![]() ![]() |
||
යල් පැන ගිය රාජ්‍ය සේවය නවීකරණයට මුල පිරුවා
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් රුපියල් 10000කින් ඉහළ නංවා තිබුණද රාජ්‍ය සේවය තවමත් ඉබිගමනේය. ඒ සම්බන්ධව මෙන්ම වර්තමාන දේශපාලන ගමන් මගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද අදහස් දක්වයි. දේශපාලන පළිගැනීමට ලක් වූවන් සම්බන්ධ සොයා බැලීමේ කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ ඔබයි. කොහොමද, ඒ අයට සාධාරණය ඉටු කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මකද? දේශපාලන පළිගැනීම් විදිහට අපට අයැදුම්පත් 32000ක් ලැබී තිබුණා. අප ඒ අයැදුම්පත් සියල්ල කෙරෙහිම අවධානය යොමු කර, ඒ ඒ අමාත්‍යාංශවල අනුකමිටු පිහිටෙව්වා. ඒ සියල්ල පරීක්ෂා කර බැලුවා. එයින් 21000ක තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය හිමි වුණා. පියවර කිහිපයකින් ඒ අයට සහන දෙන්න බලාපොරොත්තු වෙනවා. අසාධාරණයට ලක් වූ සැමටම නිසි ආකාරයෙන් වන්දි හිමි වෙයිද? පක්ෂ දේශපාලනය කතා කරනවා නෙමෙයි. නමුත් අද හැම තැනකදිම වැඩියෙන්ම මේ අවස්ථාවේ අසාධාරණයට පත් වන්නේ එක්සත් ජාතික පාක්ෂිකයා. ඉස්සර ඔහුට ලැබුණේ බින්දුව. දැන් යහපාලනේ නිසා දෙපැත්තටම බාගෙ-බාගෙ ලැබෙනවා. එහෙත් රුපියල් 10000කින් වැටුප් වැඩි කිරීම රජයේ සේවකයන් ලද ලොකුම ජයග්‍රහණයක් බව ආණ්ඩුව පවසනවා... ඔව් ඒක තමයි සත්‍යය. නොයෙක් මැතිවරණවලදී විවිධ දේශපාලන පක්ෂ වැටුප් වැඩි කිරීම සම්බන්ධව මැතිවරණ පොරොන්දු ලබා දුන්නා. නමුත් රාජ්‍ය අංශයේ වැඩිම වැටුප් ලබා දීම සිදු කෙරේ අපි. 2015 වසරේ ජනවාරි 8 වැනිදා බලයට පත් වූ රජය මැතිවරණ පොරොන්දුව දින 100ක් ඇතුළත ඉටු කරා. රුපියල් 10000 ම එකවර මූලික වැටුපට තවම එකතු වෙලා නැහැ. වසරින් වසර එකතු වීම බඩු මිල ඉහළ යෑමත් සමඟ රාජ්‍ය සේවකයාට ඔය කියන තරම් වාසිදායක වෙයිද? 2020 ජනවාරි මාසේ 01 වැනිදා වෙනකොට රජයේ සේවකයන්ගේ මූලික වැටුප දෙගුණයකටත් වැඩි වෙනවා. මේ ආණ්ඩුව වැඩි කරපු රුපියල් 10000යි, පහුගිය ආණ්ඩුවෙන් වැඩි කරපු 20% යි දෙකම එකතු වුණාම දැනට රාජ්‍ය සේවයේ අවම වැටුප ලෙස සලකනු ලබන රුපියල් 11730ක් ලබන සේවකයාගේ වැටුප රුපියල් 24500ක් වෙනවා. ඒ කියන්නේ දෙගුණයකටත් වඩා වැඩි වෙනවා. රුපියල් 