කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
යළි යළිදු විමැසිය යුතු කුමරතුඟු වියරණ මෙහෙවර

යළි යළිදු විමැසිය යුතු කුමරතුඟු වියරණ මෙහෙවර

කවර භාෂාවක් වුව ද කොටස් දෙකෙකින් පරිමිත ව‍ූ සේ සැලැකිය හැකි යි. එනම්: ව්‍යාකරණය ය, වාක් කෝෂය ය යන දෙක යි. වාක් කෝෂය අර්ථාන්විත ලෙස මෙහෙයවනුයේ, අර්ථෝත්පාදනය වන පරිදි වාක් කෝෂය හැඩ ගස්වාලනුයේ ව්‍යාකරණය යි. ව්‍යාකරණයෙන් තොර භාෂාව යනු හුදු වදන් ගොඩක් පමණෙකි. මේ අනුව, භාෂාවෙක අර්ථ ප්‍රකාශන ශක්තිය ඇති කරනුයේ ව්‍යාකරණය යි. එහෙයින් ව්‍යාකරණයෙහි සැඟැවුණු තැන් හෙළි පෙහෙළි කොට, අවුල් තැන් නිරවුල් කොට, ගැට තැන් ළිහා ශක්තිමත් ව්‍යාකරණයක් ඇති කිරීම යනු අර්ථ ප්‍රකාශන ශක්තිය අතිශයින් තීව්‍ර කිරීම යි.

සිංහල ව්‍යාකරණය විෂයක වැ යට කී අයුරින් ක්‍රියා කළ විද්වතුන් අතරෙහි ඉහළ ම තැන ලැබෙනුයේ කුමාරතුංග මුනිදාසයනට යැ යි කීම ඉතා ම යුක්ති යුක්ත ය. මේ ලිපියෙහි ලා අරමුණු කැරෙනුයේ කුමාරතුංගයන් විසින් සිංහල ව්‍යාකරණය විෂයක වැ පහළ කළ නව මත අතුරින් ඉතා වැදගත් කිහිපයක් විමැසිල්ලට ලක් කිරීම යි.

සිංහලයෙහි පහළ වූ මහා ව්‍යාකරණ පර්යේෂකයාණෝ කුමාරතුංගයෝ ම ය. මේ පර්යේෂණ කාර්යය ‍‍ඔවුන් විසින් ඇරැඹුණේ 1910 පමණේදී යැ යි ‘ව්‍යාකරණ විවරණයෙහි’ ලා ඔහු ම පවසති‍. එතැන් සිට 1942 වන තෙක් ව අඛණ්ඩ වැ අනවරත වැ, සිංහල ව්‍යාකරණ ගවේෂණයෙහි යෙදීමෙන් ඔවුන් විසින් සොයා පාදාගැනුණු නව කරුණු ව්‍යාකරණ විවරණය, ක්‍රියා විවරණය‍, කුමාර ව්‍යාකරණය, අකුරු සැහැල්ල යන ග්‍රන්ථවල ද ‘සුබස’ සඟරායෙහි ද සංගෘහීත වැ ඇත. විමර්ශනයෙහි පහසුව පිණිස එසියල්ල කොටස් තුනකට බෙදිය හැකි ය‍ි. ඒ (ව්‍යාකරණයෙහි කොටස් තුන වන) අක්ෂර මාලාව, පද සාධනය, වාක්‍යකරණය යනු යි.

සිංහල අක්ෂර‍ විෂ‍යයෙහි කුමාරතුංගයන් පහළ කළ තව මතයක් වනුයේ ‘එක් එක් වර්ගයෙහි ශබ්ද සතෙකි’ යනු යි. පුරාතන මතය වනුයේ වර්ගයකට - එනම් ක - ච - ට - ත - ප යන අක්ෂර වර්ගවලට - අයත් වනුයේ ශබ්ද පස බැඟින් බව ය. එහි දී ‍ඌෂ්ම ශබ්ද ගණන් ගන්නා ලද්දේ නො වේ. එහෙත් කුමාරතුංගයෝ එද වර්ගාක්ෂර සංඛ්‍යාවට ම ගනිමින් වර්ගයකට අක්ෂර සතක් ඇතැයි දක්වති. මෙය සංස්කෘත ව්‍යාකරණයෙහි පාණීනී සම්ප්‍රදායය මෙන් ම ඓන්ද්‍ර සම්ප්‍රදායය ද ‍පාලි ව්‍යාකරණය ද ඉක්මවා යමින් දැක්වුණු නව මතයක් සේ සැලැකිය යුතු වෙයි.

අක්ෂර විෂයක වැ කුමාරතුංගයන් ඉදිරිපත් කළ තව ද නව මතයක් නම් ‘අ’ ස්වරයත් ‘ක’ වර්ගාක්ෂරත් කණ්ඨජ අක්ෂර නොවන බව යි. ‘අකුහ විසර්ජනීයානං කණ්ඨඃ’ යනුවෙන් සංස්කෘත ව්‍යාකරණයෙහි ද ‘අ වණ්ණ වග්ගහකාරා කණ්ඨජා’ යැ යි පාලි ව්‍යාකරණයෙහි ද යථෝක්ත අක්ෂර කණ්ඨජ ‍බව පැහැදිලි වැ දැක්වෙයි. එහෙත් කුමාරතුංගයෝ මෙසියලු අරුත් දැක්වීම් ඉක්මවමින් (ස්වකීය පර්යේෂණ ප්‍රතිඵල අනුව) ඒ කණ්ඨජ නො ව, පූර්වකණ්ඨජ යැ යි නම් කොට ‘පූර්ව කණ්ඨය නම් උගුරෙහි ඇතුළු දොර යි’ යනුවෙන් ද පැහැදිලි කරති. ඔවුන් හා සමකාලීන වැ ම මහාචාර්ය ගයිගර් විසිනුදු යථෝක්ත අක්ෂර කණ්ඨජ නොවන බව දැක්වීමෙන් මෙන් ම නූතන වාග් විද්‍යාඥයන් පවා ඒ කණ්ඨජ නොවන බව පෙන්වාදීමෙනුදු කුමාරතුංගයන්ගේ අර්ථකථනයෙහි නිරවද්‍යතාව ස්ඵුට වේ.

කුමාරතුංගයන්ගේ තව ද නව මතයක් නම් මහාප්‍රාණත්වය වනුයේ ස්වරයෙහි ය යනු යි. ඒ අනුව, ස්වර වියුක්ත වූ (හල්) මහාප්‍රාණ ව්‍යංජන භාෂාවෙහි තිබිය හැකි නො වේ.‍ ඔවුන් මේ මතය පහළ කළ කල්හි ම මෙය මහත් සේ විවාදයට තුඬු දිනි. ‘සුබස’ සඟරාවෙන් මෙය විමැසූ තැනැත්තෙක්, එ සේ නම් ‘ආඛ්‍යාත’, ‘ව්‍යාඛ්‍යාන’ ආදි තන්හි ස්වර වියුක්ත වැ ‘ඛ්’ ශබ්දයෙන්) මහාප්‍රාණ ශබ්ද යෙදෙනුයේ කෙසේ දැ යි විමැසී ය. එබඳු තන්හි මහාප්‍රාණ ශබ්දයට පසු වැ යෙදෙනුයේ අන්තඃස්ථාවක් (‘ය’ අක්ෂරය) බැවිනි එහි දු ස්වරත්වය වෙති යි ඔහු පිළිතුරු දුන්හ.‍ එහෙත්, සංස්කෘතයෙහි ‘විඝ්න’, ‘ආධ්මාත’ වැනි වදන්හි අන්තඃස්ථ අක්ෂරයකුදු නැති වැ ම මහාප්‍රාණ ව්‍යංජන (ස්වර වියුක්ත වැ) යෙදෙනුයෙන් කුමාරතුංගයන්ගේ මතය තව දුරටත් විමර්ශනීය වේ. මහාප්‍රාණය පිළිබඳ පුරාතන මතය - ‘හ්’ ශබ්දය හා එක් වූ අල්පප්‍රාණය ම මහාප්‍රාණ වෙති යි යන්න - (සුගතපාල ද සිල්වා වැනි) නූතන වාග් විද්‍යාඥයනුදු සාධුත්වයෙන් පිළිගන්නා බව මෙහි ලා දැක්විය යුතු ‍ෙව්.

