කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
භාෂා ශාස්ත්‍ර සංවර්ධනයට සිළුමිණ ඉටු කෙළේ මාහැඟි ‍ෙමහෙවරක්

භාෂා ශාස්ත්‍ර සංවර්ධනයට සිළුමිණ ඉටු කෙළේ මාහැඟි ‍ෙමහෙවරක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමි

ලේක් හවුස් ආයතනය ආරම්භ වූයේ මෙරට ඉංග්‍රීසි ආධිපත්‍යයට යටත්ව පරාධීන යුගයක් ව පැවති කාල වකවානුවක දී ය. අපේ ජාතිකත්වය, සංස්කෘතිය, විදේශ ආධිපත්‍යය නිසා පසුබෑමට ලක්ව තිබූ අවධියක ය. ඒ වන විට මෙරට දියුණු දේශීය ජන මාධ්‍ය සම්ප්‍රදායක් බිහි වී තිබුණේ නැත.ලංකාවේ පමණක් නොව ලෝකයේ වෙනත් රටවල පවා පුවත්පත් කලාව දියුණු විෂයයක් බවට පත්ව තිබුණේ නැත. මෙරට පුවත්පත් ආරම්භ කළ අයට ගුරුහරුකම් ගන්නට, මඟ පෙන්වා දෙන්නට, පූර්වාදර්ශයන් ලබා ගන්නට ක්‍රමවත් පසුබිමක් තිබූ බව ද සිතීම අපහසු ය. විශේෂයෙන් ම සිංහල පුවත්පතක තිබිය යුතු රාමුව සහ එහි සැකැස්ම, අන්තර්ගතය ආදී දේ පිළිබඳව අමුතුවෙන් සිතන්නට සිදු වූ කාලයක් ලෙස මේ යුගය හැඳින්විය හැකි ය. සරසවි සඳරැස වැනි එක්තරා ශාස්ත්‍රීය මට්ටමේ, ආගම් ප්‍රචාරය ඇතුළු යම් යම් විෂයයවලට ගොනු වූ වාද විවාද සඳහා කළ කුඩා පුවත්පත් දක්නට ලැබුණ ද පොදුවේ ජාතික මට්ටමේ පුවත්පත් ගැන අවධානය යොමු වුණේ ලේක්හවුස් ආයතනය ආරම්භයත් සමඟ ය. මේ නිසා ලේක් හවුස් ආරම්භය මෙරට ජන මාධ්‍ය ඉතිහාසයේ නොමැකෙන සන්ධිස්ථානයක් බවට පත්වන්නේ ය. මෙම ආයතනයෙන් නිකුත් කරන ලද පුවත්පත් අතර සති අන්ත, ඉරිදා සිඵමිණ පත්‍රයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. සිංහලෙන් කියවන පාඨකයන්ට ප්‍රවෘත්ති සන්නිවේදනය පමණක් නොව, සාහිත්‍ය, කලාව, ආදී සියලු දේශීය උරුමයන් පිළිබඳ ව අවබෝධයක් ලබා දීමට සිළුමිණ ආරම්භයත් සමඟ විශේෂ වේදිකාවක් නිර්මාණය වුණි.

මෙකල පුවත්පත්වල කර්තෘත්වය තෝරා ගැනු‍ණේ සහ ඒ සඳහා ඉදිරිපත් වූයේ විශේෂයෙන්ම භාෂා ශාස්ත්‍ර පිළිබඳ ප්‍රවීණ දැනුමක් තිබූ අයයි. එක් පැත්තකින් පුවත්පත සාමාන්‍ය ජනයාගේ කියවීම සඳහා නිකුත් කළත්, ව්‍යක්ත භාෂාවකින් පුවත්පත් ලිපි ප්‍රවෘත්ති පළ කිරීම කෙරෙහි එදා විශේෂ සැලකිල්ලක් යොමු කෙරිණි. පුවත්පතක පළවන ලිපිය තවත් කෙනකුගේ භාෂා ඥානය ,රචනා ශෛලිය සකස් වීමට ආදර්ශයක් දිය යුතු බවට විශ්වාසයක් එකල තිබිණි.

සිය පුවත්පත් සඳහා ද භාෂාඥානයෙන්, සමාජ දැනුමෙන් පරිපූර්ණ උගත්, ප්‍රවීණ සම්භාවනීය පඬිවරුන් තෝරා ගැනීමට ඩී. ආර්. විජයවර්ධන මහතා සතුවූයේ සුවිශේෂී හැකියාවකි. ඒ අනුව මුල්ම සිඵමිණ පුවත්පතේ කර්තෘවරයා ලෙස පත් කෙරෙන්නේ පියසේන නිශ්ශංක මහතා ය. හෙතෙම පුවත්පත් කලාවට කැපී පෙනෙන මෙහෙවරක් කළ විශිෂ්ට ලේඛකයෙකි. මාර්ටින් වික්‍රමසිංහ, මීමන ප්‍රේමතිලක, ඩී. එෆ්. කාරියකරවන, එකල සිළුමිණ බැබළවූ කතුවරයන් ය. කර්තෘවරයා ෙතා්රා ගත් පමණින් සෑහීමකට පත් නොවූ විජයවර්ධන මහතා , පුවත්පතේ පෝෂණයට විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ හසළ විද්වතුන්ගේ ලිපි ලේඛන ද ලබා ගන්නා ලෙස කර්තෘ මණ්ඩලයට උපදෙස් ලබා දුන්නේ ය. සිළුමිණ පුවත්පතට එසේ ලිපි සැපයූ විද්වතුන් අතර පොල්වත්තේ බුද්ධත්ත නාහිමි, පැළෑණේ ශ්‍රී වජිරඥාන නාහිමි, කළුකොඳයාවේ ශ්‍රී පඤ්ඤාසේඛර නාහිමි, යගිරල ශ්‍රී ප්‍රඥානන්ද නාහිමි, කරඳන ජිනරතන නාහිමි, කහවේ සුමංගල නාහිමි, බළන්ගොඩ ආනන්ද මෛත්‍රෛය නාහිමි යන වියත් භික්ෂූන් වහන්සේ මෙන් ම එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා, විද්‍යාඥයන් මෙන් ම විවිධ මාදිලියේ වියත් ලේඛකයන් ප්‍රධාන වේ. එම ලිපි එකල සිංහල කියවන සමාජයට ඉතා වටිනා දැනුම් සම්භාරයක් තිළිණ කළේ ය. එම ලිපි අදට ද වැදගත් ය. විශේෂයෙන් සිළුමිණ පුවත්පතේ අන්තර්ගතය සකස් කෙරුණේ ද පැළෑණේ ශ්‍රී වජිරඥාන මාහිමියන්ගේ අනුශාසනා පරිදි ය.

වර්ණන සති අන්ත පුවත්පත් ප්‍රවෘත්ති පළ කිරීමේ දී ඉතා සීමිත ඉඩක් වෙන් කළ ද එදා සිළුමිණ ප්‍රවෘත්ති මෙන්ම විශේෂාංග ද සමබරව ඉදිරිපත් කළේ ය. මේ කාලය වන විට කොළඹ යුගයේ කවිය යැයි ව්‍යවහාරයක් විය. සිළුමිණ එම කවියන්ට තෝතැන්නක් විය. පුවත්පතේ පිටුවක් වෙන් කරමින් කොළඹ යුගයේ කවිය වර්ධනයට සිඵමිණ කළ මහඟු සේවය කිසිවෙකුට අමතක කළ නො හැකි ය. එකල සිටි පී.බී අල්විස් පෙරේරා, ආනන්ද රාජකරුණා, මීමන ප්‍රේමතිලක, විමලරත්න කුමාරගම, බොරලැස්ගමුවේ ජී. එච් පෙරේරා, වැනි කවීහු නිරතුරුවම සිය ප්‍රබන්ධ සිළුමි‍ණට ඉදිරිපත් කළහ. සිඵමිණෙහි අඛණ්ඩව පළ වූ කවි පසු කාලීනව ග්‍රන්ථ වශයෙන් ප්‍රකාශනයට පත් විය.

එකල සිඵමිණ අගය කිරීමට ලක් වූ විශේෂිතම අංගය වුයේ ශාස්ත්‍රීය අතිරේකයයි. එය සමකාලීන භාෂා සාහිත්‍ය පිළිබඳ උගතුන්ගේ සංවාද මණ්ඩපයක් විය. භාෂා වාද විවාදවලට තෝතැන්නක් විය. තම මවු බසෙහි ජීව ගුණය ආරක්ෂා කර ගනිමින් එහි ප්‍රබල බව මතු කර ගත හැකි ආකාරයෙන් සිළුමිණ බස හසුරුවා ඇත. සිළුමිණ ආරම්භක අවධියේ ම ග්‍රන්ථ විවරණ නමින් පළ කළ පොත් පත් විවේචන තීරුව, සිංහල භාෂා ව්‍යවහාරයේ නිවැරදි භාෂා ප්‍රයෝග පිළිබඳ වරින් වර පළ වූ ලිපි මඟින් සිදු වූ සේවය මිල කළ නො හැකි ය.සැබැවින් ම මෙකල විවිධ විශේෂාංගයන් යටතේ පළ වූ සිළුමිණ, පාඨක ප්‍රජාව අතර ශත දහයේ විශ්ව විද්‍යාලය යන අන්වර්ථ නාමයෙන් ප්‍රචලිත වීමට තරම් විශ්ව කෝෂයක් ම විය.

සිළුමිණ ආරම්භ වූ කාලය වන විට අපේ රටට බටහිර අධ්‍යාපනයත් ශාස්ත්‍රීය ශික්ෂණයත් ලැබෙමින් පැවති යුගයක් විය. ඒ අනුව නවකතාව, කෙටි කතාව ගැන ප්‍රබෝධයක් ඇති වෙමින් තිබුණි. ජී. බී. සේනානායක, මාර්ටින් වික්‍රමසිංහ වැනි වියත් ලේඛකයන්ගේ කෙටි කතා සිළුමිණ පුවත්පතේ පළ විය. සිළුමිණ කෙටි කතාව පුවත්පතේ අනිවාර්ය අංගයක් විය. මෙසේ නව කතා, කෙටි කතා පළ වීම නිසා සිංහල සාහිත්‍ය ප්‍රවර්ධනයට ලැබුණේ විශාල රුකුලකි.

එකල සිළුමිණ ළමා පිටුවෙන් ඉටු වූ සේවය ද අමතක කළ නොහැකි ය. අප කුඩා කාලයේ ළමයින් සඳහා වෙන් වූ කමලා ළමා සමාජය අවධානයට යොමු වූ ආකාරය අදටත් මතකයේ වේ. සමාජ ප්‍රශ්නවලට සේ ම කාලීන ප්‍රශ්න සඳහා ද සිළුමිණේ විශේෂ ඉඩ කඩක් වෙන් වුණි. විශේෂයෙන් අදට වඩා එදා සිළුමිණ බුදු දහම සම්බන්ධ මතවාදයන්ට තුඩු දෙන කරුණු ගැන පාඨකයා දැනුම්වත් කිරීම සඳහා ‍සංවාදයන්ට ඉඩ ලබා දුන්නේ ය. උදාහරණ ලෙස එකල බුද්ධ වර්ෂය ගැන විවිධ මත තිබුණි. බුද්ධ වර්ෂ වාදය වැනි දේ සිළුමිණෙහි අපූර්ව ලෙස සාකච්ඡාවට බඳුන් විණි. භික්ෂුන් වහන්සේ ගේ විනය හා සම්බන්ධ කරුණු ශාස්ත්‍රීය ලෙස සාකච්ඡා විණි. ඒවා පළ වූයේ කිසිවෙකුට අපහාස කිරීමේ අදහසින් නොවේ. ත්‍රිපිටකය, විනය සංසන්දනය කරමින් බහුශ්‍රැත, ධර්මධර, විනයධර යතිවරයන් වහන්සේ ඒ සංවාදයන්ට සමභාගි වූ හ. ඒවා හරසුන් නොවන, ඉතා ගැඹුරු සංවාද විය. අද පුවත්පත්වල එවැනි සංවාද තිබෙනවාදැයි සිතීමටවත් නොහැකි ය.

එමෙන් ම මේ රටේ සිංහල භාෂාවෙන් ලියන, නිර්මාණය කරන ලේඛකයන්ට සිළුමිණ පත්‍රයෙන් ලැබුණ දායකත්වය ඉහළ ය. අද මෙන් එදා ග්‍රන්ථ ප්‍රකාශනය පහසු දෙයක් නොවී ය. පොත පත දුලබ ය. මුද්‍රණ ශිල්පය දියුණු තත්ත්වයක නොවුණි. එවැනි යුගයක මේ අංකුර නිර්මාපකයන්, රචකයන් සමාජය ඉදිරියට ගෙන එන්නට සිළුමිණෙන් සිදු වූ කාර්ය භාරය ඉහළ ය. සිළුමිණ ආරම්භ වන අවධියේ ලංකාවේ විශ්ව විද්‍යාලයක් පිහිටුවා තිබුණේ නැත. ඒ හිඩැස යම් ආකාරයකින් පිරවූයේ සිළුමිණයි. අපේ ලේඛකයන් රටට හඳුන්වා දීමට සිළුමිණ කළ මෙහෙවර කාලීන වශයෙන් ඉතා වැදගත් ය.

සිළුමිණේ කාර්ය භාරය හුදෙක් පුවත්පතක කාර්ය භාරයට පමණක් සීමා වූයේ නැත. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට එරෙහිව, ජාතික සටන් ව්‍යාපාර, ජාතිකත්වය, අපේකම රැකීමට උත්සාහ ගත්තා පමණක් නොව එක් දේශපාලන මතයක් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ ගත්තේ නැත. එය කාගේත් පුවත්පත බවට පත් විය.

මේ කාලයේ ගොඩ නැඟුණු"ටයිම්ස්" පුවත්පත සමඟ වැඩුණේ එක්තරා විධිහක බටහිර මතවලට ප්‍රමුඛත්වයක් දෙන තත්ත්වයකි. ටයිම්ස් ආයතනයේ ම ලංකාදීප පුවත්පත ආරම්භ වුවත් එය ඊට වඩා වෙනස් මඟක් ගත්තේ ය. ජාතිකත්වයට මුල් තැන දුන්නේ ය. ඒ සඳහාත්, විශේෂයෙන් ම අපේ රටේ සිංහල පුවත් පත් කලාව සැකසීමට සිළුමිණ ලබා දුන් පූර්වා දර්ශය ඉතා වැදගත් විය.

වර්තමානයේ ඉරිදා පුවත්පත්වල ස්වරූපය අතීතයට වඩා බොහෝ සෙයින් වෙනස් ය. කුතුහලය අවුස්සන, භූත කතා, ත්‍රාසජනක කතා, සමාජමය සංසිද්ධීන් බහුල ය. අක්ෂරවල සිට සැකැස්මේ ද වෙනසකි. පුවත්පත පුරා ඇත්තේ කලබලකාරී ස්වරූපයකි. පුවත්පතේ හරවත් බවට එය බාධාවකි. එහෙත් සිළුමිණ පුවත්පත නූතන යුගයට ගැලපෙන ලෙස වෙනස් වෙමින් , එහෙත් පැරණි රුව ගුණ ආරක්ෂා කර ගනිමින් , සම්ප්‍රදාය ආරක්ෂා කර ගනිමින් අදටත් පළ වීම සතුටට කරුණකි. එය අදටත් සම්භාව්‍ය පත්‍රයක් යන හැඟීම ඇතිවන ලෙස, සමාරම්භකයන් ගේ අපේක්ෂාවන් ශුන්‍යත්වයට පත් නොකර පවත්වාගෙන යාම ගැන අගය කළ යුතු ය.


සියලු දේශපාලන මතවලට වේදිකාවක් වුණා

කොළඹ විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය අජන්තා හපුආරච්චි

මීට වසර 86කට පෙර සිළුමිණෙන් කතා කළ දේ අද කතා කළොත්, එය කාලීන වශයෙන් ගැළපෙන්නේ නැහැ. සත දහයේ විශ්වවිද්‍යලය ලෙස එදා අප සිළුමිණෙන් බලාපොරොත්තු වූ දේ අද බලාපොරොත්තු වෙන්න බැහැ. අනෙත් සියලු දේ වගේ ම පුවත්පතත් කාලානුරූපීව වෙනස් විය යුතුයි. අප එදා බලාපොරොත්තු වූ ගුණාත්මක භාවය හැමදාම එක විදිහට තිබිය යුතු නැහැ. එයට හේතුව විවිධ ආර්ථික සමාජීය තාක්ෂණික හේතුන් මෙන්ම අවශේෂ කරුණු ද පුවත්පත කෙරෙහි ද අනිවාර්යෙන්ම බලපාන නිසයි. සමාජය වෙනස් වන විට යහපත් ආකාරයට සමාජයට වැඩදායී විදිහට සිළුමිණත් වෙනස් වෙලා. දැන් සිළුමිණට අසූහයක් වෙලා තියෙනවා.

අතීතයේ දේශපාලනික බලපෑම් පුවත්පත්වලට දැඩිව තිබුණේ නැහැ. එදා තිබුණේ බොහෝම ස්වාධීන, කර්තෘ මූලික පුවත්පතක්. ඒ වගේම කර්තෘවරුන්ට අයිතිය, බලය දෙකම තිබුණා. එදා සිළුමිණත් ස්වාධීන පුවත්පතක්. අන්තර්ගතය නිර්මාණාත්මකයි. තරගකාරීත්වයක් තිබුණේ නැහැ. අද මාධ්‍ය බහුලීකරණය තුළ විවිධ ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍යවලට පාඨකයා බෙදිලා ගිහිල්ලා. කියවන්න, අහන්න වගේම බලන්නත් පාඨකයෝ, ‍ශ්‍රාවකයෝ, ප්‍රේක්ෂකයෝ බෙදිලා. මේ සියලු වෙනස් වීම් හමුවේ සිළුමිණ සිය අනන්‍යතාව රැකගෙන ඉදිරියට ඒමට සමත්වෙලා තියෙනවා.1960න් පසු පුවත්පත් අතර ඇති වූ තරගකාරීත්වයට මුහුණ දෙන්නත් සිළුමිණට හැකි වුණා. එදා හිටිය උගත් වියතුන් වූ කර්තෘවරුන් පුවත්පතේ ගුණාත්මකභාවය රැකගත්තා. 1973 ලේක් හවුස් ආයතනය රජයට පවර ගත්තායින් පසුව බොහෝ විට කර්තෘ පත් වුණේ පවතින ආණ්ඩුවේ අවශ්‍යතාව මතයි. මේ සියලු කරුණු හමුවේ වුවද දේශපාලනික වාර්තා කිරීම්වලදී විවිධ‍ දේශපාලනික මතවාදයන් ප්‍රකාශයට පත් කිරීමටත් සියලු දේශපාලන පක්ෂවලට ඉඩ දීමට වත්මන් කර්තෘවරුන්ද කටයුතු කර තිබෙනවා. එමෙන්ම කවරාකාරයේ බලපෑම් තිබුණත් ගුණාත්මක භාවය රැකගනිමින් තම අනන්‍යතාව රැකගෙන ඉදිරියට ඒමට වර්තමාන කර්තෘවරුන්ටද හැකිවී තිබෙනවා.


කලාත්මක සිනමාවට එදා සිටම අතහිත දුන්නා

චිත්‍රපට අධ්‍යක්ෂ චිත්‍රා බාලසූරිය

එදා යුගයේ වාසනාවට බිහි වූ පුවත්පතක් ලෙස සිළුමිණ හඳුන්වන්න පුළුවන්. එයට හේතුව ලෙස මා දකින්නේ සම්මානයට පාත්‍ර වූ මගේ චිත්‍රපට ප්‍රේක්ෂකයා වෙත ගෙන යෑමේ මහත් වූ වගකීමට උර දීම. මගේ 'පරසතු මල්', 'තුන්මංහන්දිය' වැනි චිත්‍රපට සඳහා ප්‍රචරණ මාධ්‍යයක් එවකට තිබුණේ නැහැ. නමුත් ගුවන්විදුලියත්, සිළුමිණත් ප්‍රේක්ෂකයා වෙත මගේ චිත්‍රපට ගෙනයෑමේ අසීරු කාර්යය මැනවින් ඉටු කළා. ඉරිදා පත්තරවල අද දකින්නට ඇත්තේ කුණු කන්දල්. නමුත් ඒ තත්ත්වයට සිළුමිණ පත් වුණේ නැහැ. බෙනඩික් දොඩම්පේගම වැනි කර්තෘවරුන් මා සම්මානලාභි කලාකරුවෙකු දක්වා ගෙන යෑමේ මහගු මෙහෙවරේ පුරෝගාමිව කටයුතු කළා. එදා මෙදා තුර සිළුමිණ තුළ වු සිනමා විචාර අතිවිශිෂ්ටයි. සිනමා විෂයයෙහිලා සිළුමිණෙන් විවිධ පැතිකඩ ඔස්සේ කෙරෙන ලිපි නිසා සිනමා කලාකරුවන් ජනතාව ඉදිරියට ගෙන ඒමට අතිවිශිෂ්ට සේවයක් ඉටු කෙරෙනවා.


විශිෂ්ට මාධ්‍යවේදීන් බිහි කළ තක්සලාව සිළුමිණ පත්තරයයි

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ

සිළුමිණ ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසයේ ඉතා විශිෂ්ට ගණයේ පුවත්පතක් ලෙස සලකන්න පුළුවන්. එයට හේතුව වන්නේ 1930 වසරේ සිට අද දක්වා ජනමාධ්‍යවේදීන් පුරුදු පුහුණු වූ තක්සලාවක් ලෙස ද සිළුමිණ හඳුන්වන්න පුළුවන් වන බැවිනුයි. මා එසේ සඳහන් කළේ පසුකාලීනව බිහි වු අතිවිශිෂ්ට ගණයේ මාධ්‍යවේදීන් පුවත්පත් බිහි කිරීමට ශක්තිය ලැබුවේ සිළුමිණින් ලද පන්නරයෙන්යැයි කිව හැකියි. එමෙන්ම ලංකාවේ සාහිත්‍ය කලා පෝෂණය පිළිබඳව මෙන්ම ශාස්ත්‍රීය ඥාන පෝෂණය සඳහා සිළුමිණ දැක්වු සමාජ මෙහෙවර ඉතා අගය කළ යුතුයි. සත දහයේ විශ්වවිද්‍යාලය නමින් මෙය හඳුන්වනු ලද්දේද මුල් කාලීනව පටන්ම අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්මෙන්ම විවිධ ‍ක්ෂේත්‍රවලට අයත් විද්වතුන්ගේ ඥාන පෝෂණය සඳහා දායකත්වයන් දැක්වූ නිසාවෙනි.

එදා මෙදා තුර සාහිත්‍යකරුවන් කවීන්, කෙටිකතාකරුවන් සේම, විද්‍යාඥයන්, ලේඛකයන්, නිර්මාණකරුවන් පෝෂණය කිරීමෙහිලා සිළුමිණ කැප වී තිබෙනවා. අනෙක් පුවත්පත්වල නොවූ අතිවිශිෂ්ට ගැඹුරු ශාස්ත්‍රීය ලිපි, වාද විවාද බිහි වීමේහිලා ලේක් හවුස් නිර්මාතෘ ඩි.ආර්. විජයවර්ධන මහතාගේ පරමාදර්ශය මුල් වුණා යැයි කිවහොත් වඩා නිවැරැදියි. පැළෑණේ වජිරඤාණ හිමි, පියසේන නිශ්ශංක, මාර්ටින් වික්‍රමසිංහ, ඩබ්.ඒ. සිල්වා, මීමන ප්‍රේමතිලක ඇතුළු පිරිස් පසුකාලීන සිළුමිණ පෝෂණය කිරීමෙහිලා මූලික වුණා. මේ පුවත්පත් කතුවරුන්ගේ පුර්වාදර්ශය පසුකාලීනව අනෙක් පුවත්පත් බිහිකිරීමේහිලා පන්නරයක් සැපයූවායැයි පැවසිය හැකියි. පුවත්පත් කලා ඉතිහාසය තුළ සිළුමිණට ආවේණික කවිය කෙටිකතාව, නවකතාව නවකයන්ට විශාල අත දීමක් ලබා දුන්නා. එය අලුත් පරම්පරාවක් බිහිකිරීමේහිලා මූලික වුණා. මුල්කාලීනව ඇති වූ සමාජ දේශපාලනික කරුණුවලදී සිළුමිණ ස්වාධීනව කටයුතු කර තිබෙනවා. එක්තරා සමාජ බලපෑමක්ද කිරීමෙහිලා එම දේශපාලන කරුණු වැදගත් වුණා. පුවත්පතක් ලෙස ගත් විට සන්නිවේදන ‍ක්ෂේත්‍රයේ පමණක් නොවෙයි වාද විවාද කරුණුවලදී සමාජයට කිසියම් බලපෑමක් ඇති කිරීමට මුල් කාලීන සිළුමිණ වාද විවාද වඩා ප්‍රමුඛස්ථානයට පත් වුණා.


නිවැරැදි භාෂා භාවිතයෙන් සිළුමිණ අදත් පෙරමුණේ

විශ්‍රමික ගුරු අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂිකා, රාජකීය ආසියාතික සංගමේ උප සභාපතිනී පද්මා එදිරිසිංහ මහත්මිය

සිළුමිණ ආරම්භක අවදියේ සිට මේ දක්වා එදාමෙදා තුර සිළුමිණත් සමඟ මා සමීප සබැඳියාවක් තිබුණා. මා කුඩා කල පටන් සිළුමිණ කියවන්නත්, ඉන් අනතුරුව පාසල් අවදියේ පටන් සිළුමිණට ලියන්නත් හුරු වෙලා හිටියා. ඒ අනුව මා අද අක්වා සිළුමිණ පාඨකයෙක් සේම සිළුමිණට විශේෂාංග ලිපි සම්පාදිකාවක්. මට මේ අවස්ථාවේ මතකයට නැගෙන සුවිශේෂි කරුණක් තිබෙනවා. මා කුඩා කල සිළුමිණ පුවත්පතේ පළ වු කමලා අක්කාගේ ළමා පිටුව කියවන්න හුරු වෙලා තිබුණා. එය කෙතරම් සුන්දර ආකාරයට දරුවන්ට සමීපතාවක් තිබුණාදැයි කියතොත්, මා කුඩා කල 'කමලා අක්කා' දැකබලා ගැනීමේ නොතිත් ආසාවෙන් කල් ගෙව්වා. එතැන් පටන් මා සිළුමිණටයැවූ බොහෝ ලිපි පළ වුණා. කමලා අක්කා ලෙසින් සිළුමිණ ළමා පිටුව සංස්කරණය වුණේ සංස්කාරකවරයෙකු විසින් බැව් මා පසුකාලීනව දැන ගත්තා. මා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන්නට යොමු වුණායින් පසුවත් සිළුමිණට ලිපි සැපැයීම නතර කළේ නැහැ‍. සිළුමිණ හා මා අතර පැවැති සබැඳියාව නවතාලීමට මට අද දක්වා නොහැකියි.

සිළුමිණ ඉතා උසස් ශාස්ත්‍රීය කරුණු ඉතා ගැඹුරින් සාකච්ඡා කරන අතර, වින්දනාත්මක කරුණු ද සමබරව අන්තර්ගත කොට වාර්තා කිරීමේ අතිවිශිෂ්ට පුවත්පතක්. මුල්කාලීන මේ පුවත්පතේ දේශපාලනඥයින්ගේ පූරුවාදර්ශ චරිත, පෞද්ගලික තොරතුරු කියවීමේ රුචිය ඇති වන ආකාරයට වාර්තා කළා. සිළුමිණ මුල්ම සතිඅන්ත පුවත්පත ලෙස පාඨක ලෝකයට අලුත් දේ හඳුන්වා දුන්නා විශේෂයෙන් වාද විවාද කෙටි කතා හාස්‍ය උත්පාදන කතා කවිය වැනි විවිධ මාධ්‍ය ඔස්සේ පුවත්පත පරිපුර්ණ වුණා; එමෙන්ම හරබර සාහිත්‍ය ලිපි ද එදා සිට අද දක්වා මැනවින් සම්පාදනය කිරීමේ හැකියාව සිළුමිණට තිබුණා.ප අනෙක් පුවත්පත්වල නොදකින සුවිශේෂත්වය වන්නේ සිළුමිණ තුළ ව්‍යාකරණයට, නිවැරැදි අක්ෂර භාවිතය රැකගැනීමට කරන ලද උත්සාහයයි. එ‍මෙන්ම බෞද්ධ කලාවට, සභ්‍යත්වයට දේශීයත්වයට දී ඇති ප්‍රමුඛත්වය ඉතා අගය කොට සලකන්න පුළුවන්. අදත් මා සිළුමිණ හා සමීපව කටයුතු කරන්නේ සිළුමිණ එහි නම සේ ම 'සිළුමිණක්' වී ඉහළින් වැජඹෙන නිසයි.


ඥනවෘද්ධ මාධ්‍යයක් ලෙස එදා සිටම ක්‍රියා කළා

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන

සිළුමිණ වඩා වැදගත් වන්නේ ලංකාවේ ව්‍යාපාරිකයෙකු විසින් ආරම්භ කරන ලද මුල්ම පුවත්පත වන බැවිනුයි. ඩි ආර් විජයවර්ධන යනු පුත්පත්කලාවේදියෙකු නොවුවත් නීතීඥවරයෙකු , ව්‍යාපාරිකයෙකු වූ එතුමා අතින් ඇරුඹූ පළමු පුවත්පත මේ සිළුමිණයි. පුවත්පතක් ස්වාධීනව කිරීමේ මහත් වූ කාර්යභාරය එතුමා මැනවින් ඉටු කළා. එතුමාට දැක්මක් තිබුණා. ‍පුවත්පත කාගේවත් හොරණෑවක් නොවෙයි. පුවත්පතට අවශ්‍ය වන්නේ මහජන විශ්වාසය දිනාගැනීම යන කරුණ පිළිබදව ඔහුට නිසි අවබෝධයක් තිබුණා.

විශේෂයෙන් සිළුමිණ ආරම්භක අවදියේ පටන් සිනමා විෂය කෙරෙහි මාර්ටින් වික්‍රමසිංහ වැනි සාහිත්‍යධරයන් පවා ඔවුන්ගේ සම්ප්‍රදායික සාහිත්‍යමය භුමිකාවෙන් ඔබ්බට ගොස් සිනමා මාධ්‍ය පාඨකයාට හඳුන්වාදීමෙහිලා සිනමාව වර්ධනය කිරීමෙහිලා කරන ලද මැදිහත් වීම ඉතා විශිෂ්ටයි. එදා සිට අද දක්වා සුවිශේෂයෙන් සිනමාව විෂයෙහි අතිවිශිෂ්ට සංවාදයන්හි ප්‍රවීණ හා හරවත් සංවාද ගොඩනැගීමට සිළුමිණ උත්සුක වුණා එය වර්තමානය වන විටත් අඛණ්ඩව දකින්න ලිබීම සුවිශේෂත්වයක්. තවද සිළුමිණෙහි ජ්‍යෙෂ්ඨ පරපුරේ අනන්‍යතාව, වෑයම, ප්‍රයත්නය දිගින් දිගටම රැකගෙන ඒමට වර්තමාන අංකුර ලේඛක පරපුරට හැකි වී තිබිම ඉතා වැදගත්.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]