කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සසර වසන තුරු අපි ඉපදෙමු ලන්දේ...

වෑදිය දෝතක්

සසර වසන තුරු අපි ඉපදෙමු ලන්දේ...

තන මත්තෙන් චීත්තයක් පටලාගත්තු කෙලිරොත්තක් වගෙයි නෙවැ ලඳු කරටිවලින් මතුවෙලා පේන කඳු රෑන. ඒ කෙලි රෑන බදා කොරාගන පල්ලං බාන දිය ඇලි, සුදු අඹාපු, දුල මොට්ටැකිලිවලින් වහං උනා වාගේ ඇහැ ගැටෙන කොට මටනං හිතෙන්නේ මේ ඇත්තියෝ තවම ගසාතෝරණ පදමේ නෑම්බියන් වෙන්ටෑ කියලයි. හප්පා... බලන්ඩැපැයි මල් මෑලි සන්දියේ 'බැදිඉහේ' 'ඉඟි බිඟි පාන' මල් නෑම්බියන්ගේ දහංගලේ. උන්දැලාගේ මසිමායම් වලට කිලච්චි වෙලා හිටං නාඹු කඳපල්ලන් ඒ නෑම්බියන් බද්දා ගන්ඩ කොරන යමතෙන් මුළු ලන්දම නැලවෙනවා නෙවැ.

කීවාම කාරි නෑ, ඒ ජාමේනං මේ ගැටිස්සියන්ඩ 'කටින්නේ' ඉහිළුම් - බිහිළුම් නැති ගායක් තමයි. ඒ හින්දාම නේන්නං, 'ඒකිලා' 'කෝංකොමින' ඇඹරි - ඇඹරී නාඹු කඳ පල්ලන්ඩ 'හාති ගන්ඩ' 'සීහදීලා' 'ලදං කොමින්' නලියන්නේ.

හනේ මන්දන්නෑ, ඒ 'විසිස්තරේ'ට 'ඇහැ ගැහෙන' කොට 'සිපයි ඇත්තන්' උනත්, තිරිහං නොවී හිටියොත් තමයි පුදුමේ. කොහොම උනත් 'තදියංගාය' 'ඉහ වහ ගියපු' මල් කෙලිත්තියන් නාඹු කඳපල්ලන් ගෙන් 'විලිසංගරේ' බිඳගන 'ඔරකොපු' වෙලා හිටං, පරාණේ මුලාසි කොරගන බැදි පල්ලේ දිරිගැහිලා ඉන්න හැටි දැක්කාම පපු බිස්ස හෝස්ගාලා පත්තු වෙනවා ඕං. අනේ ඇත්තට මේකද ආලවන්ත කොමේ අරුමේ. හැබැයි ඉතිං, මේ වාගේ නස්පැත්තියක් අපේ මනුස්ස පරාණකාරියන්ඩනං 'හේත්තු කොරන්ඩ' එපා ඕං දෙය්යනේ.

මං 'උඩාවතේ ලීවා' නෙවැ මල් කෙල්ලන්ගෙන් කදපල්ලන් 'හාති' ගන්න විත්තිය. ඒ අව්අස්සේ උන්දැලා තවරාගන හිටපු 'පුසුඹ' හොරා ගත්තු හීල් හුළඟ, හනික සේන්දු වෙලා හිටං වැවේ මංකඩෙන් නා කොරාගන 'කෙහෙවල්ල' ගසා බසා දමන අපේ ගැමි නෑම්බියන්ගේ සරුවාංගෙම පටලවන්ඩ වලිකන හැටි කදිමයි. ඒ හින්දාම අපේ ගමේ නෑඹුලියන් ගාව පුසුඹේ බෑ ඕං. ඒ වාගේම මල් රුවැත්තියන් වයිවාරණ ව 'බවරි වෙලා' බැඳි කරටියේ උඩුවියන් බදිද්දී, ඒ වියන් පල්ලෙන් ගහවැලේ ගඩාගෙඩි එල්ලෙන ලකේ විතරක්. ඒ ඔපලංගුව බැදි සාවියට විතරක් නෙවෙයි ඊගාව තියෙන ගම්කොටු වලටත් හරිම සිරියාවයි. ඔය සිරියාවන්ත කොම තව තව වැඩිවෙන්නේ, නිල්ල අඹාපු දිබ්බැඳි ඉහටියේ මල් කෙල්ලන් බැදපු උඩුවියන දේදුන්නක් වාගේ පේනකොටනෙ. ඒ 'උඩු වියනට' පාවියන් වෙලා තියෙන්නේ අර බැදි පාමුල දිරිගැහිලා ඉන්න පරාණේගිය මල් කාන්තාවන් නෙවැ.

ඉතිං මෙච්චර පංකාදු ලන්දෙන් අපට තියෙන 'පලපොරොජං' අප්පරමෙය්යයි ඕං. පූරුවේ ජාතියේ අපි කොරලා තිබ්බ පින් කන්දරාව හින්දාම තමයි අපට මෙහෙම නිධානයක් පහල වුණේ. අපේ ගම් කොටුවේ ඇත්තෝ වරිග නිධානයක් කියලයි මේ සාවියට කියන්නෙ. අතදිගෑරියාවාගේ කියනවානං, අපේ වැලවරිගේ පැළ උන දොහේ ඉඳලාම අම්මා අප්පා වාගේ පිහිට වෙන මේ වරිග නිධානේ තමයි අපේ පරාණ කට්ට. ඉතිං ඒක පරස්සං කොරන්නේ ඇහිගෙඩි දෙක වාගෙයි. ඒ වාගේම දෙය්යෝ, බුද්දු දකින්නා වාගේ නෙවැ අපි මේ සාවිය දිහා බලන්නෙ.

ඇයි ඉතිං ගමේ වරිකූඩු තෙත්තං කොරගන්ඩ ඇහැකි වෑ පුරුවා දැම්මොත් තමයි නෙවැ. එතකොටනෙ යල - මහ පදං වෙන්නෙ. ඉතිං ඒකට වැහි ගම්පොල මුත්තා කරුණා කොරන්නේ කඳු ලඳු සාවිය හින්දාමයි. ඒ විතරක්යැ හේන පිටි අපට උරුම වෙන්නේත්, දැව දඬු, මී පැණි, මසෑ මාංස වාගේ ගමේ අලෝදරකං පිරිමැහෙන්නේත්, ලන්දෙන් මිසක්කා ආයේ වෙන කොයින්දෑ...? පංගුවක් ඇත්තෝ දන්නේ නැතුවා වෙන්ටෑ මේ කැරිණේ. ඔය ලන්ද තමයි අපට මනුස්සකොම උගන්නන අකුරු මඩුව. අපේ කිරි අත්තා කියාපු විදියට මේ සක්කලේ තියෙන ලොකුම පොත් අටුවලුනෙ අපේ ඔය හිමේ. ඒකෙන් පපුවට වට්ටා ගන්ඩ ඇහැකි දැනමුතුකං බොහොමයිලු.

ඒකනං හැබෑමයි. මං එහෙම ගහපන් දෙන්නේ, ගහවැල නහන එකාටත්, ගහවැලට ගහුරව කොරන ඇත්තටත් ඌරුවක්පේරුවක් නැතුව හීතල හෙවණ දෙන්නේත්, පලදාව දෙන්නෙත් අනික් පල පොරෝජං බොධිසත්ත ගුණේම මදැයි මනුස්ස සතාට හැදෙන්ඩ.

සසර වසන තුරු අපි ඉපදෙමු ලන්දේ කියලා හීබදයක් අපේ ඇත්තෙක් කීවේ ඔය හින්දාම නෙවැ. අපට තියෙන සක්කර සම්පත්තිය මේ සාවිය නෙවැ.

මෙච්චර පංකාදු හින්දාම තමයි අපේ වැලවරිගේ ඇත්තෝ ඔය සාවියට වැදුම් පිදුම් කෙරුවේ. ඉතිං හද්දෙය්යනේ, අද ඉන්න එකාලාට මේ වටිනාකං වැටහෙන්නේ නැති එකනෙ අරෝව වෙලා තියෙන්නෙ.

වහර

කෙලි රොත්ත - කෙල්ලන් සමූහය
පල්ලං බාන - පහළට ඇද හැලෙන
දූල මොට්ටැක්කිලි - දුහුල් ආවරණ ඇඳුම
ගසා තෝරණ පදමේ - තාරුණ්‍යයේ මුවදොර සිටින වයසේ
මල් මෑලි සන්දියේ - මල් පිපෙන සමයේ
බැදි ඉහේ - වන හිසෙහි
දහං ගලේ - දඟකාර
මසි මායම් - ඉඟි බිඟි
කිලච්චි වෙලා - සරාගී වී
බද්දා ගන්නට - සමීප කරගැන්මට
යමතෙන් - පෙරැත්තයෙන්
කෝං කොමිං- විලි වැදී
නාඹු කදපල්ලන් - සල්ලාල බමරුන්
ලදං කොමින් - මනාපයෙන්
සිපයි ඇත්තන් - වයෝවෘද්ධයින්
ඔරකොපු වෙලා - අනාථ වී
ඔපලංගුව - අලංකාරය
දිබ්බැදි ඉහටියෙහි - වන හිසෙහි
සාවිය - පරිසරය, ඉසව්ව, වටාපිටාව
අකුරු මඩුව - පාසල
පොත් අටුව - පුස්තකාලය
අලෝදරකං - අවශ්‍යතාවන්
තෙත්තං කොරගන්ඩ - පෝෂණය කර ගැනීමට
ඌරු ජෙරුවක් නැතුව - වෙනස්කම් නොකර
වෑ පුරවා දැම්මොත් - වැව පිරුණොත්
තදියංගාය - නො ඉවසිලි ස්වභාවය
ගහ පහ දෙන්නේ - සපථ කරන්නේ
නහන එකාටත් - විනාශ කරන්නාටත්


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]