![]() ![]() |
||
සරණාගත දොරටුවෙන් බෙල්ජියමට රිංගූ ත්‍රස්තවාදය
බෝම්බ ප්‍රහාර දියත් වන විට බියපත්ව දිවයන ජනතාවගේ දර්ශන මාධ්‍ය හමුවේ දිස්වූයේ ත්‍රස්තවාදයේ කුරිරු බව විදහා පාමිණි. යුරෝපය යනු අගහිඟකමින් තොර ජනතාවක් වෙසෙන සුඛෝපභෝගී ජීවන රටාවක් සහිත බලවත් රටවලින් සැදි භූමියකි. මේ රටවල් බොහෝවිට සෙසු රටවල ජනතාවගේ ජීවිත තීරණය කළා පමණි. එහෙත් අයිඑස් ප්‍රහාර හමුවේ ආසියා සහ අප්‍රිකා රටවල ජනතාව මුහුණ දෙන පීඩනය ඔවුන්ටද අත්විඳීමට හැකියාව ලැබී තිබේ. බෝම්බකරුවන් ප්‍රහාරය පිණිස පැමිණෙනු කැමරාවල සටහන්ව තිබී බුද්ධි අංශ මගින් සොයා ගනු ලැබූ අතර, ඒ අතර සිටි බෝම්බය පිපිරී නොයෑම හේතුවෙන් දිවි ගලවාගත් ත්‍රස්තවාදීයා පසුදිනම අත්අඩංගුවට ගැනීමට බෙල්ජියම් ආරක්ෂක අංශ සමත් විය. නජීම් ලච්රාඕයි නම් වන ඔහු මීට පෙර පැරිස් ප්‍රහාරයටද සම්බන්ධ වූ බවට සාක්ෂි තිබූ බව ප්‍රකාශිතය. බෙල්ජියම් ප්‍රහාරයට දින හතරකට පෙර පැරිස් ප්‍රහාරයෙන් පසු පලා ගිය ත්‍රස්තවාදී නායකයකු බෙල්ජියමේදී අත්අඩංගුවට ගැනීමට එරට අරක්ෂක අංශ සමත් විය. ඒ සමගින් දියත් වූ මේ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සැලකිය හැකි වන්නේ එකට එක කිරීමක් වශයෙනි. අත්අඩංගුවට ගැනීමකින් පසු දින හතරක් තුළ රටක් අඩපණ කිරීමට හැකි තරමේ ප්‍රහාරයක් එල්ල කිරීමට අයිඑස් ත්‍රස්තයන් සතු හැකියාව දැන් ලොවටම පැහැදිලිය. එබැවින් ඔවුන් කිසිසේත් සුළු කොට තැකීමට නොහැකි බව දැන් ලෝකයේ බලවත් රටවල් අවබෝධ කර ගැනීම සුදුසුය. මේ අතර යුරෝපයේ සංචාරය අවදානම් බව ඇමෙරිකාව ප්‍රකාශයට පත් කර තිබේ. එහෙත් ඔවුන් සැලකිල්ලට ලක් කළ යුතු ප්‍රධාන කරුණක් වන්නේ වොෂිංටනයද අයිඑස් ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඇති බවයි. මීට පෙර ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංසය වැනි රටවල් ත්‍රස්තවාදයට එරෙහි සටන්වලදී මූලිකත්වය ගෙන ක්‍රියාකර ඇති අතර ඒ හේතුවෙන්ම ත්‍රස්තවාදී තර්ජනවලටද ලක් වී තිබේ. එහෙත් බෙල්ජියම එසේ නොවේ. බෙල්ජියම කවදත් සාමකාමී රටක් විය. එහෙත් අද ත්‍රස්තවාදීන්ගේ තිප්පොළක් බවට බෙල්ජියම පත්ව තිබේ. එසේ වීමට හේතුව පසුගිය වසරේ සිට මහා සරණාගතයන්ගේ පැමිණීම මිස අන් කිසිවක් නොවේ. බෙල්ජියමද සරණාගයන්ට තම දොරටු විවර කළ රටකි. ඒ හේතුවෙන් බෙල්ජියමට ත්‍රස්තවාදීන් ද පහසුවෙන් ඇතුළු වී සිටින බව දැන් පැහැදිලිය. සරණාගතයන්ගේ පැමිණීම ගැටලු මතු කරනු ඇති බවට ඇතැම් රටවල් එදා පළ කළ බිය සාධාරණ බව බෙල්ජියම් ප්‍රහාරයෙන් පසු මනාව තහවුරු වේ. ඇමෙරිකාවේ ජනාධිපතිධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන සටන් පාඨයක් වන්නේ මුස්ලිම් සරණාගතයන් තම රටට වද්දා නොගත යුතු බවයි. ඒ අනුව බෙල්ජියම් ප්‍රහාරය ට්‍රම්ප්ගේ මතයද සනාථ කර සිටී. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |