කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සුභාවිත ගීමගේ දුර ගමනකට මුල පුරන දේශානි සමාධිනි විතානගේ

සුභාවිත ගීමගේ දුර ගමනකට මුල පුරන දේශානි සමාධිනි විතානගේ

පසුගිය දා පැවැති රාජ්‍ය, පෞද්ගලික, අර්ධ රාජ්‍ය හා වතු සේවක සේවිකාවන්ගේ ගායනා තරගයෙන් හොඳම ගායිකාව ලෙස සම්මාන දිනාගත්තේ නව පරපුරේ දක්ෂ ගායිකා දේශානි සමාධිනි විතානගේ ය. ඇය ඊට ඉහත වසරේ ද මෙම සම්මානයට උරුමකම් කීවාය.

දේශානි, රැල්ලට පිහිනන ගායිකාවක් නොවන්නී ය. ඇය උඩුගම් බලා ගොස් සිංහල සුභාවිත ගී ම‍ඟේ ඉදිරියට යන්නියකි. මේ වන විට ඇය සම්මාන රාශියක් දිනාගෙන ඇත. 2013 දී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය මෙහෙයවූ තරගයකදී හොඳම හින්දි ගී ගායිකාව වූයේ ද ඇයය. එම වසරේදීම රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ හොඳම නවක ගායිකාව ලෙස දේශනි නිර්දේශ වූවාය. 2015 දීප ව්‍යාප්ත බොදු බැති ගී තරගාවලියේදී ප්‍රථම ස්ථානය දිනා ගැනීම ද ඇගේ සංගීත දිවියේ වැදගත් අවස්ථාවකි.

දේශානි ගුවන් විදුලියේ 'ඒ' ශ්‍රේණියේ ගායිකාවකි. මේ වන විට ඇය ගීත 18 ක් පමණ ගායනා කර ඇත. ලූෂන් බුලත්සිංහල, අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, මෙල්රෝයි ධර්මරත්න, සුනිල් චන්ද්‍රකුමාර ලියු එම ගීවල ගී තනු නිර්මාණ සරත් දසනායක, ස්ටැන්ලි පීරිස්, එච්. එම්. ජයවර්ධන, රෝහණ වීරසිංහ යන සංගීතවේදින්ගෙනි.

වසර අවුරුදු පහේදී නන්දා මාලිනියගේ සංගීත ආශ්‍රමයෙන් සංගීතය හැදෑරු දේශානි ජාතික රූපවාහිනියේ 'ගී කැකුළු' විචිත්‍රාංගයට අඛණ්ඩව සහභාගි වූවාය. එය මෙහෙයවන ලද්දේ නිර්මලා රණතුංග විසිනි.

2008 දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයෙන් හා 2009 සිරස සුපර් ස්ටාර් තරගයෙන් අවසන් තරගකරුවන් අතරට එක්වූ දේශානි එමඟින් රියැලිටි තරගවල ද අත්දැකීම් ලැබුවාය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිධාරිනියක වන දේශානි දැනට මූල්‍ය සමාගමක විගණකාධිවරියක ලෙස සේවය කරයි. දේශානි පසුගිය දා චිත්‍රපට පසුබිම් ගී ගායනයට ද එක්වූවාය. ඒ චන්ද්‍රරත්න මාපිටිගමගේ අලුත්ම චිත්‍රපටයෙනි.

දේශානි මේ වන විට සංගීත විශාරද අවසන් අදියරේ විභාගයට පෙනී සිටින්නීය.

9/2, රොලී ප්‍රනාන්දු මාවත, කටුබැද්ද, මොරටුව ඇගේ ලිපිනයයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]