කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
අපේ මිගාර සර්ට මොකද වුණේ මිස්

අපේ මිගාර සර්ට මොකද වුණේ මිස්

නාලක මිහිරිපැන්න කලබලයෙන් ඔහුගේ‍ මෝටර් රථයට නැග ගන්නා අයුරු මම යන්තමින් දුටුවෙමි. ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටි ඔහු මා දකින්නට නැතැයි මා අනුමාන කළේ ඔහුගේ මෝටර් රථය අප ගමන් කරමින් සිටින දෙසට නොව අනෙක් පසට හරවා ගනිද්දීය. මම සැනසුම් සුසුමක් හෙළවෙමි. ඔහු මා පසුපසින් පැමිණෙතැයි මා සිතූ සිතිවිල්ල නිවැරදි නොවන බව මට පසක් වුව ද, ඒ සා කලබලයකින් ඔහු පැමිණ ‍මෝටර් රථයට නැග ගත්තේ මන්දැයි මම කල්පනා කළෙමි.

“මිස් අපේ මිගාර සර්ගෙ ඥාතියෙක්ද?”

ත්‍රිරෝද රථයේ රියදුරා හදිසියේම ප්‍රශ්න කළේය.

“හ්ම්.” මම පිළිතුරු දුනිමි.

“මම හිතුවා. මැඩම්ගෙන් නම් මම පුංචි කාලෙ ඉංග්‍රීසිත් ඉගෙනගෙන තියෙනවා.”

රියදුරා පිළිසඳරකට සූදානම් වුව ද, වැඩි කතා බහ මට රිසි නොවීය. මා නිහඬව ඉවත බලාගෙන සිටියද ඔහු සිය කතා බහට විරාමයක් තැබීමට සූදානමක් නොමැති සේය.

“අප්පා... ඒ දවස්වල මැඩම් හරි සැරයි. හැබැයි එහෙම සැර වුණු එකත් හොඳට ගියා. ඉංග්‍රීසියෙන් කතා බහ කරන්න අපි පුරුදු වුණේ මැඩම් නිසා.”

රියදුරා හිස මඳක් හරවා මදෙස බැලුවේය. මා තම කතාබහට සවන් යොමු කර නැතැයි ඔහු සිතන්නට ඇත.

“සැර වුණාට මැඩම් හරි හොඳයි.” මම පැවසුවෙමි.

“ආයෙත් අහලා මිස්.”

වේගයෙන් පැමිණෙන මෝටර් රථයකට ඉඩ දුන් රියදුරා පැවසුවේය.

“මැඩම්ගෙ පුතා බැඳපු ඔය නිළිය ඉන්නවා නේද? මිස් මිගාර සර්ගෙ නෑදෑ කෙනෙක් නිසා කියන්න ඕන නෑනේ පිළිවෙළ? අපරාදෙ. අපූරු පවුල විනාශ වුණා.”

මිගාර පිළිබඳවත්, මාතාවගේ පුත්‍රයා පිළිබඳවත් මෙම රියදුරාගෙන් තොරතුරු අසා දැන ගැනීමට මට සිත් වුව ද, එය නොකළ යුතු යයි අනෙක් අතට මගේ යටි සිත මට පැවසුවේය. මම නිහඬව සිටියෙමි. ජනාකීර්ණ වීදියකට ත්‍රිරෝද රථය අවතීර්ණ වූයෙන් කතා බහ කිරීමට වඩා සැලකිල්ලෙන් රිය පැදවීමට රියදුරාට සිදු විය.

“මෙන්න මිස් බැංකුව. මෙතනින් මිස්ව දාලා යන්න කියලයි මිගාර සර් කිව්වෙ.”

“බොහොම ස්තුතියි. කීයද මගේ ගණන?”

“මිස් වද වෙන්න එපා. මිගාර සර් මගේ ගාස්තුව ගෙවාවි. මං යන්නම්.”

ත්‍රිරෝද රථයේ රියදුරා මගෙන් සමුගෙන යන්නට ගියේය. මම බැංකුව තුළට ගමන් කළෙමි. එහි එතරම් සෙනඟක් නොවූයෙන් ඉක්මනින් මගේ කාර්යය කර ගැනීමට හැකිවෙතැයි මට සිතිණ. මුදල් ලබා ගැනීම පිණිස පෝරමයක් පුරවමින් සිටිය දී කිසිවෙකුගේ අතක පහස මගේ උරහිසට දැනිණ. මිගාර සිනාමුසු මුහුණින් යුතුව මා පසුපස සිටගෙන සිටියේය.

*************

සැන්දෑ වනතුරුම මම එකදිගටම මාතාව සමීපයේ රැඳී සිටියෙමි. වෙනදා කමලා විසින් කරනු ලබන වැඩ කොටස පවා ඇ‍යගේ අවසරය මත මා අතින්ම ඉටු කිරීමට මට සිතුණේ මන්දැයි මම නොදැන සිටියෙමි. කමලා පවා මගේ වෙනස පිළිබඳව පුදුමයට පත් වන්නට ඇතත් ඇය ඒ පිළිබඳව කිසිදු විමසීමක් නොකළාය. අවසානයේ මාතාව ගේ මුහුණ සෝදවා, ඇඳුම් අන්දවා අවසන් වනවිට කමලා බුදුන් වඳින දෑ සූදානම් කරගෙන කාමරයට පැමිණියාය.

“අද නම් මිස්ට හොඳටෝම මහන්සි ඇති.”

මදෙස අනුකම්පාවෙන් බැලූ කමලා පැවසුවාය.

“දැන් ඉතින් මිස්ව නිදහස් කරන්නම්.”

“මේ දරුවා කිසිම කෙඳිරිල්ලක් නැතිව හැමදේම කරනවා කමලා.”

මාතාව දෙනෙත්වල කඳුළු පුරවාගෙන පැවසුවාය.

“කීදෙනෙක් මාව බලාගන්න මේ ගෙදරට ආවද? ඒ හැ‍මෝටම මාව කරදරයක් හිරියැරයක් වුණා. මට බැන්නා. සැරකරා. මොන කරදරයක්ද කියලා මට ඇහෙන්නම කිව්වා. කමලයි, මනහාරියි මට සලකන්නෙ මගේම දරුවො වගේ.”

“අපිත් අම්මලාගෙ දරුවො. ඒ විදියට අමානුෂික වෙන්න තිබුණා අපිත් සදහටම මෙහෙම ඉන්නවා නම්. නේද මිස්?”

මම හිස සැලුවෙමි.

“මං හොස්පිටල් එකේ ඉඳලා අවට පස්සෙම සුබාව දැක්කෙ නෑ. කෝ සුබා? ගමේ ගිහින්ද?”

“ඔය පසුගිය දවස්වල ගමේ යන්න ගියේ.”

කමලා ඇසෙන නෑසෙන හඬින් පැවසුවේ ම‍ෙග් මුහුණ දෙස හොරැහින් බලමිනි. අද නගරයට යන අතරමගදී සුබා හමු වූ පුවත ඒ වනතුරුත් මා කමලා සමඟ පැවසුවේ නැත. මා සමඟ සාප්පු සවාරියේ යෙදෙද්දී ද, නිවසට පැමිණෙන අතරමගදී ද මා ඒ බවක් මිගාර සමඟ පවා පැවසුවේ නැත. කිසිවකු සමඟ ඇය හමු වූ පුවත පැවසීමෙන් තවත් ප්‍රශ්නයක් උද්ගත වීම වළක්වා ගැනීමට මට උවමනා විය.

“ගියා ගියාමයි. මොනවා වුණාද? මොනවා කරනවද කියලා දෙයියො තමයි දන්නෙ.”

මා සමීපයට පැමිණි කමලා මට ඇසෙන සේ පැවසුවාය.

“මොකෝ මිස් අපේ මිගාර සර්ට වුණේ?”

මල් වට්ටිය අත ගස්වන මුවාවෙන් මා අසලට පැමිණි ඇය නැවතත් ඇසුවාය. තමා නගරයේදී හමු වූ පුවත කිසිවකු හා නොපවසන්නැයි මිගාර කළ ඉල්ලීම නිසා ඔහු හමු වූ බව කමලා සමඟ පවසන්නට මට නොසිතිණ.

“වෙනදා මැඩම්ගෙ උපන් දිනේට මිගාර සර් හැමදෙයක්ම කරනවා. මෙදාපාර ඒකත් අමතක වෙලාද මන්දා.”

සුවඳ හමන පිච්ච මල් වට්ටියට අත ගැසූ මම නිහඬව සිටියෙමි. මා මිගාර පිළිබඳව කතා කිරීමට අකැමැත්තෙන් පසුවෙතැයි කමලා සිතන්නට ඇත.

“මමත් අනවශ්‍ය දේවල් මිස්ගෙ ඔළුවට දානවද මන්දා. එහෙනම් මිස් කාමරේට යන්න. මැඩම් වැඳලා ඉවර වුණාම මම‍ තේ අරන් එන්නම්. ඒ ගමනම අරකත් බලන්න පුළුවන්නෙ.”

කමලා වෙනුවෙන් මාතාවට ගෙන ආ උපන් දින ත්‍යාගය තවමත් ඇය නොදුටු බව මට සිහි වූයේ එවරය. මම මාතාවට වැඳ කාමරයට ගියෙමි. මෙතෙක් නොදැනුණ අන්දමේ වෙහෙසක් ඒ වනවිට මගේ ගතට දැනෙමින් තිබිණ. ඇඟපත දොවා කෙටි නින්දක් ලැබීමේ අවශ්‍යතාව මට තදින් දැනිණ. නාන කාමරයට යාමට සැරසෙත්ම මගේ ජංගම දුරකතනය නාද වන්නට විය. දුරකතනය තිරය මත අක්කාගේ මුහුණ විය.

“ඇයි?”

මම ඇසුවෙමි. මඳ වේලාවක් නිහඬව සිටි අක්කා කතා කරන්නට වූයේ ශෝකී ස්වරයකිනි.

“මනහාරි. වැඩකද ඉන්නෙ?”

“නෑ. දැනුයි මගේ වැඩ ඉවර වුණේ.”

“මම කතා කරොත් මිසක් එකම අක්කා කියලාවත් කතා කරන්න තරම් යුතුකමක් මනහාරි දන්නෙ නැති එක ගැනයි මට කනගාටු.”

“යුතුකම් කියන දේවල් මගේ අතින් විතරක් නෙමෙයි. අක්කා අතිනුත් මග ඇරිලා. මග ඇරිලා නෙමෙයි. අක්කා මග ඇරියා.”

“ඔයා කියන්නෙ මම අම්මට සැලකුවේ නැහැ කියලනේ. ඔයා නොදැන හිටියට අම්මා වෙනුවෙන් මං කරපු දේවල් අම්මා විතරයි දන්නෙ. නැත්නම් මහ ගෙදර මගෙ නමට ලියන්නෙ නැහැනේ.”

මට මේ කතා බහ නොරිසි විය. ඉක්මනින් දුරකතන සංවාදය නිමා කළ යුතු යයි මට සිතිණ.

“මට මහන්සියි. පස්සෙ කතා කරන්නම්.”

“මේ අහනවා මනහාරි. පස්සට කල් දාන්න ඕන නෑ. සුබ ආරංචියක් කියන්නයි කතා කරේ.”

“සුබ ආරංචියක්?”

“ගේ බලන්න විසිපස් දෙනෙක් විතර ආවා. හැමෝම කළේ එක ලක්ෂයක් හරි අඩුවට ඉල්ලන එක. පෙරේදා හැන්දෑවෙත් එක්කෙනෙක් ආවා. මං කියපු ගාණට කැමති වුණානේ.

“හොඳයි”

මා පැවසුවේ නොරිස්සුමෙනි.

“ලබන සතියෙ ගේ ලියනවා. දැන්වත් ගෙදර එනවා. ඔයා ගැන නොබලා ඉන්නෙ නෑ. මං සල්ලි ටිකක් දෙන්නම්.”

“මට ඕනැති සල්ලියක් නෑ.”

“ආන් අර මනුස්සයා ලියුම් පිට ලියුම් එවලා.”

“අර මනුස්සයා කිව්වෙ?”

“ඩිංගිරි මැණිකා.”

‍මගේ සිත ‍හෝස් ගා ඇවිළිණ. මා මෙ‍ෙතක් කලක් ඩිංගිරි මැණිකා අමතක කළා ‍නොවේදැයි පසුතැවිල්ලක් හා සංවේගයක් මගේ සිතට පිවිසුණේ සැණෙකිනි.

“දුක කිය කියා එව්වට මට උන්දැව ගෙනත් තියාගන්න විදියක් නෑ. ගෙදර ඉන්න උදවියට මදිවට තවත් කෙනෙක් ගෙනත් තියාගන්න පුළුවන්ද අද කාලෙ? මං ලියුම් ටික ඉරලා විසි කරලා දැම්මා.”

“අනේ පව්.”

මට කියවිණ. අක්කා හඬ නගා සිනාසුණාය.

“ඒක නෙමෙයි මනහාරි. අඩුම තරමෙ මඟුල් ගෙදරටවත් ඇවිත් යන්න එන්නෙ නැද්ද?”

“මඟුල් ගෙදර...”

ලබන සතියට


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]