කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සමීප රූප

තෙලිප්පලේ අම්මා ජනපතිට කෑ ගසා කී කතාව

කවිපොතක් දොරට වැඩීමේ උත්සවයක සමීප රූපයක් ඉන්ද්‍ර චාප දකිනවා. කවිපොත ආදර නිල් මැණික මිහිර. කවියා සිළුමිණ කර්තෘ මාධ්‍යවේදී ලක්ෂ්මන් පියසේන. උත්සවය තිබුණෙ පහුගිය සතියෙ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙ, රටේ ප්‍රධාන පුරවැසියාගෙ ප්‍රධානත්වයෙන්. සංහිඳියාව සඳහා සාහිත්‍ය කලා රස වින්දනය, තේමා කරගෙනයි, උත්සවය පැවැත්වුණේ. මුඛ්‍ය දේශනය, ආචාර්ය ලිය‍නගේ අමරකීර්ති විසින් පවත්වන්නට පෙර, තේමාවට ප්‍රවේශයක් එක් කළේ, කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය ඇමැතිතුමා. දිලීප අබේසේකරත් නවරත්න ගමගේත් සමීප රූපයට හසුවෙනවා. ජනාධිපතිතුමාගෙ දේශනයෙදී එතුමා මතු කළ, ප්‍රකාශ කීපයක් ඉන්ද්‍රචාපට මතක් වෙනවා. යහපාලනය, සංහිඳියාව, ජාතීන් අතර සමගිය සමාදානය වැනි විෂය පිළිබඳ කලාකරුවන්ගෙන් ඉටුවෙන සේවය හොඳට ම මදි කියලත් එතුමා කියනවා.

ඒ කතාවෙ සාධාරණ කමක් තියෙනව ද? රුහුණෙන් කිරිපැණි මාළු ඇඹුල්තියල් අරගෙන උතුරට ගිය කවිකාරයො, සින්දුකාරයො ලියපු කවි කියපු සින්දු ඕනතරම් තියෙන්නේ. යුද්දෙන් විනාස වුණ උතුරෙ ගම් බිම් බලන්න, මූදෙ නාල එන්න ට්‍රිප් යන කලාකාරයො විතරක් නෙවි පොදු මහජනතාවගෙන් වැඩිදෙනෙක් ජීවත්වෙන රටක මොන යහපාලන, සන්හිඳියා ගැන නිර්මාණ ද? උතුරෙ හමුදා භටයකුට පෙම් බඳින දෙමළ කෙල්ලක් පිළිබඳ ව්‍යාජ කවිකතා ගෙතුවට, ඒවයින් ඒ හදවත්වල දැවෙන ගින්න නිවෙන්නෙ නෑ, අළු යට ගිනි පුපුරු වගේ ඔවුන් ගෙ හිතේ වෛරය ඉතිරි වෙන්නෙ.

ජනාධිපතිතුමා ගෙ කතාවෙ අපූරු කොටසක්, ඉන්ද්‍රචාපට සිහිපත් වෙනවා. එතුමා කිව්වෙ, ඇමතිවරයෙක් කාලෙ උතුරට ගිහින් කෝටි ගණනක බඩු බෙදුවලු. මැෂින් වතුර මෝටර්, යන්ත්‍ර සූත්‍ර වගේ භාණ්ඩ. ඒ භාණ්ඩ ලබාගත්ත දෙමළ ජනතාවගෙ මුහුණුවල කිසිම හිනාවක් තිබුණෙ නෑ නේද කියලා, ගමන ඉවරවෙලා කොළඹ එන අතරෙ කතා වුණාලු. හරියට ම හරි ජනාධිපතිතුමනි හිනාව එන්න ඕන පපුවෙන්. පපුවෙ ගින්දර ඇවිලෙන මිනිස්සුන්ගෙ මූණෙ හිනාවක් ඇ‍ඳෙයි ද ඔය භෞතික භාණ්ඩ කීපයක් තෑගි කළාට. ඒ අයගෙ පපුවට කතා කරන්න ඒ බඩු භාණ්ඩවලට බෑ.

ජීවිතයට එබෙන්න, දුක මොකක්ද කියල දන්න බාසාවකින් කතා කරල අදහස් හුවමාරු වෙන්නෙ නැතුව අන්‍යෝන්‍ය අවබෝධය, සන්හිඳියාව නැ‍ඟෙන්නෙ නෑ. කලාකරුවන්ගෙන් වැඩි දෙනකුටත් තියෙන්නෙ මේ රෝගයමයි. ඔවුන්ගෙන් බොහෝ දෙනා කොළඹ ඉඳගෙන, උතුර නැ‍ඟෙනහිර දකිනවා. බොරු කවි, සින්දු, කතා ලියලා උතුර දකුණ යා කරන්න උත්සාහ කරනවා. පාලම් හදන්න උත්සාහ කරනවා. දකුණේ දේශපාලනඥයන් වගේ ම, බහුතර කලාකාරයන් කරන්නෙත් බොරුව කියලා, උතුරේ පීඩාවට පත් ගැහැනු මිනිස්සු දන්නවා. එහෙම සලකලා බලන කොට නම් ජනාධිපතිතුමා කලාකාරයො ගැන කළ ප්‍රකාශයේ ඇත්තක් තියෙනවා. හෙට අනිද්දට සිංහල දෙමළ අලුත් අවුරුද්ද ළං වෙනකොට, රූපවාහිනියෙ වැඩසටහන් පිරිල තියේවි සංහිඳියාව තේමා කර ගන්න. කවි ලියවෙයි, සිංදු කියවෙයි අලුතින්. ඒවයෙ වැරැද්දක් නෑ ඒවා අවංක නම්. අපේ නිර්මාණ අවංක ද කියල අපේ ම හදතට තට්ටු කරල බලන්න ඕන.

ජනාධිපතිතුමාගෙ කතාවෙ වැදගත් ම ඒ වගේ ම ලස්සනම කොටස මෙන්න. “මීට දින තුනකට පෙර මම යාපනයට ගියා. යාපනයේ මිනිස්සු මූණ පුරා හිනාවෙලා මා වට කර ගන්නවා. තෙලිප්පලේ පැත්තෙ අම්මා කෙනෙක්, මා දැකලා අපි ඡන්දෙ දුන්නා කියල මහා හඬින් කෑ ගැහුවා. ඒ සෙනෙහෙබර හිනාවේ බොහෝ දේවල් ගැබ්වෙලා තිබුණා. බොහෝ ඉල්ලීම් තිබුණා...” ඒ කතාවත් එක්ක ඉන්ද්‍රචාපට විතරක් නෙවි, සමීප රූපයට එබෙන තවත් කෙනකුටත් ප්‍රශ්නයක් මතුවෙන්න බැරි නෑ තෙලිප්පලේ දෙමළ අම්මා ඡන්දෙ දුන්න කතාව කිව්වෙ මොන බාසාවෙන් ද කියලා. ඒත් ඉන්ද්‍රචාපට මතකයි අද ව‍ෙග්, මාස හතරෙ බිලින්දෙක් අපේ රටේ ජනාධිපති අපේක්ෂකයකුත් එක්ක කතා කළා කියපු වීඩියෝ ක්ලිප් එක. මාසහතරෙ දරුවකුට ජයවේවා කියන්න පුළුවන් රටක, තමන් ඡන්දෙ දීල පත්කරපු නායකයට ඒක සිංහල බාසාවෙන් කියා ගන්න බැරි දෙමළ අම්ම කෙනෙක් ඉන්න බැරි වෙන්නෙ කොහොම ද? ජනාධිපතිතුමාට ඒ අම්මලගෙ ඡන්ද ලැබුණ නිසානේ අද ඒ අය හිනාවෙලා එහෙම කතා කරන්නෙ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]