සිංහලයට ම ආවේණික වූ ශබ්ද විශේෂයක් සේ සැලැකෙන සඤ්ඤකය හෙවත් අර්ධානුනාසිකය පිළිබඳ ව ද කුමාරතුංගයෝ නව මතයක් දක්වති. එනම්, අර්ධානුනාසිකත්වය වනුයේ ව්‍යඤ්ජන ශබ්දයෙහි නො ව, ස්වරයෙහි බව යි. ‘ඟ’, ඦ,ඬ, ඳ, ඹ යන තන්හි වනුයේ ‘අ’ යන්නේ අනුනාසික භාවය යි. අනුනාසික ස්වරය ව්‍යඤ්ජනය හා සංයුක්ත වන කලැ අනුනාසික්‍ය භාවය ව්‍යඤ්ජන ශබ්දයට ද පූර්ව වෙයි...” යනුවෙන් ව්‍යාකරණ විවරණයේ දක්වන ඔහු සුබසෙහි පළ කැරුණු ‘නැහැසියාව’ නම් ලිපියෙන් ඒ වඩාත් විශද කොට දක්වති.

ඔවුන් දක්වන ආකාරයට අර්ධනුනාසිකත්වය ඇත්තේ ස්වරයෙහි නම් එ බඳු ස්වර පද්ධතියක් සිංහලයෙහි තිබිය යුතු ය. එහෙත් ඇතැම් වෛශේෂික උච්චාරණවල දී විනා සිංහලයෙහි පොදු උච්චාරණයෙහි අර්ධානුනාසිත ස්වර නො යෙදේ. එහෙයින් අර්ධානුනාසිකත්වය පිළිබඳ වැ කුමාරතුංගයන් දැක්වූ මතය තවදුරටත් විද්වද් විමර්ශනයට භාජන කළ යුතු වෙයි. සඤ්ඤකය පිළිබඳ වැ ඉතා දීර්ඝ විමර්ශනයෙක යෙදුණු මහාචාර්ය විමල් ජී.බලගල්ලයෝ කුමාරතුංග මතය විමසා එය සවරද බවට කරුණු දක්වති.

සිංහල අක්ෂර විෂයක වැ කුමාරතුංගයන් හෙළි කළ තව ද අගනා මතයක් වනුයේ අනම්‍යාදේශය නම් ව්‍යාකරණ රීතිය යි. එයින් කියැවෙනුයේ අ, උ, ඔ යන (නම්‍ය) ස්වර වෙනුවට ඇ, ඉ, එ, යන අනම්‍ය ස්වර ආදේශ වන බව යි. මෙහි ලා ව්‍යතිරේකයනුදු දක්නා ලැබෙන නමුදු භාෂාවෙහි මේ ලක්ෂණය අතිව්‍යාප්ත වැ පවතී. කුමාරතුංගයනට පෙර කිසි දු වියරණ ඇදුරකු විසින් මෙය සොයාගනු ලැබ නොතිබිණ. අනම්‍යාදේශය සිදු වන තැන් සතක් ව්‍යාකරණ විවරණයේ පෙන්වා දෙන ලදී. නූතන ව්‍යාකරණ ග්‍රන්ථවල මෙය සාමාන්‍ය රීතියක් ලෙස යොදනු ලැබේ.

සිංහල පද සාධනයෙහි ලා කුමාරතුංගයන් විසින් හෙළි පෙහෙළි කැරුණු නව කරුණු ද ගණනාවෙක් වෙයි. පදය පිළිබඳ ඉතා ශාස්ත්‍රීය අර්ථකථනයකුදු දක්වා නිවැරැදි ලෙස සිංහලයෙහි පද වර්ගීකරණය කැරුණේ ඔවුන් විසිනි.

වාක්‍යයට යෝග්‍ය වැ සිටි අක්ෂර රචනය පද නම්’ යැ යි ඔවුන් දක්වන අර්ථකථනය ‘විභක්ත්‍යන්තං පදං’, ‘සුප්තින්තං පදං’ වැනි සංස්කෘත අර්ථකථනවලට ද ‍වඩා ඉතා ශාස්ත්‍රීය වෙයි.

