![]() ![]() |
||
හොස්ටල් කොලම'එම් හතරයි බී ගල්ලෑල්ල'අපි පුංචි කාලේ පුංචි පන්තිවලදි අකුරු ලිවුවෙ ගල්ලෑල්ලේ. මං මුලින් ම ලියපු ගල්ලෑල්ලේ ස්වභාවය මට අදටත් මතකයි. අඟලක් විතර පළල ලී රාමුවකින් වටවුණු, අඟල් දහයක් විතර උස, අඟල් අටක් විතර පළල කළු පාට ලෑල්ලක්. වටේ රාමුව ලී බව පැහැදිලි වුණාට ගල්ලෑල්ල හදලා තියෙන්නේ මොනවගෙන්ද කියලා පැහැදිලි නෑ. මට මතක විදියට ඒකේ ඝනකම මිලිමීටර් තුන හතරකට වැඩිය නෑ. ඒ වුණාට ඒක හොඳ ශක්තිමත්, දිලිසෙන තද කළු පාට එකක්. හැබැයි බිම වැටුණොත් නම් කැඩෙනවා. ලී රාමුවේ කොන් හතර වද්දලා තියෙන්නෙ සරල ක්‍රමයකට. ලී කෑලි හතරේමඇතුල් පැත්තෙන් තියෙන පුංචි කාණුවට අමතරව උස පැත්තේ ලීවල උඩ - යට කාණුව එළියටම කපලා තියෙනවා. පළල පැත්තේ ලීවල ඒ කාණුවට හරියට රිංගවන්න පුළුවන් විදියට තුනී කොටසක් නෙරලා තියෙනවා. ගල්ලෑල්ල කාණුවලට මැදි කරලා හතර පැත්තෙන් ලී කෑලි ටික හරියට තද කර ගන්න එක විතරයි තියෙන්නෙ. ගල්ලෑල්ල අබලන් වෙන කොට මේ රාමුව බුරුල් වෙලා ලෙඩ දෙනවා. සමහරුන්ගෙ ලී රාමුවේ එක පැත්තක් නෑ. ඒ ලීය වැටිලා. එක්කො කැඩිලා. සමහරුන්ගෙ රාමුව හොඳයි. ගල්ලෑල්ලේ කෑල්ලක් නෑ. සමහර අයගෙ මැද ලොකු සිදුරක් විදියට ගල්ලෑල්ල කැඩිලා. සමහරු මේක ඉක්මනටම කඩා ගන්නවා. ‘සූට්කේස්’වල පොත් දාගෙන ඉස්කෝලෙ එන ළමයි ගල්ලෑල්ල පරිස්සම් කර ගන්නවා. එහෙම පහසුකමක් නැති ළමයි පොතුයි ගල්ලෑල්ලයි අතේ අරගෙන යන කොට වැටිලා කැඩෙනවා. ඒ පරණම ගල්ලෑල්ලේ පතුරු යන ස්වභාවයකුත් තිබුණා. හැබැයි පස්සේ ඒ ගල්ලෑලි නැතුව ගියා. ඊළඟට ආපු ඒවා බාලයි. රාමුව කලින් වගේ වුණාට ලෑල්ල සිමෙන්තිවලින් වගේ හදලා තිබුණෙ. හොඳම කළු පාට තිබුණෙත් නෑ. මතුපිට කලින් එකේ වගේ මැදපු ගතිය තිබුණෙත් නෑ. රළු ගතියක් තිබුණෙ. ඒක කැඩෙන කොට දෙකටම කැඩුණා. ලී රාමුවත් බාල වෙලා තිබුණා. ගල් කූරුත් එහෙම තමයි. පරණ උණ කටුවක් විතර ඝනකම අඟල් හතරක් විතර දිග කූරක්. මුල් කාලේ ගල් කූරු, ලියන කොට කැඩෙන්නෙ නැතුව ගෙවිලා යනකම් ම තියාගන්න පුළුවන් වුණා. ඒ වුණාට පස්සෙ ආපු ඒවා ඉක්මනින් කැඩුණා. එතකොට බාග ගල් කූරුවලින් ලියන්නත් අමාරුයි. අඟල් දෙකක් විතර දිග චූටි කූරකින් ලියන්නෙ කොහොමද? ඒ වුණත් හුඟක් ළමයි ලිවුවෙ එහෙම තමා. පොත්වල පැන්සලෙන් ලියන්න මට හම්බ වුණේ තුනේ පන්තියෙදි. ‘ගල්ලෑලි සමය’ එතනින් ඉවර වුණා. හතර - පහ - හය පන්තිවලදි දිගටම පැන්සල සහ පොත පාවිච්චි වුණා. තීන්ත පෑනත් මේ වෙන කොට ඇවිත් තිබුණා. හුඟක් ළමයි ළඟ තිබුණෙ ‘සියල්’ පෑනයි, ‘පාකර් කුවින්ක්’ තීන්ත බෝතලයයි. නිල්, කළු පාට දෙකේම තීන්ත තිබුණා. අපේ තාත්තලාගේ කාලේ ‘කටු පෑන්’ පාවිච්චි කරලා තිබුණට, අපේ කාලෙට එනකොට ‘උල්පත් පෑනට’ මාරු වෙලා තිබුණා. තීන්ත වැඩෙත් ලේසි නෑ. ලිය ලියා ඉන්න කොට තීන්ත ඉවර වුණාම හරිම අකරතැබ්බයයි. එතකොට තීන්ත බෝතලේ ගෙනල්ලා නැත්නම් යාළුවෙකුගෙ තීන්ත බෝතලය ඉල්ලා ගෙන පරිස්සමෙන් මූඩිය ඇරගෙන, පෑනේ උඩ කොටස සීරුවෙන් ගලවාගෙන යට තීන්ත තියෙන කොටසට තීන්ත දාගන්න එක ලේසි වැඩක් නෙමෙයි. පෑන් තුඩ තියෙන කොටසටම හයි කරපු තීන්ත පිරෙන රබර් කොටස ප්‍රෙස් කරලා අල්ලාගෙන ඉන්න ගමන් පෑන් තුඩ තීන්ත බෝතලයට ඔබලා, තද කර ගෙන ඉන්න රබර් කොටස එක සැරේම අත ඇරියාම ටක් ගාලා තීන්ත ඇතුළට පිරෙනවා. එක සැරේට ඇති තරමට තීන්ත ආවේ නැත්නම් ආයෙම මිරිකන කොට ඒ ආපු තීන්ත ටිකත් ආපහු බෝතලේටම යනවා. ආයෙත් තද කරලා මිරිකලා අත ඇරියාම තීන්ත උඩට එනවා. උඩටම පිරුණෙ නැතත් ප්‍රමාණවත් තරමකට පිරුණොත් ඇති. මේ රබර් කොටස නැතිව පෑනේ යට කොටසට කෙළින්ම තීන්ත පුරවන පෑන් ජාතිත් තිබුණා. ‘කේජී’ පෑන මට මතක විදියට එහෙම එකක්. ඒකේදි යට ‘බැරල්’ එක පිරෙන්නම වුණත් තීන්ත පුරවගන්න පුළුවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ පුරවාගන්න විදිහ. තීන්ත බෝතලේ හරවලා පෑනට වක්කරන්න ගියොත් හැම තැනම තීන්ත වැටෙනවා. ඇඳුම්වලත් වැටෙනවා. ඒ කාලෙ හුඟක් ළමයින්ගෙ ඉස්කෝල ඇඳුම්වල කොහේ හරි තැනක තීන්ත පැල්ලමක් තියෙනවාමයි. එහෙම නොතිබුණොත් ඒක ලෝක පුදුමයක්. එහෙම වෙන්නෙ පෑනට තීන්ත පුරවන්න ගිහින් හැලිලා විතරක්මත් නෙමෙයි. තව ජනප්‍රිය ක්‍රමයකුත් තිබුණා. ඒ තමයි එක්කෙනෙක් තව කෙනෙක් එක්ක රණ්ඩු වුණොත් ලේසියෙන්ම කරන දේ හෙවත් පෑනේ ක්ලිප් එක ගලවලා අනෙක් ළමයගෙ ඇඳුමට තීන්ත විදින එක. තරහකාරයාගෙ ඇඳුම පැත්තට පෑනේ තුඩ තියෙන පැත්ත හරවලා තදින් ඉහළ පහළ ගස්සපුවාම එයාගෙ ඇඳුම පුරා තීන්ත පැල්ලම් හැදෙනවා. ඒවා ඉතින් සමහර විට හේදුවාට යන්නෙත් නෑ. දවසක් හොස්ටල් එකේදි හවසක අජිත් ධම්මිකයි කරඳවලයි රණ්ඩු වෙලා අජිත් ධම්මිකයා කරඳවලගෙ ඇඳුමට තීන්ත මෝස්තරයක් දුන්නේ කරඳවලගෙ පෑන උදුරා ගෙන ඒකෙන්මයි. කරඳවලට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් හින්දා හතේ පන්තියෙ ඉන්න කොටත් චිත්‍ර කතා ඇන්දා. ‘සියල්’ තීන්ත පෑනෙන් තමයි ඇන්දෙ. අජිත් ධම්මික, කරඳවල ඇඳ ඇඳ හිටිය චිත්‍ර කතාවටත් එක්කමයි තීන්ත විද්දෙ. කණුගලට තිබුණු, ඒ කාලේ ජනප්‍රිය වෙලා තිබ්බ ‘අසූවයි විස්සෙ’ ටෙට්රන් කොට්න් ලස්සණ කමිසෙට සිරිපාලයා දවසක් තීන්ත විද්දහම කණුගලට ඇඬුණා. කොස්තා සර් සිරිපාලට දුන්න දඬුවම තමයි දිනපතා නාන එක. හවස පල්ලෙහා තියෙන ‘විලියම් ටෑන්ක්’ එකෙන් නාලා ඇවිත් කොස්තා සර්ට කියන්න ඕනේ. සිරිපාලයා නාන්නෙ නැති හින්දා, කණුගලට තීන්ත විද්ද එකේ දඬුවම වුණේ ඒක. ඉතින් හතේ පන්තියෙදි තමයි මට ආපහු ගල්ලෑල්ල මතක් වුණේ. ඒ කාලේ වෙන කොට ගල්ලෑලි ඇන්ටික් වෙලා ඉවරයි. ඒ වුණාට හතේදි මාත් එක්ක එක පන්තියෙ හිටපු හොස්ටල් යාළුවා හින්දා ආපහු ගල්ලෑල්ල මතක් වුණා. යාළුවා තමයි ‘මැණික්කිටිහාමි මුදියන්සේලාගේ මංගල මහිංසාස බණ්ඩාර ගල්ලෑල්ල.’ හතේ පන්තියෙදි අපේ පන්ති භාර සර් වුණේ සිරිසේන සර්. එයා උදේ නම් ලකුණු කෙරුවෙ අමුතුම ක්‍රමයකට. එයා පිළිවෙළට කියෙව්වෙ ශිෂ්‍යයාගේ ඇතුළත් වීමේ අංකය. ඒක කියන කොට අදාළ ළමයා තමන්ගෙ නම හයියෙන් කියන්න ඕනෑ මුල් අකුරු එක්ක. මගේ ඇතුළත් වීමේ අංකය කියන කොටම මං ‘එස්පීපී ඒකනායක’ කියලා හයියෙන් කියනවා. ඉතින් ඒ විදියට මංගලගේ ඇතුළත් වීමේ අංකය කියපු ගමන් එයා ‘එම්එම්එම්එම්බී ගල්ලෑල්ල’ කියලා කියනවා. මේක වේගෙන් කියන කොට එයාටමත් පැටලෙනවා. පන්තියෙ හැමෝටම හිනා යනවා. ටික දවසක් යන කොට මංගලට කොල්ලො ‘ආ... එම්එම්එම්එම්බී...’ කියන්න ගත්තා. සිරිසේන සර්ටත් මේක හරි ගියේ නෑ. අන්තිමට එයාම කිවුවා මේක වෙනස් කරමු කියලා. මංගලට එයාගෙ අංකය ඇහෙන කොට ‘එම් හතරයි බී ගල්ලෑල්ල’ කියලා කියන්න කිවුවෙ සිරිසේන සර්. ඒ අනුව කොල්ලන්ගෙ ආමන්ත්‍රණයත් මාරු වුණා. එදා ඉඳලා එයා ‘එම් හතරයි බී’ වුණා. පිට්ටනියෙදි සෙල්ලම් කරන කොට සමහරුන්ට තියෙන දෝෂයක් තමයි වෙන එක්කෙනෙක් කරන්න ඕන දේට තමනුත් ඒ අදාළ ඉරියව්ව පාන එක. ඒ කියන්නෙ ෆුට් බෝල් මැච් එකකදි නම් ක්‍රීඩකයා කික් එකක් කරන කොට මැච් එක බලාගෙන ඉන්න කෙනෙකුත් කකුල උස්සලා හිතින් මවා ගත්ත බෝලයකට කික් කරන එක. මේකට ඒ කාලේ කොල්ලො කිවුවෙ ‘සයිබු’ කියලා. මංගලත් සෑහෙන්න සයිබු කෙළියා. හවස පිට්ටනියේ සොෆ්ට් බෝල් ක්‍රිකට් මැච් ගහනකොට මංගල ෆීල්ඩ් එකේ ඉන්නවා නම්, බෝලය හතරේ සීමාව පැත්තට යනවා නම් ඒ පැත්තෙ ඉන්න අදාළ ක්‍රීඩකයා ඒ පැත්තට දුවනකොට වෙන පැත්තක ඉන්න මංගලත් ඒ බෝලෙට දුවනවා. දවසක් අපි බෝගම්බර ග්‍රවුන්ඩ් එකේ රගර් මැච් එකක් බල බලා ඉන්න කොට අපි චියර් කර කර හිටියෙ ලයින් එක දිගේමයි. අපි ඉන්න තැන එහෙමම ඉඳන් කෑගහන කොට මංගල බෝලෙ යන පැත්තට ලයින් එක දිගේම දුවනවා. එක වෙලාවක පැනල්ටි එකක් දුන්නහම මැච් එකේ කට්ටිය ලෑස්ති වෙන කොට මංගල ලයින් එකේ දණගහගෙන මීටර් සීයට ලෑස්ති වෙනවා වගේ පෙනුණා. රෙෆ්රි සිග්නල් දෙන කොටම මූ ග්‍රවුන්ඩ් එක මැද්දට දුවන්න වගේ පැන්නා. අපි ඔක්කොම මේක බලාගෙනයි හිටියෙ. දමිත ටක් ගාලා පැනලා මංගලව අල්ලා ගත්තා. එතකොට තමයි එයාට තේරුණේ තමන් ‘සයිබු’ විත්තිය. ගල්ලෑල්ලෙන් පටන් ගත්ත අපි පොත් පෑන්වලට ඇවිත් ඊළඟට ටයිප් රයිටරෙන් කොම්පියුටර් ටයිපින්වලටත් ඇවිත් ඊට පස්සෙ මොබයිල් ෆෝන් හරහා ටැබ්ලට්වලටත් ආවා. හෝඩියේ දී ගල් කූරෙන් ලියපු ලී රාමුවෙ ගල්ලෑල්ල වගේ ම අද ඉලෙක්ට්‍රොනික් පෑනෙන් ලියන අයිපෑඩ් ගල්ලෑල්ලත් මොන මොන තාක්ෂණික වෙනස්කම් තිබ්බත් පෙනුමෙන් එකම අච්චුවේ කියලයි මට නම් හිතෙන්නේ. අවුරුදු හතළිහකට පස්සෙ ලෝකය ආපහු කැරකිලා එතෙන්ටම ඇවිල්ලා වගේ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |