කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සිවු වරක් අගමැති පදවිය ලත් ලොව තෙවැන්නා අගමැති රනිල්

සිවු වරක් අගමැති පදවිය ලත් ලොව තෙවැන්නා අගමැති රනිල්

ලොව පිළිගත්, ලොවම ගරු කරන, ජගත් දේශපාලන ඉතිහාසයේ ලෝක වාර්තාවක් සම කළ, අත්දැකීම් සපිරි කෘතහස්ත දේශපාලන නායකයකු ඉකුත් දා සිය ජීවන ගමනේ හැට හත්වැනි සැතැපුම් කණුව පසු කළේය. රාජ්‍ය උත්සව හෝ සැණකෙළි කිසිවක් නොවීය. ඒ සමඟම ඔහුගේ ක්‍රියාකාරී දේශපාලන දිවියට හතළිස් එක් වසරක් සම්පූර්ණ විය. ඔහු තම දේශපාලන චාරිකාවේ හතළිස් වසර සමරන්නට මහජන මුදල් සතයක් හෝ වැය කළේ ද නැත.

එහෙත් අතිශය සුවිශේෂී මෙන්ම ඓතිහාසික සිද්ධි දාමයකින් ඔහුගේ දේශපාලන දිවියට හතළිස් වසර සපිරෙන 2015 වසර ප්‍රභාවත් විය. වසර ආරම්භයේදීම (ජනවාරි 9) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, අගෝස්තු 17 වැනිදා පැවැති මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මනාප ඡන්ද 500,556ක් ලබා ගනිමින් ලාංකේය දේශපාලන ඉතිහාසයේ නව වාර්තාවක් තැබුවේය.

එම වසරේ ම අගෝස්තු මස 21 වැනිදා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස සිවුවැනි වරටත් දිවුරුම් දීමේ අවස්ථාව ලාංකේය දේශපාලනයට පමණක් නොව, ජගත් දේශපාලන වංශ කතාවට ද අතිශය වැදගත් සිදුවීමක් විය. එය ජගත් දේශපාලන වංශාවලිය අලුතින් ලියූ අවස්ථාවකි. ලෝක දේශපාලන ඉතිහාසයට නව පිටුවක් එක්කළ දිනයකි. සිවුවැනි වරටත් රටක අගමැති තනතුරට පත්වීම ලෝක දේශපාලන ඉතිහාසයේ වුවද අතිශය දුර්ලභ සිද්ධියකි. ජගත් දේශපාලන ඉතිහාසය පුරා මෙවැනි අවස්ථා ඇත්තේ තුනක් පමණි. සිවු වරක් අගමැති තනතුරට පත්වූ ප්‍රථමයා බිහි වූයේ බ්‍රිතාන්‍යයෙනි. ඔහු එරට ලිබරල් පක්ෂය නියෝජනය කළ විලියම් එවර්ට් ග්ලැඩ්ස්ටන් ය. ඔහු 1868 සිට 1894 දක්වා සිවු වරක් අගමැති තනතුරට පත් විය. දෙවැන්නා බිහි වන්නේ ලංකාවෙනි. ඔහු නම් නිදහස් ලංකාවේ දෙවැනි අගමැති ඩඩ්ලි ෂෙල්ටන් සේනානායකය. තෙවැන්නා බිහි වන්නේ ඉන් හරියට ම පනස් වසරකට පසුව ය.

සිවු වරක් අග්‍රාමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබු ලොව තෙවැන්නා ලෙස රනිල් වික්‍රමසිංහ නාමය මෙසේ ජගත් දේශපාලන වංශාවලියට ඇතුළත් විය. පස් වරක් අගමැති තනතුරට මෙතෙක් කිසිවෙකුත් පත් වී නැති බැවින් එය දේශපාලන ලෝක වාර්තාවක් සම කිරීමකි.