පදං චතුර්විධං ප්‍රොක්තං - ආඛ්‍යාතොපසර්ගජං

නිපාතශ්චෙති ශබ්දෛඥඃ - අශ්වඃ ඛලු අභිධාවතෙ

යැයි සංස්කෘත ‍වෛයාකරණයෝ නාම, ආඛ්‍යාත නිපාත, උපසර්ග යැ යි පද ප්‍රභේද සතරක් දක්වති. සංස්කෘත භාෂාව විෂයක වැ ගත් කල්හි ඒ නිවරද ය. සංස්කෘතයෙහි ඇතැම් විට උපසර්ග ද පද විශේෂයක් මෙන් වර නැඟී යෙදේ. එහෙත් සිංහලයෙහි වනාහි කිසි දු වි‍‍ෙටක උපසර්ග වර නැඟී නො යෙදේ. එහෙයින් සිංහලයෙහි දී උපසර්ග පද විශේෂයක් කොටගැන්ම ශාස්ත්‍රීය නො වේ. මෙබව සකාරණ වැ පෙන්වා දී සිංහලයෙහි ඇත්තේ පද ප්‍රභේද තුනකැ යි නිශ්චිත වැ දක්වන ලද්දේ කුමාරතුංගයන් විසිනි.

පද සාධනයෙහි ලා අත්‍යවශ්‍ය අංශය වන නාම විභක්ති යෝගය නිරවුල් කරන ලද්දේ ද කුමාරතුංගයන් විසිනි. ඔවුන් දක්වා සිටි සියලු විවරණ ඇදුරෝ සිදත් සඟරාව අනුව යමින් සිංහලයෙහි නාම විභක්ති නවයකැ යි ගත්හ. ඔවුන් විසින් විභක්ති නම් කැරුණේ ද කාරක නාමයෙනි; විභක්තියෙන් අභිප්‍රේත කාරණයේ නාමයෙනි. කුමාරතුංගයෝ මේ වරද නිවරද කොට, වර නැඟීමෙහි දී ප්‍රත්‍යය ගන්නා ආකාරය අනුව, සිංහලයෙහි ප්‍රාණවාචී නාම සඳහා විභක්ති සතරක් ද අප්‍රාණවාචී නාම සඳහා විභක්ති සයක් ද යෙදෙන බව නිශ්චිත වැ දැක්වූ හ. ඒ විභක්ති පළමු, දෙවන, තෙවන ඈ විසින් නම් කළහ. මෙයින් ඔහු සිංහලයෙහි නාම විභක්ති යෝගය මුළුමනින් ම රූපීය - පද රූපය මුල් කැරගත් - පදනමෙක පිහිටුවා නිරවුල් කළහ. කුමාරතුංගයන් මෙහිදී සංස්කෘතයේ විභක්ති දැක්වීමේ ක්‍රමය ආදර්ශයට ගෙන ඇති අයුරු මැනැවින් පෙනී යයි. මෙහි දී අපගේ අවධානය යොමු විය යුතු තව කරුණෙක් වෙයි. ‍සිදත් සඟරාවෙන් හෙළි වන පරිදි, එහි කතුවරයා සංස්කෘත - පාලි ව්‍යාකරණයෙහි දු බැසගත් දැනුමෙකින් යුතු වූ, ඇතැම් තන්හි දී සිංහල ව්‍යාකරණය ද ඒ අනුව සකස් කරන්නට උත්සුක වූ විද්වතෙකි. එසේ නම් විභක්ති යෝගයෙහි ලා නිරවද්‍ය රූපීය ආකාරය සංස්ක‍ෘතයෙහි යෙදෙනු දැකදැකත් සිය වියරණ‍යෙහි එය නොයොදන ලදුයේ කවර හෙයින් ද? මේ තව ද දුරට විමැසිය යුතු කරු‍ෙණකි.

කවර භාෂාවෙක වුව ද, ක්‍රියා පද භාවිතය ඉතා සංකීර්ණ වෙයි‍. බොහෝ තන්හි ඒ නිරවුල් ද නො වේ. සිංහලයෙහි ක්‍රියා පද භාවිතය ද බෙහෙවින් ව්‍යාකුල වැ පැවැතිණ. සිදත් සඟරාකරුගේ සිට කුමාරතුංගයන් දක්වා වියරණ ඇදුරන් බොහෝ දෙනකුන් සිටිය ද ඔවුන් අතින් මේ තතුව වෙනස් වූයේ නො වේ‍. සැබැවින් ම, කුමාරතුංගයන් ව්‍යාකරණ ගවේෂණයට යොමු වූයේ ද ක්‍රියාපද යෝජනයේ ආකුලතාව මුල් කොට නැඟුණු ප්‍රශ්නයක් නිසා යැ යි කියැවේ.‍ ඔහු දිගු කලක් වැය කොට, සිංහලයේ ක්‍රියා පද යෙදීම පරීක්ෂා කරමින් එය මුළුමනින් නිරවුල් කෙරෙමින් ‘ක්‍රියා විවරණය’ ලියූ හ. විද්වද් ජන සම්භාවනාවට අතිශයින් පාත්‍ර වැ ඇත්තේ එහි එන ධාතු ගණ භේදය යි. කුමාරතුංගයෝ සිංහලයෙහි යෙදෙන ධාතු (ක්‍රියා මූල) මැනැවින් විමසා බලා වර නැ‍ඟෙන ආකාරය අනුව ධාතු ගණ හයක් විද්‍යමාන වන බව පෙන්වාදුන්හ. මෙහි පදනම වූයේ ප්‍රථම පුරුෂයේ වර නැඟීමෙහි දී එක් එක් ධාතුව ගන්නා ප්‍රත්‍යය යි.‍ ඒ අනුව බල, බම, බණ, පිහිට, රක්, බස් යැයි එක් එක් ගණයට අයත් ධාතුවෙක නමින් ඒ ඒ ගණය හඳුන්වන ලදි. මෙහි දී සංස්කෘත ධාතු ගණ භේදයේ ආභාසය කුමාරතුංගයනට ලැබී ඇත. සංස්කෘතයෙහි ධාතු ගණ බෙදෙනුයේ විකරණ ප්‍රත්‍යය යෝගය අනුව ය. සිංහලයෙහි එබඳු විකරණ ප්‍රත්‍යය නො ලැබෙනුයෙන් කුමාරතුංගයන්, ඒ ඒ ධාතු ප්‍රථම පුරුෂයෙහි වරනැඟීමෙහි දී ගන්නා ප්‍රත්‍යය අනුව ගණවලට බෙදා ඇති සේ පෙනේ.

වාසල මුදලි ගුණවර්ධන, මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් වැනියනුදු සිංහලයේ ධාතු ගණ ප්‍රභේද කොට දක්වා ඇතත් කුමාරතුංගයන්ගේ ප්‍රභේදනය එසියල්ලට වඩා ශාස්ත්‍රීය ද සම්පූර්ණ ද වෙයි. එහෙයින් මෙය සිංහල ව්‍යාකරණ‍ය විෂයයෙහි ඔවුන්ගෙන් කැරුණු ඉතා අනර්ඝ සම්ප්‍රදානයක් සේ සම්භාවිත ය‍.

එහෙත් එහි දු තව දුරටත් විමැසිය යුතු තැන් නැත්තේ ම යැ යි කිව හැකි නො වේ. නිදසුනක් ලෙස (සිංහලයෙහි අතිභාවිත ධාතු දෙකින් එකක් වන) ‘කර’ ධාතුව දැක්විය හැකි ය. ක්‍රියා විවරණයෙහි මෙය ‘බම’ ආදි ගණයට අයත් කොට දැක්වේ. එයින් කියැවෙනුයේ ‘කර’ ධාතුව ද ‘බම’ ධාතුව මෙන් ම වර නැ‍ෙඟන බව යි. බම ධාතුව ‘බමා - බමති - බිමී - බුමූ’ යි ප්‍රථම පුරුෂයෙහි (පරස්මෛ පදයෙහි) වර නැ‍ෙඟ්. එ‍හෙත් (ක්‍රියා විවරණයෙහි ම දැක්වෙන පරිදි) ‘කර’ ධාතුව ‘කරා - කරති - කිරී - කළ - කිරූ - කුරූ - කළ’ යැයි වර නැ‍ඟේ. “අයුහි (අතීතයෙහි) ‘කළ’ යන නිපතිත රූපය මැ යැ වහරෙහි ලැබෙනුයේ” යි එහි ම සඳහන් ය. මෙනයින් විමසා බලන කල්හි ‘කර’ ධාතුව ‘බම’ ආදි ගණයට ඇතුළු කළ හැකි ද යනු ගැටලුවෙකි. මෙබඳු විමර්ශාර්හ ස්ථාන ඇත්තේ වී නමුදු මේ ධාතු ගණ භේදය සිංහල භාෂා අධ්‍යයනයෙහි ලා අතිශයින් උපයෝග වෙයි.

ඩේවිඩ් පීරිස්-('සම­රුව' ලියැ­වුණේ මොවුන්
මුල් කර­ගෙ­නය).

කුමාරතුංගයන් විසින් හෙළි කැරුණු තව ද වටනා කරුණක් නම් සිංහලයෙහි දු ක්‍රියා පද විෂයයෙහි ආත්මනේ පද - ‍පරස්මෛ පද භේදය ඇති ය යනු යි. පාලියෙහි හා ප්‍රකට වැ පැනෙන මේ භේදය සිංහලයෙහි දු පුරාතනයෙහි පටන් පැවැතුණු නමුත් කුමාරතුංගයන් දක්වා වුසූ කිසි වියරණ ඇදුරකු විසින් මෙය නොදක්වන ලදි. රූප වශයෙන් විනා අර්ථ වශයෙන් මෙදෙක්හි වෙනසක් නො මැතියෙන් එසේ වූ හ යි ද සිතිය හැකි ය.

වාක්‍යකරණය හා සම්බන්ධ වැ කුමාරතුංගයන් විසින් හෙළි පෙහෙළි කැරුණු රීති ද ගණනාවක් වෙයි. එවන් සමහර රීති සිංහල ව්‍යවහාරයෙහි දී භාවිත කැරුණ ද ව්‍යාකරණ ග්‍රන්ථයනට එ දක්වා වැද්දගෙන නො තිබිණි. ව්‍යාකරණ විවරණයෙහි ‘ආඛ්‍යාත සම්බන්ධය’ නම් 11 වන පරිච්ඡේදයෙහි එබඳු රීති ගණනාවක් සංගෘහීත වැ ඇත. ඉනුදු

* නපුංසක ලිංග උක්තය බහ්වර්ථ වුව ද ආඛ්‍යාතය

ඒක වචන වෙයි.

* ප්‍රාණී සමූහවාචී උක්තය ඒක වචන වුව ද ආඛ්‍යාතය

බහු වචන වෙයි.

* ක්‍රියාව සම‍ූහයට මැ අයත් නම් එකකු හෝ එකක හෝ විසින්

තනි වැ නොකළ හැක්කේ නම් එකලැ ආඛ්‍යාතය ඒක වචන

හෝ වෙයි.

* ‘ඒ’ විභක්ති ගත් උක්තය සමූහවාචී වුව ද ඒක වචන

ආඛ්‍යාතය මැ ගනී.

* ස්ත්‍රී ලිංග උක්තය ඒක වචන වුව ද අතීත ආඛ්‍යාතය

බහු වචන මැ වෙයි.

* සංශයාදි අර්ථයෙහි ආඛ්‍යාතය ‘යි’ නිපාතයෙන් බැ‍ඳෙන

වචනයෙකැ ඒ නිපාතයට පෙර වැ මැ යෙදුණේ, උක්තය

නො බලා, සියලු තන්හි ප්‍රථම පුරුෂ බහු වචන වැ සිටී.

* අනිශ්චිතාදි අර්ථයෙහි ‘වි’ නිපාතය යෙදෙන කලැ ද

ආඛ්‍යාතය උක්තය නො බලයි. සියලු තන්හි ප්‍රථම පුරුෂ

ඒක වචන වෙයි. උක්තය දෙවන විබත ගනී.

* විකල්පාර්ථ ‘හෝ’ නිපාතයෙන් බැඳුණු උක්ත කිහිපයක් ඇති

කලැ ආඛ්‍යාතය ආසන්නතම උක්තය හා තුල්‍ය යෝග වෙයි.

ආදි උක්තාඛ්‍යාත සම්බන්ධයට ඍජු වැ ම බලපාන වාක්‍යකරණ රීති ඉතා ම වැදැගත් වෙයි. ස්ත්‍රී ලිංග උක්තය ඒකවචන වුව ද අතීත ආඛ්‍යාතය බහු වචන වීම වන් රීතියක් කුමාරතුංගයන් දිවමන් කල ම තියුණු වැ විවේචනයට ලක් වූයේ වී නමුදු යථෝක්ත රීති සියල්ල මෙන් අද්‍යතන ව්‍යාකරණ විෂයයෙහි ප්‍රතිෂ්ඨාපිත වැ පවතී. ව්‍යාකරණය පිළිබඳ අත්‍යවශ්‍ය රීති සමූහයක් මෙ‍සේ ස්වකීය පර්යේෂණ මඟින් හෙළි පෙහෙළි කොට දැක්වීමෙන් එක් අතෙකින් ඔවුන් අතින් කැරුණේ සිංහල ව්‍යාකරණයෙහි වූ බලවත් ඌනතාවක් සපුරාලීමෙකි. අනෙක් අතින්, භාෂා අධ්‍යයනය උදෙසා මතු නො ව, නිරවද්‍ය ලේඛනය උදෙසා ද මෙමඟින් ලැබෙනුයේ ඉමහත් පිටුබලයෙකි. මෙයින් ඇතැම් රීතියක් සිංහලයේ ස්වාධීන ව්‍යාකරණ සම්ප්‍රදායය සුවි‍ශද වැ දැක්වීම පිණිස ඉවහල් වන බව ද ඉඳුරා කිය හැකි ය. කුමාරතුංගයන් සිංහල ව්‍යාකරණ ගවේෂණය මඟින් ඉදිරිපත් කළ තවත් ඉතා ම වැදගත් කරුණක් නම් සිංහලයෙහි අනාගත කාල ආඛ්‍යාතයෙහි අවිද්‍යමානත්වය යි. අනාගත - වර්තමාන දෙකලට ම පොදු වැ සිංහලයෙහි යෙදෙනුයේ එක් ක්‍රියා රූපයෙකි. සිදත් සඟරාව අනුව ගිය බොහෝ වියරණ ඇදු‍රෝ වර්තමාන කාල කෘදන්ත (නාමාඛ්‍යාත) රූප අනාගත කාල ආඛ්‍යාත රූප සේ ගත්හ. මෙහි සාවද්‍යතාව මුල් වරට පෙන්වාදුන්නෝ කුමාරතුංගයෝ ය. ඔහු වර්තමාන - අනාගත දෙකට පොදු රූපය ඉතා යෝග්‍ය ලෙස අනතීත යැ යි නම් කළහ. මුල දී වියරණ ඇදු‍රන් අතර විවාදයට තුඬු දුන් නමුදු අද මේ මතය සිංහල ව්‍යාකරණයෙහි මැනැවින් ප්‍රතිෂ්ඨාපිත වැ පවතී. එවුව ද, මේ වනාහි එක් ගුරුකුලවාදයකැ යි සිඛවලඳ විනිසෙහි යෙදුමකුදු ඇසුරින් කෝදාගොඩ ඤාණාලෝක හිමිපාණන් දක්වන අදහස ද විචාරාර්හ වේ.

කුමාරතුංගයන් විසින් සිංහල ව්‍යාකරණයෙහි විෂයයෙහි පළ කළ නව මත, හෙළි කළ රීති තව ද බෙහෙවි. එසියල්ල විමසත් විමසත් ඔවුන් සිංහලය උදෙසා කළ අද්විතීය අතුල්‍ය සේවාව වඩවඩාත් ඔප් නැංවී පෙනෙන්නේ ම ය. ඔවුන්ගෙන් පසු කිසිවකු මෙසේ ගැඹුරින් ව්‍යාකරණ පර්යේෂණයෙහි නොයෙදීම මහත් අභාග්‍යයෙකි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]