කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
රෑ පානේ සෙට්ටිකුලම පසුකරන හැමෝටම පොලිසියෙන් තේ පැන්

සෙට්ටිකුලම් පොලිස් මුර පොළේ සමාජ සත්කාරය

රෑ පානේ සෙට්ටිකුලම පසුකරන හැමෝටම පොලිසියෙන් තේ පැන්

එදා වසර තිහක අති බිහිසුණු යුද්ධයෙන් අවතැන්වූවන්ට පළමු නවාතැන් සැපයූවේ සෙට්ටිකුලම් හි පිහිටි මැණික්ෆාම් කඳවුරයි. සෙට්ටිකුලම් යන්න එදා මතකයේ රැඳුණේ මේ පළමු අවතැන් කඳවුර නිසාය. යුද්ධයේ භයානක සෙවණැලි වියැකී ගොස් අද බොහෝ කල් ය. මැණික්ෆාම් කඳවුරද අද ස්ථීර ජනාවාසයකි. එහෙත් තවමත් යාපනය තලේමන්නාරම පාරේ හිරු බැසයත්ම රජයන්නේ සුපුරුදු පාළුව හා තනිකමය. පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කළ යාපනයේ සංචාරයක නියැළි අප කොළඹ එන අතරමඟ ඒ නමය පාර මඟහැර මන්නාරම් පාරට පිවිසියේ සුපුරුදු ගමන් මඟ වෙනස් කර අලුත් අත්දැකීමක වෙනස විඳ ගන්නා අටියෙනි. සවසට ගන අඳුර රජයන මේ මගෙහි ඉදහිට වාහනයක් දුවන්නේ නම් ඒ තලේමන්නාරමටය. නැතහොත් මැදවච්චිය හරහා යාපනයටය. එක දිගට දිවෙන තලේමන්නාරම පාර තවමත් රාත්‍රියට අමුතු මූසල බවක් රජ කරවයි. ගමන් මඟ අතරතුර කඩමණ්ඩියක් ගෙයක් දාරක් ඇත්තේ නම් ඒ කලාතුරකිනි. මහමඟ එක හුස්මට දිවෙන වාහන හැරෙන්නට පාළුව මකන්නට තැනින් තැන ඇත්තේ රාජකාරියේ නියැළි හමුදා නිලධාරීන් පමණි. එදා නම් ඇසු පමණින් ලොමු දැහැගැන්වෙන පරයාරිකුලම්වලින් අනතුරුව හමුවන්නේ සෙට්ටිකුලම් ය . මෙම ගමනේදි නිරතුරුව අපේ ගමන් මඟ ගැන අවදියෙන් පසුවු වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.පී.එස්. බණ්ඩාර මහතා නිරන්තරයෙන් විමසිලිමත් වූයේ අපේ අවශ්‍යතාව වෙනුවෙනි.

සිය ජීවිතයේ දුෂ්කරතම සේවා කාලපරිච්ඡේදයේදී සැබෑ මනුෂ්‍යත්වය මතුකරමින් වසර දහයක කාලයක් පුරාවට සෙට්ටිකුලම් පොලිසියෙන් සිදු කෙරෙන මේ අපූරු මෙහෙවර, දුලභ සංවේදි දසුන අපේ නෙත ගැටුණේ යාපනයේ සිට කොළඹ කොළඹ බලා යන ගමනේදී සෙට්ටිකුලම් මංසංධියේදී ය. “ඔයගොල්ලෝ එක දිගට යන්න එපා. සෙට්ටිකුලම්වල අපේ චෙක් පොයින්ට් එකෙන් යන හැමෝටම තේ දෙනවා. තේ එකක් බීලා විවේක අරගෙන එහෙම යන්න.“ පරයාරිකුලම් මංසන්ධියේද හිතවත්කමින් අපිට එහෙම පැවසුවේ පොලිස් අධිකාරි බණ්ඩාර මහතාය.

මන්නාරමේ සිට එන විට සෙට්ටිකුලම් පොලීසියට පෙර හමුවන්නේ සෙට්ටිකුලම් මුර පොළයි. දිවා කාලයේ නිරතුරුව මේ මඟෙහි එහා මෙහා යන වාහනවලට ආරක්ෂාව සපයන්නේ සෙට්ටිකුලම් මුර පොළෙනි. දිවා කාලයට ආරක්ෂාව සපයන මේ මුර පොළෙන් රාත්‍රී කාලයට අපූරු දෙයක් සිදුවෙයි. කිසිම විටක කිසිම පොලිස් ස්ථානයක් සිදු නොකරන අන්දමේ සද්කාර්යයක් මේ පොලිස් නිලධාරින් අතින් සිදුවෙන්නේ මේ ගමන් මඟේ සිදුවන හදිසි අනතුරුවලටද තිත තබමිනි.

සෙට්ටිකුලම් පොලිස් නිලධාරින් සවස පහ හය වෙන විට සූදානම් වන්නේ වතුර මුට්ටියක් උණුකර , ඉඟුරු යහමින් තළාගෙන රසවත් තේ පෝච්චියක් සාදා ගන්නටය. ඒ සවස හයේ සිට මේ මඟෙහි යන එන මඟීන්ගේ වෙහෙස නිවන්නටය.

“අපි මේක කරන්නේ අද ඊයේ ඉඳලා නෙවේ. යුද්ධය ඉවර වෙලා තමයි අපි මේ පාරේ යන හැමෝටම තේ දෙන්න ගත්තේ. මෙතැන ඉඳලා මන්නාරමට යනකම් තේ එකක් බොන්න කඩයක් නැහැ. සෙට්ටිකුලම් ඉඳලා මන්නාරමට කිලෝ මීටර් 52 ක් විතර තියෙනවා. අනිත් පැත්තට යන වාහනයක් නම් තේ එකක් බොන්න මැදවච්චියටම යන්න ඕන. මේ පාරවල් යුද්ධයෙන් පස්සේ හොඳට හැදුවා. ඒත් අනතුරු වැඩියි. විශේෂයෙන්ම මේ පාරේ යන රිය­ැදුරන් නොනවත්වාම එක දිගට ධාවනය කරන අයයි. සමහරු තලේමන්නාරම් යන්නේ මාළු ගේන්න. තවත් අය යාපනයේ යන අය. අනිත් අය මඩු පල්ලි යන අය. එහෙම දුර ගමනක් යද්දී වෙහෙස නිවාගන්නට තැනක් නැති වුණොත් අනතුරු වැඩියි. මේ හේතුවම නිසා අපි ගානේ හවස හයෙන් පස්සේ යන එන හැමෝම මෙතැනින් බස්සලා වාඩිවෙන්න දීලා උණු රස තේ කෝප්පයකින් සංග්‍රහ කරලා තමයි යවන්නේ.“ යනුවෙන් බණ්ඩාර මහතා අප හා ප්‍රකාශ කළේය.

සෙට්ටිකුලම් පොලීසියෙන් සිදුවන මේ අපූරු කර්තව්‍යය වසරේ සෑම දිනකම සිදුවෙයි. ඒ සඳහා සියලු වියහියදම් දරන්නේද මේ දුෂ්කර සේවයේ නියුතු සෙට්ටිකුලම් පොලිස් නිලධාරීන්ට ලැබෙන සොච්චම් මුදලෙනි.

“ අපි හැමදාම තේ කෝප්ප සීයක් විතර හදනවා. දිනපතාම මේ මුර පොළේ අපේ නිලධාරීන් හතර පස් දෙනෙක් සේවය කරනවා. ඒ කවුරුහරි එදා දවසේ තේ හදන වැඩේ බාර ගන්නවා. මේ පළාතේ වතුර බොන්න හොඳ නැති නිසා අපි තේ හදන්න ෆිල්ටර් වතුර ගේන්නේ කිලෝ මීටර් පනස් ගණනක් දුරින්. දවසකට තේ හදන්න සීනි කිලෝ තුන හතරක් ඕනැ. තේ හදන්න අවශ්‍ය දේවල් අපි සල්ලි එකතුකරලා ගේනවා. රෑ වෙනකොට අපේ පොලිස් නිලධාරි මහත්තයෙක් ටෝච් එකක් ගහලා යන වාහන නවත්තලා හැමෝවම මෙතැනින් බස්සනවා. සමහරුන්ට මෙතැන හොඳට හුරුයි. ඒ අය වුවමනාවෙන්ම මෙතැන නවත්වනවා. තේ බීපු ගමන්ම අපි ඒ අයට යන්න දෙන්නෙ නැහැ. ටිකක් විවේකීව ඉඳලයි යන්න දෙන්නේ. අපේ මුර පොළේ පුටු දාලා හදලා තියෙන්නේ විවේක ගන්න. ඇත්තෙන්ම අපේ මේ වැඩ පිළිවෙළ නිසා පාරේ අනතුරු අඩුවුණා.’’ යැයි නිරතුරුව මේ කාර්යයට දායක වෙන උප පොලිස් පරීක්ෂක එස්. එච්.පතිරත්න පැවසීය.

එදා ත්‍රස්තවාදි රජදහනක්ව පැවැති සෙට්ටිකුලම්වල අද ටිකෙන් ටික ජනාවාස වෙමින් පවතියි. එදා ජනතාවගේ විශ්වාසය බිඳී ගිය සෙට්ටිකුලම් පොලීසිය අද ජනතාවට සමීපය. මනස්කාන්ත පරිසරයක පිහිටි සෙට්ටිකුලම් පොලිසිය අද ගැමියන්ට රමණීය භූමියකි.

“එදා අපේ පොලිස් නිලධාරින් දිහා මේ පළාතේ ජනතාව බැලුවේ අමුතු විදියකට. ඒගොල්ලොත් අපිත් අතර කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. මම මේ පොලීසියේ පරිසරය සකස් කෙරුවා ගමේ අයගේ හිත දිනාගන්න විදියට. ඒ අයට මෙය පොලිසියක් විදියට පමණක් නෙවෙයි තමන්ගේ ප්‍රශ්නවලට මානසික විසඳුමක් ලබා දෙන තැනක් බවටත් මෙය පත්කළා. අද සෙට්ටිකුලම් ජනතාවගේ ජීවිතයේ කොටසක් බවට පොලීසිය පත්වෙලා.’’ ඒ සෙට්ටිකුලම් පොලිස් ස්ථානාධිපති එච්. ටී. එම්. තුෂාර මහතාය.

අද රට තොටේ පොලිස් සේවය ගැන විවිධ මත පළවෙද්දි පොලිස් නිලධාරීන් සිදුකරන මෙවන් සද්කාර්යයන් ඇගයීම පමණක් ප්‍රමාණවත් වේද? මෙවැනි උසස් සේවාවන් රට තුළ ද නිසි ඇගැයීමකට භාජනය කළ යුතුමය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]