කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
කටින් බෙර හඬ නඟමින් තේවාව ඉටු කළ මුදියන්සේ

කටින් බෙර හඬ නඟමින් තේවාව ඉටු කළ මුදියන්සේ

වික්‍රමසිංහ මුදියන්සේ රජතුමා බැහැදකින්න රජවාසලට ගියේ ය.‍ එතුමා සිටියේ ගැඹුරු කල්පනාවක නිමග්නවය. මුහුණේ කිසිම සතුටක් ප්‍රසන්න බවක් නැත. තිබුණේ දුකකි.

“අවසර... ඔබතුමාගේ හිතේ ලොකු කනස්සල්ලක් තියෙනවා වගේ මට පෙනෙනවා...”

“ඒ කනස්සල්ල උඹට නොපෙනෙනවා නම් තමයි පුදුමේ” මගෙ මුළු ජීවිතේටම සිද්ධ නොවුණු දෙයක් අද මට සිද්ධ වුණා... මුදියන්සේ...”

“අවසර... ඔබ වහන්සේගෙන්... අවසර ලැබෙනවා නම්...”මාත්... කැමැතියි දේවයන් වහන්ස ඒ ගැන දැනගන්න.

“ඊයෙ රෑ වැස්සෙ මුරුගසං වර්ෂාවක්නෙ මුදියන්සෙ. ඒ වැස්සට වැවේ තිබුණු ඔරු ටික ගහගෙන ගිහිල්ලා... බෙර ගහන පනික්කයො ඉන්නෙ වැවෙන් එගොඩ. ඒ මිනිස්සුන්ට එන්න විදියක් නෑ.‍ ඒ මදිවට මේ දවස්වල බෙර තියෙන්නෙත් ඒ මිනිස්සු ළඟ. මොන විදියකින් හරි දළදා හාමුදුරුවන්ට කරගෙන ආව තේවාව කඩ වෙන්නයි... යන්නෙ. ඒකයි මට දුක. මගෙ හිත වාවන්නෙ නෑ... මුදියන්සේ... කියමින් රජු සුසුම් හෙළුවේ ය.

“ඔබ වහන්සේ... ඒ ගැන හිතලා... මේ විදියට හූල්ලන්ඩ එපා... දළදා හාමුදුරුවන්ට අපි කොහොම හරි තේවාව කරමු දේවයන් වහන්ස.”

වික්‍රමසිංහ මුදියන්සේ කීවේ අධිෂ්ඨානශීලීවය.

“කොහොම තේවාව කරන්ඩද? මුදියන්සේ මං මෙච්චරම කියන දේ උඹට තේරෙන්නෙම නැද්ද? ඈ...”

“ඔබ වහන්සේ වඩින්ඩ ඕනෑ... මං එක්ක දළදා හාමුදුරුවො ගාවට...”

“හා... හා... යමංකො... යමංකො...”‍ රජතුමා ඉස්සර විය. රජතුමාත් මුදියන්සේත් දැන් දළදා හාමුදුරුවන් ගාව ය.

“දේවයන් වහන්ස. ඔබ වහන්සේත් මමත්, අපි කවුරුත් දළදා හාමුදුරුවන්ට කරන ගෞරවයෙ, භක්තියේ අඩුවක් අදත් අබ ඇටයක් තරමකින්වත් අඩුවක් නෑ... ඒක හිතේ තියාගෙන... මං... පුළුවන් විදියට බෙරගහන්නම්...”

‍“උඹට පිස්සුද? මුදියන්සේ... බෙර ගහන්ඩ දන්නෙත් නැත්නම් බෙරත් නැත්නම් උඹ... කොහොමද? බෙරගහන්නේ...” රජතුමා... ඇසුවේ කේන්තියෙන් ය.

“තරහා අවසර... ඔබතුමා... ඔහොමම අහගෙන වැඩ ඉන්ඩ ඕනෑ... ඕං.. මං... පටන්ගත්තා...”

මුදියන්සේ ඉතා දක්ෂ ලෙස හඬ නිකුත් කරමින් සිය මුවෙන් බෙර හඬ නිකුත් කරන්නට වූයේය.

අතිශය සතුටට පත් රජතුමා මුදියන්සේගේ බෙර හඬ අසා සිටියේ පුදුමයෙනුත් පුදුමයට පත්වය.

“මුදියන්සේ උඹ නම් මහා දවුන්ඩ වික්‍රමයෙක්නෙ.”

දළදා වහන්සේට කළ තේවාව නිමා කොට රජතුමා කීවාලු.

මේ කතාව ‘සිළුමිණ’ ට කීවේ නාඋල හැලඹගහවත්තේ වෛද්‍යාචාර්ය උක්කු බණ්ඩා මහතා ය. එතුමා දැන් ජීවතුන් අතර නැත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]