කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සැහැල්ලුවෙන් හිටියත් කෙළින් වැඩ කළ ජී.එස්. මහත්තයා

සැහැල්ලුවෙන් හිටියත් කෙළින් වැඩ කළ ජී.එස්. මහත්තයා

ජී.එස්. පෙරේරා - අපේ මාධ්‍ය ගුරුතුමන් අභාවප්‍රාප්ත වී වසරක් සපිරිණි. ඔහු සමඟ ගත කළ වසර විස්සකට අධික කාලය පිළිබඳ මතකය අතිශයින් සුන්දරය.

අපට වයස ගත වෙනවා තේරුණේ නැත. අපේ රස්සාව අප ගත කළේ කෙළිදෙළෙන්. එහෙත් රස්සාවේ වගකීම අප අතින් ගිලිහී ගියේ ද නැත.

‍1960 දශකයේ අග භාගයේ තරුණ වයසේදී පත්තර රස්සාවට ගිය අපට ලැබුණේ වගකීම හිසින් ගත් ප්‍රියතාව හදින් ගත් ජී.එස්. මහත්තයා වැනි ප්‍රධානීන් ය. මේ ප්‍රියජනක සමාගමය නිසා අපට අපේ වයස ගත වෙනවා දැනුණේ නැත.

අපි ජී.එස්. මහත්තයා කියා ඔහු ඇමතුවත් ඔහු අපට කටපුරා කීවේ ‘මචං’ කියාය. එහෙත් අපට එම ඇමතුමෙන් ම ජී.එස්. මහත්තයා ඇමත‍ීමට හිත හදාගන්නට බැරි විය‍. ඒ අප තුළ ඔහු කෙරෙහි උපන් ගෞරව සම්ප්‍රයුක්තභාවය නිසයි.

ජී.ඇස්. නමින් දැවැන්ත පත්තර ප්‍රතිරූපයක් බොහෝ වැඩිහිටියෝ හඳුනති. ඒ, ධනපාල යුගයේ ‘ලංකාදීප’ යට කාටුන් ඇන්ද ජී.ඇස්. සිත්තරා ය. ඊළඟට අප දන්නා දැවැන්ත පත්තර ප්‍රතිරූපය ජී.ඇස්. නොවේ. ජී.එස්. ය.

ජී.එස්. අකුරු දෙකක් කියැවෙන්නේ ගෝනදුවගේ සෝමපාල යන්නයි. හරියට කියතොත් ගෝනදූවගේ සෝමපාල පෙරේරා ය. උපන් ගම නම් ගමක් නොවේ. නගරයකි. නාරාහේන්පිට ය. එදා 1929 දී නාරාහේන්පිට අද තරම් ජනාකීර්ණ නගරයක් න‍ූණත් කාලේ හැටියට කුඩා නගරයකි. ඔහු උපන්නේ 1929 මැයි 15 වැනිදා ය. අවුරුදු 86 ක් ආයු විඳ පරලොව ගියේ 2015 පෙබරවාරි 14 වැනිදා ය. ඔහු තම ජීවිත කාලය තුළදී රටට ජාතියට නොමැකෙන මෙහෙවරක් කළේ ය.‍ පත්තර අතර උත්තරීතර ‘දිනමිණ’ පත්තරේ මුල් පුටුවට ඔහු පත්වූයේ 1982 දී ය. එතැන් පටන් 1995 ජනවාරි මාසය දක්වා පුරා අවුරුදු 13 ක් දිනමිණ මුල්පුටුව හොබවමින් දිනමිණ ස්වර්ණමය යුගයකට ගෙන ගියේ ය‍. මේ වාර්තාව දෙවැනි වන්නේ ලේක්හවුසියේ ‘ලොකු සර්’ හෙවත් පියසේන නිශ්ශංක මහතාගේ සේවා කාලය පිළිබඳ වාර්තාවට පමණි.

