කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් මේ කන්දත් අපේ තමයි

ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් මේ කන්දත් අපේ තමයි

‘කසළ’ ප්‍රශ්නය අද සමස්ත සමාජයටම දුගඳ හමන කරුණක් බවට පත්ව තිබේ. එයට ප්‍රධාන හේතුව ‘හොඳ’ තමන්ටත් ‘ගඳ’ අනුන්ටත් යන තේමාවට හිතැතිව කටයුතු කරන පිරිස් ගෙදර කුණු ගොඩ පාරේ දමා යන මානසික මට්ටමක සිටීමය. ‍කොපමණ දැනුම්වත් කිරීම් සිදු කළත්, සාකච්ඡා පැවැත්වූවත්, කරුණු දැක්වූවත් ‘කුණු ප්‍රශ්නයට’ විසැඳුමක් ගෙන ඒම අදටත් ප්‍රශ්නයක් ලෙසම පවතී‍‍‍.

වේගවත් නාගරිකකරණය හා ජනගහන වර්ධනය යන ප්‍රධාන සාධකවලට මුවා වී කසළ නිසි ලෙස කළමනාකරණය නොවීමෙන් සමාජය දැඩි පීඩාවකට පත්ව ඇති බව රහසක් නොවේ. එහි උච්චඡතම අවස්ථාවක් පසුගිය දා කොළොන්නාව මීතොටමුල්ලේ කසළ බැහැරලීමේ ස්ථානයෙන් මතු වූයේ, කුණු කන්ද තුළ එක් වන මීතේන් වායුව නිසා හිටිහැටියේ එය පුපුරා ගිනි ගත්තා සේය.

කොළොන්නාවේ කුණු කන්දේ බරට පොළොව තෙරපීම නිසා පවුල් 200කට පමණ එම ප්‍රදේශයෙන් ඉවත් වී වෙනත් ස්ථානවල පදිංචි වන ලෙස යෝජනා කර තිබේ. සිය කැමැත්තෙන් නිවෙස් අතහැර යන අයට වන්දියක් ගෙවීමට ද තීරණය කෙරිණි. එහෙත් මේ වන විට අක්කර 17ක පමණ ප්‍රදේශයක වසර 20ක් 30ක් පමණ පුරා එකතු වූ කසළ නිසා ශ්වසන රෝග, සමේ රෝග ආදියෙන් පීඩා විඳින 4500කට අධික අවට වාසී පවුල් වෙනුවෙන් ‍මෙතෙක් කිසිදු විසැඳුමක් ඉදිරිපත් වී නැත. මේ කුණු කන්දෙන් එන ඕජස වැනි විස ද්‍රාවණය අප බහුතරයක් වෙනුවෙන් පානීය ජලය සපයන කැලණි ගඟ මෙන්ම බස්නාහිර වෙරළ තීරය දිගේ කිලෝ මීටර 14ක් පමණ මුහුදු ජලයද අපවිත්‍ර කරන බව පරිසරවේදීහු පෙන්වා දෙති‍‍‍. දිනපතා කසළ ටොන් 700ක් පමණ කොළොන්නාවේ කුණු කන්දට පමණක් එකතු වේ. එහෙත් කොළඹ මහ නගර සභාව ජනතාවගේ අපසුතාව පිළිබඳ නෑසූ කන් ඇතිව සිටීම මේ ව්‍යසනයට ප්‍රධාන හේතුව බවට ප්‍ර‍දේශවාසීහු චෝදනා කරති‍‍.

කොළොන්නාවේ කුණුවලින් කැලණි ගඟත් දූෂණය වෙනවා

මේ කසළ දිනකට ටොන් 1200 බැගින් පුත්ත‍ලමේ අරුවක්කාලු කසළ පිරවුම් භුමියට කෝච්චියෙන් ගෙන ගොස් දැමීමට කලක සිට යෝජනා වුවත් එය අදටත් යෝජනාවකින් ඔබ්බට ගමන් කර නැත. ඒ පිරිවැය අධික වීම නිසා වීමටද පුළුවන. මේ ආකාරයෙන්ම වරක් අවිස්සාවේල්ල ප්‍රදේශයට කොළඹ කුණු ගෙන යෑමට කළ උත්සාහයේදී ඒ ප්‍රදේශවාසීන් විරෝධය දැක්වූයේ ‘අනුන්ගේ කුණු අපට එපා’ යැයි කියමිනි.

කසළ යොදාගෙන බලශක්තිය නිපදවීමේ යෝජනා කීපයක් ඉදිරිපත් වී ඇතත් එය ද ක්‍රියාත්මක නොවීමට ප්‍රායෝගික හේතුවක් වන්නේ එලෙස විදුලි ඒකකයක් නිපදවීමට වැය වන මුදල අධික වීම බව විද්වතුන්ගේ මතයයි.

කෙසේ වෙතත් දිනකට එකතු වන මේ අධික කුණු ප්‍රමාණය කොළොන්නාවට දරාගත නොහැකි බැවින් මුතුරාජවෙලින් ඉඩමක් පවරාගෙන එතැනට ගොස් දැමීම හා කරදියාන කසළ බහාලන ස්ථානයට ගෙන ගොස් ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම යන අදහස් දෙක ඉදිරිපත් වී තිබේ. එහෙත් බොහෝ දෙනා‍ගේ මතය වන්නේ මේ යෝජනා එක අතකින් පැලැස්තර දැමීමක් මෙන්ම කසළ ප්‍රශ්නය තවත් පැතිරීමට හේතුවක් වන බවයි.

පසුගියදා මේ කසළ කඳු ඇසුරෙන් ජලය නිපදවීමට හැකිදැයි නිරීක්ෂණයට පැමිණි ජපානයේ කියොතෝ සිටි කොලෙජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කොනසේ නෙනමරු මහතා පැවසුවේ‍ මෙසේය:

“අපේ රටට නම් මේ වැනි කුණු මහා සම්පතක්. ඒත් මේ කුණු එකතු වී තිබෙන ආකාරය අනුව, එයින් ජලය නිපදවන්න පුළුවන් වෙයිද කියා සැකයි‍. එය තීරණය කර වාර්තාවක් ඉදිරිපත් කරන්න අපට මාස තුනක් වත් යයි. ඒ නිසා කසළ නිසි ලෙස වෙන් කර එකතු කිරීමට හැකි නම් හොඳයි.”

කො‍ළොන්නාව කුණු කන්දට එරෙහි ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කේ. කීර්තිරත්න පෙරේරා මහතා:

“දැන් මේ ප්‍රශ්නය විසඳන්න රජයෙන් මුදල් වෙන් කළ නිසා අපට යම් බලාපොරොත්තුවක් තබාගන්න පුළුවන් වී තිබෙනවා. ඒ නිසා ජල ප්‍රහාර, ගුටි-බැටවලට ලක් වුණත් යම් සැනසීමක් තිබෙනවා,” යැයි කීවේය.

කො‍ළොන්නාව කුණු කන්දට එරෙහි ඒකාබද්ධ සංවිධානයේ සභාපති ලබුනලේ සුදස්සන හිමියෝ:

“මේ කුණු කන්ද අනිවාර්යයෙන්ම ඉවත් වෙන්න ඕනෑ. නැත් නම් මොන සංවර්ධනය සිදු වුණත් වැඩක් නෑ,” කියමින් දැඩි විරෝධය දැක්වූහ.

ලොකුම තෙත්බිමක ඉරණම

කොළොන්නාවේ මෙන්ම විශාල ව්‍යසනයක් කරදියාන කසළ බහාලුම් පොළ නිසාද සිදු වෙමින් පවතී. පරිසර ජයග්‍රහණ ජාතික ව්‍යාපාර‍ය පවසන ආකාරයට කරදියාන කොළඹ දිස්ත්‍රික්කයේ විශාලතම තෙත් බිමකි. එමෙන්ම කොළඹ විශාලතම කුණු කන්ද ඇත්තේද කරදියානේය. අක්කර 37ක කුණු කන්දක් බවට මෙය පරිවර්තනය වී ඇත්තේ එක් පුද්ගලයකු‍ගේ වගකීම් විරහිත ආරම්භයක් හේතුවෙනි. හිමිකරුවන්ගේ අවධානය අඩු වී ගිය ඉඩමකට ගමේ පදිංචිකරුවකු තම නිවෙසේ කැලි කසළ දැමුවේය. එය සැමට ආදර්ශයක් විය. කාලයක් තිස්සේ මෙසේ සිදු වද්දී දේශපාලන බලපෑම් මත අදාළ ඉඩම පළාත් පාලන ආයතනයට අයත් කසළ බිමක් බවට පත් විය. එක කුණු මල්ලකින් ඇරැඹි කතාව අද කෝට්ටේ, හෝමාගම, පාණදුර, මොරටුව, දෙහිවල-ගල්කිස්ස, කැස්බෑව, මහරගම, බොරලැස්ගමුව, වෑතර ප්‍ර‍දේශවල කසළ පවා මෙතැනට ගෙන එන මට්ටමට වර්ධනය වී තිබේ.

පරිසර ජයග්‍රහණ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු රොනී ෆොන්සේකා මහතා පවසන්නේ මෙවන් දෙයකි:

“මීට වසර දෙක-තුනකට කලින් බොරු විවෘත කිරීමක් තියලා, ක්‍රියා විරහිත මැෂිමක් ගෙනත්, කසළ ප්‍රතිචක්‍රීකරණය කරන බව කීවා. ඒත් අපි හොඳටම දන්නවා ඒ ‍‍පොහොර පැකට් ගෙනාවේ කළුතරින් කියලා. මේ ප්‍රශ්නයට අවුරුදු 15ක් පමණ පරණ නඩුවකුත් තිබෙනවා. උසාවියෙන් පාණදුර කුණු මෙතැනට ගෙන ඒම තහනම් කළා. ඒත් වෙන ක්‍රමයකින් ඒ කුණු මෙතනට එනවා. ඒ දේශපාලනඥයන් අහනවා අපට මොකද මේ තරම් රුදාව මේ කුණු කන්ද ගැන කියලා. ප්‍රශ්නේ තියෙන්නේ අපට. දරුවන්ට හොයාගන්න බැරි ලෙඩ හැදෙන්නේ අපේ. ළිං 71කට වඩා වහන්න වෙලා තියෙන්නේ. වතුර ටික නැත්තේ අපට. ඒවා දුඹුරු පාටයි, කුණු ගඳයි. අඩුම ගානේ වාහනයක් හෝදන්නවත් ගන්න බෑ. අනෙක අක්කරයක් විතර තිබුණු කුණු කන්ද දැන් අක්කර 37ක පැතිරුණා වගේ අපි මෙහෙම දැඟලුවේ නැත්නම් අක්කර හැටක් දක්වා වුණත් ඒක පැතිරෙන්න ඉඩ තිබෙනවා. එය වළක්වන්නයි අපි උත්සාහ කරන්නේ.”

කොළොන්නාවේ කුණු කරදියානට ‍එපා

කට උත්තරවල ඇති තොරතුරු අනුව පාණදුර කුණු මෙහි ගෙන ඒම උසාවියෙන් තහනම් නිසා ටිපරයකට රුපියල් 21000/- බැගින් ගෙවා පෞද්ගලික ආයතනයක් මඟින් ඒ කසළ එකතු කර වෙනත් නගර සභාවක වාහන අංක යටතේ කරදියානට එවීමේ සැලැස්මක් සකසා ඇත. දේශපාලනඥයන් තම තමන්ගේ හිතවත්කම් මත ඒ කුණු ගනුදෙනුව එසේ කරද්දී කුණු කන්දට කුණු ටොන් එකක් දැමීම සාමාන්‍ය පරිදි රුපියල් 500/- ගෙවා කළ හැකිය.

මේ අතර ගමේ පිරිස නොදන්නා හෝ බිය නිසා හෙළි ‍නොකරන ජාවාරමක්ද මෙහි සිදු වන බව පරිසරවේදීහු පෙන්වා දෙති. වනය නසන්නට වනයේ ගසක්ම හේතු වන්නා සේ රෝහල්වලින් ඉවත ලන එම්බාම් කොටස්, කුකුළු ගොවිපළවල ඉතිරි වන බෙලි කෑලි, කුකුළු වසුරු, සතුන්වත්තේ කසළ ආදී දැඩි දුඟද හමන අප ද්‍රව්‍ය පුලුස්සා දැමීම වෙනුවට ටිපරයකට රුපියල් 69000/-ක පමණ මුදලක් අය කර මේ කන්දේ කොනක වළක් හාරා හොර රහසේම වැළලීමට බාර ගන්නා ගමේම පිරිසක් වෙති.

ගැටලුව නම් කැස්බෑව ප්‍රදේශයේ මාසකටම එකතු වන්නේ කසළ ටොන් 1500ක පමණි. එහෙත් කසළ කන්දට දිනකට ටොන් 600කට වඩා දමන බව පරිසර සංවිධාන පවසයි. එය පුදුමයකි. එහෙත් ගොඩබිමක කසළ ටොන් 100කට වඩා දමන්නේ නම් ඒ වෙනුවෙන් පරිසර වාර්තාවක් ගත යුතු බව අධිකරණය විමසද්දී අදාළ නිලධාරීන් පවසා ඇත්තේ එවැන්නක් අසා ඇති බව පමණි.

පරිසර ජයග්‍රහණ ජාතික ව්‍යාපාරයේ භාණ්ඩාගාරික පද්මසිරි කොස්තා මහතා රජයෙන් ඉල්ලා සිටින්නේ මෙවැන්නකි:

“ආරංචියක් ආවා කොළොන්නාවේ කුණුත් මෙහෙ ගෙනත් ප්‍රතිචක්‍රීකරණය කරනවා කියලා. මේ තිබෙන මැෂිමේ උපරිම වේගයෙන් ක්‍රියා කළත් දිනකට කසළ ටොන් 50ක් වත් ඉවර කරන්න බෑ. මේ වෙද්දී කුණු ටොන් ලක්ෂ 20කට වඩා මෙතන එක්රැස් වී තිබෙනවා. එක පළාතක ප්‍රශ්නය විසඳන්න තව පළාතකට ඒ ප්‍රශ්නය දෙන්න එපා. හොඳම දේ මෙතැනට දිනපතා කුණු ගේන එකත් නතර කරලා, අධිකරණ නියෝගයට එකඟව, තිබෙන කුණු උඩින් සෙන්ටි මීටර 15ක් පස් දමා මෙය වසා දැමීමයි.”

සිදු වුණු දේ ආපසු හැරවිය නොහැකිය. එහෙත් සිදු වීමට යන විනාශයක් වැළැක්වීමට අපට හැකිය. කසළ ප්‍රශ්නය පිළිබඳවද රටම සිතිය යුත්තේ එලෙස නොවේද?

මේ කුණු කාගෙන්ද?

එහෙත් මහජනතාව තමන්ගේ කසළ පිළිබඳ දරන ආකල්පය ඉන් බොහෝ දුරය. මීට දශක දෙක-තුනකට පෙර පොළට ගෙන ගිය පන් මල්ල, රෙදි උරය වෙනුවට අද සැම දෙනාම ඉතා පහසුවෙන් සිලි මලු භාවිත තරති; කෙසෙල් කොළයක වෙනුවට පොලිතීන් කොළයක බත් ඔතාගෙන යති. මේවා සියලු දෙනා දන්නා, සියලුදෙනා හෙළා දකිනා පරිසර දූෂණයට හේතු වන පොදු කාරණාය‍. එසේ නම් දිනකට කසළ ටොන් හත්-අටසියයක් කොළොන්නාවට, කරදියානට ගෙන එන්නේ කෙසේද? අප අනුන්ට වැදි බණ කියමින් පොලිතීන් කොළවල කෑම ඔතාගෙන එන නිසාය; අපේ ගෙදර කුණු පාරට දමන නිසාය; එසේ දමන කැලි-කසළ අඩුම තරමින් වීදුරු, ප්ලාස්ටික්, පොලිතීන් හා දිරාපත් වන ද්‍රව්‍ය වශයෙන් වෙන් කිරීමට සිතන්නේ වත් නැති නිසාය; නගර සභාවේ කුණු ට්රැක්ටරයට බනිමින් අප වැරැදි කරන නිසාය.

විසඳීමත් අ‍ෙපන් තමයි

මේ පිළිබඳ සාමාන්‍ය පුරවැසියකු සිතිය යුත්තේ කෙසේද? රජය සිතිය යුත්තේ කෙසේද? යන්න පිළිබඳ පෞද්ගලික බැංකුවක විධායක නිලධාරියකු වන කුසල් පෙරේරා මහතා යෝජනාවලියක් ඉදිරිපත් කළේය. පරිසර හිතකාමී ආදි ආනන්දීයයකු ලෙසත් කළමනාකරණ ක්ෂෙත්‍රයේ ප්‍රවීණයකු ලෙසත් ඔහු මේ ප්‍රශ්නය දකින්නේ නිවෙසේ සිට රජය දක්වා වූ කළමනාකාරීත්වයේ අවිධිමත් බවට හොඳ උදාහරණයක් ලෙසයි. කුසල් පෙරේරා මහතාට අනුව රටේම කසළ ප්‍රශ්නය විසඳීමට ගත වන්නේ එක දවසකි.

“කසළ ප්‍රශ්නයට උසස්-පහත් භේදයක් නෑ. සමහර ධනවතුන්ගේ දරුවන් පවා ඩෙංගු නිසා මිය ගියා. මෙය වළක්වන්න කළ යුත්තේ සුළු දෙයයි. අපි අපේ නිවෙසේත්, කාර්යාලයේත් කසළ ටික නිසි ලෙස වර්ග කර එකතු කරනවා නම් මේ ප්‍රශ්නය හෙට ඉඳන් විසඳන්න පුළුවන්. හැමෝම ප්‍රශ්නය ගැන කතා කරනවා මිස උත්තරයක් හොයන්න වෙහෙසෙන්නේ නෑ.

තිස් වසරක් තිබුණු යුද්ධය අවසන් කරන්න මුළු ජනතාවම එක‍්රොක් වුණා නම් මේ ප්‍රශ්නය විසඳන්නත් ඒ වගේ එක් වන්න බැරි ඇයි? දිනකට කොළඹ එකතු වන කසළ ටොන් ගණනින් තුනෙන් එකක් විතර තිබෙන්නේ දිරාපත් වන ද්‍රව්‍ය. ඒවා පමණයි දිනපතා එකතු කළ යුත්තේ. වීදුරු, ප්ලාස්ටික් වැනි දේ ගෙදරක හැමදාම එකම ප්‍රමාණයෙන් එකතු වන්නේ නෑ. ඒවා කලවමේ කසළ මල්ලට දමන නිසයි, කුණු ඔය ආකාරයේ ප්‍රශ්නයක් වී තිබෙන්නේ. පොලිතීන් වැනි ද්‍රව්‍ය සමඟ ඉඳුල් ‍එකතු වුණාම ඒවා නැවත භාවිත කරන්න බෑ. ඒ නිසා ප්‍රතිචක්‍රීකරණය කිරීමට සුදුසු ආකාරයෙන් නිවෙසේදීම ඒ ඒ ද්‍රව්‍ය වෙන් කර දෙනවා නම් පළාත් පාලන ආයතනවලටත් එය පහසුවක්.

මේ කටයුත්තට ජනතාව උනන්දු නොවන්නේ පළාත් පාලන ආයතනවල නොසැලකිල්ලත් හේතු වනවා. මේ සඳහා නීති-රීති දැමීමෙන් පලක් වෙයි කියා හිතන්න බෑ. මොකද: ඒවා සම්මත වන්න කොපමණ කාලයක් ගත වේදැයි කියන්න බැරි නිසා. කළ හැකි හොඳම දේ කසළ වර්ගීකරණය කර දෙන නිවෙස්වලින්මුදල් අය නොකර කසළ රැගෙන යෑමටත්, කලවමේ කුණු දෙන නිවෙස්වලින් මුදලක් අය කිරීමටත් ක්‍රමවේදයක් සැකසීමයි.

එයින් ආදායමක් ලැබෙනවා වගේම ජනතාවත් කසළ වෙන් කිරීමට උනන්දු වනවා. ඒ ආකාරයට සැම නිවෙසකම, ආයතනයකම කසළ විධිමත් ලෙස බාර දීමට හුරු කළොත් හෙට ඉඳන් අලුතෙන් එකතු වන කසළ ප්‍රශ්නයට විසැඳුමක් ලැබේවි.”

ර‍ටේ සෑම පුරවැසියකුම එලෙස කසළ පිළිබඳ නිවැරැදි ආකල්පයකට එළැඹෙන්නටත් යොමු වන්නේ නම් තවත් කොළොන්නාවක්, කරදියානක් බිහි වීම වළකිනු ඇත. ඔහුගේ යෝජනාව තවත් ඉදිරියට ගෙන යමින් කසළ නිසි ලෙස වෙන් නොකරන්නන්ගෙන් මුදල් අය කිරීමටත්, විධිමත්ව කසළ ඉවත ලන්නන්ට මුදල් ගෙවීමටත් ක්‍රමයක් ඇති කිරීමට වුව රජයට අවශ්‍ය නම් හැකියාව ඇත.

එසේම කුණු කන්දෙන් බඩ වඩාගන්නා ජාවාරම්කරුවන් පිළිබඳ නිසි පියවර ගැනීමද මෙය විසැඳීමට අත්‍යවශ්‍ය කරුණකි. දේශපාලනඥයන්ද කසළ කඳු අසල දුක් විඳින මිනිසුන් වෙනුවෙන් කිඹුල් කඳුළු සලමින් ඒ දුක විකුණා බලයට ඒමට වඩා, මේ ව්‍යසනයට සැබෑ පිළිතුරක් සෙවීමට කටයුතු කරන්නේ නම් දවසින් කෙසේ වෙතත් ඉතා කෙටි කලකින් මේ ප්‍රශ්නය විසැඳීමට හැකි වනු නොඅනුමානය.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2016 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]