![]() ![]() |
||
දැඩි උණුසුමෙන් බේරෙන්න වෙනදාට වඩා දෙගුණයක් වතුර බොන්නළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා හැම වසරකම මාර්තු, අප්‍රේල් සිට මැයි මාසය දක්වා වෙනදාට වැඩි උණුසුම් කාලගුණයක් පැවැතීම ස්වභාවිකයි. ඒත් මේ වසරේ කාලගුණය තරමක් වෙනස්. වෙනදාට වඩා පරිසරයේ උෂ්ණත්වය ඉහළ ගිහින්. සාමාන්‍ය දිනවල සෙල්සියස් අංශක 26ක් 27ක් තරමට තිබුණු පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 - 37 පමණ දක්වා ඉහළ ගිහින්. ශරීර උෂ්ණත්වය තරමටම පරිසරයේ උෂ්ණත්වයත් වැඩි වුණාම මිනිසුන්ට එය දරාගන්නට අමාරුයි.
හිස කරකැවිල්ල, අධික වෙහෙස, නිදිමත හා ඇඟේපතේ වේදනාව වගේම ඉක්මනින් තරහ යන්නෙත් සිරුරෙන් අධික ලෙස දහදිය දැමීමෙන් අපට නොදැනීම විජලනයට පත්වීම නිසයි. කුඩා දරුවන්ට, පාසල් දරුවන්ට, එළිමහනේ අව් රශ්මියට නිරාවරණය වී වැඩ කරන පුද්ගලයන්ට මෙන්ම වයසක උදවියටත් මේ තත්ත්වය තදින් බලපාන්නට පුළුවන්. විජලනයෙන් වැළකීම සඳහා මේ දිනවල වෙනදාට පානය කළ වතුර ප්‍රමාණය මෙන් දෙගුණයක් වතුර බීම අත්‍යවශ්‍යයි. වැඩිහිටියකුට දිනකට වතුර වීදුරු හයක්වත් බොන්න කියලා උපදෙස් දී තිබුණත් මේ දිනවල ඒ ප්‍රමාණය දෙගුණ කළාට වරදක් නෑ. පිපාසය දැනෙන තුරු නොඉඳ හිතාමතාම වතුර බොන්න. මවුකිරි බොන ළදරුවන්ට අවශ්‍ය වතුර ප්‍රමාණය මවුකිරිවල අඩංගු වෙනවා. වෙනදාට පැය තුනකට හෝ දෙකකට වරක් කිරි දුන් දරුවකුට ඒ කිරි වේල්වලට අමතරව කිරි වැඩිපුර දුන්නාට කමක් නැතැයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ළදරුවන්ගේ ශරීරයට අධික උණුසුම දරාගන්නට බෑ. ඔවුන් නිතරම අඬන්නට, අසහනයට පත්වීමට මේ අධික උණුසුම හේතුවක්. දරුවාගේ ශරීරයේ උණුසුම පමණට වඩා ඉහළ ගියොත් මොළයේ ක්‍රියාකාරිත්වයට සහ හදවතේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට හානිකර විය හැකියි. මොළයේ ක්‍රියාකාරිත්වය අසාමාන්‍ය වූ විට Heat Stroke හෙවත් උණුසුම් ආබාධ තත්ත්වයක් ඇතිවීමට පුළුවන්. එවැනි අවස්ථාවක කලන්තය, වලිප්පුව, කරකැවිල්ල වැනි රෝග ලක්ෂණ මතු වෙන්නට පුළුවන්. උෂ්ණත්වය දරාගන්නට බැරිව ඇතැම් විට මිනිසුන් මරණයට පත් වෙන්නේ එලෙස උෂ්ණ ආබාධ (Heat Strokes) ඇතිවීමෙන්. එහෙයින් ලොකු කුඩා කවුරුත් ශරීරයට දැනෙන අධික උණුසුම පාලනය කරගන්නට කටයුතු කිරීම වැදගත්. අධික උණුසුම නිසා දහදිය බිබිලි දැමීම, සම වියැළීම, අතපය මුඛය හා වෛරසයකින් බෝවන සමෙහි කුෂ්ට වැනි චර්ම රෝග ඇතිවීමටත් පුළුවන්. ඒ සියල්ලෙන් වැළකීමට ඇති හොඳම පිළියම දිනපතා විනාඩි 20 - 25ක්වත් වතුරේ ගිලී නෑම හෝ වතුරක බැස සිටීමයි. කුඩා දරුවන් වුවත් අසනීපයක් නැත්නම් දිනකට විනාඩි 20 - 25ක් පමණ වතුරෙහි බහා තැබීම සුදුසුයි. බේසමක හෝ නාන තටාකයක හෝ දරුවන්ට වතුරේ ක්‍රීඩා කරන්නට දීම ඔවුන්ගේ ගතට මෙන්ම සිතටත් ප්‍රබෝධයක් ගෙන දේවි. වැඩිහිටියන්ටත් ඇඟ හොඳින් සිසිල් වන සේ ජල තටාකයක, ගඟේ හෝ මුහුදෙහි විනාඩි 25 - 30ක් ගිලී සිටීමට හැකිනම් ඉතා සුදුසුයි. ජලයේ ගිලී සිටීමෙන් ඇඟ සිසිල් වෙනවා මෙන්ම හමේ රෝග ද ඉබේම සුවපත් වෙනවා. නිතර වතුර බීම මෙන්ම තැඹිලි, කුරුම්බා, දෙහි යුෂ, දොඩම්, ලෙමන් වැනි ස්වභාවික පාන වර්ග නිතර බීමත් සුදුසුයි. සව්, බාර්ලි, බෙලිමල්, පොල්පලා, රණවරා වැනි පාන වර්ගත් ඉතා ගුණයි. කුඩා දරුවන්ට පාසලට ගෙනියන වතුර බෝතලය වෙනුවට වතුර බෝතල් දෙකක්ම දෙන්න. හිතාමතාම දරුවාට වතුර බීමට හුරු කරන්න. කෝලා වර්ග, පැණි බීම හෝ කෘත්‍රිම පාන වර්ගවලට දරුවන් හුරු කරන්නට එපා. කිරි පැකට්, චොක්ලට් බීම, කෘත්‍රිම පලතුරු යුෂ නිතර දීමෙන් දරුවාගේ දත් නරක් වෙනවා. අධික සීනි හා වෙනත් රසකාරක හේතුවෙන් දියවැඩියාව හා ස්ථුලතාවයට ගොදුරු වෙන්නට පුළුවන්. වතුර තරම් වටිනා නොමිලේ ලබාගත හැකි වෙනත් පානයක් නොමැති බව හැම විටම මතක තබා ගන්න. මේ දවස්වල පාසල්වල ක්‍රීඩා උත්සව හා ක්‍රිකට් තරග පැවැත්වෙනවා. වෙනදාට වඩා ළමයින් හිරු එළියට නිරාවරණය වෙනවා. දහදිය වැඩිපුර පිට වෙනවා. එහෙයින් වෙනදාට වඩා හිතාමතාම වතුර වැඩිපුර බොන්නට ඕනෑ. අත් දිග ඇඳුම් ඇඳීම, තොප්පි පැලඳීම, හොඳින් සිරුර ආවරණය වන ඇඳුම් ඇඳීම වඩාත් සුදුසුයි. මේ කාලෙට අඳින්නට ඕනෑ කපු ඇඳුම්. කුඩාම දරුවන්ට නම් සිරුරම වැහෙන්නට ඇඳුම් අන්දනවාට වඩා සිනිදු කපු ඇඳුමක් ඇන්දවීම හෝ යටිකයට ඇඳුමක් ඇන්දවීමත් වඩා සුදුසුයි. මදුරුවන්ගෙන් දරුවා ආරක්ෂා කරගැනීමත් වැදගත්. දරුවා වතුර බේසමකට දමා සෙල්ලම් කරන්නට දී අම්මා වෙනත් වැඩක යෙදීමෙන් දරුවා අනතුරට පත් වෙන්නට ඉඩ තිබෙනවා. දරුවා නැහැවීම, වතුරේ තබා තිබීම වුවත් හොඳ අවධානයකින් හා ආරක්ෂාකාරීව කළ යුතුයි. බේබි ක්‍රීම් වර්ග හා සමේ ආලේප අත්‍යවශ්‍ය දේ නොවෙයි. ඒත් සම වියළීම වළක්වා ගැනීමට හා සමේ තෙතමනය රඳවා ගැනීමට ඒවා උපකාරී වෙනවා. දහදිය දමන නිසා විදුලි පංකා, වායු සමන යන්ත්‍රවල පිහිටත් වැඩිපුර ලබන්නට කවුරුත් කැමැතියි. ඒවායෙන් සිදුවන්නේ ශරීරයේ දාහය නිවා දැමීමත් සමඟම ශරීරයෙහි තෙතමනය උරා ගැනීමයි. එහෙයින් සිරුරෙහි සාමාන්‍ය තෙතමනය රඳවාගැනීමට වැඩිපුර වතුර බීමට සිදු වෙනවා. හැකි තරම් දුරට අව්වට නිරාවරණය වීමෙන් වැළැකීමෙන් මේ දැඩි දාහයෙන් මිදී සිටීමට පුළුවන්. වැඩිපුර වතුර බීමෙන්, දිනපතා නෑමෙන් වගේම දිනකට විනාඩි 20 - 30 අතර කාලයක් ජලයේ බැස සිටීමෙන් ද දැඩි දාහය නිවා ගත හැකියි. ඩෙංගු, උණ හා වෙනත් වෛරස් උණ රෝගත් මේ දිනවල තිබෙනවා. එහෙයින් උණ ගැනුණොත් ඒ මේ දිනවල පවතින උණුසුම් කාලගුණය නිසා යැයි සිතා ඒ ගැන නොසලකා ඉන්නට එපා. කුඩා දරුවන්, ගැබිනි මවුවරුන් මෙන්ම වයස්ගත පුද්ගලයන් ද ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. උණ ගැනී දෙවැනි දිනයේදීත් අඩු වුණේ නැත්නම් වහාම රුධිර පරීක්ෂාවක් කරගැනීම ඉතා වැදගත්. කුඩා දරුවන් හා ගැබිනි මවුවරුන් වහාම රෝහල්ගත කිරීමත් වඩා සුදුසුයි. පරිසරයේ උණුසුම ස්වභාවික වුවත් එයින් මිනිසාට සිදුවන අහිතකර ප්‍රතිඵල අහිතකරයි. ඒවා වළක්වා ගැනීමට අවධානයෙන් කටයුතු කිරීම ඒ අවදානමෙන් බේරෙන්නට ඇති පහසුම ක්‍රමයයි.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |