කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ග්‍රහ බලපෑම් පරදා කාටත් වැඩක් ගත හැකි On line ශබ්දකෝෂයක් තැනූ මධුර කුලතුංග

ග්‍රහ බලපෑම් පරදා කාටත් වැඩක් ගත හැකි
On line
ශබ්දකෝෂයක් තැනූ මධුර කුලතුංග

අභියෝගවලට මුහුණ දීමට නොහැකිව සමහරු ජීවිතය වරද්දා ගන්නා අවස්ථා බොහෝය. එහෙත් බාධාවලට බාධාවක් වී තමන්ගේ ජීවිතය සැමට ප්‍රයෝජනවත් ආකාරයෙන් ‍ගොඩ නඟා ගන්නට හැකි වන්නේ සැබෑ දක්ෂයකුටය. මධුර කුලතුංග අපේ කාලේ එවන් දක්ෂයකු බවට පත්වන්නේ අද අප සැම අතේ ඇති ජංගම දුරකථනවලින් මධුර සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය භාවිත කරන්නට අවස්ථාව සැළසීම නිසාය. පාවඩ මතින් නොව කටු කොහොල් පිරුණු මඟක යමින් ඔහු ජය ගත් ආකාරය අපි මෙසේ සටහන් කරමු.

මධුර කුල­තුංග

ඔහු කතාවටද දක්ෂයෙකි. ඒ දැන්ය. මීට වසර කීපයකට කලින් මධුර යහළුවන් අතර සිටින්නේ කුලෑටි කොල්ලෙකු ලෙසිනි. මාතර ඉපිද, මරදාන ශ්‍රී බාරොන් ජයතිලක විදුහලින් පහේ ශිෂ්‍යත්වය සමත් වී කොළඹ රාජකීය විදුහලට පැමිණි පසු මධුරගේ ගමන වෙනස් විය.

“පොඩි කාලේ ආසාවෙන් හිටියේ පයිලට් කෙනෙක් වෙන්න. මම ලකුණු 165 ක් අරගෙන ශිෂ්‍යත්වයෙන් සමත් වුණා තමයි. ඒත් ඉන් පස්සේ මගේ අධ්‍යාපනය හොඳටම වැටුණා. සාමාන්‍ය පෙළ කරද්දී මම අන්තිම දුර්වල ළමයෙක්. ඕ ලෙවල් සමත් නොවුණොත් ඉස්කෝලේ ඉන්න බැරිවෙන නිසා ඇට්ලස් හෝල් පොත් ටිකක් අරගෙන අමාරුවෙන් පාඩම් කරලා සී4 එස් 3 ගොඩදාගත්තා.”

මධුර උසස් පෙළ සඳහා තෝරා ගත්තේ වාණිජ විෂය ධාරාවයි.

“ඒ ලෙවල් වලදි ව්‍යාපාර අධ්‍යයනයට විතරක් සී එකක් තිබුණා. අනෙක් විෂයන් ෆේල්. මම පසු කාලෙකයි දැන ගත්තෙ ඒ කාලේ මම ගෙවලා තියෙන්නේ රාහු මහ දසාවයි, සෙනසුරු ඒරාෂ්ටකයකුයි කියලා. හැබැයි මම ක්‍රිකට් ගැහුවා, පිහිනුම් තරගවලට සහභාගී වුණා. අවරුදු 12න් පහළ පිහිනුම් ශූරයාත් වුණා.”

ප්‍රිය මනාප සිනාවකින් ග්‍රහචාරය ගැන කියූ මධුර ග්‍රහ බලපෑම පරදා තමන්ගේ ගමන යන්නට මඟ සැදුණු අයුරු මතක් කළේය.

“තාත්තයි අම්මයි මගේ දුර්වලකම ගැන දුක්වෙන්න ඇති. ඒත් කවදාවත් මට දැඩි බලපෑමක් කරලා නෑ. තාත්තා ගිනි නිවන හමුදාවේ සේවය කළේ. අම්මා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලිපිකාරිණියක්. ඒ දෙන්නගේ එකම දරුවා මම. එහෙම කියලා මම කවදාවත් මගේ හිතට එකඟව අත්‍යවශ්‍යමයි කියලා හිතෙන දෙයක් ඇරෙන්න කිසිම අමතර වියදමක් කරන්න කියලා කරදර කරලත් නෑ.”

“උසස් පෙළින් පස්සේ අම්මලා මාව සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ආයතනයේ ඉලෙක්ට්‍රොනික් කෝස් එකකට යොමු කළා. ඒත් දින කීපයකින් එතැනින් මම ඉවත් වුණා. මගේ හිතට ආසා නැති කිසිම දෙයක් මට එක දිගට කරන්න බෑ. ඊට පස්සේ මහරගම තරුණ සේවා සභාවේ පරිගණක පාඨමාලාවක් සඳහා කළ විභාගයෙනුත් ෆේල් වුණා. ඒ පාර ෆාමසුටිකල් විභාගයට උගන්වන තැනකට යොමු කළාම මම ඒක ආසාවෙන් කරගෙන ගියා. ඒ අතර ආයෙත් වරක් තරුණ සේවා සභාවේ අර විභාගය ලියලා සමත් වුණා.”

මේ සියල්ල කරන අතරේ මධුරගේ සිතට වධ දුන් දැඩි ගැටලුවක් විය. ඇතැමුන් තමන්ගේ අඩුපාඩුව ගැන කීමට පැකිලෙන මුත් මධුර මොහොතකටවත් ඒ සඳහා පමා නොවන්නේ අද ඔහු පිළිබඳ අප දන්නේ ඒ අඩුව පිරමහගන්නට ඔහු කළ කැපවීම නිසා බව සත්‍යයක් වන හෙයිනි.

“මට මේ හැම අවස්ථාවකම තිබුණු ප්‍රශ්නය තමයි ඉංග්‍රීසි බැරිකම. යූත් එකේ මාස හයක පූර්ණ කාලීන පරිගණක ඩිප්ලෝමාව කරද්දීත් ඒ ගැටලුව හොඳටම තිබුණා. අම්මලාට වධ දෙන්න බෑ, ඒත් පරිගණකයක් නැතුව පරිගණක විභාගයක් කරන්නේ කොහොමද? පරිගණකයකට තරම් ලොකු වියදමක් කරන්න අම්මලාට පුළුවන් කමක් තිබුණෙත් නෑ. හැබැයි මේ කෝස් එක මගේ හිතට තදින්ම වැදුණා. ඒ නිසා මම ඒ ගැන දිගටම ඉගෙන ගන්න පටන් ගත්තා. ඉංග්‍රීසි බැරි නිසා ලොකු පාඨමාලාවකට යන්න හිතේ ධෛර්යයක් නෑ. උපාධියක් කියන්නේ මට හිතන්නවත් බැරි දුරක තිබෙන දෙයක්. ඒත් මට දැනෙනවා පරිගණක අංශයෙන් මට යමක් කරන්න පුළුවන් වෙයි කියලා.”

මධුර කුලතුංග තරුණයා ඇබකස් ආයතනයේ වැඩිදුර පරිගණක අධ්‍යාපනයට යොමු වුණේ මේ වැනි පසුබිමක සිටමිනි. තවමත් ඔහු එදිනෙදා ඉගෙන ගන්නා දේ ප්‍රායෝගිකව අත්හදා බලන්නට නිවසේ පරිගණකයක් නැත. පාඩමක මතු වූ ඇතැම් ගැටලු සිත ඇතුළේ විසඳෙන විට, එය සැබැවින් කළ හැකිදැයි බැලීමට ඊළඟ දින‍යේ පන්තියට යනතුරු ඉන්නට සිදු විය. ඒ අතර කල්‍යාණ මිත්‍රයකුගේ වචනයක් ඔහුගේ හදවත පත්ලේ සැඟවී තිබූ කුඩා ගිනි පුළිඟුවක් මහා ගිනි කන්දක්‍ වී පිබිදෙන්නට තරම් හේතු විය.

“ඉස්කෝලෙදිත් ගොඩක් යාළුවෝ හිටියට, මගේ ළඟම හිටියේ අතළොස්සයි. ඒ අතර අපට නිතර උපදෙස් දෙන යාළුවෙක් - හරියට කණ්ඩායම් නායකයා වගේ හිටියා. එයා මට කීවා ‘උඹ පොඩි මිනිහෙක් කියලා හිතන්න එපා’ කියලා. ඒක මගේ හිත ඇතුළේ තිබුණු දේ එළියට ගන්න ලැබුණු පළමුවැනි නිමිත්ත වගේ.”

මව්පියන්ට නිතර වියදම් නොදුන් නිසාත් විෂය පිළිබඳ තිබූ දැඩි ආත්ම විශ්වාසය නිසාත් පියාගේ පාරිතෝෂික මුදල සම්පූර්ණයෙන්ම මධුරට පරිගණකයක් ගැනීමටත් වැඩිදුර අධ්‍යාපනයටත් වැය කරන්නට තීරණය කෙරිණි.

“දැන් මට සොෆ්ට් වෙයා පැත්තේ දැනුම හොඳට ඇවිත්. අභියෝගයකට තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාව. ඒත් ආසාවට හා හා පුරා කියලා ‘විෂුවල් බේසික්’ ගැන ලියවුණු ඉංග්‍රීසි පොතක් ගත්තා. එකේ තිබෙන හැම පරිච්ඡේදයකම නොදන්න ඉංග්‍රීසි වචන දෙක තුනක්වත් තියෙනවාමයි.”

මේ අභියෝගයට මුහුණ දීමට ඔහු තර‍යේ අදිටන් කර ගත්තේය. ඒ සඳහා ගත් පියවර ඔහුගේ දිගු ගමනේ මූලාරම්භය විය.

“ඒ පොතේ ඉංග්‍රීසි වචනවල සිංහල තේරුම සටහන් කරලා මම ‘යුටිලිටි’ එකක් හදා ගත්තා ලේසියට. ඒ පොතෙන් විතරක් ඉංග්‍රීසි වචන 1000ක්වත් එකතු වෙන්න ඇති. ඒ වෙනකොටත් ඩික්ෂනරියක් ගැන හාංකවිසියක්වත් අදහසක් මට තිබුණේ නෑ. හැබැයි මේ වචන ටික මගේ වැඩවල‍ට මදි වෙද්දී, දැනට භාවිතයේ තිබෙන සිංහල -ඉංග්‍රීසි ශබ්ද කෝෂ සියල්ලම ඒ ‘යුටිලිටි’ එකට මම දා ගත්තා. මම පාඩම් කරද්දී, මගේ අක්ෂර වින්‍යාස වරදිද්දී අදාළ වචනය කොපි කරනකොටම එකේ තේරුම පෙන්වන ක්‍රමයක් හැදුණා.”

මධුරගේ පෞද්ගලික පරිහරණයට සැකසුණු මෙහි පොදු වටිනාකමක් දැන් දැන් ඔහුට දැනෙන්නට විය.

“මට දැන් හරි ආසයි ජනප්‍රිය වෙන්න. ඒක තරුණ කාලේ කාටත් පොදු දෙයක්නේ. ඒ නිසා මම හිතුවා මේ ක්‍රමය මගේ යාළුවන්ට නොමිලේ දෙන්න. ඒ වෙලාවේ මට සල්ලි හම්බ වෙයිද, වෙන කෙනකු මේකෙන් අයුතු ප්‍රයෝජනයක් ගනීද කියලා හිතුනෙත් නෑ. නුගේගොඩ සුපර් මාකට් එක යට කඩේකටත් දුන්නා. පස්සේ දැන ගන්න ලැබුණා එහෙම හරියන්නේ නෑ හොඳට කවරයක් එහෙම

හදලා, ලේබල් ගහලා යුනිටි ප්ලාසා එකට දෙන්න ඕන කියලා. 2002 නොවැම්බර් 23 වැනිදා ඒ විදිහට රුපියල් 200ට කඩේට දුන්නා. ඒ අය 300 ට විකුණනවා කීවා. මම 1980 මාර්තු 23 නිසා 23 දවසට මම කැමතියි. මාස කීපයක් යද්දී මෙන්න මධුර ඩික්ෂනරිය මම යන යන තැන පේන්න තියෙනවා. හොර කොපි ගහලා විකුණන තැන් දැකලත් මට සතුටුයි. මගේ ආසාව ඉෂ්ට වුණා. මම ජනප්‍රිය වුණා. පත්තරවල මා ගැන තොරතුරු පළ වුණා.”

ඒ අහිංසක ආශාව ඉෂ්ට වුවද වෘත්තීය මට්ටමට යෑමට ඔහුට තිබූ සහතික ප්‍රමාණවත් වූයේ නැත. ඉංග්‍රීසියට ඇති බිය අඩු වුවත් උපාධියට ඇති බිය අඩු වූයේද නැත. ඒත් දැඩි අදිටනින් යුතුව මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් පවත්වන ඔන්ලයින් විභාග හතම සමත් වීමට මධුර වාසනාවන්ත විය.

“මේ අතර ඔබ්සර්වර් පත්තරේ තිබුණා ඒසිබීටී ආයතනයෙන් ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලයේ විද්‍යාපති උපාධිය කරන්න පුළුවන් කියලා. ඒත් සල්ලි? අන්තිමට මගේ හිත කීවා මේ ගමන හරි යනවාමයි කියලා. අම්මලා අපේ ඉඩම උගස් කරලා මාව ඉන්දියාවේ යැව්වා. ඒ පාඩම් අතරේ මටම කියලා දුන්නා වගේ හදිසියේම මහාචාර්යවරයෙක් ඇවිත් html වලට php කියන ස්ක්‍රිප්ටිං ලැන්වේජ් එක ගැන කියලා දුන්නා. ඔන්ලයින් වෙබ් එක ගැන මුලින්ම හිතුණේ ඒ විෂය ඉගෙන ගත්තට පස්සෙයි. 2008 අගෝස්තු 23 ඔන්ලයින් ඩික්ෂනරිය එළි දැක්වුණේ එහෙමයි. maduraonline.com යුනිකෝඩ්වලින් එළි දැක්වුණා. 2009 වෙද්දී මෙය බොහොම ජනප්‍රියයි.

ඒ වසරේම සැප්තැම්බර්වල මට මොරටුව විශ්වවිද්‍යාලයේ සම්මන්ත්‍රණයකට ආරාධනා ලැබුණා මහාචාර්ය ගිහාන් ඩයස් මහත්මයාගෙන් මගේ වෙබ් අඩවිය ගැන යමක් කියන්න කියලා. මම එයට හිතුවාටත් වඩා හොඳින් ලෑස්ති වෙලා ගියා. එතැන හිටියා ශබ්ද කෝෂවලට වචන හැදූ අය රාශියක්. එයින් පරිනත මහත්මයෙක් මට පැත්තකට කතා කරලා කීවා, ‘ශබ්ද කෝෂවල නීතියක් තිබෙනවා. අපට ඕන විදියට වචන ගන්න බෑ. මේ වැඩේ වැරැදියි. ඔයා මීට වඩා වෘත්තීය මට්ටමින් කටයුතු කරන්න’ කියලා. මම එය හොඳින හිතට ගත්තා. එදා ඉඳන් මම මධුර මෘදුකාංගය නිකුත් කරන්නේ නෑ. වෙබ් සයිට් එකට දැන්වීම් එද්දී මට මුදල් ලැබෙන්න ගත්තා. 2014 දී ‘ඇනඩ්‍රොයිඩ් ඇප් එකක්’ හැටියටත් මධුර ඩික්ෂනරිය තිබෙනවා. දැන් වචන 230,000 ක තේරුම් ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් බලාගන්න පුළුවන්.”

මධුර කුලතුංග මහතා 2010 වසරේදී මනිපාල් විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාපති උපාධිය ලබා ගත්තේ සියලු අපල දොස් අවසන් කරමිනි. ඔහු දැන් විදේශ විනිමය ලංකාවට ගෙන එන උගත් තරුණයෙකි. කුලෑටි ශිෂ්‍යයකු ලෙස සිටි ඔහු දැන් බොහෝ ප්‍රගතිශීලී අයුරින් කතා කරමින් ඔහුගේ ඊළඟ අභිප්‍රාය පිළිබඳ මෙසේ හෙළි කළේය.

“මම තැමතියි ඉදිරියේදී රටට, මේ රටේ අහිංසක මිනිස්සුන්ට ප්‍රයෝජනයක් වන වැඩක් මගේ දැනුමින් කරන්න. ඒ වෙනුවෙන් මට සම්පූර්ණ අවුරුදු දෙකක් නොමිලේ වැය කරන්න පුළුවන්. වෙන කෙනකු අතගසන්නට අකැමැති අමාරු රජයේ ව්‍යාපෘතියක් වුණත් කමක් නෑ, මම බාර ගන්නවා. මගේ රට වෙනුවෙන්. හැබැයි පිළිවෙළට වැඩේ කෙරෙන්න ඕනෑ.”


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]