කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ගැමි රස කතා

ගැමි රස කතා

නොඉවසිලිවන්ත මේසන් බාස්

වයඹ පළාතේ බිංගිරියට ආසන්න ගමක විසූ නිමල් බාස් උන්නැහේ ප්‍රදේශයේ නමගිය මේසන් බාස් කෙනෙකි. සහජයෙන් ම බොහෝ කලබලකාරී ගතිපැවතුම් වලින් හෙබි ඔහු යම් තැනක වැඩක් පටන් ගතහොත් නොඉවසිල්ලෙන් ඉතා ඉක්මනට කරගෙන යෑම ස්වභාවය විය. ඒ ඊළඟ වැඩය අල්ලාගැනීම සඳහාය. ඔහුගේ මෙම ඉක්මන්කම නිසා බොහෝ තැන්වලදී එම වැඩය නිසි පරිදි ඉටුනොවේ. ලඹ කැටය හෝ මට්ටම්ලෑල්ල භාවිතා නොකර බිත්ති බැඳීමෙන් බිත්ති ඇදවී සමහර අවස්ථාවල ඒවා කඩා නැවත බැඳීමට ද සිදුවිය. මේ නිසා ඔහුට වැඩ බාරදීම ද බොහෝ දෙනා අත්හැරියහ.

මේ අතර මේ කිසිවක් නොදත් පුද්ගලයෙක් ඔහුගේ නිවෙසේ වැසිකිළිය සෑදීමට ඔහුට බාර දුන‍්නේය. අත් උදවුකරුවන් ලවා වලද ගෙපළ ද කප්පවා ගත් නිමල් බාස් ඔවුන් ළවාම බදාම ද සකස්කරගෙන ‍ගඩොළු හා කළුගල් ද තමා ළඟට ගෙන්වා ගත්තේ වැසිකිළිය කඩිනමින් සෑදීම සඳහාය. ඔහු වැසිකිළියේ අත්තිවාරම කළු ගලෙන් දමා බිත්ති බැඳගෙන ගියේ නොඉවසිල්ලෙනි. ලඹ කැට හෝ මට්ටම් ලෑලි කිසිවක් භාවිතයට නොගෙන කඩිනමින් වැසිකිළියේ හතරවටේ බිත්ති බැ‍ඳගෙන ගියද වැසිකිළියට යෑමට දොරක් තැබීමට ඔහුට අමතක වූයේ හදිස්සිය නිසාය.

ගෙහිමියා ඇවිත් බලන කල වැසිකිළියට ඇතුළුවීමට දොරක් නොමැති බව දුටුවේය. “ඈ බාස් උන්නැහේ, වැසිකිළියට ඇතුල් වන්නේ කොහෙන්දැයි” විමසද්දී නිමල් බාස්ට හීන් දහඩිය දැම්මේ තමාගේ හදිස්සිය නිසා එයත් අමතක වූ බැව් ඒත්තු යෑමෙනි. වහාම එක් පැත්තකින් බැඳ තිබූ බිත්ති කැඩූ නිමල් බාස් වැසිකිළි දොර නැවත සකස් කළේ අන්‍යයන්ගේ සමච්චල් සිනහ හඬ මධ්‍යයේය.

ඡන්දෙ දුන්නෙ පුටුවට

මෙය එක්දහස් නවසිය පනස් දෙකේ වර්ෂයේ ලංකාවේ පැවැති දෙවැනි මහා මැතිවරණයේදී බිංගිරිය ප්‍රදේශයේ උඩවෙල රජයේ මිශ්‍ර පාඨශාලාවේ ඡන්ද මධ්‍යස්ථානයේදී සිදුවූ සිද්ධියකි. මෙම මැතිවරණයේදී බිංගිරිය ආසනය වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකින් අපේක්ෂකයෝ දෙදෙනෙක් ඉදිරිපත් වූහ. එක් අපේක්ෂකයෙකුගේ ඡන්ද සලකුණ 'අලියා' වූ අතර පක්ෂයේ පාට කොළ පාටය. අනෙක් අපේක්ෂකයාගේ ඡන්ද සලකුණ 'පුටුව' වූ අතර එම පක්ෂයේ පාට රතුපාට විය.

මැතිවරණ දිනයේදී මෙම අපේක්ෂකයන් දෙදෙනාට ඡන්දය දැමීමට මහජනතාව උදේ සිටම වැලනොකැඩී පාසල වෙත ඇදී ආහ. පාසලේ ප්‍රධාන ශාලාවේ ඡන්දය දැමීම සිදුවූ අතර ඡන්ද පෙට්ටිය තබා තිබුණේ කුඩා මේසයක් මතය. ඒ අසලම පුටුවක් ද විය.

ඡන්ද නිලධාරීහු සියල්ලෝ ම ලහි ලහියේ තම තමන්ගේ රාජකාරි කටයුතුවල නිරතව සිටියහ. ගැහැනු, පිරිමි දෙපිරිසම පෝලිමේ විත් තමන් කැමැති අපේක්ෂකයා ඉදිරියේ ඇති කොටුවෙහි කතිරය ගසා කාඩ්පත පෙට්ටියට දමා යන්නට ගියහ.

එදා රතු බළකොටුවක්ව පැවති බිංගිරිය ආසනයට තරග වැදුණු 'පුටුව' සලකුණ හිමි අපේක්ෂකයා මුළු ප්‍රදේශයේ ම ජනතාව පිළිගත් සමාජ සේවකයෙකි. ජනතාව තම ඡන්දය දමන අතරතුර හැරමිටි වාරුවෙන් ඉතා අපහසුවෙන් ඡන්දය දැමීමට ආ මහලු කාන්තාවකට ඡන්ද නිලධාරීහු ඡන්ද කාඩ්පත දුන්හ. ඇය එහි කිසිවක් සලකුණු නොකර එය ඡන්ද පෙට්ටිය අසල තිබූ 'පුටුව' මත තබා යෑමට සැරසුණාය. ඡන්ද කාඩ්පතේ ඡන්දය සලකුණු කොට එය ඡන්ද පෙට්ටියට දමන ලෙස නිලධාරින් ඇයට කෙතෙක් ඇවටිලි කළද 'මම මහත්තයො, ඡන්දෙ දෙන්නෙ පුටුවට' යැයි පවසමින් ඇය කාඩ්පත පෙට්ටියට නොදමන ලෙස තරයේ පවසමින් 'මගෙ ඡන්දෙ පුටුවට' යැයි කිහිපවරක් ම පවසා ඡන්ද කාඩ්පත අසල තිබූ 'පුටුව' උඩ තබා යන්නට ගියාය. (මෙය සත්‍ය සිදුවීමකි.)

මානය නිසා මඩ ගොහොරුවේ ගිලී මිය යයි

දැනට අවුරුදු තුන්සීයකට පමණ පෙර අප ගම් ප්‍රදේශයේ සිදු වූ සත්‍ය සිද්ධියක් මේ කතාවට පසුබිම් වෙයි. මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර පිහිටි මේ ගම අදට වඩා බෙහෙවින් සිසිල් හා ජල දහරාවන්ගෙන් වර්ෂාවෙන් පෝෂණීය විය. ගම මැද තැනින් තැන තිබුණු කුඹුරු එදා නිතර ජලයෙන් පිරී තෙතබරි විය. ජලය බහුල ඇතැම් කුඹුරුවල කිසිදා ජලය බැස යෑමක් සිදු වූයේ නැත. තෙත් කිරිමැටි මිශ්‍ර ජලය පිරුණු ඇතැම් කුඹුරු කොටස් පල්කඩ හෙවත් එරුම්කඩ ලෙස ගැමි ව්‍යවහාරයේ භාවිත විය. මේ පල්කඩ නැත්නම් එරුන්කඩවලට සී සෑමට මී හරක් යෙදුවේ නැත. උන් ගොඩගත නොහැකි බැවිනි. ගොයම් කැපීමට - නෙළීමට කාන්තාවන් - ගොවීන් බැස්සේ ද නැත. නියරවල් හරහා ලෑලි යොදා ඒ මත සිට ගොයම් සිටුවීම - කැපීම සිදු විය. හේතුව මඩකඩිති බෙහෙවින් ගැඹුරු බැවිනි. පල්කඩේ යන වාසගම රැගත් ගෙවල් හා පෙළපත් අදත් ඇත.

එදා එක් රදළ පවුලක තරුණ කාන්තාවක් කුඹුරේ ගොයම් නෙළමින් සිටියාය. නියර පුරා පිරී ගිය වතුරට බැස ගොයම් සිටු වූ ඇය ටිකෙන් ටික ජලය වැඩි මඩ ගොඩ දෙසට ඇදුණාය. ගැඹුරු මඩකඩිති පැතිරී ගොස් කුඹුර වසාගෙන පැතිර තිබුණු බව ඇය නොදැක සිටියාය. දණිහ තෙක් ජලයේ එරෙන විට හාත්පස බලා ඈ ශබ්ද නඟා කෑගසන්නට වූවාය. ඇගේ කෑගැසීම කුඹුරු යාය මත්තේ දෝංකාර දුන්නේය. ඒ කිට්ටු වෙල් යායක ගමේ ම මැදිවියේ අයෙක් කුඹුර කොටමින් සිටියේය. ඔහු ගමේ පහත් යැයි සැලකූ කුලයකට අයිති විය. තරුණියගේ කෑගැසීමේ හඬ අසා ඔහු දුවවිත් උදවු ඉල්ලා කෑගසමින් උකුළ තෙක් ඒ වන විට දියේ මඩේ ගිලිමින් සිටි තරුණිය දෙසට අසල වූ ලී කොටයක් මඩට දමා බේරා ගන්නට සූදානම් විය.

කුල මානයෙන් ඉදිමී ගිය ඇය තමා දෙසට ළං නොවන ලෙස උදවුවට ආ මැදිවියේ මිනිසාට කෑගසමින් කීවාය. ඔහු දෙඅත් හිස මත තබාගෙන යළිත් උදවු ඉල්ලා ගමේ අයට ඇසෙන සේ හූ හඬ නඟන්නට විය. ඔහුගේ හූ හඬ ඇසී ගම්මුන් කීපදෙනෙකු එරුම්කඩය දෙසට එන විට ඇය මුළුමනින් මඩ වගුරේ ගිලී අතුරුදන්ව සිටියාය. ඇය ගිළුණු ස්ථානය හඳුනා ගැනීමට නොහැකි තරම් වේගයෙන් කුඹුරේ පිරී තිබුණු ජලය තැනින් තැන බුබුළු දමමින් මඩ ගොහොරුව වසාගෙන පැතිර ගියේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]