කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
පෙම්වතකු නැති වීරවරිය

විදෙස් චිත්‍රපටය

පෙම්වතකු නැති වීරවරිය

JAI GANGAAJAL

බොලිවුඩ් මසාලා සිනමාවේ නිතර ම වීරයා වන්නේ පෙම්වතාය. එහෙත් පෙම්වතකු හෝ වීරයකු නැති එහෙත් වීරවරියක පමණක් සිටින ක්‍රියාදාම චිත්‍රපටයක් මේ දිනවල ලොව පුරා සාර්ථකව තිරගත වෙයි. එය ප්‍රකාශ් ජා අධ්‍යක්ෂණය කළ ‘ජායි ගංගාජාල්’ නමැති සිනමා පටයයි.

බබ්ලු පැන්ඩේ සහ ඩබ්ලු පැන්ඩේ සොයුරන් දෙදෙනෙකි. අපරාධකරුවන් වන ඔවුහු ලක්හිසාරි නගරයේ කැලෑ රාජ්‍යයක් පවත්වාගෙන යයි. එහි අපරාධ ඉහවහා ගොස් ඇති අතර නීතියට කිසිම ඉඩක් නැත. දේශපාලනඥයන්ගේ හව්හරණය ඔවුනට තිබෙන හෙයින් පොලිස් නිලධාරීන්ට පවා සිදු වී තිබෙන්නේ සියල්ල දෙස අසරණව බලා සිටින්නට පමණකි.

පොලීසිය ඇතුළත ද අපරාධවලට ආධාර උපකාර කරන්නන් නැතිවා නොවේ. පොලිස් පරීක්ෂක බෝලා නාත් සිං එවැන්නෙකි. නීතියේ සිදුරු අපරාධකරුවන්ට පෙන්වා දෙමින් දූෂණ හා වංචා සඳහා අපරාධකරුවන්ට දිරිදෙන ඔහුට ද දේශපාලනඥයන්ගේ ආශිර්වාදයත් රැකවරණයත් තිබේ.

අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැතිවරයා හදිසියේ එම ප්‍රදේශයට පත් කරන්නේ පොලිස් පරීක්ෂකවරියකි. අභා මථුරා නම්වූ ඇයට ඇමැතිවරයා අවවාද කරන්නේ අපරාධකරුවන් හා මෘදුව කටයුතු කිරීම තමන්ට උපකාරයක් කියාය.

එහෙත් ඇය ක්‍රියා කරන්නේ ඇමැතිවරයා පවසන ආකාරයට නොවේ. අභා මථුරා අපරාධකරුවන්ට එරෙහිව කටයුතු කරන අතර ලක්හිසාරි කැලෑ රාජ්‍යයේ නීතිය යම් තරමකට බලවත් වෙයි. එහෙත් වියරු වැටෙන අපරාධකරුවන්ගේ අපරාධ වඩාත් ක්‍රෑර ආකාරයකට සිදුවීම ඇරැඹෙයි. ඉඩම් කැබැල්ලක් හිමිකර ගන්නා අරමුණෙන් ඩබ්ලු, යුවතියක පැහැර ගනියි.

පසුව ඇය දූෂණය කර මරා දමා මළ සිරුර ගසක එල්ලා තබන්නේ යුවතිය දිවි නසා ගත් ආකාරයක් පෙනෙන ලෙසය. යුවතියගේ බාල සොහොයුරා කෙසේ හෝ ඩබ්ලු තනිව ම කොටුකරගෙන බඳ පටියකින් ගෙල සිරකර මරා දමා මළ සිරුර ගසක එල්ලා තබන්නේ ඔහු ද දිවි හානි කරගත් බවක් පෙනෙන ලෙසිනි. එම සිදුවීමෙන් දිරි ලබන නගර වැසියෝ නීතිය අතට ගනියි. තවත් බොහෝ තැන්වල අපරාධකරුවන්ගේ සිරුර ගස්වල එල්ලෙන්නට පටන් ගැනෙයි.

සියල්ලට ම මුල අභා මථුරා අපරාධකරුවන් මර්දනය කිරීමට ඇරැඹීම බව වටහා ගන්නා දේශපාලන බලවේග ඊළඟට උත්සාහ කරන්නේ ඇය නිහඬ කරවන්නටය. කැලඹී සිටින ජනතාව සන්සුන් කර ඔවුන් නීතිය අතට ගැනීම වළකන්නට ක්‍රියාත්මක වන අභා මථුරාට දේශපාලනඥයන් හා ඔවුන්ගේ මැරවරයන් සමඟ ද සටන් කිරීමට සිදුවෙයි.

තවත් එක් මැර සොහොයුරෙක් ඉතිරිව සිටියි. ඒ බබ්ලු පාන්ඩේ ය. ඔහු ද සදහට ම නිහඬ කරවන්නේ නගරයේ ජනතාවද? පොලිස් නිලධාරිනී අභා මථුරා ද?

වීර පොලිස් නිලධාරිනිය අභා මථුරා ලෙස ප්‍රියංකා චොප්රා රඟන මෙහි මානව් කෞල්, මුර්ලි ෂර්මා, ප්‍රනේ නාරායන්, රාහුල් භාත්, කිරන් කර්මකාර්, වේගා ත‍මෝෂා සහ අයුෂ් මහේෂ් වැනි නළු නිළියෝ ද රඟති. අධ්‍යක්ෂ ප්‍රකාශ ජා ද පළමු වරට රංගනයට පිවිසෙන්නේ මෙම සිනමා පටයෙනි. දූෂිත පොලිස් නිලධාරී බී.එන්. සිං ගේ චරිතයට පණ පොවන්නේ ඔහුය.

‘ද ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පතේ පළවූ විචාරයකින් චිත්‍රපටය ද ප්‍රියංකා චොප්රා ගේ රඟපෑම් ද අගය කොට තිබේ. පෙම්වතකු රහිත වීර චරිතයක් ප්‍රියංකා මෙසේ රඟපා ඇත්තේ දෙවැනි වතාවටය. ‘ජායි ගංගාජාල්’ සම්පූර්ණයෙන්ම පාහේ බෝපාල් ප්‍රදේශයේ රූ ගත කර ඇති අතර අපරාධ රැල්ලට එරෙහි සිනමා පාටයක් වන එයින් ලබන ආදායම්, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේදී බදුවලින් නිදහස් කිරීමට එරට ‘මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත රජය’ තීරණය කර තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]