25500 ලබන වෛද්‍යවරයකුගේ මූලික වැටුප රුපියල් 52500ක් වෙනවා. එයත් දෙගුණය ඉක්මවා යෑමක්. මේ වගේ වැටුප් වැඩි වීමේ රටාවක් මින් පෙර තිබී නැහැ. රාජ්‍ය සේවකයාට මේ ආකාරයෙන් සැලකූ වෙනත් ආණ්ඩුවක් තිබුණේ නැහැ. කොහොම වුණත් සෑම වැටුප් වැඩි කිරීමකදිම සිදු වුණු දෙයක් තමයි වැටුප් විෂමතා ඇති වීම. මේ තත්ත්වය ඉදිරියේදී යළිත් ඇති වෙයිද? නැහැ. ඒ තත්ත්වය වසර ගණනාවක් තිස්සේම තිබුණු නිසා තමයි වැටුප් වැඩි කිරීමේදී 1ට 4 අනුපාත ක්‍රමය ක්‍රියාත්මක කළේ. විශේෂයෙන්ම අපි මේ සම්බන්ධව වෘත්තීය සමිති සමඟ සාකච්ඡාා කළා. ඒ අනුව 2016 (3) චක්‍රලේඛයෙන් බොහෝ දේ සාමාන්‍ය තත්ත්වයට ගෙනාවා. ඔබ එසේ කිව්වත් තවමත් වැටුප් විෂමතා තිබෙනවා. මේ තත්ත්වය ඉදිරියේදී වර්ජන තර්ජන රැල්ලක ආරම්භයක් වන්නට පුළුවන්... මම කලින් හිටපු ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සිය ගණනක් තියෙනවා. නමුත් ඒ අමාත්‍යාංශයේදී ඇති වූ ගැටලු බොහොමයක් අපි වෘත්තීය සමිති සමග සුහදව සාකච්ඡා කර විසඳාගත්තා. 2006 (6) චක්‍රෙල්ඛය සම්බ්න්ධව අපි වඩාත් අවධානයෙන් එම සමිති සමඟ සාකච්ඡා කළා. මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කළා. මේ වැටුප් වැඩි කිරීමත් සමඟ ඇති වන යම් යම් සුළු විෂමතා එතරම් ගැටලුවක් ඇති නොවන පරිදි විසඳාගන්නට පුළුවන් වේවි. කොහොම වුණත් පෞද්ගලික අංශ සේවකයන්ට වැටුප් වැඩිවීම ක්‍රියාත්මක වුණේ රුපියල් 2500කින්. එයත් නිසි ලෙසින් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නේ නැහැ... ඒ සම්බන්ධයෙන් කම්කරු ඇමැතිවරයාට පැමිණිලි කරන්න පුළුවන්. කොහොම වුණත් පෞද්ගලික අංශ සේවකයන්ගේ හා රජයේ සේවකයන්ගේ වැටුප් අතර විශාල වෙනසක් තිබෙනවා. පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ වැටුප ඉහළ මට්ටමක තිබෙනවා. එත් පෞද්ගලික අංශයේ පහළ ශ්‍රේණිවලට හිමි වන්නේ ඉතා අවම වැටුපක්. ඒක ඇත්ත. ඒ තත්ත්වය මත තමයි රජය විසින් රුපියල් 2500ක වැටුප් වැඩි කිරීමක් නියම කළේ. පසුගිය රජය පෞද්ගලික අංශය දියුණු කිරීම ගැන එතරම් අවධානයක් යොමු කර නැහැ. එය පෞද්ගලික අංශයට විශාල බාධාවක්. රාජ්‍ය සේවකයන්ට මේ තරම් වැටුප් වැඩි වීමක් ලබා දුන්නත් රාජ්‍ය සේවය ගැන මහජනයා තුළ ඒ තරම් තෘප්තියක් නැහැ. වැඩක් කර