![]() ![]() |
||
රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්මොනා රායි
මොනා රායි නම් ප්‍රවීණ ඉන්දියානු චිත්‍ර ශිල්පිනියගේ සිතුවම් කෘති කීපයකි මෙහි දැක්වෙනුයේ. ඉන්දියානු නූතන හා සමකාලීන සිතුවම් කලාවේ පෝෂණය සඳහා චිත්‍ර ශිල්පිනියන්ගෙන් සිදු වූ දායකත්වය සැලකිය යුතු වූවකි. ඉන්දියානු නූතනවාදී කලාවේ ප්‍රමුඛ චිත්‍ර ශිල්පියකු වූ අම්බ්‍රිතා ෂර්ගිල්, එමෙන් ම සමකාලීන කලාව තුළදී හමුවන ඇන්ජිලා එලා මෙනන් ආදි චිත්‍ර ශිල්පිනියන් මෙහි දී සිහිපත් වේ. අම්බ්‍රිතා ෂර්ගිල්, එමෙන්ම සමකාලීන කලාව තුළ දී හමුවන ඇන්ජිලා එලා මෙනන් ආදි චිත්‍ර ශිල්පිනියන් මෙහි දී සිහිපත් වේ. අම්බ්‍රිතා ෂර්ගිල්, ඇන්ජිලා එලා මෙනන් ආදී චිත්‍ර ශිල්පිනියන් ස්වකීය කලා ප්‍රකාශන තුළ දී මානව රූ, සත්ත්ව රූ ආදි රූපික අංග සිතුවම් සංරචනවලට යොදාගත් ආකාරය දැකිය හැකිය. එහිදී එම සිතුවම් තුළ කිසියම් ආඛ්‍යානමය ස්වරූපයක් ද පවතී. ඊට සාපේක්ෂව මොනා රායිගේ සිතුවම් කෘති තුළ දැකිය හැක්කේ මානව, සත්ත්ව ආදි විෂය ලෝකයේ රූපිත අංගවලින් සමන්විත සංරචන ලෙස නොව අමූර්තවාදී (Abstract) කලා ප්‍රකාශනමය ශෛලියකි.
මොනා රායිගේ සිතුවම් කලාව මෙන්ම එබඳු සිතුවමක් රසවිඳ ගත හැක්කේ කෙසේ ද, චිත්‍ර කලාවේ මෙම අමූර්තවාදී කලා ශෛලිය තේරුම් ගැනීම හා රසවිඳ ගැනීම අසීරු වූ දෙයක් ද, නො එසේ නම් එම කලා ප්‍රවර්ගය යනු කිසියම් සැඟවුණු, ගූඪ අර්ථවලින් යුතු කලාංගයක් ද, කිසියම් සුවිශේෂ වූ රසික කුලකයක් සඳහා පමණක් සීමා වූවක් ද, මොනා රායිගේ සිතුවම් කලාව අර්ථ ගන්වා ගැනීමේ දී මේ කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමට සිදු වේ. මොනා රායිගේ කලා කෘති මෙන්ම එම ශෛලීය ලක්ෂණ ගත් කලා කෘති නැරැඹීමේ දී ඒ තුළ මහත් නිවීමක්, කිසියම් භාවනාමය වූ බවක් පෙනී යයි. එය ගලන ගංගාවක මතුපිට පෙනුම වැනි වූවකි. නරඹන්නෙකුගේ දෘශ්‍ය පථයට අනුව ගලන ගඟ මත නිශ්චලත්වයක් දැකිය හැකි නමුදු ගලා යන ජල ප්‍රවාහය නිශ්චල නොවන්නා සේම චිත්‍ර ශිල්පිනියගේ පාර්ශ්වය තුළ පවතිනුයේ චිත්තවේගී තෙරපීමක, ආවේගමය තත්ත්වයක, සිතුවිලි ප්‍රවාහයක ඝනීභවනය වූ කාල අවකාශයකි. චිත්‍ර කලාව රස විඳින සහෘදයෙකුගේ පාර්ශ්වයෙන් චිත්‍ර ශිල්පිනිය අත් නොදකින නිදහසක් සිතුවම නරඹන රසිකයාට හිමි වේ. රූපික නිරූපණාත්මක කලා ප්‍රකාශනමය කෘතියක් හෝ මෙබඳු අමූර්තවාදි ශෛලියකින් යුතු කලා නිමැවුමක එකිනෙක හා පවතින විවිධතාව මෙන්ම පොදු ඒකීයතාව ද රසික රස වින්දනය තුළ දී හඳුනාගත හැකි ය. ඒ අනුව කලා කෘතිය ගොඩනඟන ලද ශිල්පිනිය හෝ ශිල්පියාගේ දෘශ්‍ය කලා ලෝකයේ සීමා මායිම් ඉක්ම වූ රසිකත්වයක් සඳහා සහෘදයෙකුට යොමු විය හැකිය. එමෙන් ම සිතුවම රස විඳින රසික පාර්ශ්වය වෙත අත්විඳිය නොහැකි නිමේෂයන් ගණනාවක් කලා ක්‍රියාකාරිත්වය තුළ දී සිදු වේ. එය යම් ආකාරයක ප්‍රාසංගිකමය තත්ත්වයකි. අවකාශය ජය ගැනීම සඳහා ශිල්පියෙකු කාලය තුළ සැරිසරන ක්‍රියාකාරිත්වය එනම් අසම්පූර්ණ වූ කැන්වසය හෝ පෘෂ්ඨිය අවකාශය පූර්ණව ගොඩනැඟීම දක්වා වූ වෙහෙසීම පිළිබඳ අත්දැකීම් කලාගාරය තුළ නිම කෘතියක් අබිමුවට පැමිණි රසිකයෙකුට ලද නොහැකිය.
මොනා රායිගේ කලාව වෙත සමීප වීමේ පසුබිම සකසා ගැනීමට ඉහත කරුණු වෙත අවධානය යොමු
කිරීම වැදගත් වේ. මොනා රායි තම කලා ක්‍රියාකාරිත් මොනා රායි දිල්ලියේ දි උපත ලැබුවේ 1947 වසරේදීය. ඇය දිල්ලි විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියකි. නවදිල්ලියේ ත්‍රිවෙනි කලා සන්ගම් හිදි චිත්‍ර කලා අධ්‍යාපනය ලද ඇය ස්වකීය චිත්‍රකලා ප්‍රදර්ශන ඉදිරිපත් කරන ලද්දේ 1972 වසරේ සිටය. එනම් ඇයගේ විසිපස් වැනි වියේ තරම් තරුණ වියේ දීය. ඉන්දියාවේ ජාතික නූතන කලාගාරයේ නිත්‍ය කලා කෘති එකතුවේ මෙන්ම අන්තර්ජාතික කලා කෘති එකතුවලට ඇගේ සිතුවම් කෘති ඇතුළත්ව තිබේ. වරෙක මෙරට පැවැති සමකාලීන ඉන්දියානු චිත්‍රකලා ප්‍රදර්ශනයකදී මොනා රායිගේ සිතුවමක් ප්‍රදර්ශනය විණි. මොනා රායිගේ කලා කෘති අපට සමීප බවක් දැකිය හැකි වේ. එම කලා කෘති සමඟ මෙරට කලා ශිල්පීන්ගේ කලා කෘති ගණනාවක් අපට සිහිපත් වේ. නිරූපණාත්මක රූපික අංග ඉක්මවා පොදු හැඩතලවලට යොමු වීමෙන් මතු කෙරෙන එම සමරූපිතාව අතීත කාලවල පැවැති අජන්තා සීගිරි, ශෛලියමය සමානතාවන් ද ඉක්ම වූ සමීපතාවයක් දනවන්නකි. ඒ අනුව මෙම කලා කෘති පෙනී සිටිනුයේ රසිකත්වයෙන් දුරස්ථ වීම වෙනුවට රසිකත්වය වෙත ළඟාවීම උදෙසා බවට යෝජනා කළ හැකිය. උදාකර ගත යුත්තේ මේ හැඩතල, වර්ණ තැවරීම් මඟින් මතු කරගත හැකි ප්‍රකාශනාත්මක ගුණය හඳුනා ගැනීමයි. එම රසිකත්වයේ විකසිත වීම දිශාගත වන්නේ සෞන්දර්යාත්මක මානව ක්‍රියාකාරිත්වයක්, ඒ පසුපස වූ මිනිස් හැඟීම් ප්‍රකාශනයත්, ඔහුගේ හෝ ඇයගේ අභ්‍යන්තරික අරගලයක් තේරුම් ගැනීම, වටහා ගැනීම වෙනුවෙනි. මිනිස් මුණගැසීමක් වෙනුවෙනි.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |