![]() ![]() |
||
කුම්බලා මාළු කෑ වී අලෙවි මණ්ඩලයේ බලවත්තු
වත්මන් ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් පත් කළ දූෂණ වංචා හා අක්‍රමිකතා සොයා බලන කමිටුවට මේ වංචා පිළිබඳව ෙතාරතුරු රැසක් සහ මේ වංචා පිළිබඳව වහාම පරීක්ෂණ සිදු කර දඬුවම් කරන්නැයි ඉල්ලා පෙත්සම් ගණනාවක් යොමු වී ඇත. මේ පැමිණිලි අතර ප්‍රධාන වංචාව ලෙස දක්වා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සහල් අපනයනය කිරීමේ වැඩසටහනේදී වී අලෙවි මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරිවරයා විසින් මහා පරිමාණ වංචාවක් සිදු කරනු ලැබූ බවයි. එම පැමිණිල්ලේ සඳහන් වන අන්දමට න්නේ සහල් ටොන් 22950ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත අපනයනය කර ඇතත් එම මුදල් කිසිවක් වී අලෙවි මණ්ඩලයට ලැබී නැත. මණ්ඩලයට එම සහල් අපනයනයෙන් රුපියල් මිලියන 1014.8 ක මුදලක් ලැබිය යුතු නමුත් එම මුළු මුදලම වංචා කර ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන්ය. තවත් වංචාවක් ලෙස පැමිණිල්ලෙන් දක්වා ඇත්තේ වී අලෙවි මණ්ඩලයේ ගණකාධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් වී තොග නිකුත් කිරීමේදී එක් තැන්පත් මුදලකට දෙවතාවක් වී තොග නිකුත් කර තිබීමයි. එයින් මණ්ඩලයට අහිමි වී ඇති මුදල රුපියල් මිලියන 9.6කි. එසේම විගණන පරීක්ෂණවලදී මේ වංචාව හෙළි වීමත් සමඟම එම මුදල් මණ්ඩලයේ ගිණුමට බැර කර ඇති බවද එහි දැක්වේ. එසේම වී මෝල් හිමියන් කිහිප දෙනකු සමඟ එක්ව කරන ලද මහා පරිමාණ වංචාවක් ගැනද මේ පැමිණිලිවල සඳහන් වේ. වී තොග සහල් කර වෙළෙඳ පොළට නිකුත් කිරීමේදී විශාල ලෙස වංචනික ක්‍රියා සිදු කර ඇති බවද එහි දැක් වේ. වී මෝල් හිමියන් 65 දෙනකුගෙන් මණ්ඩලයට ලැබිය යුතු රුපියල් මිලියන 88.6ක මුදල් වී අලෙවි මණ්ඩලයට ලැබී නොමැති බවද මේ පැමිණිල්ල මඟින් පෙන්වා දී ඇත. එහිදී මෝල් හිමියන්ට වී ලබා දී ඇත්තේ සහල් බවට පත් කර ලබා දීම පිණිස වන අතර එහිදී මේ පාඩුව සිදුව තිබේ. එසේම කිසිදු ගිවිසුමකින් තොරව වී කොටා සහල් කිරීම සඳහා වී මෝල් හිමියන් 38 දෙනකුට ලබා දී ඇති අතර, මේ නිසා වී අලෙවි මණ්ඩලයට සිදුව ඇති පාඩුව මිලියන 91ක් බවද වාර්තා වේ. මෙසේ ගිවිසුම් රහිතව වී කොටා සහල් බවට පත් කිරීමට ලබා දී ඇත්තේ සුදුසුකම් රහිත සාමාන්‍යාධිකාරිවරයකු විසින් බවද අදාළ පැමිණිල්ල මඟින් දක්වා ඇත. වසර දෙකක කාලයක් මෙසේ කෝටා ක්‍රමයට වී සහල් කිරීම ලබා දී ඇති අතර එයින් මණ්ඩලයට යළි ගොඩ ඒමට නොහැකි වන සේ පාඩුවක් සිදුව ඇතැයි ද වාර්තා