කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
යටත්විජිත යුගයේ පුවත්පත්කලා විශිෂ්ටයා

යටත්විජිත යුගයේ පුවත්පත්කලා විශිෂ්ටයා

යටත් විජිත යුගයේදී සිංහල පුවත්පත්කරණයේ යෙදුණු විශේෂතම කතුවරයා කුමාරතුංග මුනිදාස යැයි කිවහැකිය. අප එසේ කියන්නේ පියදාස සිරිසේන, මාර්ටින් වික්‍රමසිංහ හා හේමපාල මුනිදාස යන ප්‍රවීණ පුවත්පත් කලාවේදීන්ට ද සාපේක්ෂ ව ය.

කුමාරතුංගයන් ‘ලක්මිණි පහන’ සංස්කරණය කළේ අවුරුදු දෙකක් වැනි සුළු කාලසීමාවකට පමණක් වුව ඔහුගේ බලපෑම පශ්චාත් පුවත්පත් කලා යුගය කෙරෙහි ද පැවති ආකාරය දිස්වෙයි.

කුමාරතුංග මුනිදාස 1914 වැනි කාලයේ පටන් ‘දිනමිණ’ වැනි පුවත්පත්වලට ලිපි ලියා තිබිණි. ඔහු ‘කුකවි වාදය’ ආරම්භ කළේ 1925 දි පමණ ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයෙනි.

‘ලක්මිණි පහන’ පත්‍රය මුලින් ම පටන්ගත්තේ 1862 දීය. (රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචිව ඇති මුල් ම සිංහල මුද්‍රිත පත්‍රය මෙයයි.) කොග්ගල ධම්මතිලක පඬිතුමා (දොන් ජොහන්නස් පණ්ඩිතතිලක) එහි සමාරම්භක කර්තෘවරයා විය. පසුව 1863දී එය බටුවන්තුඩුවේ (දොන් අන්ද්‍රියස් බටුවන්තුඩාවේ) පඬිතුමා අතට පත් වූයේය. 1883 දී එහි කර්තෘ වූයේ ‘පහන් කතුතුමා’ ලෙස ප්‍රකට වූ ඇම්. ධර්මරත්න ය. වැඩි කාල පරිච්ඡේදයක් (අවුරුදු 42ක්) පත්‍රය පවත්වගෙන යෑමේ ගෞරවය හිමි වන්නේ ඔහුට ය.

කුමාරතුංග මුනිදාස විසින් ‘ලක්මිණි පහන’ සංස්කරණය කරනු ලැබ ප්‍රකාශනයට පත්කරන්ට පටන්ගැනුෙණ් 1934 ජුනි මස 26 වැනිදා සිට ය. එතැන් සිට 1936 ජුනි 26 දක්වා එහි කලාප 77ක් ඔහු සංස්කරණය කර ඇත. එතෙක් ‘ලක්මිණි පහන’ යන නම භාවිතා කෙරුණේ ‘ලක්මිණි පහණ’ යනුවෙනි. (‘පහණ’ සඳහා මූර්ධජ ‘ණ’ යන්න යොදා ගැනිණි) එහෙත් ‘පහණ’ යන්නෙහි අරුත ගල - පාෂණය බැවින් කුමාරතුංග එය එළිය, ආලෝකය යන අරුත් නංවන ‘පහන’ ලෙස වෙනස් කළේ ය.

‘ලක්මිණි පහන’ කෙබඳු අරමුණක් පෙරදැරි කරගෙන ප්‍රකාශනයට පත් පුවත්පතක් ද? එම පත්‍රයෙහි පළමු සංවත්සරය වෙනුවෙන් පළවූ දැන්වීමකින් අපට එහි අභිලාෂය මැනවින් වටහා ගත හැකිය. ඒ මෙපරිදිය.

ජාතිය නඟා ලීමට - එමෙන්මැ බොරු මකාලීමට

භාෂාව නඟා ලීමට - එමෙන්මැ කුහකකම් මකාලීමට

ආගමය නඟා ලීමට - එමෙන්මැ දීන, බිය මකාලීමට

අභිමානය නඟා ලීමට - ‍එමෙන්මැ දාස බව මකාලීමට

අදහස් නඟාලීමට - එමෙන්මැ බැරි බව මකාලීමට

ඉහත සටහනේ ආගමය නඟාලීමට යැයි සඳහන් වුවත් කුමාරතුංග වැඩි අවධානයක් යොමු කළේ දෙස, බස, රැසට ය. ඔහුගේ තෙරුවන වූයේ එයයි.

මා දෙස හෙළ දෙස
මා රැස හෙළ රැස
මා බස හෙළ බස
මේ මගෙ මතැ හිස

යනුවෙන් ඔහු ‘හෙළ මීයැසියේ’ සඳහන් කර ඇත.

කුමාරතුංග මුනිදාස පූර්ව යුගයේ (අනගාරික ධර්මපාල, පියදාස සිරිසේන) ජාතිය, ආගම මූලික කරගෙන ගොඩනැඟුණු පුවත්පත් කලාව පසුව කුමාරතුංගගේ මැදිහත්වීමෙන් භාෂාව මූලික කර ගෙන ගොඩනැඟුණු ආකාරය පෙනී යයි.

කුමාරතුංගගේ පුවත්පත් බස පිළිබඳ අගනා විවරණයක් තවත් මහා පත්‍රකලාවේදියෙක් වන ඩී.බී. ධනපාල විසින් කරනු ලැබ ඇත. පහත එන්නේ ඔහුගේ ප්‍රකාශයකි.

“නවීන පුවත්පත් බසට වැදගත් දායාදයක් නැසීගිය කුමාරතුංග මුනිදාස මහතාගෙන් උරුම ව තිබෙන බව පැහැදිලි ය. කුමාරතුංග මහතා පුරාණ සිංහල බසින් අදහසට ගැළපෙන ලිහිල් වචන හැඩවැඩ ගැසීමට රුසියෙක් ව සිටි බව ඒ මහතාගේ පතපොතින් පෙනේ. රචනා විලාසය බොහෝ තැන්වල විකාර විලාසයක් වී නමුත් වචන, පද බැඳී‍ම හා වචන අලුතෙන් නිපදවීමේදීත් ඒ මහතා පරදවන්ට සමතකු තවම බිහිවී නැති බව පිළිගත යුතුය.” (තරංගනී 1954 අප්‍රේල්)

පුවත්පත් මාධ්‍යයට මෙන්ම පොදුජන ව්‍යවහාරයට ප්‍රයෝජනවත් අලුත් වචන රාශියක් නිර්මාණය කිරීමෙන් ද කුමාරතුංග කළ සේවාව පැසසුම් කටයුතුය. සරසවිය, රෝහල, හෙදිය, පාපැදිය, ජනරජය, කමිටුව, සමුළුව, දුර දක්නය, නැවියා, පිරික්සුම, ලකිසුරු, වෙළුම වැනි වචන ඊට නිදසුන් ය.

කුමාරතුංගයන්ගේ මඟ ගනිමින් පුවත්පත්කලාවේදීහු බොහෝ දෙනෙක් හෙළ බස ඇසුරුකරගෙන ලේඛනයෙහි නිරත වූහ. මහනාම දිසානායක, වේ.වි. අබයගුණවර්ධන, අනඳපිය කුඩාතිහි, බී.ඒ. සිරිවර්ධන ඔවුන් අතර වෙති. සිරිවර්ධනයන් ‘ඇත්ත’ පුවත්පතට කතුවැකි ලීවේ තුමාරතුඟු බස ගුරුකරගෙන වුවත් ඔහු එහිදි අන්තවාදි නොවීම විශේෂත්වයකි.

පුවත්පත්කලාවේ නූතනවාදය ආරම්භ වන්නේ කුමාරතුංග ගෙනි. ආකෘතිමය වශයෙන් ඔහු කළ වෙනස්කම් අදට ද වලංගු ය.

පුවත්පත් ශීර්ෂ පාඨ වර්තමානයේ දක්නා ලැබෙන ආකාරයෙන් වෙනස් කිරීමට පු‍රෝගාමි වූයේ කුමාරතුංගයන් ය. ඊට ඉහත සිරස්තල යෙදුණේ ක්‍රියාව භාව නාමයෙන් තැබීමෙනි. (උදාහරණ : ‘මහත්මා ගාන්ධි මිය යෑම’ එහෙත් එකී සිරස්තලවලට වර්තමාන රූපයෙන් ආඛ්‍යාතය යෙදීම (උදාහරණ : ‘මහත්මා ගාන්ධි මිය යයි’) පටන්ගත්තේ කුමාරතුංගයන් ය.

තම පුවත්පතේ කතුවැකි ලීවේ කුමාරතුංග ම ය. (ඒ කතුවැකි ආචාර්ය බන්දුසේන ගුණසේකර විසින් ම කුමාරතුංග මුනිදාස පදනම විසින් ද අවස්ථා දෙකකදි පොත් වශයෙන් පළකරනු ලැබ ඇත.) එසේම ඔහු ‘අසරණයා’ යන ආරූඪ නමින් ‘කන්නලවුව’ නමැති තීරු ලිපිය ලියා තිබේ. කුමාරතුංග තම චින්තනය, තම මතවාදය ප්‍රකට කළේ මේ කතුවැකි, තීරු ලිපි ඔස්සේ ය.

කුමාරතුංගයන්ට ප්‍රගතශීලී දේශපාලන දැක්මක් තිබිණි. හෙතෙම ඇතැම් සමකාලීනයන් මෙන් පටු ජාතිවාදි හා ආගම්වාදි උන්මත්තකයකු සේ ක්‍රියා නොකිරීම ඓතිහාසිකව බලනා විට වැදගත් කරුණකි. එසේම ඔහු අධිරාජ්‍යවාදීන් සතුව තිබෙන දේශපාලන බලය මේ රටේ ධනවාදී ප්‍රභූ පැළැන්තියට හිමිකර දීම උදෙසා තම පෑන මෙහෙයවූවෙක් ද නොවීය. ඒ අනුව බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ මෙරට සිටි පුවත්පත් කලාවේදීන් අතරින් වඩාත් ම ප්‍රගතිශීලී පුවත්පත් කලාවේදියා කුමාරතුංග යැයි කිව හැකිය. එකල පළවූ ඇතැම් පුවත්පත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට පක්ෂපාතීව ක්‍රියා කළ බවද මෙහිලා අමතක කළ යුතු නැත. ‘දිනපතා ප්‍රවෘත්ති’, ‘ලක්මිණි කිරුළ’ වැනි පත්තර ඊට නිදසුන් ය.

උගතකු, බුද්ධිමතකු වශයෙන් ස්වාධීන වූ මත චින්තාවක් කුමාරතුංගට තිබිණි. ‘අමද්‍යප ව්‍යාපාරය’ අලළා ඔහු ලියූ තීරු ලිපියක් මෙයට සාධක වශයෙන් දැක්විය හැකිය. ඔහු එහිදි කියන්නේ අමද්‍යප වීරයන් බොරු කාරයන් බවත් ඔවුන් රට බීම බොන බවත්ය. එසේම ළඟ තබා ගත හැක්කේ මෙරට අරක්කු බෝතල් දෙකක් පමණක් බවත් රට බෝතල් ඕනෑතරම් ළඟ තබා ගත හැකි බව කියන ඔහු එය උපහාසයටත් වි‍වේචනයටත් ලක් කරයි.

තම මතයට විරුද්ධ මත ඉදිරිපත් වීමේදී ඒවා ද ‘ලක්මිණි පහනේ’ පළ කිරීමට කුමාරතුංග ඉදිරිපත් වී තිබීම ප්‍රශංසනීය ය. ඔහු එහි ලා මෙසේ කියා ඇත. “.... අපගේ පත්‍රය පැවැතෙනුයේ භාෂාව අතින් හෝ අන්‍ය ශාස්ත්‍ර අතින් හෝ ආගමය අතින් හෝ අපගේ මැ මතය ප්‍රකාශ කිරීමට නොවෙයි. රටට වැඩක් සලසති යි සිතිය හැකි අදහසක් ශිෂ්ට භාෂායෙන් ප්‍රකාශ කිරීමට ශක්තිය ඇති කවරක් හුගේ වුවද මතයක් ප්‍රකාශ කිරීමට ඉඩ දෙනු පිණිසයැ. එබඳු මතය අපට විරුද්ධ වැ පැවැසුණ ද ලැබෙන ඉඩ නම් ලැබේමැයි. අපට පක්ෂ වූ මතයට වඩා විපක්ෂ වූ මතයට ඉඩදීම අප ගේ ප්‍රතිපත්තියක් ලෙස සැලැකෙන බව ලක්මිණි පහන කියවන්න වුනට දැන් පැහැදිලි වියැ යුතුයැ.” (ලක්මිණි පහන 1934 නොවැම්බර් 13)

සාහිත්‍ය නිර්මාණ හා විචාර පළකිරීමෙන් ද බුද්ධිමය සංවාද (විවාද) පළකිරීමෙන් ද ‘ලක්මිණි පහන’ වැදගත් කාර්ය භාරයක් ඉටු කළේය. ‘මඟුල් කෑම’, ‘හීන්සැරය’, ‘හත්පණ’ මුලින් ම පළව ඇත්තේ මෙම පත්‍රයේය.

පළමුවරට පුවත්පතක් මඟින් ග්‍රන්ථ විවේචන පළ කිරීම ආරම්භ කළේ කුමාරතුංග බව විචාරක මතයයි. මේ පොත් විචාර පළවූයේ ‘ග්‍රන්ථ පරීක්ෂා’ යන ශීර්ෂය යටතේ ය. ඒ යටතේ ඔහු වික්‍රමසිංහ ගේ ‘සත්ව සත්තතිය’ වැනි පොත් පවා විචාරය කර ඇත.

‘ලක්මිණි පහනින්’ කුමාරතුංග, පුවත්පත් විවාද සම්ප්‍රදාය තවදුරටත් ඉදිරියට ගෙන ගියේ ය. තිසර - මයුර වාදය, පාරුපන වාදය, චීවර වාදය ඇ කාරය පිළිබඳ වාදය එහි පළවූ ශාස්ත්‍රීය විවාද අතරින් කීපයකි.

කුමාරතුංග මුනිදාසගෙන් පුවත්පත් කලාවට වූ සේවය ඇමෙරිකානු පුවත්පත් කලා වංශයෙහි බෙන්ජමින් හැරිස්ගෙන් සිදුවූ සේවයට සමානයැයි මහාචාර්ය තිස්ස කාරියවසම් කියා සිටී. (කුමාරතුංග සහ ජනසන්නිවේදනය - සසඳු සටහන් 1987) බෙන්ජමින් හැරිස් යනු ‘පබ්ලික් ඔකරන්සස් බෝත් ෆොරින් ඇන්ඩ් ඩොමෙස්ටික්’ පුවත්පතට යටත් විජිත විරෝධි ලිපි ලියූ පුවත්පත්කලාවේදියෙකි.

ලක්මිණි පහන හැරුණුකොට කුමාරතුංග ‘සුබස’, ‘පහන’ යන සිංහල සඟරා මෙන් ම THE HELIO නමින් ඉංග්‍රිසි සඟරාවක් ද ‘ඉලපත’ නමන් පුවත්පතක් ද සංස්කරණය කර ඇත.

‘ඉළපත’ ට කුමාරතුංගයන්ගේ ඇති සම්බන්ධය සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ හරිශ්චන්ද්‍ර විජේතුංගටය. ‘ඉළපත’ පත්‍රයේ කොතැනකවත් එය කුමාරතුංගගේ සැකසුමක් බව සඳහන් නොවෙතත් එහි බොහෝ ලිපිවල භාෂා ව්‍යවහාරයත් වචන මෙහෙයැවීමේ ආකාරයත් පද බෙදීමත් ශෛලියත් සලකා බලන කල එය කුමාරතුංග මහතා අතින් පණ ගැන්වුණු බව සිතෙන සාක්ෂ්‍ය කොපමණවත් ලැබෙන බව විජේතුංග තම ‘කුමාරතුංග සමාජ දර්ශනය’ පොතෙහි සඳහන් කරයි. 1936 දී දකුණු කොළඹ මන්ත්‍රණ සභා මැතිවරණයේදී ‘ඉළපත’ ආචාර්ය ඒ.පී. ද සොයිසාට සහයෝගය පළ කර ඇත. එහිදි පියදාස සිරිසේන හා කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ සහයෝගය පළකර ඇත්තේ සොයිසාගේ ප්‍රතිවාදියා වූ ඊ.ඒ. කුරේ ටය. එහෙයින් එම දෙදෙනා ම ‘ඉළපතින්’ නිර්දය ‍විවේචනයට හසු වූයේය.

මෙයට අමතර ව කුමාරතුංග, ඩී. ඩබ්ලිව්. වික්‍රමාරච්චිගේ කර්තෘත්වයෙන් පළ වූ ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයේ ‘කලා කලාපයේ’ සංස්කාරක වශයෙන් ද කටයුතු කර ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]