![]() ![]() |
||
සියලු අනන්‍යතාවලට නිදහසේ කටයුතු කිරීමට ඉඩදීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීයි
ආදි කල්පිත ගණයට අයත් වන්නේ අපගේ සංස්කෘතික අනන්‍යතාවයන්ය. එනම්, ආගම, කුලය, භාෂාව සහ ජනවර්ගය ආදි ඒවාය. වැලඳගත් ඒවා වන්නේ වෘත්තීමය වසයෙන් අප විසින් තෝරා ගනු ලැබූ අනන්‍යතාවයන්ය. එනම්, ගුරු, වෛද්‍ය, ඉංජිනේරු, මාධ්‍යවේදී, කලාකරු/කලාකාරිනි, ක්‍රීඩක/ක්‍රීඩිකා, දේශපාලනඥයන් ආදි වසයෙනි. ඒ අනුව ගත් විට අප කිසිවෙකුට එක් අනන්‍යතාවයක් පමණක් ඇත්තේ නොවේ. අපි හැමෝම බහු අනන්‍යතා නියෝජනය කරන්නෝ වෙමු. කෙනෙකුට ස්වකීය ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගිකත්වය සහ සංස්කෘතික අනන්‍යතා සමඟ වැලඳ ගත් අනන්‍යතා කීපයක්ම වුව තිබිය හැකිය. නූතන ජාතික රාජ්‍යයන් (Nation States) අනන්‍යතා සම්බන්ධ ගැටලු රාශියකට මැදිහත් වී සිටින්නේ ආදි කල්පිත හෙවත් සංස්කෘතික අනන්‍යතා සම්බන්ධවය. අද ඒ කිසිදු රාජ්‍යයක් ඒක භාෂික හෝ එක් ආගමකට හෝ සීමා වී පවතින්නේ නැත. සියලු රාජ්‍යයන් බහු සංස්කෘතිකය. ඒ නිසා රාජ්‍යයේ සිටින සියලු ජන කණ්ඩායම් එක් තනි අනන්‍යතාවකට ගොනු කිරීමට උත්සාහ දැරීම වැරැදිසහගතය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනතාවගේ ආදි කල්පිත අනන්‍යතා ද දේශපාලනීකරණය වී තිබීම සැබෑවකි. එසේ ම දේශපාලනඥයන් ස්වකීය පැවැත්ම සඳහා එකී අනන්‍යතාවලට ආමන්ත්‍රණය කිරීම ද ප්‍රකට ලක්ෂණයකි. මේ හේතුවෙන් දේශපාලනය මෙන්ම අනන්‍යතා ද තරගකාරීවී ඒවා ප්‍රචණ්ඩ ගැටුම් දක්වා වර්ධනය වේ. මේ ප්‍රචණ්ඩකාරී ගැටුම් නිසාවෙන් ආදි කල්පිත අනන්‍යතා බැහැර කළ යුතු යැයි ඇතැමෙකු පැවසූව ද ඒවා ඉවත දැමිය හැකි සාධකයන් නොවේ. කුමන අනන්‍යතාවක් වුවද ඓතිහාසික වර්ධනයේදී ස්වභාවික තත්ත්වයක් බවට පත්ව තිබේ. කෙනෙකුට තම වාර්ගික හෝ ආගමික හෝ අනන්‍යතාවය ලැබී ඇත්තේ අනෙකාගේ ඒවාට සාපේක්ෂවය. ‘මම නොවන අනෙකාගේ පැවැත්ම මගේ අනන්‍යතාවයට හේතුවක් වන්නේය.’ ඒ අනුව ඕනෑම අනන්‍යතාවක අන්තර් පැවැත්මක් නැතහොත් අන්තර් යැපීමක් පවතින බව පෙනී යයි. තමන්ගේ අනන්‍යතාවට පමණක් ප්‍රමුඛස්ථානය දිය යුතු යැයි කෙනෙකු කියන විට ඉන් ගම්‍ය වන්නේ අනන්‍යතා කොතරම් දේශපාලනීකරණය වී තිබෙනවා ද යන්නයි. දේශපාලනය තරගකාරීය. තරගකාරී දේශපාලනයක තම අනන්‍යතාව පමණක් දේශපාලන, ආර්ථික, සමාජීය සහ නෛතික ක්ෂේත්‍ර තුළ මස්තකයට ගැනීමට උත්සාහ කිරීමේදී අනෙකාගේ අනන්‍යතා බැහැර කිරීමට ලක් කරන්නේය. ප්‍රචණ්ඩත්වය හටගන්නේ එතැනදීය. නූතන ජාතික රාජ්‍යයන් තුළ ස්වකීය වාර්ගික අනන්‍යතාව යටපත්කොට ආගමික අනන්‍යතාව ඉස්මතු කොට ගැනීමේ ප්‍රවණතාවය ද වැඩි වර්ධනය වී තිබේ. නැතහොත් අනන්‍යතාවයේ ප්‍රභවය හෙවත් උල්පත ආගම ලෙස සැලකීමයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන්හි අනන්‍යතා සම්බන්ධයෙන් ප්‍රවණතා දෙකක් ක්‍රියාත්මක වන්නේය. එක් ප්‍රවණතාවක් වන්නේ එක් අනන්‍යතාවකට පමණක් ප්‍රමුඛස්ථානය දී එක්කෝ අනෙක් අනන්‍යතා නොසලකා හැරීම හෝ නැතහොත් සෙසු අනන්‍යතා ප්‍රධාන අනන්‍යතාවක් තුළට සමාග්‍රහණය (Assimilation) කිරීමයි. දෙවන ප්‍රවණතාව වන්නේ සෑම දෙනා ඇතුළත් කරගනිමින් සියලු අනන්‍යතාවලට විවෘතව සහ නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය සුරක්ෂිත පරාසයක් නිර්මාණය කර දීමය. බහුත්වවාදය (Pluralism) යනුවෙන් අදහස් කරන්නේ එයයි. ශ්‍රී ලංකාව ඇතුළුව නූතන ජන සමාජ කිසිවක් සජාතීය (Homogenized) සමාජ නොවන නිසා අප හට වඩාත් ගැළපෙන්නේ මෙහි සඳහන් දෙවන ප්‍රවණතාව බව සඳහන් කරනු කැමැත්තෙමි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |