිහිපයකට සහභාගි වන ඇය ඉන්පසු යළි ගමට යන්නීය. එතැන් සිට ගෙදර දොර දහසකුත් එකක් කටයුතුවල නිරත වන ඕ සන්ධ්‍යා යාමයේ නැවත වරක් පුහුණු කටයුතුවල යෙදී ආපසු නිවෙස බලා එන්නේ රාත්‍රී 9 ට පමණ ය. මෙම පුහුණුව සාමාන්‍ය කටයුත්තක් ලෙස පෙනුනත් අප මේ කතා කරන නීතු සර්කාර් එසේ මෙසේ චරිතයක් නොවේ. “මේ කටයුතු සියල්ලම දැඩි වෙහෙස කරයි. ඒත් මගේ තිබෙන්නේ එකම අරමුණක්... එය ඉතාම දැඩි අධිෂ්ඨානයක්. මම මේ දක්වා පැමිණි ගමන ඉතා ම දිගු එසේ ම දුෂ්කර එකක්. ඒ නිසා අතරමඟ නැවැතීමට මගේ කිසිම අදහසක් නෑ” යනුවෙන් ඇය දැඩි අධිෂ්ඨානයෙන් යුතුව පවසයි. ඉන්දියාවේ ළදරු විවාහ නීති විරෝධීය . එනමුත් නීතු විවාහ දිවියට පිවිසෙද්දී ඇයට යන්තම් වයස අවුරුදු 13 ලැබුවා පමණි. ඒ ඇය විවාහ වූයේ මානසික රෝගී තත්ත්වයක සිටි එසේ ම ඇයට වඩා වසර 30 කින් පමණ වැඩි මහලු තැනැත්තෙකු සමඟ ය. එහෙත් ඒ විවාහය පැවැතුණේ සතියක පමණ කාලයකි. ඇයගේ මාමණ්ඩිය වෙතින් එල්ලවූ ලිංගික බලපෑම් නිසා ඇය එම නිවසින් පැන ගියා ය. නීතුගේ දුෂ්කර ගමන ඇරැඹුණේ එතැනෙනි. එක්සත් ජාතීන් ගේ සංගමය 2014 දී නිකුත් කළ වාර්තාවකට අනුව දකුණු ආසියාවේ ළදරු විවාහ වැඩිපුරම වාර්තා වන්නේ ඉන්දියාවෙනි. බොහෝ අවස්ථාවලදී මෙයට හේතුවන්නේ දුප්පත්කම ය. “මට වයස 13 ක් වනවිට අප ජීවත්වූ ගමේ තරුණියන් දෙදෙනෙකු තම පෙම්වතුන් සමඟ දෙමවුපියන්ට හොරෙන් විවාහ වීම නිසා මගේ දෙමවුපියන් තුළ ද බියක් ඇති වුණා. මමත් ඒ අයුරින් කරනු ඇතැයි ඔවුන් සිතුවා විය හැකි ය. ඒ හින්දා මා අඩු වයසින් ම විවාහ කර දුන්නා. ඒ තරුණියන් ගේ වැරැද්දට දඬුවම ලැබුණේ මටයි” යනුවෙන් නීතු පවසනුයේ දැඩි කනස්සල්ලෙනි. ඇගේ සැමියාගේ නෑදෑයින්ගෙන් ඇයට සිදුවූ අනිසි හිරිහැර නිසා නිතූගේ දෙමවුපියෝ ඇයට දෙවැනි විවාහයක් කර දුන්හ. ඇයගේ දෙවැනි සැමියා ඉතා කරුණාවන්ත අයෙකු වූවා සේ ම ඇයට ඉතාම හොඳින් ආදරයෙන් සැලකුවේ ය. ඇයට වයස 14 ක් වීමත් සමඟ ඇය නිවුන් පිරිමි දරුවන්ගේ මවක් වූවා ය. එහෙත් දරුවන්ගේ කටයුතු හා ජීවත්වීම ප්‍රශ්නයක් බවට පත්ව තිබුණේ ඇගේ සැමියා රැකියා විරහිතයකු වූ නිසා ය. “මේ වගේ අවධියක දී තමයි මගේ අවධානය මල්ලවපොර කෙරේ යොමුවුණේ. 2010 ඉන්දියාවේ පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේ මල්ලවපොර තරග ආශාවෙන් බලද්දී මම තීරණය කළා මල්ලවපොර ක්‍රීඩාව මගේ ජීවන මාර්ගය බවට පත් කර ගන්න” යැයි නිතූ පැවසුවාය. දුප්පත්කම නමැති ව්‍යසනයෙන් බේරී යෑෙම් අධිෂ්ඨානය නිසා ම ඇය පුරුෂයින්ට සීමා වී තිබූ මල්ලවපොර පුහුණු මධ්‍යස්ථානයට යෑමට සිතාගත්තා ය. එහෙත් වැඩි දිනක් යෑමට පෙර එතැන ඇයට තහනම් ප්‍රදේශයක් බවට පත් විය. ගම්වැසියෝ ඇයගේ කටයුතු කෙරේ දැඩි විරෝධයක් පෑ අතර එවැන්නකට ඉඩ නොදෙන ලෙස ඇගේ සැමියාට ද බල කළහ. ඇගේ නැන්දණිය ද එයට සම්පූර්ණයෙන් ම විරුද්ධ වූවා ය. අසල්වැසියන්ගෙන් ඇසෙන් බේරීම සඳහා ඇය කළේ උදේ පාන්දර තුනට පිබිදී ශරීර බර අඩු කර ගැනීම සඳහා දිවීම ය. කිසිවකුට නොපෙනෙන පරිදි මහ පාන්දර අවදිවීම අරඹා හිරු නැෙඟන්නට පෙර නිවෙසට පැමිණෙන ඇය සුපුරුදු කටයුතුවල යෙදුණේ කිසි දෙයක් නොවූ පරිද්දෙනි. නිතූගේ සිහිනය මල්පල ගැන්වුණේ සිලි සින් නමැති මල්ලවපොර පුහුණුකරු හමුවීමත් සමඟ ය. “මවු පදවියේ සිටින ටිබෙට් ජාතික මේරි කොමිට මල්ලවපොර ශූරියක් විය හැකි නම් ඇයි ඔබට එය කළ නොහැක්කේ” යනුවෙන් පුහුණුකරු මා ධෛර්යවත් කළා” යැයි නිතූ පැවසුවා ය. තරග බිමට යෑමට ඇගේ බර අඩු කරගැනීමට අවශ්‍ය විය. ඇගේ බර කිලෝ ග්‍රෑම් 80 ක් විය. එම බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 48 දක්වා අඩු කර ගැනීම අවශ්‍ය විය. මෙලෙස නොපසුබටව ඉදිරියට ඇගේ ගමන ජයග්‍රාහී මාවතට පිවිසියේ එම වසරේ පැවැත්වූ ජාතික ක්‍රීඩා උලෙළේදී නිතූ ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට සමත්වීමත් සමඟ ය. එතැන් පටන් ඒ ගමනේ ආපසු හැරීමක් නොවීය. කේරළයේ පැවැත්වූ 35 වැනි ජාතික ක්‍රීඩා උලෙළේදී රිදී පදක්කමක් දිනාගත් නිතූ බ්‍රසීලයේ පැවැත්වූ ලෝක කනිෂ්ඨ මල්ලවපොර ශූරතා තරගාවලියේදී ඉන්දියාව නියෝජනය කළා ය. “එදා මම මල්ලවපොර ක්‍රීඩාවට යොමු වීම ගැන මහත් සේ කෝපයට පත් නෑදෑ හිතවතුන් සහ ගම්වැසියන් අද මා ගැන මහත් ආඩම්බරයෙන් කථා කරනවා. එපමණක් නොව ඔවුන්ගේ දියණියන්ටත් මා ආදර්ශයට ගන්නා ලෙසත් පවසනවා” යැයි සිතූ පැවසුවේ මහත් සතුටිනි. ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින නිතූ මේ වසරේ පැවැත්වීමට නියමිත ලෝක මල්ලවපොර ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහා දැඩි පුහුණුවක යෙදෙන්නීය. නිතූ සර්කාර් ගේ සිතේ පැලපදියම් වන වීරයා වන්නේ සුප්‍රකට මල්ලවපොර ශූර සුෂිල් කුමාර් ය. එසේ ම ඇයටත් පුහුණු කටයුතු සඳහා අවශ්‍ය සියලු ම සහාය ලබාදෙන්නේ ද සුෂිල් ක්‍රීඩා පදනමයි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |