කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
තරුණ පෙළ එජාපයේ ඉදිරියට

තරුණ පෙළ එජාපයේ ඉදිරියට

එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ සහ තුන්වැනි පෙළ නායකයන්ට වැඩි වැඩියෙන් අවස්ථා සහ අත්දැකීම් ලබාදීම පදනම් කරගත් පූර්ණ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ පක්ෂයේ අනාගතය සහ අනාගත අභියෝග සලකා මෙම ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය දියත් කෙරෙන බවයි.

වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය එක් අතකින් පක්ෂ සංවිධානය ශක්තිමත් කළ යුතු අතර, අනෙක් අතින් ආණ්ඩුවක් ලෙස ජනතාව ඉදිරියේ තබා ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු වේ.

මේ ක්‍රියාන්විතය ඉදිරියට ගෙන යෑම සඳහා පක්ෂයේ දෙවන පෙළ නායකයන්ට වත්මන් රජයේ අමාත්‍ය ධූර ලබා දී ඇති අතර ඔවුන් දක්වන ප්‍රගතිය හා සාර්ථකභාවය මත පක්ෂයේ අනාගත නායකත්වයට හිමිකම් ලබනු ඇතැයි වාර්තා වේ.

තුන්වැනි පෙළ නායකත්වයක් ද දැන් නිර්මාණය කෙරෙමින් පවතින අතර, පසුගිය දා පැවැති ‘අලුත් ශ්‍රී ලංකාවට ඉඩ දෙන්න’ තේමා කරගත් ජන ව්‍යාපාරය සංවිධානය කරලීමේ ප්‍රධාන වගකීම් පවරා තිබුණේ ඔවුන් වෙතය. ඒකාබද්ධ විපක්ෂයේ පළමු පෙළ නායකත්වය සංවිධානය කළ හයිඩ් පිටියේ රැළියට වඩා, සාර්ථක ජන ව්‍යාපාරයක් සංවිධානය කිරීමට එජාපයේ තුන්වැනි පෙළ කණ්ඩායමට හැකිවීම ගැන පක්ෂයේ ප්‍රසාදය පළ වී තිබේ.

තරුණ නායකයන්ට ඉදිරියට ඒමේ අවස්ථා තව තවත් වැඩි කරලීම අරමුණු කරගනිමින් පක්ෂයේ නිලතල සංශෝධනයක් සිදු කිරීමට නියමිතය.

එසේම මේ වසරේ සැප්තැම්බරයට යෙදෙන පක්ෂයේ 70 වන සංවත්සරයෙන් අනතුරුව පක්ෂයට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවැසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]