කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
පොළොව තුළට ගොස් අතුරුදන් වන අරුම පුදුම දියඇල්ල

පොළොව තුළට ගොස් අතුරුදන් වන අරුම පුදුම දියඇල්ල

(යකාගේ කේතලය)

අපේ පුංචි ශ්‍රී ලංකාව කුඩා රටක් වුවත් හරිම ලස්සනයි. දර්ශනීය දිය ඇලි හා මනස්කාන්ත කඳු පංති රාශියක් අපේ රටේ තිබෙනවා. අද අපි කතා කරන්නේ දිය ඇල්ලක් ගැන වුවත් ඒ අපේ රටේ තියෙන දිය ඇල්ලක් ගැන නම් නෙමෙයි.

මිනිසා තාක්ෂණය මඟින් කොතරම් දියුණු වී තිබුණත් මිනිසාට සොබාදහම අබිබවා යා නොහැකි බව ඉතා පැහැදිලිව සනාථ කරන අවස්ථාවක් ලෙස මෙම ස්ථානය හැඳින්විය හැකියි. මා එසේ පවසන්නේ මෙම දිය ඇල්ලේ ඇති විශේෂත්වය නිසයි. යකාගේ කේතලය (Devils Kettle) නමින් හඳුන්වන මේ දිය ඇල්ලෙන් භාගයක් පොළොව තුළට ගොස් අතුරුදන් වනවා. මෙම සිදුවීම වන්නේ කෙසේ ද කියාවත් මෙම සිදුර ඇති වී ඇත්තේ කෙසේ ද කියාවත් භූ විද්‍යාඥයන් හට තවම හරියට ම හේතුවක් ඉදිරිපත් කිරීමට හැකි වී නැහැ. ඒ නිසා මේ යකාගේ කේතලය මිනිසාට විසඳීමට නොහැකි සොබදහමේ තවත් අභිරහසක් ලෙස ඉතිරිව පවතිනවා.

මෙම සුවිශේෂී යකාගේ දිය ඇල්ල පිහිටා ඇත්තේ ඇ‍ෙමරිකා එක්සත් ජනපදයේ මිනි මිනොසෝටා ප්‍රාන්ත උද්‍යානයේයි. මෙම ප්‍රාන්ත උද්‍යානය විනිශ්චයකාර සී.ආර්. මැග්නේ ප්‍රාන්ත උද්‍යානය ලෙස හඳුන්වනවා. කැනඩා - ඇමෙරිකා දේශසීමාවට කිලෝමීටර 40ක් ඈතින් පිහිටා ඇති මෙම මනරම් උද්‍යානයේ විශාලත්වය අක්කර 4643ක්. මෙම උද්‍යානය තුළින් ගලා බසින බෲ‍ෙල් (Brule) ගංගාව උද්‍යානය තුළදී (කිලෝමීටර 13කදී) අඩි 800ක් පහළට ගලා බසිනවා. මේ නිසා උද්‍යානය තුළදී දිය ඇලි රැසක් නිර්මාණය වනවා. Devils kettle එසේත් නැත්නම් යකාගේ කේතලය එසේ නිර්මාණය වන දිය ඇලි වලින් එකක්.

රියෝලයිට් ගල් අතරින් ගලා බසින (rhyolite rock - පාෂාණ වර්ගයක්) Brule ගංඟාව දෙකට බෙදී පහතට කඩා වැටෙන අතර, නැ‍ඟෙනහිර ජල කඳ කොටස් 2ක් ඔස්සේ අඩි 50ක් පහතට වැටී නැවතත් Brule ගඟ ලෙස පහතට ගලා බසී. බටහිර ජල කඳ එම ස්ථානයේදී ම අඩි 10ක් පමණ ගැඹුරට ඇදී වැටී කුහරයක් තුළින් නොපෙනී යනවා. මෙම පොළව තුළට ඇති කුහරය හා එය තුළට වැටෙන ජලකඳට කුමක් සිදුවෙනවාද කියා තවම කිසිවකුත් සොයාගෙන නැහැ.

මෙම ගඟ නිමාවන සුපිරීරියර් විලට සැතපුම් එක හමාරක් පමණ දුරකින් මෙම දිය ඇල් පිහිටා ඇති නිසා ඔබ සිතනවා ඇති මෙම පොළොව තුළට අතුරුදන් වන ජලය කෙසේ හෝ පොළොව තුළින් ගොස් සුපීරියර් විලට එකතු වන බව, එසේත් නොමැති නම් පහළට ගලා බසින Brule ගඟට කොහෙන් හෝ එකතු වන බව.

නමුත් බොහෝමයක් විද්‍යාඥයන් හා පර්යේෂකයන් විවිධ වර්ණක / සායම් වර්ග, පිං - පොං බෝල හා ලී කැබැලි වැනි විවිධ ද්‍රව්‍ය මෙම කුහරය තුළට දමා ඇති නමුත් ඒ කිසිවක් දිය ඇල්ල අවටින් හෝ සුපීරියර් විලේ කොතනකින් හෝ හමුවී නැහැ.

මෙසේ පොළොව තුළට යන ජලය නැවතත් උඩට මතු වෙන්නේ නොමැති නම් එය භූගත ගංගාවක් ලෙස ගලා බසින්නට ඉඩ ඇති බව සමහරුන් පවසනවා. එහෙත් පර්යේෂකයන් පවසන්නේ ඩෙවිල්ස් කෙටල් දිය ඇල්ල අවට ඇති ‍රියෝලයිට් පාෂාණ එසේ භූගත ගංගාවක් ඇතිවීමට නොහැකි තරම් ඝන පාෂාණ බවයි.

මේ අවට භූ තැටි නොමැති නිසා එමඟින් භූගතදී ජලය එකතු විය හැකි ස්ථාන සෑදීම ද සිදු නොවිය හැකියි. යම් හෙයකින් එසේ භූගත ගංඟාවක් හෝ ජලය ගලා බැසිය හැකි ව්‍යුහයක් නිර්මාණය වී පැවතියද විශාල ජල කඳ සමඟ සිදුර තුළට ගලා බසින රොන් මඩ, පාංශු හා ශාක කොටස්, ගල් වැනි විවිධ දෑ මඟින් මේ වනවිට එම සිදුරු පිරවී ජලය සිරවිය යුතුය.

ඉතින් මෙවැනි විශාල ජල කඳක් පොළොව තුළට ගිය පසු එයට සිදුවන්නේ කුමක් ද? එය ගමන් කරන්නේ කොහෙටද? අද දිනය වන විටත් මේ පැනවලට පිළිතුරු දීමට කිසිවකුත් සමත් වී නැහැ. මෙයට පිළිතුරක් සෙවීමේ අරමුණින් පර්යේෂකයන් මෙම දිය ඇල්ලෙන් පහළට විවිධ ද්‍රව්‍ය දමා තිබෙනවා.

මෝටර් රථයක් පවා පහළට දමා ඇති බව පැවසුණත් බොහෝ දෙනා පවසන්නේ එය බොරුවක් බවයි. කෙසේ වෙතත් ඔබ උතුරු ඇමෙරිකාවේ සංචාරය කරන අවස්ථාවකදී අසාමාන්‍ය වර්ණයෙන් යුතු ජලය, පිං - පොං බෝල ජලයෙන් මතුපිටට පැමිණෙනවා දුටුවතොත් මිනෙසෝටා භූ විද්‍යාඥයින්ට ඒ පිළිබඳව දැනුම් දෙන්න, සමහරවිට මෝටර රථයක් පවා පැමිණෙන්නට පුළුවන්. එවිට ඔබට ලොවක් මවිත කළ තවමත් අභිරහසක් ලෙස පවතින යකාගේ කේතලය රහස සොයා ගැනීමට හැකි වේවි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]