නිබඳ ගෞරවය

ලිබරල් දේශපාලන දර්ශනය හා ලිබරල් ආර්ථික න්‍යාය ධර්ම ගුරු කොටගත් ප්‍රජාතන්ත්‍රවාදය, හා මානව හිමිකම් අගයන අග්‍රාමාත්‍යවරයකු ලෙස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමස්ත ලෝකයේම ගෞරවයට පාත්‍ර වී සිටී. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ද, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද, පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් හෝ ලොව ඕනෑම රටක රාජ්‍ය නායකයෙක් ඔහුගේ දේශපාලන පරිණතභාවය, විචක්ෂණ බුද්ධි මහිමය හා අත්දැකීම් තුළින් පෝෂිත දැනුම් සම්භාරය ඉදිරියේ තම නිබඳ ගෞරවය ඔහු වෙත පුද කරති. පසුගිය දා ස්විට්සර්ලන්තයේ ‘ඩාවෝස්’ නුවර පැවැති ජගත් ව්‍යාපාරික සමුළුවේදී ලෝක ව්‍යාපාරික ප්‍රජාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉංග්‍රීසි බස අතිශය ව්‍යක්ත ලෙස හසුරුවමින් දැක්වූ අදහස් දැක්වීම් හා සාකච්ඡා, සම්මන්ත්‍රණ ලොව ප්‍රමුඛ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම රාජ්‍ය නායකයන්ගේ ද ගෞරවයට පාත්‍ර විය.

ඇතැම් විදෙස් මාධ්‍යවේදීහු මේ දකුණු ආසියානු අගමැතිවරයාගේ දැනුම, අවබෝධය හා ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳ ආකර්ෂණීය ශීර්ෂ පාඨ මෙන්ම තීරු ලිපි ද තම පුවත්පත්වල පළ කළහ. විදෙස් ණය ලබා ගැනීම තම අරමුණ නොවන බවත් වැඩි වැඩියෙන් ආයෝජකයන් මෙරටට‍ ගෙන්වා ගැනීම තම ඉලක්කය බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය විය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ දේශපාලන දිවියේ හතළිස් එක්වැනි වසර ගෙවෙමින් තිබෙන මේ මොහොතේ ඔහුගේ ජීවිතයේ සෑම නිමේෂයක්ම දේශපාලනිකය. සෑම දිනයක් ම අතිශය කාර්යබහුලය. රනිල් යනු අතිශය කාර්යබහුල මෙන් ම සංකීර්ණ දේශපාලන ප්‍රපංචයකි. මේ සුවිශේෂී චරිතයෙන් ‘දේශපාලනය’ වියුක්ත කළ විට එය කෙබඳු ද? රනිල් වික්‍රමසිංහ නම් සාමාන්‍ය මිනිසා කෙබඳු පුද්ගලයෙක් ද? ටයිකෝට් ඇඳ පැලඳ දේශපාලන භූමිකාවේ විවිධ රංගයන්ට සම වැදෙන මේ සුවිශේෂ ජගත් දේශපාලනික චරිතය අභ්‍යන්තරයේ වෙසෙන්නේ සැබැවින්ම සරල මිනිසෙකි, සුන්දර කලා රසිකයෙකි, සංගීත සමාධියට සම වැදෙන්නෙකි. භාවනානුයෝගීව ඉවසීම ප්‍රගුණ කරගත් මුනිවරයකු බඳු මිනිසෙකි.

රනිල් වික්‍රමසිංහ මහතා තරම් පොත්පත් ඇසුරේ පසුවන සම්භාව්‍ය සංගීතය රස විඳින, ලොව සම්භාව්‍ය සිනමා නිර්මාණ නරඹන වෙනත් දේශපාලනඥයකු සොයා ගැනීම පවා අතිශය දුෂ්කර කරුණකි.

මෝටර් රථයකින් ගමන් කරන දිගු රාජකාරි ගමනකදී වුවද හෙතෙම තම ටැබ්ලොයිඩ් පරිගණකය (iPad) හෝ පොත්පත් කිහිපයක් රැගෙන යයි. මෑතකදී නිකුත් වූ සංවාදයට බඳුන් වූ කෘතියක් ‘ebook’ මඟින් කියවයි.

මෝදිගේ ත්‍යාගය

නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ අගමැති අපේක්ෂකයා ලෙස සටන්වැදී සිටින විට මේ ලියුම්කරු ප්‍රකට ‘හාපර් කෝලින්ස්’ ප්‍රකාශන සමාගම එයින් එළිදක්වන ලද ඇන්ඩ් මර්නෝ නම් බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයා විසින් (ඉංග්‍රීසි බසින්) ලියන ලද නරේන්ද්‍ර මෝදිගේ දේශපාලනික චරිතාපදානය කෘතිය රනිල් වික්‍රමසිංහ මහතා වෙත තිළිණ කළේය. (ඒ වන විට මෝදි මහතා අගමැති තනතුරට පත්ව සිටියේ නැත) රනිල් වික්‍රමසිංහ මහතා සිනාමුසු මුහුණින් පැවසුවේ ‘මේක මගේ ළඟ තියෙනවා. මම කියවලත් ඉවරයි...’ යනුවෙනි. ඒ වන විට මේ නවතම කෘතිය ශ්‍රී ලංකාවේ පොත් සල්වලට පැමිණ සතියක්වත් ගතවී තිබුණේ නැත. එතුමාගේ පොත් සොයා යෑමේ හා කියැවීමේ වේගය පිළිබඳව මම මවිතයට පත් වුණෙමි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ කියැවීමේ රුචිය තවත් විෂය පථයන් රැසක් ඔස්සේ විසිරී පැතිරී යයි. ඉතිහාසය, පුරාවිද්‍යාව, නීතිය, ආර්ථික විද්‍යාව, බෞද්ධ දර්ශනය හා සාහිත්‍යය, විශ්ව සාහිත්‍ය හා චරිතාපදාන ද ඒ අතර වෙයි. විවිධ ආගම් හා දර්ශනයන්ට සම්බන්ධ පොත්පත් ද ඔහුගේ මහඟු පොත් එකතුවේ දක්නට ලැබේ. බුද්ධ ධර්මය පිළිබඳ ඔහුගේ දැනුම ඒ පිළිබඳ ප්‍රාමාණිකයෙකු වුවද මවිත කරවන සුලුය. ත්‍රීපිටකය, ධම්මපදය, බෞද්ධ සාහිත්‍ය හා දේශපාලන න්‍යාය ධර්ම ඇසුරෙන් ඔහු විසින් රචනා කර එළිදක්වන ලද ‘දේශපාලනය සහ ධර්මය’ නම් කෘතිය එයට එක් නිදසුනක් පමණි.

මෝසාට්, බීතෝවන්, බාක් හෝ ඒ. ආර්. රහ්මන්ගේ විවිධාකාර පරාසයන්හි විහිදෙන සප්ත ස්වරය ඔහුට එකසේ රස විඳිය හැකිය. දේශපාලන ප්‍රශ්නවලින් විඩාබර වූ නිමේෂයක රවි ශංකර්ගේ සිතාරයේ තත් බි‍ඳෙන මියුරු රාවයට සවන් යොමන ඔහුට පණ්ඩිත් අමරදේවයන්ගේ ගීයක හෝ උර්දු ගසල් ගීයක රසාලිප්ත බව සමාධියකට මෙන් සමවැදී ස්පර්ශ කළ හැකිය. විශාරද නන්දා මාලිනියගේ විරෝධාකල්ප ගීයක හෝ ප්‍රේම ගීයක රස මිහිර සම සේ විඳ ගත හැකිය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘නිධානය’ වැනි සිනමා පටයක සිට ‘ද ලෝන්ගස්ට් ඩේ’ වැනි සම්භාව්‍ය යුද සිනමා වියමනක් ද කලා මනසකින් යුතුව උකහා ගත හැකිය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ හා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ අවබෝධාත්මක, විසංවාදී දේශපාලන චාරිකාව දෙස මුළු ලොවම අවධානයෙන් බලා සිටී. මේ දෙපළ ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය ආර්ථික සංග්‍රාමය ජය ගැනීමයි. සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වූ අලුත් ශ්‍රී ලංකාව දෙස ලොවේම අවධානය යොමුව ඇති අවස්ථාවක කාලයට ඉඩ දී මඳක් බලා සිටිය යුතුව ඇත. මැජික් යෂ්ටීන් මේ දෙදෙනාම අත දරා නැති බැවිනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]