කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
රස මුසු පුවත්

රස මුසු පුවත්

නිරූපිකාවගේ අපූරු ප්‍රකාශය

ක්වන්දීල් බාලොච් පාකිස්තාන් තරුණියකි. ඇය වෘත්තියෙන් නිරූපිකාවක්, ගායිකාවක් සහ නිළියකි. ඇය පාකිස්තාන - ඉන්දීය සුපිරි 10 වටයේ තරගයට පෙර අපූරු ප්‍රකාශයක් කළාය. එනම් එම තරගය පාකිස්තානය ජය ගතහොත් තමන් නිරුවතින් නර්තනයක නිරත වන බවය. කෙසේ හෝ ඇයට එය කිරීමට සිදු වූයේ නැත. ඒ ඉන්දියාව තරගය ජය ගත් බැවිනි.

ගප්ටිල්ගේ සුපිරි හය

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 10 වටය ඇරැඹුණේ සත්කාරක ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගයෙනි. එහිදී පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කිරීමට දකුණත් ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් සමත් විය. පන්දු යවන්නා වූයේ රවිචන්ද්‍රන් අශ්වින්ය. එම හයේ පහරේ දුර ප්‍රමාණය මීටර් 86 කි. කෙසේ වෙතත් දකුණතින් පිට දඟ පන්දු යැවූ අශ්වින් විසින් එවන ලද දෙවැනි පන්දුවෙන් ගප්ටිල් දැවී ගියේය. ඒ කඩුල්ල මුවා කිරීමේ වරදට ලක් වෙමිනි.

වැඩි අවධානය සචින්ට

කොල්කටාවේ ඊඩන් ගාර්ඩන්ස් ක්‍රීඩාංගණයට ඉන්දු - පාකිස්තාන් තරගය නැරැඹීමට විශාල පිරිසක් පැමිණ සිටියහ. ඒ අතරට බොලිවුඩ් සහ ක්‍රීඩා තරු වූහ. ඒ සියළුම දෙනා අතරින් වැඩිම අවධානය යොමු වූයේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කාර්ටය.

ඩිල්ෂාන්ගේ  උත්තරය

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටින ප්‍රවීණතම ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකාවේ තිලකරත්න ඩිල්ෂාන්ය. ඉකුත් මාස කිහිපයේදී පෙර මෙන්ම ඔහුගෙන් දස්කම් මතු වූයේ නැත. එම නිසාම ක්‍රීඩාවෙන් ඔහු විශ්‍රාම ගත යුතු කාලය එළැඹ ඇති බවට බොහෝ දෙනා පැවසූහ.

කෙසේ හෝ ඊට කදිම පිළිතුරක් ලබා දීමට ඩිල්ෂාන් සමත් වූයේ ඇෆ්ගනිස්තානය හමුවේ පැවැති තරගයේ දී විශිෂ්ට අර්ධ ශතකයක් රැස් කරමිනි. එම තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේය. තරගයේ වීරයා වූයේ ඩිල්ෂාන්ය.

ඉන්දියාව හමුවේ කිවියන් අපරාජිතයි

ඉන්දියාව සමඟ පැවැති තරගයෙන් විශිෂ්ට ජයක් ලැබීමට නවසීලන්තය සමත් විය. ඒ ගැන පුදුම වීමට දෙයකුත් නැත. ඒ පන්දු ඕවර 20 ජාත්‍යන්තර තරගවලදී නවසිලන්තය හමුවේ ජයක් වාර්තා කර ගැනීමට ඉන්දියාව සමත් වී නැති බැවිනි. දෙරට අතර පැවැති තරග පහම ජය ගත්තේ නවසීලන්තයයි.

වයස්ගතම ක්‍රීඩකයා රයන්

ආරම්භක පිතිකරුවෙක් ලෙසට ක්‍රීඩා කළ හොංකොං පිලේ රයන් කැම්බල් මෙවර සහභාගි වූ වයස්ගතමයා විය. ඔහුගේ වයස අවුරුදු 44 කි. ඔහු මීට පෙර ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ.

ඉන්දීය ජාතික ගීය ගැයූ අමිතාබ් බච්චන්

ඉන්දු - පාකිස්තාන් තරගයට පෙරත් සුපුරුදු පරිදි දෙරටේ ජාතික ගීත ගායනා කරන ලදී. එහිදී ඉන්දීය ජාතික ගීය ගායනා කළේ බොලිවුඩ් සුපිරි නළු අම්තාබ් බච්චන්ය. ගායකයකු නොවන සුපිරි නළුවකුට මෙවන් අවස්ථාවක් ලැබීම විරල සිදුවීමකි. එය ලෝක කුසලාන තරගාවලියේ විචිත්‍ර සංදර්ශන අතරට එක්වූ නවමු අත්දැකීමකි. අලුත් වෙනසකි.

ලෝක කුසලානයේ යෝධයෝ

මෙවර තරගාවලියට සහභාගි වූ උසැතිම ක්‍රීඩකයන් දෙදෙනාම පන්දු යවන්නන්ය. පාකිස්තානයේ මොහොමඩ් ඉර්ෆාන්ගේ උස අඩි 7 අඟල් 1 කි. ඔහු වමතින් වේග පන්දු යැවීය. අයර්ලන්තයේ බොයිඩ් රැන්කින්ගේ උස අඩි 6 අඟල් 8 කි. ඔහු දකුණතින් මද වේග පන්දු යැවීය.

1000 සමාජයේ දෙවැනි ළාබාලතමයා

ඉන්දියාව සමඟ පැවැති තරගයේදී පාකිස්තාන් දකුණත් ආරම්භක පිතිකරු අහ්මඩ් ශේෂාඩ් ඕවර 20 ජාත්‍යන්තර තරගවලදී ලකුණු 1000 ඉක්මවීමට සමත් විය. ඒ සමඟම එම දස්කම කළ දෙවැනි ළාබාලතම පිතිකරුවා බවටත් ඔහු පත් විය. එම දස්කම දැක්වූ ළාබාලතමයා වන්නේ පාකිස්තානයේ උමාර් අක්මාල්ය.

ළබාලයන් රැසක් පිටියේ

මෙවර තරගාවලියට සහභාගි වූ ළාබාලතම ක්‍රීඩකයින් රැසක්ම සිටියහ. හොංකොං පිලේ වකාස් ඛාන් ළාබාලතමයා විය. ඔහුගේ වයස අවුරුදු 16 කි. ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන්ට අවුරුදු 17 කි. එරටේම උස්මන් ගානිට අවුරුදු 19 කි. ස්කොට්ලන්තයේ මාර්ක් වොට්ගේ වයස අවුරුදු 19 කි. මීට අමතරව වයස අවුරුදු 18 ක්‍රීඩකයින් තිදෙනෙකි. ඊට හොංකොං හි අන්ෂුමන් රාත්, ක්‍රිස් කාටර් සහ තන්වීර් අහ්මඩ් අයත්ය.

ලෝක කුසලානයේ පාකිස්තාන් අපලය

ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරගවල තරගකාරිත්වය කවදත් වැඩිය. එහෙත් එක්දින ජාත්‍යන්තර සහ පන්දු ඕවර 20 ලෝක කුසලාන තරගවල දී නම් පැහැදිලිවම ඉදිරියෙන් සිටින රට වන්නේ ඉන්දියාවයි. මෙවර පැවැති තරගයත් සමඟම ලෝක කුසලාන තරගවලදී (එක්දින ජාත්‍යන්තර සහ ඕවර 20) දෙරට අතර පැවැති මුලු තරග ගණන 11 කි. එහිදී ඉන්දියාවට ජයග්‍රහණ 10 කි. තරගයක් සම වී ඇත.

ජය හා පරාජය සමරන ගේල්ගේ ශතක දෙක

බටහිර ඉන්දිය කොදෙව් දූපත් සුපිරි වමත් පිතිකරු ක්‍රිස් ගේල් ලෝක කුසලාන පන්දු ඕවර 20 තරගවලදී ශතක දෙකක් රැස් කළ ලොව ප්‍රථමයා බවට පත් විය. ඒ එංගලන්තයට එරෙහිව මෙවර ශතකයක් රැස් කිරීමත් සමඟිනි. එම තරගය කොදෙව්වන් ජය ගත්හ. නමුත් 2007 වසරේදී ඔහු ශතකය රැස් කළ විට ඔවුන් පරාජය වූහ. ඒ දකුණු අප්‍රිකාව හමුවේදීය.

මාමයි - බෑනයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිලේ ප්‍රධාන පුහුණුකරුවා වන්නේ හිටපු ක්‍රීඩක ෆිල් සිමන්ස්ය. මෙවර කොදෙව් පිලට ලෙන්ඩ්ල් සිමන්ස් ද ඇතුළත් විය. එහෙත් ආබාධයක් නිසා ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. ලෙන්ඩ්ල්ගේ මාමණ්ඩිය වන්නේ ෆිල් සිමන්ස්ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]