කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඇයි මේ රස්නේ?

ඇයි මේ රස්නේ?

පළාත් ගණනාවක  උෂ්ණත්වය අංශක 8කින් ඉහළට

වසර ගණනාවකට පසු අපේ රටේ පළාත් ගණනාවක උෂ්ණත්වය අංශක 7 - 8කින් අස්වාභාවික ලෙස ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අලුත් තොරතුරු පෙන්නුම් කරයි. මෙය අප දැඩි අවධානය යොමු කළ යුතු කරුණකි.

කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා පවසන්නේ මීට අමතරව අපේ රටේ සියලු ප්‍රදේශවල උෂ්ණත්වය ද මේ දිනවල සෙන්ටිග්‍රේට් අංශක 2 - 3කින් ඉහළ නැඟ ඇති බවයි.

එල්නීනෝ ආචරණය සක්‍රීය වීම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇති බවයි.

පැසිපික් සාගරයේ උෂ්ණත්වය වැඩි වී ලෝකයේම සුළං රටාව වෙනස් වී ඇති බව ද මේ නිසා අප රටට ද මේ දිනවල සුළං අඩු වී ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව සුළං අඩුකම නිසා මෙන්ම හිරු එළිය වැඩිවී වැස්ස අඩුවීම නිසා මෙම උෂ්ණත්වය වැඩිවූ බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

මෙම තත්ත්වය අනුව අප්‍රේල් මස මැද වන තෙක් මේ ස්වභාවය පවතින බව ද කාලගුණ අංශ පෙන්වා දෙයි.

මේ දිනවල ඇති අධික හිරු රශ්මිය නිසා මුහුදෙන් හා ජලාශවලින් ජල වාෂ්ප සංවහනය වීම වැඩි වේ. එවිට නිරිතදිග වයඹදිග දකුණු හා බස්නාහිර ප්‍රදේශවල වායු ගෝලයේ ජල වාෂ්ප මට්ටම ඉහළ යයි. මේ නිසා ඇතිවෙන ආර්ද්‍රතාව සියයට 90 - 95 අතර තිබේ. මෙහි ප්‍රතිඵලය වන්නේ අපට දමන දහදිය වාෂ්ප නොවී අපට අසහනකාරී තත්ත්වයක් ඇතිවීම බව ද ලලිත් චන්ද්‍රපාල මහතා පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි අනුරාධපුරය, වවුනියාව, මහඉලුප්පල්ලම, පොලොන්නරුව, කුරුණෑගල, යාපනය දිස්ත්‍රික්කවල උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් අංශක 8කින් පමණ මේ දිනවල වැඩි වී ඇත. මේ උෂ්ණත්වය නිසාම කුරුණෑගල ඇතුගල පවා පිපිරී තිබේ.

කෙසේ වුවත් ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ හිටපු කාලගුණ අධ්‍යක්ෂ කේ. ආර්. අභයසිංහ මහතා පවසන පරිදි මේ රස්නයට ප්‍රධාන හේතුව මේ දිනවල වායුගෝලයේ පවතින අධික ජල වාෂ්ප ප්‍රමාණය බවයි. මේ නිසා සම මතින් අපට දමන දහදිය අංශු වාෂ්ප වීම අඩු බව ද ඒ අනුව අප ශරීරය තුළ උෂ්ණත්වය වැඩි වී දැඩි අපහසුකාරී තත්ත්වයක් ඇතිවන බව ද අභයසිංහ මහතා පෙන්වා දෙයි.

අන්තර් ජාතික කාලගුණ දත්ත අනුව හා ඉන්දියාවේ කාලගුණ විද්‍යා අංශවල දත්ත අනුව මේ දිනවල අපේ රටේ ද උෂ්ණත්වය අනෙක් වසරවලට වඩා අංශක 3 - 4 අතර ප්‍රමාණයකින් වැඩි වී තිබේ. මේ දිනවල ලොවටම බලපාන එල්නීනෝ ආචරණය මෙයට ප්‍රධාන හේතුව බව ද ඉන්දියාවේ කාලගුණ විද්‍යාඥයෝ ද පවසති. මීට අමතරව වසර 10ක් පමණ තිස්සේ මුළු ලොවටම බලපාන දේශගුණ විපර්යාස නිසා ද මේ වායුගෝලයේ උෂ්ණත්වය වැඩිවී ඇතැයි ද කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මේ දිනවල ශ්‍රී ලංකාවට බලපාන්නේ ඊසානදිග මෝසම් කාලයේ අවසානය හා අන්තර් මෝසම් වැස්සේ ආරම්භක අවදිය අතර කාලයයි.

ඊසානදිග මෝසම් කාලයත් නිරිතදිග මෝසම් කාලයත් අතර වකවානුව අන්තර් මෝසම් ඍතුවක් වෙයි. ඒ අනුව ශ්‍රී ලංකාවට බලපාන මෝසම් ඍතු දෙකක් වෙයි. ඒවා නම් මාර්තු - අප්‍රේල් කාලයේ බලපාන වසන්ත (Veveal) අන්තර් මෝසම් ඍතුව හා ඔක්තෝබර් නොවැම්බර් මාසයේ බලපාන ශාරදිය (Autumnal) අන්තර් මෝසම් ඍතුව යන දෙකයි.

මෙම වකවානුව වන්නේ වසන්ත අන්තර් මෝසම් ඍතුව ආරම්භක කාලයයි. මේ කාලයේ හිරු උදාවේ සිට මධ්‍යාහ්නය වන තෙක් වලාකුළු ස්වල්පයක් සහිත හෝ වලාකුළින් තොර නිල්වන් අහසක් දැකිය හැකිය. මෙම කාලයේ පොළොවට පතිත වන උෂ්ණත්වය ඉහළය. ඉන් අපගේ භූ තලයත් ජල ස්තරයත් රත්වෙයි. ඒ අනුව පහළ වායු ගෝලයේ සිරස උෂ්ණත්ව අනුක්‍රමයෙන් ඉහළ නැඟීම නිසා පහළ වායු ස්තර අස්ථායි තත්ත්වයට පත් වෙයි. එවිට රට ඇතුළත ද නිදහස් සංවහන ධාරා ඇරැඹේ. ඉන් පසුව පහළ වායු ගෝලය ඇතුළත ජල වාෂ්ප ප්‍රමාණය ඉහළ යන බවත් ආර්ද්‍රතාව ඉහළට යන බවත් මේ නිසා ශරීරයට අපහසු ගති නිතරම දහදියෙන් තෙත් වන උණුසුම් තත්ත්වයක් ඇතිවීම මේ කාලයේ සිදුවන බවත් ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ. ආර්. අභයසිංහ මහතා පවසයි.

පරිසරය ආර්ද්‍ර වීමේ තත්ත්වය සමඟම මේ ජල වාෂ්ප ගමන් කිරීමට තරම් සුළං තත්ත්වයක් ඇති නොවීම නිසා මෙම අසහනකාරී තත්ත්වය තවත් වැඩි කරනු ලබයි.

එවිට සිදුවෙන්නේ වායුසමීකරණ හා විදුලි පංකා වැඩිපුර පාවිච්චි කිරීමයි. අභයසිංහ මහතා පවසන පරිදි කාමර වායු සමීකරණවලින් සිදුවන්නේ කාමර වායු ගෝලයේ ඇති ජල වාෂ්ප ප්‍රවාහය උරාගෙන ඉවතට දැමීමයි. වායුසමීකරණය කළ බස් රථවල ද සිදුවන්නේ එයයි. කාමරයේ හෝ බස්රථයේ පවතින ජල වාෂ්ප සියල්ලම ඉවත් කරන විට අපගේ සමට ගතට තද සීතලක් ඇති වේ.

මේ දිනවලින් පසු එළඹෙන ඉදිරි

සතිවලදී මධ්‍යහ්නයෙන් පසු රටේ අභ්‍යන්තරයේ උස්බිම්වල ඉහළ අහසේ කැටි වැහි වලාකුළු වර්ධනය වීම සිදු වේ. ඉන් පසු සවස 3 - 4 පසු වූ පසු කඳුකර ප්‍රදේශවල අකුණු සහිත ගිගුරුම් සහිත අන්තර් මෝසම් වැසි ආරම්භ වීමට ඉඩ තිබෙන බව ද අභයසිංහ මහතා පවසයි.

මෙවන් උෂ්ණත්වය වැඩිවීමකට ලොවටම බලපාන දේශගුණ විපර්යාස හේතුවක් විය හැකි බව පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණ උපදේශක මහාචාර්ය ඩබ්ලිව්. එල්. සුමතිපාල මහතා ද පෙන්වා දෙයි.

දේශගුණ විපර්යාස ලෙස හැඳින්වෙන්නේ මිනිසාගේ ඍජු හෝ වක්‍ර ක්‍රියාකාරකම් නිසා වායු ගෝලයේ පැවැතුණ වායු සංයුතියේ වෙනස් වීමත් සමඟ දේශගුණයේ විවිධ වෙනස් වීම් ඇතිවීමයි.

දේශගුණ විපර්යාස නිසා අපේ රටේ ද වර්ෂාපතන රටාවේ සහ උෂ්ණත්වයේ සිදු වන වෙනස සියලු පරිසර පද්ධතියේ වෙනස්කම්වලට හේතු වනු ඇතැයි ද මහාචාර්ය සුමතිපාල පවසයි.

දේශගුණ විපර්යාසවල ප්‍රධාන ගැටලුව ලොව උණුසුම් වීමයි. පෘථිවියට පාරජම්බුල කිරණ වැඩියෙන් ඒම නිසා පෘථිවියේ උෂ්ණත්ව රටාව වෙනස් වී විශේෂයෙන් පෘථිවියේ පහළ වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළ යනු ලැබේ. මේ නිසා පසුව පෘථිවි උෂ්ණත්ව රටාව හා සුළං රටාව වෙනස් වෙයි.

ලොව කාලගුණ සහ දේශගුණ රටාවන් සකස් කිරීමේ ප්‍රධාන සාධකය සුළංය. මේ අනුව ගෝලීය සංසරණය හේතුවෙන් සිදුවන වෙනස්කම් අනුව ගෝලීය දේශගුණයට හා රටවල්වල කාලගුණයට ඍජු බලපෑම් එල්ල වන බව ද පැහැදිලි වී ඇත.

ගෝලීය උණුසුම වැඩිවීම නිසා ලොව දේශගුණ රටාවන් උඩු යටිකුරු වී තිබේ. මුහුදේ ධ්‍රැවවල තිබෙන අයිස් තට්ටු (ග්ලැසියර) දිය වී මුහුදේ ජලයට එකතු වීම නිසා ජල මට්ටම් ඉහළ යයි. මුහුදේ උෂ්ණත්වයට අහිතකර බලපෑම් එල්ල කරයි. ඒ තත්ත්වය මඟින් ගෝලීය කාලගුණ රටාවන්ට බලපෑම් ද එල්ල කරනු ලැබේ. ඉන් එක් එක් ප්‍රදේශවල වර්ෂාපතන රටාවල වෙනස්කම් සිදුවීමට ඉඩ ඇත.

මෙවන් දේශගුණ විපර්යාසවලට ප්‍රධාන හේතුව කාර්මිකරණය සමඟ අප විසින්ම හරිතාගාර වායු වැඩිපුර වායුගෝලයට මුදා හැරීමයි. කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්, මිතෙන්, හයි‍ඩ්‍රොක්ලෝරෝකාබන්, ඕසොන් හා ක්ලෝරෝෆ්ලෝරො කාබන් හරිතාගාර වායු අතරට ගැනේ.

මේ අනුව බලන විට අපේ රටේ මේ දිනවල පවතින උෂ්ණත්වය ඉහළ යෑම යම් තරමක් හෝ අඩු කිරීමට අපට ද කළ හැකි දේ අපමණය.

ඒ අනුව මේ දිනවල මේ පවතින රස්නයට මහ ජනතාව අතින් සිදු වන පාරිසරික වැරැදි හා මහා පරිමාණ කර්මාන්ත ශාලා මඟින් සිදු වන පරිසර දූෂණ හා වායු දූෂණ තත්ත්ව ද යම් තරමකින් හෝ හේතු වී ඇත. මේවා අවම කර, අපේ රට පමණක් නොව පෘථිවිය ද උණුසුම් වීම වැළැක්වීමට අපටම හැකියාව ඇත. ඒ සඳහා කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවකි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]