කොළඹ විශාඛා විද්‍යාල‍යෙන් ප්‍රාථමික ඉගෙනුම අවසන් කළ ජී.එස්. මහත්තයා වෙස්ලි විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා 1953 දී පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයට පිවිස සිංහල - ආර්ථික විද්‍යාව සහ ඉතිහාසය හදාළේ පේරාදෙණිය ශාස්ත්‍රවන්තයන්ගෙන් එකලු වූ අවදියේ ය. එහෙත් ඔහු පුවත්පත් කලාවට පිවිසෙන්නේ විශ්වවිද්‍යාලයට යෑමටත් පෙර විශ්වවිද්‍යාල ප්‍රවේශයේ උගනිද්දීම ය. 1951 දී බුරුමයේ හිටපු පොලිස්පතිවරයකු වූ මේජර් ජනරාල් තුන්ලා ඔන් මහතා කොළඹ මධ්‍යස්ථානය කොට පවත්වාගෙන ගිය Buddhist World සහ ‘බෞද්ධ ලෝකය’ යන පුවත්පත් දෙකට උප කතුවරයකු ලෙස සම්බන්ධ වී දෙවසරක් පමණ පුවත්පත් කලාවේ හුරුව ලබාගත්තේ ය.

පත්තර මහගෙදර ලේක්හවුස් ආයතනයේ දිනමිණ පත්තරයට ඔහු බැ‍ඳෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු 1957 අගෝස්තු මස 1 වැනිදා ය. එතැන් සිට පුරා වසර 38 ක් ජී.ඇස්. මහත්තයා ලේක්හවුස් ආයතනයේ පියසේන නිශ්ශංකයන්ගේ සිට අනුප්‍රාප්තික පත්තර යෝධයන් ඇසුරින් ලත් දැනුමත් පළපුරුද්දත් පරිචයත්, පසු කලෙක ‘පත්තර පෝතකයන්’ ලෙස ලේක්හවුස් ආයතනයට බැඳුණු අපට දන්සලක් මෙන් බෙදා හදා දුන්නේ ය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්දිරය විවෘත කිරීම වෙනුවෙන් සැකැසුණු දිනමිණ විශේෂ අතිරේකයට කථානායක ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මහතා හමුවී ලිපියක් ලිවීමේ අවස්ථාව ඔහු ආධුනිකයකු වූ මට පැවරුවේ ය. වරෙක මුදල් ඇමැති රොන‍ී ද මැල් මහතා පිළිබඳ ලිපියක් ලිවීමට ජී.එස්. මහත්තයා මා බුලත්සිංහල ගීකියන කන්දේ රොනී ද මැල් මහතාගේ බංගලාවට එක්ක ගියේ ය.

කොතරම් දේශපාලන බලපෑම් තිබුණත් ඊට ගැතිවීමට හෝ නතුවීමට ජී.එස්. මහතා කොන්ද නොනැමුවේ ය. වරෙක රණසිංහ ප්‍රේමදාස අගමැතිතුමාගේ දීර්ඝ වාර්තාවක් රැගෙන මාධ්‍ය ලේකම් එවන්ස් කුරේ මහතා එය සම්පූර්ණයෙන් ම දිනමිණේ පළ කරන ලෙස අගමැතිතුමා කී බව පවසයි. එහෙත් ජී.එස්. මහත්තයා ඒ දීර්ඝ වාර්තාවෙන් පළ කළේ අඟල් කිහිපයක කෙටි සටහනක් පමණි. ඇතැම් විට එබඳු අනවශ්‍ය වාර්තාවක් ලද විට ජී.එස්.‍ මහත්තයා ප්‍රේමදාස අගමැතිතුමාට කතා කොට මේ මේ හේතු නිසා එය පළ නොකරන බව දන්වා සිටී. ඒ ජී.එස්. මහත්තයා ය.

දිනමිණ සේවයෙන් පසු ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල උපදේශක තනතුර ද ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සාමාජිකත්වය ද මඳ කලක් ‘දිවයින’ පත්‍රයේ උපදේශකවරයකු ලෙස ද 1997 සිට 2015 දක්වාම ලංකාදීප කර්තෘ මණ්ඩල උපදේශක තනතුර ද හෙබවීය. තමන්ගේ පත්තරය දේශපාලන දුමාරයෙන් වැසී යන්නට කිසිවිටෙක ඉඩ නොදුන් ඔහු එක් සමයෙක දිනමිණ මුල් පිටුවේ ඡායාරූපය ලෙස දේශපාලකයන්ගේ පින්තූර පළ නොකිරීමේ තීරණයක් ගත්තේ ය. ඒ වෙනුවට විචිත්‍ර පින්තූර ගෙනෙන්නැයි ඡායාරූප ශිල්පීන්ට දැන්වීය. ඒ ඡායාරූපවලට විචිත්‍ර කැප්ෂනයක් ලිවීමේ අවස්ථාව ඔහු මට ලබාදුන්නේ ය. අද අප අතර නැති ඩී.බී. ලියනගේ රත්මලානේ පැවැති ගුවන් යානා සංදර්ශනයක ඡායාරූපයක් ගෙනාවේ ය‍. ලියනගේ වුණාට ඔහුට ලස්සන පිංතූර ගත හැකිවා මිස, ඊට කැප්ෂනයක් ලියන්නට බැරි ය. ඔහුගේ පිංතූරයේ අමුත්ත නම් එක දිසාවට යන ගුවන් යානා හතරට යටින් ඉගිළ යන කුරුල්ලන් සිවු දෙනකු ද සටහන් වී තිබීමයි. ඊට මා ලීවේ, කුරුල්ලන්ට අයිති අහසට බලහත්කාරයෙන් ආ යකඩ කුරුල්ලනි හැකි නම් අප එක්ක පියඹා දිනන්න’ යන අරුතැති කැප්ෂනයකි. එවන් ඡායාරූපවලට මා ලියූ කැප්ෂන් විස්සක් පමණ මා ළඟ තවමත් තිබේ. ජී.එස්. මහත්තයා නිසා මට ඒ අවස්ථාව උදා විය.

පියසේන නිශ්ශංක - සුමනා සපරමාදු - ජී.එස්. පෙරේරා වැනි විද්වතුන් සංස්කරණය කළ දිනමිණ වෙසක් කලාපය සංස්කරණය කිරීමේ වරම ජී.එස්. මහත්තයා මට ලබාදුන්නේ ය. 1986 සිට 2002 දක්වා පුරා වසර 16 ක් දිනමිණ වෙසක් කලාපය තුළ විවිධ අත්හදා බැලීම කරන්නට ඔහු නොමසුරුව ගුරුහරුකම් දුන් හැටි අපට කිසිදා අමතක නොවේ.

ජාතික පත්තර අතර උත්තරීතර පත්‍රය ලෙස හැඳින්වුණු දිනමිණේ රාජකාරිය කරද්දී අප ලැබුවේ අපමණ, ආස්වාදයකි. හොඳ ලිපියක් ලිවීමෙන් හොඳ ‘හෙඩිමක්’ දැමීමෙන් හොඳ පිටුවක් හැදීමෙන් අප ලත් තෘප්තිය කියා නිම කළ නොහැකිය. ඒ ආස්වාදය අපට ලැබුණේ අපේ ලොක්කා වූ ජී.එස්. මහත්තයා අප සමඟ කල්ගෙවූ සැහැල්ලු විලාසය ෙහ්තුවෙනි. ලොකුම පත්තරේ ලොකුම පුටුවේ හිටියත් ජී.එස්. මහත්තයාට එතැන කිසිම ‘පොඩ්ඩෙක්’ හිටියේ නැත. එක්කෝ ‍ඔහු සැලකුවේ තමන් ඇතුළු හැමෝම ලොක්කන් කියා ය. එසේ නැත්නම් තමන් ඇතුළු හැමෝම ‘පොඩ්ඩන්’ කියා ය. මේ සමානාත්මතාව ජී.එස්. මහත්තයාගේ මාහැඟි ගුණයක් විය. ඔහු අපට කිසි කලෙක පාඩම් කියා දුන්නේ නැත. මෙමඟ යා යුතුයැ’යි කීවේ ද නැත. එහෙත් ඔහු දිනමිණ නිර්මාණය කරනු බලා සිටීම අපට මාහැඟි අභ්‍යාසයක් විය. ඔහු ලිපි කපා කොටා සංස්කරණය කළ හැටි - පිටු හත අටේ ලිපිය ‘පත අට එකට හිඳින’ සැටි විෂයාන්තර විශේෂාංග නිර්මාණය කරන හැටි අපට අනැගි පාඩම් විය. නිර්මාණාත්මක සිරස්තලයක් යොදන හැටි අපට ආස්වාදයක් විය.

ඔහු කර්තෘවරයා හැටියට කර්තෘ මණ්ඩලයේ සිටි පිරිස මනාව කළමනාකරණය කොට ඔවුන්ගෙන් උපරිමය පත්තරයට උරා ගත්තේ ය. කිසිදු පක්ෂයට පැත්තකට - කුලකයට බරවීම හෝ පක්ෂපාතීවීම ඔහුගේ පිළි‍ෙවත නොවේ. දක්ෂිණාංශික පාලනයක් ඇති විටෙක ඔහු පත්තරයේ වමේ අදහස්වලට ඉඩ ප්‍රස්තාව ලබාදීමට ප්‍රයත්න දැරුවේ ය. වමේ පාලනයක් ඇති විටෙක ඔහු දක්ෂිණාංශික අදහස්වලට ඉඩ ප්‍රස්තාව ලබාදීමට ප්‍රයත්න දැරුවේ ය. දිනමිණ ඒකපාක්ෂික පත්තරයක් බවට හෝ රාජපාක්ෂික පුවත්පතක් ලෙස පාඨකයන් හඳුනා ගන්නවාට ඔහු මනාප වූයේ නැත. ඔහු සැබෑ ස්වාධීන මාධ්‍යවේදියකු වීම නිසා එකල දිනමිණ අලෙවිය වාර්තාගත ලෙස වැඩි විය.‍

1974 දී ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජන රජය ශ්‍රී ලංකා සංස්කෘතික ගිවිසුම යටතේ ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජන රජයෙහි වෘත්තීය අධ්‍යයන චාරිකාවක නිරත විය. 1981 දී ඉරාන රජයේ නිල ඇරියුමකින් ඉරානයේ ජාතික දින උලෙළට ඔහු සහභාගි විය. 1983 දී ආසියානු පුවත්පත් පදනමේ ඇරියුමින් පිලිපීනයේ මැනිලා නුවර පැවැති පරිසර සමුළුවට ද සහභාගි වූයේ ඔහු ය. 1985 දී අන්තර් ජාතික අමුත්තන්ගේ වැඩපිළිවෙළ යටතේ (International Visitors Programme) ලත් ඇරියුමින් ඇමෙරිකාව පුරා වෘත්තීය අධ්‍යයන චාරිකාවක යෙදුණ ඔහු 1989 ක්වාලාලාම්පූර් 1992 නවදිල්ලිය 1994 කත්මණ්ඩු, 1994 දී නැමිඩියා (NAMEDIA) නොබැඳි පදනම සහ ෆ්‍රෙඩිරිච් ඊබට් ස්ටි‍ෆ්ටුං ආයතනය මඟින් නවදිල්ලියේ පවත්වනු ලැබූ දකුණු ආසියා මාධ්‍ය සමුළුවට ද සහභාගි විය.

පුරා අවුරුදු 38 ක් දිනමිණ පත්‍රයේ විවිධ තනතුරු ද පුරා අවුරුදු 13 දිනමිණ ප්‍රධාන කර්තෘ තනතුරේ ද සිටි ජී.එස්. මහත්තයා නිවැරැදි දැක්මක් ද මනා කළමනාකරණ හැකියාවක් ද පෙන්නුම් කළේ ය. දිවයිනේ විද්වතුන් - ශාස්ත්‍රවන්තයන් දිනමිණ වටා ඒකරාශී කර ගත් ඔහු ‘දිනමිණ’ විශිෂ්ට ශාස්ත්‍රාලයක් බවට පත් කළේ ය. ජී.එස්. මහත්තයාගේ වියෝගයෙන් අත්දැකීම් බහුල කෘතහස්ත පත්‍රකලාවේදියෙක් ජාතියට අහිමි විය. තරුණ පත්‍රකලාවේදීන්ට හොඳ මාධ්‍ය ගුරුවරයෙක් අහිමි විය. භාෂා ඥානයෙන් පිරිපුන් පඬිවරයෙක් අහිමි විය. පත්තර සගයන්ට මිත්‍රශීලී පත්තර ජ්‍යෙෂ්ඨයෙක් අහිමි විය.

ඇවිද කියා ගන්නට බැරිව ඇඳට වැටී සිටිය දී පවා රාත්‍රියේ දුරකථනයෙන් කතා කොට ‘කොහොමද මචං මං ජී.එස්.’ කියා ප්‍රිය වචනයෙන් කතා කරන උතුම් ගුණවත් මිතුරෙක් අප සැමට අහිමිව ගියේ ය. ඒ අඩුව කලක් යනතුරු අපට දැනෙනු නිසැකය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]