![]() ![]() |
||
ගේය පද ලීලාඅන්න බලන් සඳ රන් තැටියෙන් සුදු...ඉකුත් සියවසේ මැද භාගය තුළ අපගේ ගීත සාහිත්‍යයේ ඇති වූ ප්‍රධානතම විපර්යාසය නම්, එය භාවපූර්ණ වූ සුනිශිත සාහිත්‍ය නිර්මාණයක් බවට පත් වීමය. ගීතය සාහිත්‍ය නිර්මාණයක් බවට පත් වීම යනුවෙන් අදහස් කෙරෙන්නේ, කාව්‍ය සංකල්පනයක් ගීතයෙහි හරය හෙවත් ආත්මය බවට පත් වීමයි. එබැවින් බොහෝ කාලයක් තිස්සේ, කලින් නිර්මාණය කරගන්නා ලද කිසියම් සංගීත රටාවක් තුළට, සාහිත්‍යමය හික්මීමකින් තොරව අමුණන ලද අර්ථහීන වචන සමුදාය වෙනුවට, අර්ථවත් කාව්‍ය සංකල්පනයක් ගීතය තුළින් බිහිව ආයේය. මේ වූකලී අපගේ ගීත සාහිත්‍යය පැත්තෙන් බලන විට ඉතා වැදගත් වර්ධනයකි; විප්ලවකාරීයැයි කිව යුතු ප්‍රවණතාවකි. ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ වැනි පුරෝගාමීන් විසින් අරඹන ලද එකී සාහිත්‍ය ව්‍යායාමය පරිසමාප්තියට පත් කරන ලද්දේ මහගම සේකර විසිනි. යට කී පුරෝගාමීන් විසින් පෙන්වන ලද මාර්ගයෙහි තිරසර පියවර තබමින් ඉදිරියට ගමන් කළ මහගම සේකරයෝ අපගේ ගීතය නියත වශයෙන්ම අතිශය සුන්දර වූ ද සංයත වූ ද හරවත් සාහිත්‍ය නිර්මාණයක් බවට පත් කළහ.
මහගම සේකරගේ මුල්ම ගීත රචනා හමු වන්නේ, ඔහු විසින් වේදිකා නාට්‍ය සහ මුද්‍රා නාට්‍ය උදෙසා කරන ලද නිර්මාණයන්හිය. ගීත රචනයෙහිලා ඔහුගේ අභ්‍යාස යුගය ද ඒ වනැයි කිව යුතුය. ඇතැම් වේදිකා නාට්‍යයක් ඔහු විසින් සපුරාම ගීතාත්මකව නිර්මාණය කරන ලද්දේ විය. තවත් නාට්‍යයක් ගද්‍ය පද්‍ය සම්මිශ්‍රිත වනු දැක්ක හැකිය. අනෙක් අවස්ථාවකදී ඔහු අන් රචකයකුගේ වේදිකා නාට්‍යයක් උදෙසා ද ගීත රචනා කළේය. මේ තෙවගම තුළින්, ඔහුගේ මුල් අවධියේ ගීත රචනා කලාව හැඩ ගැසෙනු අපට දැකගත හැකි වෙයි. ඔහු විසින් නිර්මාණය කරන ලද විශිෂ්ටතම ගීත රචනාවලින් කීපයක්ම දක්නා ලද්දේ, පසුකාලීන වේදිකා නාට්‍යවලය. මහගම සේකරගේ වේදිකා නාට්‍ය අතර මුල් කාලීන කෘති මොනවාදැයි හරි හැටි හඳුනාගත නොහැකි වුවද, ත්‍රෛලෝකාධිපති, සබ්බා නදී වංකගතා, ගමන සහ හංස ගීතය යන කෘතීන්හි රචන විලාසය, ඒවා වඩාත් පැරැණි බැව් පෙන්වා දෙයි. එකී කෘතීන් අතර කුණ්ඩලකේශී නාටකය තරමක් පසුකාලීන විය යුතුයැයි හැඟේ. කුණ්ඩලකේශී නාට්‍යයේදී රචකයා මෙලොව ජනිත සත්ත්වයාගේ සංසාර ගමනේ ස්වරූපය මේයැයි පළ කරනුව, ගායක පිරිසෙහි මුවට නංවන්නේ, නිසර්ග කවිත්වයෙන් සාරවත් වූ ද ගීත මාධූර්යයෙන් පෝෂිත වූ ද මෙවදන්ය:
කුණ්ඩලකේශී නාටකයේ සමාප්ත ගීතයේ වදන් පෙළ ගස්වන ආකාරය දෙස විමසිල්ලෙන් බැලුව හොත් පෙනී යන විශේෂ කාරණයක් ඇත. ඒ, කවියා අපගේ ජනකවි බස පමණටම, කොළඹ යුගයේ කවි බස ද ස්වාධීන ලෙස වහරන බවය.
වැටෙන කඳුළු සහ දහදිය බිඳුවෙන්
අතීතයේ විසූ අපගේ නෑසියන් විසින් රැකගෙන අවුත්, පරපුරෙන් පරපුරට දායාද කරන ලද සිංහලය නම් වූ අපේ බස, අපේ උරුමය වෙයි. ඒ මිහිරි බස, සුවහසක් කවීන් නමැති සද්ජනයන් විසින් ඉතා සියුම් ලෙස පිරිමදිමින් අතිශයින් මධුර භාෂණයක් බවට පත් කරන ලද්දේය. එම කාර්යයේදී ඔවුන්ගේ නැණ ගුණ ද, සියුම් වේදනාවන් ද, සද්ගුණ ද උකහා ගත් එම බස, අපමණ මිනිස් ගුණයෙන් පෙඟී අද දවසෙහි අප සතුව ඇති මහාර්ඝ උරුමය බවට පැමිණියේය. මෙකරුණ, එපරිදි වටහා ගත් මහගම සේකර, අපගේ කව් බස, ස්වකීය ප්‍රතිභා මහිමය නමැති සියුම් පහසින් මොළොක් කළ අයුරු ඔහුගේ ගීත විමසීමේදී දත හැකිය. මහගම සේකරගේ බස, අපගේ සිංහල බස පිළිබඳ අතිශයින්ම අපූර්ව වූ ආශ්චර්යයක් වන්නේ ඒ අරුතිනි.
අර බලන්න සොඳුරිය, සඳ නමැති රන් තැටියෙන් සුදු පැහැ සීත ගඟුලක් ගලා හැලෙන හැටි! හදෙහි සෝ තැවුල් නිවී යෙයි. කොවුල් රැවින් එන සංගීතයෙහි සිත පැටලී යෙයි. මේ සොඳුරු වන ගුල්මයම යහන් ගැබකි. එය දොඩන ආදර වදන් හඩ මා දේවියනි, කන් පිනවාලයි. පිරිමි කටහඬින් ගැයෙන්නේ ඒ හැඟුම් රාව ප්‍රතිරාව දෙන ගී පද වැලකි. ගැහැනු කටහඬින් ගලා එන්නේ ඊට වඩා බෙහෙවින් තියුණු ප්‍රේමාවනද්ධ බසකි. බලන්න හිමියනි, සෙනේ සිතැති ලියවැල් සිය අත්පසුරින් තුරු බඳ බදාගෙනය. මල් පිපිලාය. සුළඟ හා මුසුව මුවරඳ ගලා ඒය. මේ නම්, අනංගයාගේ රඟමඬලකි. හිමි සඳිනි, තවත් බලා ඉන්නේ කිම? අතිශයින් සංයත වූ කවි රූප මඟින් මහගම සේකර කවියා නිර්මාණය කොට දක්වන්නේ ඉතා ප්‍රබල ශෘංගාරාත්මක අවස්ථාවකි. ඍජු ප්‍රකාශනයට වඩා ව්‍යංග්‍යතා ගුණය ඉස්මතු වන සේ නිර්මිත මේ රචනයෙහි කවිත්වය ඉතා ප්‍රබල බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. එම කවිත්වය විඳගත හැකි වනුයේ ගීතයට සවන් දීමෙන් නොව, මුලින් ද සඳහන් කළ පරිදි, එකී කවියට පාදක වූ ප්‍රතිභාවේ ගැඹුර මැන බැලීමෙනි. එහෙත් කාව්‍ය සංකල්පනය ආත්ම කොටගෙන මෙහිලා බිහිව ඇත්තේ ප්‍රබල ගීත නිර්මාණයකි. අප බසෙහි ධ්වනි ගුණය හා රිද්ම රටාවන් මනා සේ පෙළගැස්වීමේ කුසල මහිමය හේතුවෙන් බිහි වන ගීත නිර්මාණය, සැබැවින්ම ආශ්චර්යක් වැනිය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |