![]() ![]() |
||
කුමාරතුංග ඍජු දැක්මක් ඇති අදීන මිනිසෙක්- ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග
භාෂා-භාෂාන්තර ඥානයක් ද, ප්‍රබල ස්මරණ ශක්තියක් ද, තීක්ෂණ ප්‍රඥා පාටවයක් ද ඇති ව ම නිරත විය යුතු ‘ශබ්දකෝෂකරණය’ වනාහි කිසිසේත් ම සූකර කටයුත්තෙක් නො වේ. බොහෝ විට මෙනමින් ගම්‍ය වනුයේ විද්වත් මඬුල්ලෙක දීර්ඝකාලීන සාමූහික ප්‍රයාසයෙකි. මෙහි ලා ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංගයන් අපට වැදගත් වනුයේ ‘ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂය’ හා ‘මහා සිංහල ශබ්දකෝෂය’ යනුවෙන් වන දැවැන්ත කෝෂ ග්‍රන්ථ ද්වයයෙක කේවල සම්පාදකත්වය ඉදිරියෙහි ඔහුගේ නාමය ප්‍රදීප්ත ව පවත්නා හෙයිනි. අද්‍යතන සිංහල භාෂාවෙහි පාරිශුද්ධිය අරභයා උත්තුංග සම්ප්‍රදානයක් කළ කුමාරතුංග මුනිදාස විද්වතාණන්ගේ සුවිශේෂ චරිතයෙහි පැතිකඩක් විවරණය කරනු පිණිස ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංගයනට ඇරියුම් කිරීමෙහිලා අප මෙහෙයවූයේ ඔවුන්ගේ මේ සුදුර්ලභ ශාස්ත්‍ර පෞරුෂ්‍යය යි.
‘ඇකාර’ භාවිතය වාගේ රූපීය ලක්ෂණ හිසින් නොගත්තත්, ඔබගේ භාෂා ශාස්ත්‍රීය ප්‍රයාමයට ‘කුමාරතුංග මුනිදාස’ ප්‍රවාහය ප්‍රබල පිටුබලයක් සැපයූවා යැයි ප්‍රකාශ කළ හොත්? හෙළ හවුලේ සබඳකම් නැති කෙනකුට වුවත් කුමාරතුංග මඟ හැර භාෂා සාගරය තරණය කරන්න බැහැ. මොකද: වර්තමාන තත්ත්වයට සිංහල භාෂාව ගෙන ඒම සඳහා ඔහුගේ මැදිහත් වීම් ඒ තරම්ම ප්‍රබල යි. විශේෂ කොට කුමාරතුංගට සලකන්නේ නැති කෙනකු වුවත් භාවිත කරන භාෂාව ඇතුළේ කුමාරතුංගගේ ‘ජාන ලක්ෂණ’ පවතිනවා. මා ගැන කිව හොත්: උසස් අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ නවාතැනක් සොයා යන අතරේ මට ලැබුණු නැවතුම්පළක් මගේ ජීවිතයට ඉතා තදින් බලපෑ බව නොකියා බැහැ. එතැන නවතින්නට ගොස් වැඩි දවසක් යන්නට මත්තෙන් මට වැටහුණා, මා පැමිණ සිටින්නේ නිකම් ම නිකම් බෝඩිමකට නොවන බව. එතැන හෙළ හවුලේ පඬිවරුන්ගේ තිප්පළක්! මේ තැන තමයි ජයන්ත වීරෙස්කරයන් විසූ මරදානේ නිවෙස (මේ තොරතුරු අරීසෙන් අහුබුදු හරසරණියට මා ලියූ ලිපියේ සවිස්තරව දැක්වෙනවා). ඒ ආශ්‍රයේ අවසානය මා හෙළ හවුලේ මධ්‍යම කාරක සභිකයකු වීම දක්වා දිග්ගැස්සෙනවා. කෙසේ වෙනත් විද්‍යා විෂයයන්ගෙන් ඉගෙනුම ලබමින් සිටි මා හට ප්‍රායෝගික භාවිතයත් සමඟ ‘හුදු හෙළ’ වහරෙහි ගැටීම ඉක්මනින් අවබෝධ වුණා.
අදීන භාවය යි. මේ අදීනත්වය ම අන් සෑම ඉසවුවක ම ප්‍රබල චරිතයක් බවට කුමාරතුංග තහවුරු කරන්න හේතු වූ බව කිව හැකි යි.
මෙයින් ඔබ නිශ්චිත ව ම අදහස් කරන්නේ කුමක් ද? යටත් නැති බව, බැගෑපත් නැති බව, ගැති නැති බව. ශාස්ත්‍ර විෂයයෙහි ලා ගත් විට විමර්ශනශීලිත්වය හැටියට මෙය ප්‍රකට වෙනවා. බුද්ධියෙන් විමසීම, ප්‍රශ්න කිරීම, තර්කානුකූල පදනමක පිහිටා කටයුතු කිරීම එහි ලක්ෂණ හැටියට සලකන්න පුළුවන්.
නිදසුන්? වෙන දෙයක් වුව මනා නැහැ. ඔහු තමාගේ ම නම අරබයා, තම පියාණන් (කුමාරතුංග තම පියාණන් කෙරෙහි දැක්වූ සැබෑ ගෞරවය නිසියාකාර ව අවබෝධ කරගන්න නම් ‘පියසමර’ කියවන්න ඕනෑ) පවා විවේචනයට ලක් කළ ආකාරය බලන්න: මෙතෙක් ආ සේ මැ යේ ව යි වරද වර දැනැ නොහළ හොත් අප වුව ද වරද ඉවසන සැටියෙකි. එ නොමැනැවි. අපේ නම දැන් වහරවන සැටි හෙළ නියරට නො යෙදේ පෙර මැ අපි මැ කීමු එය. අද පටන් එ මහ - වරද වරා වහරවමු නම’ප කුමාරතුංග - මුනිදාස යැ, ඉවසන්නැ.
කුමාරණතුංග - යන තැනැ ‘ණ’ යනු වැඩි බව දැනැ දැනැ මය පියාණන් - කළ දොස කළමු. දැන් යේ.
‘නම් සෝදුව’ යන සිරසින් මෙය 1941- 07- 12 ‘සුබස’ කලාපයේ පළ වුණා. මේ විමර්ශනශීලිත්වය කුමාරතුංග කොතරම් ඉහළින් සැලකුවා දැ යි හෙළි වන්නේ 1934 – 07 – 03 දින ‘ලක්මිණි පහන’ පුවත්පතට ඔහු ලියූ මේ පැදි පෙළකිනුයි. ඉන් එකක් මෙහෙමයි:
විමැසුවයි යෙමක් යෙයි නම් නරකාදී
කුමාරතුංගගේ සමස්ත චරිතය ම ගොඩනැඟෙන්නේ මේ ‘විමසීම’ විෂයයෙහි ඔහුගේ අදීනත්වය මත බව අපට හඳුනාගන්නට පිළිවනි.
අනුන් කළ දේ විවේචනය කිරීම ඕනෑ ම කෙනකුට පොදු චරිත ලක්ෂණයක් ලෙසයි මට වැටැහී යන්නේ... කුමාරතුංග සුවිශේෂ කිරීමට ඔබ ගෙන හැර දැක්වූ නිදසුන් ප්‍රමාණවත් යැ යි ඔබ සිතනවා ද? මගේ පිළිතුර අවසන් නැහැ. සුවිශේෂත්වය පවත්නේ මේ විමර්ශනශීලිත්වය තමන් ම අරබයා ඔහු ක්‍රියාවට නැංවූ ආකාරය මත යි. ඔහු නිරතුරු ව ම තමා විමසීමට ප්‍රශ්න කිරීමට, සහේතුක ව විවේචනය කිරීමට ලක් වීමට ප්‍රිය කළා. ව්‍යාකරණ විවරණ සංඥාපනයේ දැක්වෙන මේ ප්‍රකාශය බලන්න: “වරදක් මෙහි නැතැ යි නොකියැ හැකි. ඉතා දිගු කලක් වැර වඩා ද මෙ බඳු දැයක් පළමු වරට කිරීමේ දී නොපෙනුණු නොසැලැකුණු දොස් වැදැ-ගැන්ම ස්වභාවය යි. ශාස්ත්‍රය සම්පූර්ණ භාවයට පැමිණැවීමට විඥයන් විසින් කළ යුත්තේ එබඳු දොස් පෙන්නා දීම යි. ඒ, ඇතැමුන් පතන්නා සේ, අප්‍රකාශයේ ග්‍රන්ථකාරයාට මැ පෙන්නා දීමෙක් නො වේ වා; ප්‍රවෘත්තිපත්‍ර මාර්ගයෙන් සියල්ලන්ට ම පෙන්නා දීමෙක් වේ වා! එතන්හි නොසතුටු වන ග්‍රන්ථකාරයා ග්‍රන්ථකරණයට නුසුදුස්සෙකි.”
ඔය වගේ සටහන් අද පළ වන පොත්වල පෙරවදන් තුළිනුත් හමු වෙනවා... වෙනස ඇත්තේ එතන තමයි. බොහෝ අය එලෙස තමන්ගේ කෘතිය විවේචනය කරන්නැයි ප්‍රසිද්ධියේ ආරාධනය කර සිටියත්, සැබැවින් විවේචනයක් නැඟුණු විට කෝප ගන්නවා; විවේචනය කළ තැනැත්තා ගරහා මැඬ පවත්වන්නට පෙලඹෙනවා. එහෙත් කුමාරතුංග සෑම විට ම සකාරණ සහේතුක විවේචන සාධනීය වශයෙන් භාර ගත්තා; වරදක් පෙන්වා දුන් විට වහා නිවැරැදි වුණා. කිසියම් කරුණක් අරබයා කුමාරතුංගයන් පැවැසූ අදහසක් විවේචනය කරමින් පාඨකයකු එවූ ලිපියක් ඒ හැටියෙන් ම පළ කරවමින් වරක් ‘සුබස’ සඟරාවකට ඔහු ලියූ ලිපියක් මීට හොඳ ම සාක්ෂ්‍යයක් හැටියට උපුටා දක්වන්න පිළිවනි: “... ඔබගේ විවරණ හරි බවට බැහැරින් දෙස් නුවුවමනා යැ. කවර හෙයකින් වුව ද අපගේ වරද පිළිගනුමු. මෙය හෙළි කිරීම ගැන අපි ඔබට ණය වම් හ.” මේ විදියට කුමාරතුංග හැම විට ම, කෙනකු පෙන්වා දුන් විට හෝ තමාට ම වැටැහී ගිය විට හෝ වහා නිවැරැදි වීමට සූදානමින් සිටියා.
ඔබ දැක්වූ කරුණු මඟින් පැහැදිලි වන්නේ ‘අදීන’ ගුණය ද? නිහතමානය ද? මේ නිහතමානය ම තමයි අදීනත්වය! අදීන ගුණය නැති කෙනකුට මේ නිහතමානිත්වය වර්ධනය කරගන්න බැහැ. ඒ වගේ ම කුමාරතුංගගේ මේ පෞරුෂ ලක්ෂණය හේතුවෙන් අපට අත් වුණු විශිෂ්ට ප්‍රතිඵලයක් ද තිබෙනවා. වර්තමානයේ විශ්වවිද්‍යාලයක හෝ පාඨශාලාවක හෝ ගුරුවරයාට කට-උත්තර නැති වන ප්‍රශ්නයක් යම් සිසුවකු එල්ල කළොත් මොන වගේ තත්ත්වයක් උද්ගත වෙයි ද? ව්‍යාකරණ විවරණයේ සංඥාපනයේ එන මේ සටහනට අවධානය යොමු කළොත් ඔබට පෙනී යාවි මෙහෙම ප්‍රශ්න කිරීමට ලක් කරනු ලැබීම ඔහුට කොපමණ ‘උත්ප්‍රේරකයක්’ වූවා ද කියන කාරණය: “සිංහලයෙහි අංගසම්පූර්ණ ව්‍යාකරණයක් ඇති කිරීමේ ප්‍රයත්නය අප විසින් ආරම්භ කරන ලද්දේ මෙයට හවුරුදු සත්විස්සකට පෙරැ යැ. කඩුගන්නායෙහි පාඨශාලාවේ ශිෂ්‍ය පන්තියකට සිදත් සඟරාව උගන්වමින් සිටි අපට දිනක් ප්‍රශ්නයෙක් උපන්නේ යැ. ‘ඒ ඉ ඊ උ ද අයු’ යන තන්හි දැක්වුණු ආඛ්‍යාත විභක්ති සතර වෙන් වෙන් වශයෙන් කවර කවර ධාතු වර්ගවලට යෙදේ ද? යනු ඒ ප්‍රශ්නය යි. ප්‍රශ්නය ඇසූ ශිෂ්‍යයාට පිළිතුරු දෙන්නට නොපොහොසත් වූම් හ. ඒ මොහොතෙහි සිටැ මැ එයට පොහොසත් වන්නට උත්සාහ කළම් හ. මේ ඒ උත්සාහයේ ප්‍රතිඵලය යි.” දැන් ඔබට වැටහෙනවා ඇති කුමාරතුංග කොපමණ නම්‍යශීලි නිහතමාන ගුණයක් ප්‍රකට කළ පඬිවරයෙක් ද යන්න. අදීන චින්තනයක නොපිහිටි කෙනකුට මෙහෙම විචාරප්‍රිය භාවයක් ප්‍රකට කරන්න බැහැ.
මෙතරම් අදීන භාවයක් දැක්වූ නිසා ම ද ඔහු තම ජීවිතයේ අන්තිම කාලයේ භාෂාව සම්බන්ධයෙන් අනම්‍ය කෘත්‍රිම ස්ථාවරයක පිහිටා කටයුතු කරන්නට පෙලැඹුණේ! ඔහුට ඒත්තු ගැන්විය හැකි මට්ටමක ප්‍රබල විවේචනයක් මේ කරුණ අරබයා ඔහු වෙත ඉදිරිපත් කරන්නට එකල කිසිවකු ඉදිරිපත් නොවීම මීට හේතුව වුණා යැ යි සිතන්න පිළිවනි. ඔහු සෑම විට ම ‘රූපාන්තරණයට’ සූදානම් ව සිටි විද්වතකු වුවත්, ඔහු වටා සිටි අනුගාමිකයන් කෙරෙන් ඒ ගුණය විද්‍යමාන වුණේ නැති තරම්. තවත් කාලයක් ජීවත් වුණා නම් අනිවාර්යයෙන් වෙනස් විය හැකි ව තුබුණු කුමාරතුංග ආකල්ප භාෂා ප්‍රතිපත්ති මත, ඔහුගේ අනුගාමිකයන් 1944 දී නැවැතුණා. 2016 වෙද්දීත් මේ තත්ත්වයේ කිව යුතු වෙනසක් නැහැ. කුමාරතුංගට උපතින් හිමි වුණේ වපර ඇසක්. මේ වපරැසින් බලා වුණත් ඔහු ඇති කරගත් ඍජු දැක්මට අභියෝග කරන්න සමත් නොවුණු එකල ඇතැම් විරුද්ධවාදීන් විටෙක මේ කායික ලක්ෂණය ම ඉතා පහත් විදියට යොදාගෙන ඔහු මඬින්නට උත්සාහ ගත් හැටි ‘වියරණය මොළවා - කවි රැජන සළු ගලවා - ඇක්මය පටලවා - වෙසේ නායක වපර රිළවා” වගේ අපහාසාත්මක ප්‍රතිචාරවලින් පෙනෙනවා. හැබැයි මේ කිසිවකින් ඔහුගේ දැක්ම සොලවන්නට කිසිවකු සමත් වුණේ නැහැ.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |