කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
දුරකථන කෙටි පණිවිඩ සිංහල භාෂාවේ පිරිහීම ඉක්මන් කරනවා

දුරකථන කෙටි පණිවිඩ සිංහල භාෂාවේ පිරිහීම ඉක්මන් කරනවා

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු

අජිත් තිලකසේන සිංහල භාෂාවේ නවීකරණය උදෙසා දැඩිව පෙනී සිටින ලේඛකයෙකි. ඔහු එයට අදාළ පොත් කීපයක් සහ ලිපි ගණනාවක් ලියා ඇත. 'මැදි වහර' (අත්පොත) මේ සම්බන්ධයෙන් අජිත් ලියූ අලුත් ම පොත වන්නේ ය. ලේඛන කාර්යයේදී ගත් වහරත් කට වහරත් අතර වූ මැදි වහරක් භාවිතයේ යෙදීම ඔහු මෙම පොතෙන් යෝජනා කරයි. මේ මතවාදය පිළිබඳ අදහස් විමසන්ට අපි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මුණ ගැසුණෙමු.

අපේ භාෂාවේ ගත් වහරත් කට වහරත් දෙක ම තිබෙනවා. මෙය වෙනත් රටවල භාෂාවලත් දක්නට ලැබෙන්නක් ද?

ඔව්. සමහර රටවල භාෂාවන්හි දක්නට ලැබෙනවා. නිදර්ශනයක් හැටියට ගත්තොත් ඉන්දියාවේ බෙංගාලි භාෂාව දක්වන්ට පුළුවන්. ඒත් සිංහල භාෂාවේ තියෙන ද්විරූපතාව වඩාත් කැපිලා පෙනෙනවා කියා මා හිතනවා.

මේ ද්විරූපතාව නැති කිරීම සඳහා අජිත් තිලකසේන යෝජනා කරන 'මැදි වහර'ට ඔබ එකඟ ද?

මුලින් ම කියන්න ඕනැ අජිත් නිර්මාණ ලේඛකයෙක්. ඔහු, කෙටිකතා ලියන්නේ මැදි වහරකින්. ඒත් මැදි වහරක අවශ්‍යතාව හුවා දක්වන ලේඛකයන් ඒ වහරින් පොත් ලියන්නේ නැහැ. මහාචාර්ය සිරි ගුනසිංහ හැරුණුකොට එක විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් මැදි වහරින් පොතක් ලියලා තියෙනව ද? නැහැ. මං හිතන්නේ අජිත් සිංහල භාෂාව තුළ ඒක පුද්ගල විප්ලවකාරයෙක්. උන්නැහෙගේ කාර්ය භාරය කාලීන වශයෙන් වැදගත් ය කියලයි මට පේන්නේ. ඕනෑ ම රටක භාෂාවක පැවැත්ම තියෙන්නේ ව්‍යවහාරයට අනුව. ඒක වෙනස් වෙනවා. මේ වෙනස්වීම අපි තේරුම් ගන්න ඕනැ.

මැදි වහරක් අදට අවශ්‍ය වෙන්නේ ඇයි?

පොලීසියේ කට උත්තර ලියන්නේ මොන භාෂාවෙන් ද? පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා ලියන්නේ මොන භාෂාවෙන් ද? කන්තෝරුවල පරිපාලක වාර්තා ලියන්නේ මොන භාෂාවෙන් ද? මෙයින් පේනවා මැදි වහර පෙරට වඩා කොයිතරම් ප්‍රබල ව භාවිතයේ තිබෙනව ද කියලා. අද සන්නිවේදනය දියුණුයි. ඇතැම් ගුවන්විදුලි හා රූපවාහිනි නාළිකාවල ප්‍රවෘත්ති පවා කියන්නේ මැදි වහර යොදාගෙන.

අජිත්ට පෙර මාර්ටින් වික්‍රමසිංහ, යක්කඩුවේ ප්‍රඥාරාම හිමි, මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ යන විද්වතුන් පවා මැදි වහරක අවශ්‍යතාව පෙන්වා දී තිබෙනවා. එසේම ප්‍රායෝගික ව යොදාගෙනත් තිබෙනවා.

මාර්ටින් වික්‍රමසිංහ වෘත්තියෙන් පුවත්පත් කලාවේදියෙක්. අපේ භාෂාව වෙනස් වෙන්න, ලිහිල් වෙන්න පුවත්පත් විශාල කාර්ය භාරයක් කරලා තිබෙනවා. ඔබ සඳහන් කරපු විද්වතුන් භාෂාව නොදත් අය නෙමේ. සිංහල හැරුණහම පාලි, සංස්කෘත, ග්‍රීක, ලතින් පවා දැන සිටි උදවිය. ඔවුන් මැදි වහරක් ගැන කතා කළේ භාෂාව නොදන්නාකමට නෙමෙයි. අවශ්‍යතාව සලකාගෙනයි.

සිංහල හෝඩිය ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැනත් අජිත් කරුණු දක්වනවා?

ඒකත් වැදගත් යෝජනාවක්. සිංහල හෝඩියේ ඕන්නැති අකුරු තිබෙනවා. පරිගණකය ආවට පස්සේ හුඟක් අකුරු පාවිච්චි කරන්න බැරි තත්ත්වයක් තිබෙනවා.

ඊළඟ යෝජනාව තමයි පිලි සමරූපකරණය?

ඒ යෝජනාවටත් මා එකඟයි. ඇලපිලි, පාපිලි, ඉස්පිලි පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන්න ඕනැ කියන එකයි මගෙ අදහස. ඒක පහසුයි. ඒ වගේම කාලෙත් ඉතිරියි.

ඒත් මහාචාර්ය ජේ. බී. දිසානායක කියන්නේ පරිගණකයට ඕනැ විදියට භාෂාව සකස් කිරීම සපත්තුවට ඕනැ විදියට කකුල හැදීමක් වගේ කියායි.

අපි අද කොච්චර වැරැදි වචන පාවිච්චි කරනව ද? ගෘහස්ථ ක්‍රීඩාංගණය කියන වචනය හරි ද? ත්‍රස්තවාදියා කියන වචනය හරි ද? ඒත් කවුද අහන්නේ වැරැදි ද කියලා. ඒ වචන අද සම්මත වෙලා.

අදටත් අපේ රටේ පාසල්වල උගන්වන්නේ අවුරුදු 800ක් පරණ භාෂා නීතිරීති?

හැමෝම මේ නීති රීති ඉගෙන ගන්න ඕනැ කියලා කතන්දරයක් නැහැ. අද ළමයි ඉගෙන ගන්න අකැමැති ම විෂයය තමයි සිංහල. අනික, සිංහල ව්‍යාකරණය ගැන ලියැවුණු හරිහමන් පොතක්වත් වර්තමානයේ නැහැනේ. සිදත් සඟරාවනේ තාම උගන්නේ? සාමාන්‍ය අයට ඒවා වැඩක් නැහැ.

සමහරු රැජන, සතුන් වත්ත, බිරිය, තොරණ කියා ලියනවා. මේවා අවශ්‍ය ද?

නැහැ. එහෙම අවශ්‍ය නැහැ. ව්‍යවහාරයේ තියෙන්නේ වැරදි වචනනම් මොකද කරන්නෙ? සුඛෝච්ඡාරණය කියලා දේකුත් තියෙනවනේ. බස සකස් වෙන්න ඕනැ. විශේෂයෙන් මේ වගේ යුගයක.

අවසාන වශයෙන් සිංහල භාෂාවේ අනාගතය ගැන මොනව ද කියන්න පුළුවන්?

දැන් බලන්න වියට්නාමයේ. එහේ තිබ්බේ චීන උප භාෂාවක්. දැන් ඒක විනාශ වෙලා ඉවරයි. ඉංග්‍රිසි හෝඩියෙන් තමයි දැන් වියට්නාම් බස ලියන්නේ. අද චීන අකුරු දකින්නවත් නැහැ. ඒක අපිටත් වෙන්න පුළුවන්. හැබැයි දැන්ම නෙමෙයි. කාලයක් ගියාට පස්සේ. ඕනැනම් ඉක්මන් කරන්න පුළුවන්. ජංගම දුරකථනයෙන් කෙටි පණිවුඩ යවන්නේ මොන භාෂාවෙන් ද? සිංහල වුණාට යොදාගන්නේ ඉංග්‍රිසි අකුරු. එතැන න ණ - ල ළ නැහැ, පද බෙදීම් නැහැ. හැබැයි සිංහල භාෂාව දැන් ම විනාශ වෙන එකක් නැහැ. කොළඹ ඉහළ පන්තියේ මිනිහා වුණත් කේන්ති ගියාම බනින්නේ සිංහලෙන්. මොකද සිංහල වගේ හොඳට ලුණු ඇඹුල් ඇතිව ඉංග්‍රිසියෙන් බනින්න බැහැ. ජාතියක අනන්‍යතාව තියෙන්නේ භාෂාවේ. භාෂාව තමයි සංස්කෘතිය අරගෙන යන බලවේගය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]