ගන්න දවස් ගණනක් යෑමට සිදු වන බවට පැමිණිලි විශාල ලෙසින් ලැබෙනවා... ඒ ආකල්පය තවමත් අපේ රටේ තියෙනවා. ලෝකයේ දියුණු වුණ අනිත් රටවල් දෙස බලාගෙන අපි කටයුතු කරන්න ඕන. ජපානය, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වැනි රටවල් මේ සංකල්පයෙන් ඉදිරියට ආ රටවල්. තරගකාරීත්වය ඵලදායිතාව යන සංකල්ප දෙක ඔස්සේ මෙ ගමන යා යුතුයි. විශේෂයෙන්ම ඵලදායිතාව 'එස් 5' සංකල්පය හරිම වැදගත් වනවා. ඵලදායිතා ලේකම් කාර්යාලයත් මගේ අමාත්‍යාංශයටමයි පැවරී තිබෙන්නේ. මේ නිසා රාජ්‍ය සේවයත් ඵලදායිතාව ඉහළ නංවාගෙන කටයුතු කර දෙන්න මට පුළුවන්කම ලබේවි. කුමන සංකල්පය හඳුන්වා දුන්නත් රාජ්‍ය සේවකයාට තමන් සේවය පිණිස සිටින බව අමතක වන සංකල්පයක් තිබෙන තුරු රාජ්‍ය සේවය ඵලදායි කරන්න බැහැ... රාජ්‍ය සේවය එක්වරම කණපිට හරවන්න බැහැ. නමුත් අපි ක්‍රමයෙන් බොහෝ දේ කරමින් සිටින්නේ. හොඳම උදාහරණය තමයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව රාජ්‍ය සේවකයා විශ්‍රාම ගිහින් අවුරුදු ගානක් බලාගෙන හිටියා තමන්ගේ විශ්‍රාම වැටුප් ලැබෙනකල්. ඒ කාලයේ ඒ සේවකයාට ජීවත් වන්න පවා මුදලක් ලැබුණේ නැහැ. ඇතැම් සේවකයන් විශ්‍රාම වැටුප් ලැබෙන්නත් පෙර මිය ගිය අවස්ථා පවා වාර්තා වුණා. නමුත් දැන් විශ්‍රාම ගිහින් ඊළග මාසයේ සිට විශ්‍රාම වැටුප බැංකු ගිණුමට යොමු වනවා. මේ ආකාරයට අනෙක් දෙපාර්තමේන්තු හා ආයතන ක්‍රමයෙන් ඵලදායි ලෙසින් සකස් කරනු ලබනවා. කොහොම වුණත් තවමත් විසඳන්න පුළුවන් ගැටලු රැසක් රාජ්‍ය සේවකයාගේ නොසැලකිල්ල හෝ අකර්මණ්‍යතාව මත නොවිසඳී තිබෙනවා. මෙය මහජනයාට විශාල ගැටලුවක්... ඔව් ඒක ඇත්ත. මේ තරම් නගරයේ වාහන තදබද ඇති වන්නේත් එවැනි සිද්ධීන් උදෙසා මහජනතාව රජයේ කාර්යාවලට පැමිණීම නිසයි. මේ තත්ත්වය වළක්වන්න තාක්ෂණය අන්තර්ජාලය උපයෝගී කරගෙන බොහෝ දේ කරන්න ඉදිරියේදී අප බලාපොරොත්තු වෙනවා. දියුණු බොහෝ රටවල නිවෙසේ සිටම බොහෝ දේ කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ රටේ උප්පැන්න පිටපතක් ගන්න, නිවසේ ඔප්පු පිටපතක් ගන්න දින ගණන් මාස ගණන් රජයේ කාර්යාලවලට යන්න සිදු වෙනවා. මේ තත්ත්වය වළක්වන්න පියවර ගැනීමක් තවමත් නැහැ... මා කියූ පරිදි තාක්ෂණය උපයෝගී කරගෙන නිවෙසේ සිටම යමක් ඉල්ලීමට හැකි වන පරිදි ක්‍රමවේදයක් සකස් කරන්නට හැකි නම් එය මහත් පිටිවහලක් වේවි. රථ වාහන තදබදය මෙන්ම මහජනයාගේ කාලය ධනය වගේම ශ්‍රමයත් ඉතිරි වෙිවි. අපි 'එස් 5' සංකල්පය හරහා මේ සියල්ලම ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වනවා.කොහොමත් රටේ සියලුම දෙපාර්තමේන්තු සම්බන්ධ කරමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පරිගණක ගත කර සකස් කරා සේම මේ පද්ධතියත් එසේ කිරීම අපහසු නැහැ. එවන් තත්ත්වයකට යම් අඩිතාලමක් දමා තිබෙනවාද? මේ වන විට අපි සොයා බලමින්තිබෙනවා මහජනයා වැඩි වශයෙන්ම පැමිණෙන්නේ කුමන කරුණු අරබයාද කියා. එපමණක් නෙවෙයි. මේ වන විට අප ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාවල යම් කාර්යයක් කරගැනීම පිණිස සේවය බලාගන්නට පැමිණෙන්නා කොපමණ වාර ගණනක් පැමිණියේද යන්න පවා සටහන් කරනු ලබන ක්‍රමවේදයක් ආරමභ කර තිබෙනවා. එය රාජ්‍ය සේවකයා තම කාර්යයන් කඩිනමින් සිදු කිරීමට පොලඹවනු ලබන්නක්. ඔබ කියන්නේ රාජ්‍ය සේවකයාගෙන් කාර්යයන් නිසි පරිදි සිදු කරවාගැනීමට මේ ආකාරයෙන් දැඩි විපරම්කාරිත්වයක් සිදු කරන බවද? රාජ්‍ය සේවකයාටත් තරගකාරිත්වයක් අවශ්‍ය වනවා. වැඩ ඉලක්ක වගේම වගකීම් ලබා දීමයි වැදගත් වන්නේ. ඵලාදායිතාව රඳා පවතින්නේ එවිටයි. එහෙම නැතිව සියල්ල නීතිරීති මඟින් මඟින් දඬුවම, කරුණු විමසිම් මතින්ම කරන්න බැහැ. මේ වන විට ඵලදායිතාව පාසල් පද්ධතියටත් අප ඇතුළු කර තිබෙනවා. ඵලදායිතාව කෙසේ වුවත් මේ වන විට රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු රැසක් තිබෙනවා. එය සේවාව සැපයීමට බාධාවක්... ඔව්. මේ වන විට රාජ්‍ය සේවයේ 17%ක් පමණ සේවක හිඟයක් තිබෙනවා. එමෙන්ම අතිරික්ත සේවකයන්ද ඉන්නවා... රාජ්‍ය සේවයේ කාලයක සිට පවතින දුර්වලතාවක් මේ. අතිරික්ත සේවකයන් ඔවුන්ගේ රාජකාරි ස්වභාවය අනුව අවශ්‍ය ස්ථානවලට අනුයුක්ත කරනු ලබනවා. එසේ නමුත් රාජ්‍ය සේවයේ මේ වන විට 13 ලක්ෂයක පිරිසක් ඉන්නවා. ඒ වගේම කිසිදු ආකාරයක නිසි පරිදි කාර්යයක් නොපැවරූ සංවර්ධන නිලධාරීන් 52000ක් දිවයින පුරාම ඉන්නවා. මේ සංවර්ධන නිලධාරීන් රටේ සංවර්ධන කාර්යයන්ට හවුල් කරගැනීමේ ක්‍රමවේදයක් අපි සකස් කරමින් ඉන්නේ. ඉදිරියේදී ඔවුන්ගේ සේවය ඵලදායි ලෙසින් ලබාගැනීමට කටයුතු කරනවා. රාජ්‍ය සේවකයන් මේ තරම් විශාල පිරිසක් හිටියත් ඉහළ මට්ටමේ වෘත්තීය නිලධාරීන්ගේ අඩුවක් පවතිනවා... ඉංජිනේරු සේවයේ 500ක පමණ පිරිසකගේ අඩුවක් තිබෙනවා. ඒ වගේම ගණකාධිකාරි ශ්‍රේණියේත් 500ක පමණ අඩුවක් තිබෙනවා. ඒ පිරිස් බඳවාගැනීම් සිදු කෙරෙනවා. මේ පුරප්පාඩුව කාලාන්තරයක් තිස්සේම පවතින්නක්. බඳවාගැනීමේ නිසි ක්‍රමවේදයක් සකස් නොකරන්නේ ඇයි? වාර්ෂික බඳවාගැනීම් නිසි පරිදි නොකිරීමයි හේතුව, අප දැන් වාර්ෂික බඳවාගැනීම් නිසි පරිදි සිදු කිරීමේ ක්‍රමවේදයක් සකස් කරමින් කිබෙන්නේ. රාජ්‍ය පරිපාලනයත් එක්කම රටේ සංවර්ධනයක් වෙන්න ඕන. නමුත් ජනතාව කියනවා ඇඟට දැනෙන සංවර්ධනයක් නැහැ කියලා... මේ ආණ්ඩුව වැඩ පටන් ගන්නේ රටට ගැළපෙන විදිහට ගෙවන්න පුළුවන් විදිහට ණය අරගෙනයි. පසුගිය කාලයේ ගත්ත බොහෝ ණය ගත්තේ මොකටද කියනඑක වත් පැහැදිලි නැහැ. සමහර වැඩ පටන් අරගෙන තියෙන්නේ මුදල් පවා නැතිව. නමුත් අපි සංවර්ධන වැඩ කිසිවක් නවත්වා නැහැ. මාතර හම්බන්තොට අධිවේගී මාර්ගය හදාගෙන යනවා. මාර්ග තදබදයට විසැඳුමක් ලෙසින් නව ගුවන් මාර්ග සඳහා අනුමැතිය හිමි වුණා. නව දුම්රිය මාර්ග හදනවා. හම්බන්තොට අක්කර 1000ක නව කර්මාන්තපුරයක් හදනවා. මේ සියල්ලම සංවර්ධන කටයුතු තමයි. පසුගිය රජය කාලයේ දූෂණ වංචාවලට සම්බන්ධ මැති-ඇමැතිවරු මේ ආණ්ඩුවෙත් ඉන්නඑක ගැන ජනතාව කතා වෙනවා... මේක ජාතික ආණ්ඩුවක්. ජනතා නියෝජිතයොමනෙ පාර්ලිමේන්තුවේ ඉන්නේ. එහෙම වුණා කියලා, රජයේ මැති-ඇමැති කියලා හොරකම් කරල තියෙනව නම් දූෂණ වංචා චෝදනා තියෙනව නම් ඒ අයට කිසිම නිදහසක් නැහැ. ඒක මම වගකීමෙන් කියන්නේ. මම නම කියන්න කැමැති නැහැ. ප්‍රබලයකුට විරුද්ධව මේ දිනවල නඩු පැවරෙමින් තිබෙන්නේ. කොහොම වුණත් වැරැදිකරුවන්ට දඬුවම් දීමක් නැහැ කියලාත් ජනතාව කියනවා... දඬුවම් දීම කෙරෙන්නේ අධිකරණයේ විභාග වුණු නඩුවකින්. එහෙම නැතිව කිසිම සාධාරණයකින් තොරව මේ රටේ අග්‍ර විනිශ්චයකාරවරිය ඉවත් කළා වගේ අපිට දඬුවම් කරන්න බැහැ. මේක යහපාලන ආණ්ඩුවක්. හොඳ උදාහරණයක් දෙන්නම් 1977 පත් කළ කොමිසමක් මඟින් දඬුවම් දෙන්න වසර 2ක් ගත වුණා. වැරැදිකරුවන්ට නිසි දඬුවම් ලැබෙයි. වැරැදි එළිවෙනකොට තමයි සමහරු ඔය පොල් ගහන්න යන්නේ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |