කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
තරුෂි- සුමේධ සොඳුරු කැදැල්ලේ හෝරාවක්

තරුෂි - සුමේධ සොඳුරු කැදැල්ලේ හෝරාවක්

මගේ උරුමක්කාරයා ඔහුයි

තරුෂි

ඇය හොඳ අම්මා කෙනෙක්

සුමේධ

මෙවර කැදැල්ල විශේෂාංගයත් රැගෙන අප පියමැන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙසෙන සොඳුරු නිවහනකටයි. ඒ ජනප්‍රිය නිළියක වන තරුෂි පෙරේරා හා සුමේධ තෙන්නකෝන්ගේ  අඹුල්දෙණිය, මාදිවෙල ප්‍රදේශයේ පිහිටි සොඳුරු කැදැල්ලටයි. ඔවුන් ගේ අලුත්ම තොරතුරු දැන ගැනීමේ අරමුණෙන් අප එහි යන විටත් පුංචි පුතුගේ සිනහවෙන් හා දඟකාරකම්වලින් අතොරක් නැතිව ඒ සොඳුරු කැදැල්ල පිරීතිරී තිබුණා. පුංචි පුතුව තුරුළු කරගත් තරුෂි අපිව පිළිගත්තේ සුපුරුදු ළෙන්ගතුකමින්.

කාලෙකට පස්සේ ‍තරුෂිව දකින්නේ?

ඔව්. මේ දවස්වල පුතා වෙනුවෙන් තමයි වැඩිපුර කාලයක් වෙන් කරලා තියෙන්නේ. ඒ අතර තුර ඉඩ ලැබෙන විදිහට තමයි මගේ රූපලාවණ්‍යාගාරයේ සහ කලා ලෝකයේ කටයුතු සිදු කෙරෙන්නේ. සුපුරුදු සිනහවෙන් පිළිතුරු දුන් තරුෂි අපිත් එක්ක කතා බහට එක් වුණා.

ඒ කියන්නේ තරුෂි‍ගේ රංගන කටයුතු දැන් නැවතිලා ද?

සම්පූර්ණයෙන්ම නැවතිලා නැහැ. නමුත් පුතා වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්න මම අදහස් කළා. ඒ නිසා දැන් කාලෙකින් නිර්මාණයකට දායක වුණේ නැහැ.

විවාහයෙන් පස්සේ ඔබ ලබන අත්දැකීම් ගැන මොකද හිතෙන්නේ?

විවාහයෙන් පස්සේ මමත් සුමේධත් ගෙවන ජීවිතේ අපි දෙන්නටම ලොකු අත්දැකීමක් වුණා. මම හරිම නිදහසේ හිටපු චරිතයක්. මට ලොකු නිදහසක් තිබුණා. ගොඩක් සතුටින් හිටියා. සුමේධ මට හමුවන්නේ යෝජනාවක් අනුවයි. මගේ මව්පියන් ගෙන ආ යෝජනාවක් මත තමයි අපි විවාහ වුණේ. ජීවිතේ වැදගත්ම දේ තමයි දැන් මට ලැබී තිබෙන්නේ. ඒ හින්දම මට දවසේ විනාඩියක්වත් මගේ කලා කටයුතු ගැන හිතන්න වෙලාවක් නැහැ. පුතාගේ වැඩවලට මුල් තැන දෙන්න සිදු වෙලා තියෙනවා. මටත් සුමේධටත්ලොකු වගකීමක් පැවැරිලා තිබෙනවා. ඒ දේ මඟ හරින්න බැහැ. පුතා යම් වයස් මට්ටමකට එනතෙක් එයාව බලාගත යුතුයි. ඉන් පස්සේ සමබරව ගෙදර ජීවිතෙයි කලා කටයුතුයි ගෙන යන්න තමයි උත්සාහ කරන්නේ.

සුමේධ ගැන තරුෂිගේ අදහස කෙබඳුද?

මම කොහොමත් විවාහ වෙනවා නම් විවාහ වෙන්නේ කලා ක්ෂේත්‍රයට පිටින් කියලම තමයි මුල සිටම අදහස් කරගෙන හිටියේ. මමත් සුමේධත් දැන හඳුනා ගත්තට පස්සේ අපි ගොඩක් කතාබහ කළා. එකිනෙකා තේරුම් ගන්න උත්සාහ කළා. එයා නම් මාව දුටු දිනයේ සිට මට ආදරය කළා. මම හෙමින් සීරුවේ තමයි ආදරයට, විවාහයට ළං වුණේ. අද මම ගත්ත තීරණය ගැන සතුටු වෙනවා. ජීවිතේ බොහෝ දේ සියයට සියයක්ම ගැලපෙන්නේ නැහැ. එය සාමාන්‍යයි. මට හිතෙන්නේ මගේ ජීවිතයට ලැබුණු හොඳම කෙනා වගේම මගේ උරුමක්කාරයාත් ඔහු කියලයි.

පොඩ්ඩත් එක්ක කාලය ගත කරන්නේ කොහොමද?

දැන් පුතාට මාස දහයක්. එයා තරුන් තෙන්නකෝන්. මම හැමවිටම පුතා ළඟම රැ‍ඳෙන්න තමයි උත්සාහ කරන්නේ. මොකද සුමේධ මේ දවස්වල ඉන්නේ විදෙස් ගත වෙලා. එයා ගොඩක්දුරට වැකේෂන් එකකට වගේ තමයි ලංකාවට එන්නේ. නිතරම ස්කයිප්,වයිබර් ඔස්සේ, සුමේධ කතා කරනවා. එනිසා එයා ළඟ නැහැ කියලා දැනෙන්නේ නැහැ.

සුමේධ දැන් දින කිහිපයකට ප්‍රථම ලංකාවට පැමිණියා නේද?

හදිස්සියේම වගෙයි ආවේ. අත්‍යවශ්‍ය ගමන් කිහිපයක්ම යන්නට තිබුණා. එනිසා තමයි ආවේ. ඒ වගේම ක්ෂේත්‍රයේ හිතවතුන්ගේ කලා කටයුතු කිහිපයකටත් මේ නිසා සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා.

ගෙදර උයන පිහින වැඩ සිදුකරන්නෙ තරුෂි ද?

උයන පිහින වැඩවලට සෑහෙන දුරට මටත් සහායට කෙනෙක් ඉන්නවා. සාමාන්‍යයෙන් ඕනම කාන්තාවකට වගේ මටත් රසට උයන්න පුළුවන්. සුමේධ වෙනුවෙන් නම් මගේ අතින්මයි කෑමබීම සැකසෙන්නේ. මම හදන චිකන් කරී එක කන්න සුමේධ හරිම ආසයි.

තරුෂිත් එක්ක කතාබහ කරන අතරතුර සුමේධ මා සමඟ කතාබහට එක් වුණේ ස්කයිප් තාක්ෂණය ඔස්සේයි.‍

තරුෂි වැනි බිරියක් ලැබීම ගැන මොකද හිතන්නේ?

ඇය තමයි මගේ ජීවිතේ මට ලැබුණු වැදගත්ම කෙනා. ඇය සෑහෙන්න මාව තේරුම් ගෙන තිබෙනවා. පෙම්වතියක ලෙසත්, බිරියක ලෙසත්, අම්මා කෙනෙක් ලෙසත් ඇය දරපු සහ දරන වගකීම් නිසි ලෙස ඉටුකොට තිබෙනවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය හොඳ අම්මා කෙනෙක්. උත්සාහවන්ත කාන්තාවක්. ඇගේ ඒ ගති ගුණවලට මම ගරු කරනවා. තරුෂියි පුතයි තමයි මගෙ ජීවිතේ මට ලැබුණු හොඳම දේ.

ඇය කලාවෙන් සදහටම දුරස්වෙයිද?

මෙහෙමයි. තරුෂි කියන්නේ කලා ක්ෂේත්‍රයේ තවමත් ජනප්‍රිය චරිතයක්. ඇගේ රඟපෑමට ප්‍රේක්ෂකයන් කැමැතියි. ඇයට ක්ෂේත්‍රය තුළ වටිනාකමක් තිබෙනවා. මම ඇගේ රඟපෑම්වලට නීති දාන්නේ නැහැ. ඇය ඉදිරියේදී තෝරා බේරාගෙන නිර්මාණවලට දායක වේවි.

ඉදිරියේ දී ඔබ සැම විදේශ ගත වෙයිද?

මෙහෙමයි. මම රැකියාව කරන්නේ බහරේන්වල. ලංකාවෙ ඉඳලා ලොකු දුරක් එරටට නැහැ. පැය පහක හයක ගමනක් තිබෙන්නේ. එනිසා ලංකාවේ වගේම එරටත් අපි යයි එයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]