කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
යෝධයන්ගේ තොරතුරු රැගත් සිතුල්පව්ව මහ පුදබිම

යෝධයන්ගේ තොරතුරු රැගත් සිතුල්පව්ව මහ පුදබිම

රුහුණු ප්‍රදේශයේ පුරාණ විහාර ආරාම පිහිටි විශාලතම පුදබිම වන්නේ සිතුල්පව්ව හෙවත් චිත්තල පබ්බතයයි. චිත්තල පබ්බත යනුවෙන් අදහස් කරන්නේ චිතාකර්ෂණීය වූ පර්වතය යන අර්ථයෙනි. චිත්තල පබ්බත යන නාමය පාලි වංසකතාවල සහ අට්ඨ කථාවල සඳහන් වන නාමයයි. සෙල්ලිපිවල මේ පුද බිමෙහි නාමය සඳහන් වන්නේ ‘චිතල පවත විහර’ යන නාමයෙනි.

ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ මුල් කාලයේදී (ක්‍රි. පූ. 210 - 161) කාලයේදී රෝහණ දේශය පාලනය කළ කාවන්තිස්ස හෙවත් ගැමුණු කුමරුන්ගේ පියා විසින් මේ විහාරය සාදවන ලදී. මේ පුදබිම පුරාණ ග්‍රන්ථවල සඳහන් වී ඇති සුපේෂල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේ රැසක් වැඩවාසය කළ ස්ථානයක් ලෙසිනි. ඒ බව විශේෂයෙන් පැරැණි අට්ඨකතාවල සඳහන් වේ.

දුටුගැමුණු මහ රජතුමාගේ දස මහා යෝධයන්ගෙන් කෙනෙකු වන පුස්සදේව සිතුල්පව්ව අසල ගවිට නම් ගමෙහි උපන් කෙනෙකු ලෙසින් ප්‍රකටය. පුරාණ කාලයේදී සිතුල්පව්වේ වැඩ වාසය කළ භික්ෂුන් වහන්සේ පිළිබඳ කතා පුවත් රැසක් අටුවා ග්‍රන්ථවල සඳහන් වේ. ඒ අනුව පැරැණි යුගයේ දී සැදැහැවත් බෞද්ධ ජනතාව නිතර ගැවසුණු පුදබිමක් මෙන්ම භික්ෂුන් වහන්සේ රැසක්ම වැඩවාසය කළ පින්බිමක් විය.

මහාවංසයේ සඳහන් වන අන්දමට වසභ රජතුමා (ක්‍රි. ව. 65 - 109) විසින් ස්තූප දහයක් සාදවන ලදී.

මහා පරාක්‍රමබාහු සහ සුගලා දේවිය යන දෙදෙනාගේ සේනාවන් අතර සටනක් සිදු වූ ‘කුරවකගල්ල’ නම් වූ පෙදෙස සිතුල්පව්ව කඳුයායට අයත් ‘කොරවක්ගල’ කඳු පෙදෙස ලෙසින් හඳුනාගෙන ඇත. සිතුල්පව්ව පුදබිම අවට ඇති ක්‍රිස්තු පූර්ව සියවස්වලට අයත් වන ලෙස ලිපි රැසකම දුටුගැමුණු මහරජතුමාගේ දස මහා යෝධයන්ට අයත් නන්දිමිත්‍ර හා වේලුසුමන ගැන ද සඳහන් වේ.

මේ පුදබිම අසල ඇති ක්‍රිස්තු පූර්ව සෙල්ලිපිවලින් මෙහි පැරැණි ස්වභාවය හඳුනාගත හැකිය. ඒ කාලයේදී විසූ ඇතැම් රජවරුන් පිළිබඳව ද වංසකතාවේ සඳහන් නොයෙක් සිදුවීම්වලට අයත් වන පුද්ගලයන් ගැන ද එම සෙල්ලිපිවලින් තොරතුරු හෙළි වේ. මේ සෙල්ලිපිවල සඳහන් වන තොරතුරු මෙන්ම සමහර විට ඊටත් වඩා වැදගත් වන්නේ සිංහල භාෂාවේ සමකාලීන අක්ෂර විද්‍යාවේ පරිණාමය පිළිබඳ ලබාගත හැකි සාක්ෂින්ය.

සිතුල්පව්ව පුදබිමෙහි දක්නට ලැබෙන ඉතා වැදගත් ස්මාරක සහ පුරාවස්තු අතර ස්තූප, ලෙන් විහාරය, බෝධි සත්ත්ව පිදීම, බුදු පිළිම සහ වටදා ගෙයක අවශේෂ ද දක්නට ලැබේ. මෑතක දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද පුරාවිද්‍යා කැණීම් අනුව පුරාණ පිළිම ගෙයකට අයත් නටබුන් හමුවී තිබේ. ඒ අසල ඉතා කුඩා ප්‍රමාණයේ තාරා දෙවඟනකගේ ලෝකඩ ප්‍රතිමාවක් ද හමු වී ඇත.

මෙහි ලෙන් විහාරයේ කටාරමට යට (කටාරම යනු පර්වතය මුදුණේ සිට පහළට රූරා බසින ජලය, කෙළින් එම ගල දිගේ පහළට නොගොස් කැපූ තැනින් බිමට වැටීම සඳහා කරන ලද ශිලාමය කැපීමකි.) ඇති චිත්‍ර ලංකාවේ හමුවන ලෙසින් සැලැකේ. හුනු බදාමය මත අඳින ලද එම බිතුසිතුවම් සඳහා රතු සහ කහ මිශ්‍ර වර්ණ බෙහෙවින්ම යොදාගෙන ඇති අතර ඉතා තුනී හුනු බදාමය මත බිතුසිතුවම් ඇඳීම සිදුකර තිබේ.

එම ලෙන තුළ ඇති සැතපෙන බුදු පිළිමය අඩි 37 පමණ දිගය. ඒ බුදු පිළිමය පිහිටි ලෙන අඩි 67 කි.

සිතුල්පව්වේ සෑම කඳු මුදුනකම වාගේ කුඩා ස්තූප පුරාණ කාලයේදී නිර්මාණය කර ඇත. මේ ස්තූපවලින් කීපයක්ම ක්‍රිස්තු පූර්ව යුගයට අයත් වේ. ඒ කාලයේ ඉතා ප්‍රසිද්ධියට පත්වී තිබුණු ‘පබ්බත විහාර’ සැලැස්ම අනුව ඒ සාදන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති.

සිතුල්පව්ව ලෙන් විහාරය ඉදිරිපස අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමා දෙකක් ඇත. එයින් එක මූර්තියක් ස්වර්ණභරණවලින් සැරසූ එකක් සේ දිස් වේ. අනෙකු ඍෂිවරයෙකු ලෙසින් දිස් වේ.

(වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය සිරිසමන් විජේතුංග පි. 227 - 228 (2013)

සිතුල්පව්ව පුදබිමෙහි ප්‍රධානතම පූජනීය වූ ස්මාරකය ලෙසින් සැලකෙන්නේ ඉහතින් සඳහන් වන දාගැබය. එය පර්වතය මත සාදා තිබේ. එය හඳුන්වන්නේ “මහ සිතුල්පව් දාගැබ” යනුවෙනි. ඒ සඳහා මළුවට ඇතුළුවීමට දකුණතින් සහ උතුරින් ගල්පඩි කපා තිබේ. ස්තූපය සාදා ඇති ඉහළ මළුව දෙපස ගොඩනඟා ඇත්තේ ඉතා විශාල ගල් කුට්ටි යොදාගෙනය.

භික්ෂුන් වහන්සේ දොළොස් දහසක් මෙහි වැඩවාසය කළ බව “සම්මෝහ විනෝදනි” ග්‍රන්ථය සඳහන් කරයි. ඒ භික්ෂුන් වහන්සේ බොහෝ දෙනෙකු රහතුන් වූ බව “විසුද්ධිමග්ග” නමැති පුරාණ ග්‍රන්ථයේ සඳහන් වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]