කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ශ්‍රී ලංකාවේ රොෂාන් ඉන්දියාවේ කුමාර් සානුගේ වාර්තාව බිඳ දමයි

ශ්‍රී ලංකාවේ රොෂාන් ඉන්දියාවේ කුමාර් සානුගේ වාර්තාව බිඳ දමයි

එක් දිනකදී ගීත 63ක් පටිගත කරයි

රොෂාන් ජයකොඩි වසර 25ක් පුරාවට ප්‍රංශයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයෙක්. විදුලි සංදේශ ක්ෂේත්‍රයේ රැකියාවක නියැළෙමින් පරිගණක හා සම්බන්ධව වැඩිපුරම කාලය ගෙවන ඔහු සංගීතයට බොහෝ ප්‍රියකරන්නෙක්. ගායනයට, වාදනයට පමණක් නොව ගීත රචනයට තනු නිර්මාණයට එක‍ෙස් දක්ෂ රොෂාන් එක් දිනකදී ගීත 63 පටිගත කර ලෝක වාර්තාවක් තැබීමට සමත් වුණා. ඔහු බිඳ දැමුවේ ඉන්දියාවේ ප්‍රවීණ ගායකයෙක් වන කුමාර් සානු (කෙඩර්නාත් බට්ටාචාර්ය) එක දිනකදී ගීත 28ක් ගායනා කර තබා ඇති ලෝක වාර්තාවයි.

පසුගියදා මවුබිමට පැමිණ වාර්තාගත ගීත පටිගත කිරීම සිදු කළ රොෂාන් මේ ආරංචිය රැගෙන ‘රසඳුන’ ට පැමිණි මොහොතේ ඔහු සමඟ කළ සම්මුඛ

සාකච්ඡාවයි මේ.

මොකක් ද මේ ලෝක වාර්තාව.

මගේ හොබි එක මියුසික්. මම සිංදු ලියනවා, කොම්පෝස් කරනවා, ගායනා කරනවා, පමණක් නෙමෙයි සංගීත භාණ්ඩ ගණනාවක් වාදනය කරනවා. කාලයක් තිස්සේ මම නිර්මාණය කළ ගීත බොහෝ ප්‍රමාණයක් තිබුණා.

ඔය අතර මම ඉන්ටර්නෙට් එකේ දැක්කා ඉන්දියාවේ කුමාර් සානු ගීත 28ක් පටිගත කරලා ලෝක වාර්තාවක් තියපු විස්ත‍ෙර්. ඊට පස්සෙ මට හිතුණා මමත් උත්සාහ කරලා බැලුවොත් මොකද කියලා. ඒ අනුව පසුගියදා මම ගීත 63ක් පටිගත කළා. දැන් ඔක්කොම සාක්ෂි ගිනස් කමිටුවට බාරදීලා අවශ්‍ය නීත්‍යානුකූල කටයුතු කරලා තියෙන්නෙ.

සමහරවිට සාර්ථක වේවි. ප්‍රතිඵලයක් බලාපොරොත්තුව ඉන්නවා. ඒ ප්‍රතිඵලය කොහොම වුණත් මට අවශ්‍ය වුණේ මගේ ගීත ටික වොයිස් කරලා සමාජ ගත කරන්නයි.

මේ තරම් ගීත ප්‍රමාණයක් එක දිගට ගායනා කරන්න අපහසු වුණේ නැද්ද?

ගීත 50ක් පමණ කිසිම අපහසුවක් නැතුව ගායනා කළා. ඉන්පස්සේ පුංචි පුංචි අපහසුතා ඇති වුණත් කරදරයක් නැතුව රෙකෝඩින් අවසන් කරන්න පුළුවන් වුණා.

ඔබ සංගීතඥයෙක් වුණු පසුබිම ගැන කතා කළොත්.

ඒකට මගේ පුංචි කාලයට ම යන්න වෙනවා. මගේ තාත්තා සෝමරත්න ජයකොඩි, අම්මා මාලනී ජයකොඩි. මම පාසල් 4කින් අධ්‍යාපනය ලබල තියෙනවා. කුලියාපිටිය රෝමානු කතෝලික පිරිමි විද්‍යාලය, පන්නල මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය සහ ගිරිඋල්ල වික්‍රමශීලා මධ්‍ය මහා විද්‍යාලය.

කුඩා කාලයේ ඉඳලාම මම සංගීතයට හරිම ආසයි. දෙවැනි ශ්‍රේණියේදී පාසල් තූර්ය වාදක කණ්ඩායමට සම්බන්ධ වුණා මෙලෝඩිකාව වාදනය කරමින්.

මම වැඩිම කාලයක් අධ්‍යාපනය ලැබුවේ කොළඹ ඉසිපතන විද්‍යාලයේ. එහි පෙර අපර දෙදිග සංගීත කණ්ඩායම් වලට එකතු වෙලා කටයුතු කළා. එකෝඩියන්, සර්පිනා, විදුලි ඕගනය, ට්‍රම්පට්, ගිටාර් වගේ සංගීත භාණ්ඩ රාශියක් වාදනය කළා. ධනංජය සෝමසිරි (තබ්ලා) මහේන්ද්‍ර පැස්කුවල් (ගිටාර්) මගේ හොඳ පාසල් මිතුරෝ. වරක් වික්‍රමශිලා විදුහලේ දහය වසරේ ඉංග්‍රීසි දින තරගය සඳහා මම පුහුණු කළ ගීතය පාසල් මට්ටමෙන් වගේම දිස්ත්‍රික් මට්‍ටමෙන් පළමු තැනට ආවා.

ඒ වගේම සුනිල් දයානන්ද ගුරුපියාණන්ගේ මඟ පෙන්වීමෙන් සමස්ත ලංකා ජයග්‍රහණ ලබා තිබෙනවා.

ඔබ ප්‍රවීණයන්ගෙන් සංගීතය ඉගෙන ගන්නේත් පාසල් කාලයේදීමයි.

ඔව්. මම හයේ පන්තියේදී ගංගාරාමයේ පැවැත්වූ සංගීත පන්තියට ඇතුළත් වනවා. විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද විජේසේන කොඩිප්පිලි ගුරුතුමන්ලා යටතේ උතුරු ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය හැදෑරුවා.

පාසලේදී ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි ගුරුවරුන් යටතේ සංගීතය හදාරා තිබෙනවා.

විශේෂයෙන් ඒ කාලයේ ආරම්භ වූ කලාභවන සංගීත ආශ්‍රමයට බැඳී ආචාර්ය රෝහණ වීරසිංහයන් යටතේ සංගීතය ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා.

උසස් පෙළ අධ්‍යාපනය ලබද්දී සුනිල් දයානන්ද කෝනාර ගුරුතුමා යටතේ විශාරද ප්‍රථමා දක්වා සංගීතය හැදෑරුවත් විදෙස් ගතවීම නිසා විශාරද දෙවැනි කොටස හදාරන්න බැරිවුණා.

ඔබ ලංකාවෙන් බැහැර වන්නේ.

1991 වසරේ මම වැඩිදුර අධ්‍යාපනය සඳහා ප්‍රංශයට යනවා. එතැනින් එංගලන්තයට ගිහින් අධ්‍යාපන කටයුතු අවසන් කරනවා. පශ්චාද් උපාධිය කළේ විදුලි සංදේශ අංශයෙන්. එදා සිට මගේ රැකියාව පරිගණක හා සම්බන්ධව තමයි කෙරෙන්නේ. ඒත් මම සංගීත කටයුතු අතහැරියෙ නෑ.

ලංකාවේ සිට එන ජනප්‍රිය ගායක ගායිකාවන් සමඟ සංගීත ප්‍රසංග පැවැත්වුවා. ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමියන්ගේ සමාජ සත්කාර වලට ප්‍රසංග පවත්වා ආධාර ලබා දුන්නා. අදටත් මම මෙවැනි සද්ක්‍රියාවන්ට ආධාර උපකාර කරනවා.

ප්‍රංශයේදී ඔබ තරගවලින් ජයග්‍රහණ ලබා තිබෙනවා.

1993 අවුරුද්දේ ප්‍රංශයේ පැවැත්වුණු ආධුනික ගී තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නට මට හැකිවුණා. මෙහි විනිශ්චය මණ්ඩලයට පැමිණියේ ගුණදාස කපුගේ මහත්මයා.

ඒ වගේම 2014 වසරේදී ඉතාලියේ වෙසෙන ආනන්ද අමිල වැන්ඩර්වෝල් මුහුණු පොත (Facebook) හරහා සංවිධානය කළ ‘Miyurusara Facebook star’ පළමු ආධුනික ගී තරගයේ වැඩිම ලයික් ප්‍රමාණයක් ලබාගෙන ජයග්‍රහණය කළේ මමයි. මෙය තවමත් වසරක් පාසා පැවැත්වෙනවා.

රොෂාන්ගේ ඒක පුද්ගල ගී ප්‍රසංග විදෙස් රටවලත් ජනප්‍රියයි.

ඔව්, මම මගේ පළමු ඒක පුද්ගල ගීත ප්‍රසංගය වයස අවුරුදු 16 දී (1990) පන්නල ප්‍රජා ශාලාවේදී පැවැත්වූවා. චතුරංග ගී සරණිය නමින් හැඳින්වුණු මේ ප්‍රසංගයේ මම භාෂා 4කින් ගීත ගායනා කළා. මම මේ ප්‍රසංගය දිගටම පවත්වාගෙන යන්නට අදහස් කළත් එදා පැවැති JVP භීෂණය නිසා කරගෙන යන්නට බැරිවුණා.

1991 දී මම ප්‍රංශයට ගියේ. එහිදී වැඩිදුර අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වුණාට පස්සෙ ‘හදට ගැයෙන ගී’ (close to my heart) නමින් මගේ දෙවැනි ඒක පුද්ගල ප්‍රසංගය ලෙච්වර්ත් සහ ලන්ඩන් නගරවල පැවැත්වුවා.

ඔබේ ලෝක වාර්තාව ඇතුළේ තවත් විශේෂ වාර්තාවකුත් තිබෙනවා.

ඔව් ඒක තමයි තමන් විසින් ම තනු නිර්මාණය කළ ගීත වැඩිම ප්‍රමාණයක් පටිගත කිරීම. මෙහි ගීත 50ක් මගේ ම තනු නිර්මාණයි.

ගීත ගැයීමේ අරමුණු මොනවාද?

සංගීතයට ඇති ම‍ගේ ආසාව ඉටුකර ගැනීම පළමු අරමුණයි.

මගේ ස්ටයිල් එක සුනිල් එදිරිසිංහ මහත්මයාගේ වගේ. මම ආසා කරන්නෙත් ඒ වගේ ම ක්ලැසික් සිංදු කියන්නයි. වැඩි ප්‍රමාණයක් මම ගායනා කරල තියෙන්නෙත් ක්ලැසික් සිංදු.

ඒවා අද සමාජයට කොතෙක් දුරට ගැළපේවිද කියන්න දන්නෙ නෑ. නමුත් සමහර අය මේ ගීත ප්‍රිය කරනවා.

දැන් මේ වර්තමානයේ තිබෙන ගීතවලින්, ඒවායේ තිබෙන සංගීතයෙන් මිනිස්සු පීඩාවට පත්වෙලා ඉන්නෙ. මට අවශ්‍ය එවැනි අයගේ හිත් සුවපත් කරනයි.

මම තාම ගීත ගැයීමෙන් සල්ලි හම්බ කරලා නෑ. මට හම්බ කරන්න අවශ්‍යයත් නෑ. මගේ ගීත කෙනෙක් රස විඳිනවා නම් මට අවශ්‍ය එය පමණයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]