කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
යොවුන් පුරය 30 වැනිදා ඇරැඹේ

යොවුන් පුරය 30 වැනිදා ඇරැඹේ

වසර 27කට පසුව මෙවර පවත්වන 2016 යොවුන් පුරය එතෙර මෙතෙර තරුණ තරුණියන් 5000කගේ සහභාගිත්වය ඇතිව මාර්තු 30 සිට අප්‍රේල් 3 දක්වා සීගිරිය ගුවන් හමුදා පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය හා ජාතික තරුණ සේවා සභාව ඒකාබද්ධව සංවිධානය කරන යොවුන් පුරය 2016 ‘අනාගතය ඇරැඹුණා’ තේමාව යටතේ 30 වැනිදා සවස 5 ට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹේ. යොවුන් පුර සමාප්ති උලෙළ අප්‍රේල් 2 වැනිදා සවස 5.30 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රවසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩබ්ලිව්. ජී. එස්. එරන්දක මහතා පවසයි. ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය මේ සඳහා පූර්ණ සහාය දක්වයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි නව තාක්ෂණය මුසු කරගනිමින් පැවැත්වෙන මෙවර යොවුන් පුරය තරුණ තරුණියන්ගේ විනය පෞරුෂය, නායකත්ව ගුණාංග මෙන්ම අධ්‍යාපනික ගුණාංග වඩා ප්‍රවර්ධනය කිරීමට සුදුසු තෝතැන්නක් මෙන්ම තරුණ මිත්‍රත්වයට අත්වැලක් වනු ඇතැයි ද සභාපතිවරයා පවසයි.

මෙවර තරුණ කඳවුරට සියලු ආගම්වලට අයත් සියලු ජාතීන්ට අයත් තරුණ තරුණියන් සියලු බේද පසෙකලා එක්වෙති. මාර්තු 20 වැනිදා සිට කූඩාරම් පරිශ්‍රය වෙත පැමිණෙන පෙර ගමන් කණ්ඩායම මඟින් තම දිස්ත්‍රික්කවල අනන්‍යතාව තහවුරු වන පරිදි කුඩාරම් ඉදිකිරීම දැනටම අරඹා තිබේ.

මෙවර යොවුන් පුරයේදී තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා ලබා ගැනීමට ක්‍රීඩා හා විනෝදාංශ වැඩ සටහන් රැසක් සඳහා එක්වීමට මෙන්ම ගුවන් විදුලි සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන යොවුන් පුර ගුවන් විදුලියේ නිවේදක නිවේදිකාවන් ලෙස කටයුතු කිරීමේ අවස්ථා ද ලැබෙන බව තරුණ සේවා සභාවේ සභාපතිවරයා පවසයි.

ඒ සමඟම වීදි නාට්‍ය සංදර්ශන, නවීන මෝටර් රථ ප්‍රදර්ශන, ත්‍රිවිධ හමුදා සංදර්ශන, පොලිස් සංදර්ශන ද ත්‍රාසජනක ක්‍රීඩා හා ගවේෂණ කටයුතුවලට ද තරුණ පිරිසට එක්වීමට අවස්ථාව ලැබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]