වේ. එමෙන්ම වී අලෙවි මණ්ඩලය විසින් සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 35.00ක් සහ නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 33.90ක් බැගින් ගොවීන්ට ගෙවා වී මිලට ගෙන ඇත. එම වී මිලදී ගැනීමට ගිනි පොලියට මුදල් ණයට ගෙන ඇතැයි ද වාර්තා වේ. එසේ අධික පොලියට ණය මුදල් ලබාගෙන ලබා ගත් වී ගත් මිලටත් වඩා අඩුවෙන් සතොස ආයතනයට විකුණා ඇත. ඒ අනුව රුපියල් 35.90ක මිලට ගත් සම්බා වී කිලෝවක් රුපියල් 31.50 ගණනේ සහ රුපියල් 33.90ක් බැගින් මිලට ගත් නාඩු වී කිලෝවක් රුපියල් 25.50 ගණනේ අලෙවි කර ඇත. මෙයින් මණ්ඩලයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 658.53 කි. සුළු වී මෝල් හිමියන් විසින් දක්වා ඇති තවත් පැමිණිල්ලක් වන්නේපෞද්ගලික වී මෝල් හිමියන්ට විවෘත වෙළෙඳ පොළේ රුපියල් 34.00කට වී කිලෝවක් අලෙවි කිරීමට හැකියාව තිබියදී තෝරා ගත් වී මෝල් හිමියන් රැසකගෙන් රුපියල් 32.00 බැගින් වී මිලට ගැනීමයි. මණ්ඩලයේ සභාපතිවරයා හා අධ්‍යක්ෂවරයකු මේ හා සම්බන්ධ වී ඇතැයිද පැමිණිල්ලෙන් දක්වා ඇත. එයින් සම්බා කිලෝවකින් රුපියල් 2.00ක් බැගින් හා නාඩු සහල් කිලෝවකින් රුපියල් 1.50ක් බැගින් කොමිස් මුදලක් ලබා ගෙන ඇතැයිද පැවසේ. එමෙන්ම වී අලෙවි මණ්ඩලයේ කාර්යාල හා ගබඩා සංකීර්ණ ප්‍රතිසංස්කරණය කිරීමේදී විශාල මුදල් අක්‍රමිකතා සිදුව ඇතැයිද මේ පැමිණිලි මඟින් දක්වා ඇත. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කේ. අතපත්තු මහතාගේ සභාපතිත්වයෙන් යුත් දූෂණ වංචා හා අක්‍රමිකතා සොයා බලන කමිටුව වෙත යොමු කරන ලද මේ පැමිණිලිවලට අනුව වී අලෙවි මණ්ඩලයේ කිලිනොච්චි ප්‍රාදේශීය කාර්යාලය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දෙකෝටි හතළිස් ලක්ෂයක ඇස්තමේන්තුවක් සාදා එම මුදල අනුමත කර පැරැණි ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගනිමින් අලුත්වැඩියා කටයුතු කර රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් වංචා කර ඇතැයිද 2012.01.06 දිනැතිව යොමු කරන ලද එම පැමිණිල්ලේ සඳහන්ය. මේ මහා පරිමාණ වංචාවන් පරීක්ෂා කර බලා අදාළ ලිපි ගොනු මේ වන විටත් නීතිපතිවරයාට යොමු කර ඇත්තේ වගකිව යුත්තන් සොයා බලා ඔවුනට එරෙහිව නඩු පැවරීම සඳහාය. මහජනතාවගේ බඩට ගසා කිසිවිටක ජය ගත නොහැකිය. මේ එළි වන්නේ සැබෑ නිරුවතයි. දැන් මේ පිළිබඳව විමර්ශන අවසන්ය. ඊළග පියවර ලෙස ඇත්තේ අධිකරණමය ක්‍රියා මාර්ගයන් ගැනීමය.
තාරක වික්‍රමසේකර |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |