![]() ![]() |
||
සිනා කතාරණවිරුවා එය එල්ටීටීඊ යුද්ධයේ අවසන් තීරණාත්මක අදියරේදී කොටිකටේ සිට සටන්කොට දිවි ගලවා ගත් රණවිරුවන් හට උපහාර පිදීමේ උළෙලකි. “මේ යුද්ධයේ අවසන් තීරණාත්මක සටනෙදි කොටින් එක්ක මුහුණට මුහුණ ලා සටන් කරද්දි ඔබට ඇති වුණේ මොන වගෙ හැඟීමක් ද?” ගුවන් විදුලි නිවේදකයෙක් උපහාර ලැබූ රණවිරුවකු ගෙන් ඇසී ය. “නෑ එහෙම විශේෂ හැඟීමක් ඇති වෙන්න ඉඩක් ලැබුණෙ නැහැනෙ.” රණවිරුවා සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේ ය. “ඇයි ඒ?” නිවේදකයා විමතියෙන් විමසීය. “දවස් ගණනාවක් නිදිමරලා ඉන්දැද්දී දන්නෙම නැතුව මට නින්ද ගිහින්. මට ඇහැරෙන කොට යුද්ධෙ ඉවර වෙලා.” භටයා කීවේය.
වැඩි කැමැත්ත මහ මැතිවරණයට නාම යෝජනා භාර දෙමින් තිබුණු බැවින් මැතිවරණ උණුසුම තදින් දැනෙමින් තිබිණ. තාප්පයක්, බෝක්කුවක් නොපෙනෙන තරමට එක් එක් පක්ෂවල අපේක්ෂකයන් ගේ කටවුට්, බැනර්, පෝස්ටර්, කොඩි වැල් ලෙළදෙමින් තිබුණි. ‘ඇත්තට ම මේ පාර උඹේ වැඩි කැමැත්ත තියෙන්නෙ මොන පක්ෂයට ද?’ රොෂාන් චමිලගෙන් ඇසුවේ අඹතලේ හන්දියේ දී ය. “උඹ ඉතින් හොඳාකාරව ම දන්නවනෙ, කවදත් මගෙ වැඩි කැමැත්ත තියෙන්නෙ ස්ත්‍රී පක්ෂයට කියල.” චමිල කීවේ තොලකට ලෙවකමිනි.
කොහෙද තියෙන්නෙ? ඇමෙරිකාවේ ප්‍රාන්ත කීපයක සිංහල නාට්‍යයක දර්ශන කීපයක් පෙන්වීම සඳහා එහි ගිය නළු නිළි කණ්ඩායමක් දින දෙකක විරාමයක් ලැබූ අවස්ථාවක රතු ඉන්දියානුවන් වෙසෙන ගම්බද දුරබැහැර පෙදෙසක සංචාරයක යෙදුණේ වැන් රථයකිනි. එය පදවන ලද්දේ එම කණ්ඩායමේ ම සාමාජිකයකු වූ සම්පත් විසිනි. බොහෝ දුරකතර ගෙවා රතු ඉන්දියානුවන් වෙසෙන පෙදෙසට ළඟා වූ රථය තමා විසින් පදවනු ලබන්නේ එක් දිශාවකට පමණක් ගමන් කළ හැකි මාර්ගයක, වැරැදි දෙසට බැව් සම්පත් හට වැටහුණේ මහමඟ සිටි පොලිස් නිලධාරියකු රථය නවත්වන ලෙස සංඥා කළ විටදී ය. “ඇයි මඟ දිගට ඊතල දැක්කෙ නැද්ද?” රියැදුරු අසුනේ සිටි සම්පත් ගෙන් පොලිස් නිලධාරියා ඇසුවේ රළු ස්වරයකිනි. “ඊතල...? ඉතින් ඊතල තියෙනවා නං රතු ඉන්දියානුවොත් ඇතිනෙ. කොහෙද ඊතල තියෙන්නෙ?” සම්පත් විමසීය. එහෙම චරිතයක් ලැබුණොත්....? “චිත්‍රපටියක චරිතයක් කරනකොට ඒ චරිතෙට මුළුමනින් ම පිවිසෙන්ඩ ඕනෙ. එක සැරයක් මනසට ම ඇලුණු ගැලුණු අපූරු චරිතයක් මට ලැබුණා ම මම මාස ගණනාවක් හරියට නොකා නොබී ඒ චරිතෙට ඕනෑකරන විදියට මුහුණ ඇඟපත හදා ගත්තා. ඊළඟට හාමුදුරු චරිතයක් ලැබුණා ම මම ටික කලක් මහණ වෙලා ඉඳලා ඒ අත්දැකීම හරියට ම වින්දා.” පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වෙමින් චිත්‍රපට නළු සරත් පුවත්පත් කලාවේදියා හට විස්තර කළේය. “මළ ජූලියයි! එතකොට සරත් අයියට බැරි වෙලාවත් හිරගෙදර අළුගෝසු චරිතයක් රඟපාන්ඩ ලැබුණොත් එහෙම හරි අලකලංචියක් වෙයිනෙ.” අසංක දෑස් දල්වා සැක පහළ කළේ ය.
සතුරෝ තමා ඉතා වෙහෙස මහන්සි වී නිර්මාණය කළ ‘හතුරෝ’ නාට්‍යය, නාට්‍ය උළෙලේදී මුළුමනින් ම නොසලකා හැරීමේ හේතුවෙන් චන්ද්‍රසෝම පසුවූයේ දැඩි කලකිරීමකිනි. එහෙත් එය සාර්ථක නාට්‍යයක් ලෙස නැරඹූ බොහෝ විද්වතුන් සහතික ලබාදී තිබියදී, උලෙළේ විනිශ්චය නොසලකා නාට්‍යය පවත්වා ගෙන යා යුතුය යන්න නාට්‍ය කණ්ඩායමේ සැමගේ ම අදහස විය. ඒ අනුව සතුරෝ නාට්‍ය දර්ශනයක් සංවිධානය කළ චන්ද්‍රසෝම ඒ සඳහා පුළුල් ප්‍රචාරයක් මාධ්‍ය මඟින් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පත්තර කන්තෝරුවකට ගොඩ වූයේ ය. එහි ජනප්‍රිය කලා පුවත්පතක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී එය මෙහෙයවූ මාධ්‍යවේදියා චන්ද්රසෝමගෙන් මෙසේ ඇසී ය. “ඔබ මේ නාට්‍යයට ‘සතුරෝ’ කියන නම යෙදුවේ මොන අර්ථයෙන් ද?” “මම මේ නාට්‍යය ලියද්දි ‘සතුරෝ’ කියලා යොදනකොට තිබුණු අර්ථය මොකක් වුණත් දැන් නම් ඒ නමෙන් අදහස් කරන්නෙ ඔය නාට්‍ය උලෙළේ විනිශ්චය මණ්ඩලය තමයි.” චන්ද්‍රසෝම කීවේ ය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |