කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
අලි-මිනිස් ගැටුමට ගම් මට්ටමෙන් විසඳුම්

අලි-මිනිස් ගැටුමට ගම් මට්ටමෙන් විසඳුම්

විදුලි වැටක් කඩා දමන අලි­යෙක්

දශක ගණනාවක් තිස්සේ තිරසාර විසඳුමක් නොමැතිව දිනෙන් දින උග්‍ර වන අලි මිනිස් ගැටුම නිසා විනාශ වන මිනිස් ජීවිත මෙන් ම වන අලින්ගේ ජීවිත සංඛ්‍යාව ද විශාලය.

මේ දක්වා ලබා දී ඇත්තේ තාවකාලික විසඳුම් පමණක් වන අතර, එමඟින් සිදුවී ඇත්තේ මහජන මුදල් නාස්තියක් හා ගැටුම තව තවත් උග්‍ර වීමකි. අලි - මිනිස් ගැටුම වඩාත් උග්‍රව පවතිනුයේ වයඹ වනජීවි කලාපය තුළය. මෙම කලාපයට කුරුණෑගල, පුත්තලම සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්ක ඇතුළත් වේ. මෙම දිස්ත්‍රික්ක තුනට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැට අටක් අයත් වන අතර එම කොට්ඨාස අතුරින් අලි - මිනිස් ගැටුම දැඩි ලෙස වර්ධනය වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පොල්පිතිගම, ඇහැටුවැව, ගල්ගමුව, ගිරිබාව, මහව, අඹන්පොළ, නිකවැරටිය, රස්නායකපුර, කොටවෙහෙර සහ කොබෙයිගනේ යන කොට්ඨාස දහය තුළය.

මිනිස් මරණ හා වන අලි මරණ දෙක තුනක් සෑම මසකම මෙකී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් වාර්තා වේ.

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී වන අලින්ගේ ජීවිත සම්බන්ධයෙන් වගකිව යුතු අංශ කිසිදු අවධානයක් යොමුකර නොමැති අතර ගොවි ජනපද පිහිටුවා පදිංචි කරවන ලද පවුල් සිය බිම් ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා අවට පිහිටි වනාන්තරය එළිපෙහෙළි කොට හේන් ගොවිතැනට හුරු විය. මෙම තත්ත්වය යටතේ වන අලින්ගේ වාස භූමිය තව තවත් කුඩා විය.

ගොවීන්ගේ සමාජ සේවා
සංවි­ධා­නයේ සභා­පති පති­රණ

වන අලින් ගම්මාන කරා පැමිණෙන්නේ මිනිසුන්ට පහරදීමේ අරමුණින් නොවේ. ඔවුන් පැමිණෙන්නේ වනාන්තරයේ ඔවුන්ට අවශ්‍ය ආහාර හා ජලය නොමැති වීම නිසා ඒවා සොයාගෙනය. වන අලියෙකුට දිනකට ජලය ලීටර් 150ක් පමණ අවශ්‍ය වේ. එසේ ම ආහාර කිලෝග්රෑම් 180 - 200 අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. මේ අනුව පනස් දෙනෙකුගෙන් සමන්විත වන අලි රංචුවකට අවශ ජලය හා ආහාර ප්‍රමාණය කොපමණවේදැයි අපට සිතාගත හැකිය.

ජලය හා ආහාර සොයා ගම්වදින වන අලි ගොවීන්ගේ වගා විනාශ කරති. එම විනාශය නුරුස්නා ගම්වාසීහු ඔවුන් පළවා හැරීමට හෝ මරා දැමීමට පෙලඹෙති. වෙඩි තැබීම, වස දීම, හක්ක පටස් ඇටවීම ආදි උපක්‍රම මඟින් වන අලින් ඝාතනයට ලක් වන අතර, විදුලි සැර වැදීමෙන් සහ දුම්රියේ හැපීමෙන් ද ඔවුන් මරණයට පත් වේ. නිසි වයස ඉක්මවීමට පෙර ලෙඩ රෝගවලින් මිය යන වන අලින්ගේ සංඛ්‍යාව ඉතා අල්ප වන බැව් වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

අලි - මිනිස් ගැටුම වැළැක්වීම සඳහා මෙතෙක් අනුගමනය කර ඇති උපාය මාර්ග මෙසේ ය.

* විදුලි වැට ඉදිකිරීම.

* ගැඹුරු අගල් කැපීම.

* තල් වැට ඉදිකිරීම (ඉතා සුළු වශයෙන්)

විශාල වියදමක් දරා විදුලි වැටවල් ඉදිකළ ද, නිසි නඩත්තුවක් නොමැතිකම නිසා බොහෝ වැටවල් අක්‍රිය තත්ත්වයක පවතී. විවිධ උපක්‍රම යොදා විදුලි වැටවල් කඩා දැමීමට වන අලි පෙලැඹී සිටිති.

අගල් කැපීම මඟින් ද වන අලින්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වී ඇත. එකී ගැඹුරු අගල්වලට ඇද වැටී ඒවායේ හිරවී වන අලින් මියගිය අවස්ථා ගැන ද වාර්තා වී තිබේ. තැන තැන ඉදිකර ඇති වගා ළිං තුළට ඇද වැටෙන වන අලින්ගේ සංඛ්‍යාව ද සුළුපටු නොවේ.

කාලාන්තරයක් තිස්සේ නොවිසඳී තිබෙන මෙම දැවෙන ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාදිය හැකි විශේෂ ව්‍යාපෘති වාර්තාවක් “අලි - මිනිස් සහජීවනය” යන තේමාව යටතේ පොල්පිතිගම ගොවීන්ගේ සමාජ සේවා සංවිධානය මඟින් සකස් කර තිබේ. එම සහජීවනය ගොඩනැඟීමටත්, අලි - මිනිස් ගැටුම තිරසාර ලෙස විසඳීමටත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් හැකි වන බැව් එකී සංවිධානයේ සභාපති එච්. පී. පී. පතිරණ මහතා පවසයි. සමාජ සේවා ව්‍යාපෘති රැසක් සාර්ථකව ක්‍රියාත්මක කර ඇති පතිරණ මහතාගෙන් අපි මේ පිළිබඳව විමසුවෙමු.

“ශ්‍රී ලංකාවේ වන අලින් වඳවී යෑමේ තර්ජනයකට මුහුණ පා සිටිනවා. 2012 වසරේ වනජීවි දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ලද සමීක්ෂණයට අනුව දැනට මෙරට සිටින වන අලින්ගේ සංඛ්‍යාව 5879 යි. අපේ ව්‍යාපෘතියේ අලි - මිනිස් ගැටුම විසඳීම සඳහා උපාය මාර්ග හතරක් ඇතුළත් වෙනවා.

බිම් බෝම්බ­ය­කට අසුවී මිය­ගිය වන අලි­යෙක්

01. වනාන්තර තුළම වන අලින් සඳහා අවශ්‍ය ජලය හා ආහාර සුලභ කිරීම. (වන අලින් වැඩි වශයෙන් කෑමට ප්‍රිය කරන ගස් වර්ග වගා කිරීම සහ ජලාශ ඉදිකිරීම, නළ ළිං ඉදිකිරීම ද අවශ්‍ය වේ.)

02. වන අලින් නිරතුරුව ගමන් ගන්නා මාර්ගවල (Elephant Corridors) ආහාර හා ජලය සුලභ කිරීම (මෙමඟින් වන අලින්ගේ ගමන එම ස්ථානවලින් ම නතර කළ හැකිය.

03. වන අලින් නොකන භෝග වර්ග හැකිතාක් සිය ගෙවතුවල වගා කිරීම සඳහා ගොවීන් දැනුම්වත් කිරීම. ඉඟුරු, දෙහි, දොඩම්, තිබ්බටු, බෝගන්විලා, පතොක් වර්ග, තල සහ තල් වැවිය හැකිය. තිබ්බටු වැනි භෝගවලින් හොඳ ආදායමක් ලබාගත හැකිය. මෙම භෝග ගෙවත්තේ මායිමේ වැට අයිනට වන්නට වඩා කිරීම වඩාත් යෝග්‍ය වේ.

04. වන අලියාගේ වටිනාකම හා මෙම උවදුර ප්‍රකෝපකාරී නොවී විසඳිය හැකි උපාය මාර්ග සම්බන්ධයෙන් ගොවීන් දැනුම්වත් කිරීම (මෙය රැස්වීම්, වැඩ මුළු ප්‍රදර්ශන හා දේශන මඟින් කළ හැකිය.)

මීට අමතරව වගා කළ හැකි ප්‍රදේශයන්හි පමණක් තල් ගස් වවා තල් වැට ඉදිකිරීම මඟින් ද අලින්ගේ ගම් වැදීම අවම කළ හැකියි. මෙම ක්‍රමය දැනට පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙනවා.

“වනාන්තර ආසන්නයේ සමහර ප්‍රාදේශීය සභා මඟින් පවත්වාගෙන යන කැලිකසළ බහාලන ස්ථාන කරා පැමිණ පොලිතීන් ඇතුළු හානිකර අපද්‍රව්‍ය ගිල දැමීමට වන අලින් පුරුදු වී සිටිනවා. මෙම තත්ත්වය ද වන අලින්ගේ ජීවිතයට තර්ජනයක්. ඒ සම්බන්ධයෙන් ද වගකිව යුතු අංශ අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

“අපේ ව්‍යාපෘති වාර්තාව සකස් කර ඇත්තේ වසර පහකට අධික කාලයක් තිස්සේ වනාන්තරය තුළ ඇවිද වන අලින්ගේ ජීවන රටාවන් හා හැසිරීම් සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයක් මඟින් රැස්කර ගත් කරුණු පදනම් කර ගෙනයි. මෙය ප්‍රායෝගික වැඩ සටහනක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ශක්තිය අප සංවිධානය සතුව තිබෙනවා. මෙය ක්‍රියාත්මක කෙරෙනුයේ ප්‍රජා සහභාගිත්වය ඇතිවයි. සිවු අවුරුදු ව්‍යාපෘතියක් වන මෙහි ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන තුන්සිය හැටක්.

මෙම ව්‍යාපෘති වාර්තාව රජයේ වගකිව යුතු අංශ වෙත ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

සිය ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දැක්වූ පතිරණ මහතා එසේ පැවැසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]