![]() ![]() |
||
ගුරු සේවයේ රසකතාසරම නැතිව ආ විදුහල්පති ලග්ගල ප්‍රදේශය අදත් නොදියුණුය. දුෂ්කරය. අතීතයේ තත්ත්වය ගැන අමුතුවෙන් කතා කළ යුතු නැත. ලග්ගල විදුහල්පතිතුමෙකු බිරිය සමඟ පදිංචි වී සිටියේ ගුරු නිවෙසේමය. පෙර දින රෑ ප්‍රදේශයට ඇද හැළුණේ අනෝරා වැස්සක්ය. ප්‍රබෝධවත් කුරුලු කූජනය ද ඒ නිසාමය. විදුහල්පතිතුමාගේ ගතට සිතට දැනුණේ ද ලොකු ප්රබෝධයක්ය. එතුමාට එතුමාගේ බඩඉරිඟු හේන සිහි විය. “බඩඉරිඟු පැළවලට පස් ඩිංගක් කිට්ටු කරගන්න ඇත්නම් කොච්චර හොඳ ද?” එතුමා සිතුවේය. ශිෂ්‍ය ශිෂ්‍යාවන් පන්තිවල නඟන හඬ මැද්දේ විදුහල්පතිතුමා ගුරු නිෙවසට ගියේය. අමුඩ කෙටිය ගහගත්තේය. උදළු කෙටිය කරට ගත් විදුහල්පතිතුමා හේනට ගොස් බඩඉරිඟු පැළවලට පස් කිට්ටු කළේය. පැයක් හමාරක් ගත විය. විදුහල්පතිතුමාගේ බිරිය හේනට දුවගෙන ආවේ හති හරිමින්ය. “නුවර අධ්‍යාපන කන්තෝරුවෙ ලොකු මහත්තුරු වගයක් ඇවිත්... ඔයා කොයි කියලා ඇහුවා. මං කීවා ඔයාගේ අම්මට හදිසියේ අසනීප වුණා කියල පණිවිඩයක් ඇවිත්... ඉක්මනට අම්මව බලල එන්නම් කියලා ගියා කියලා...” “දෙය්යො... සාක්කි... දැං... මොකෑ... කොරන්නේ” කියමින් විදුහල්පතිතුමා දිව්වේය. ගුරු නිවෙසේ පිටුපස දොරින් ඇතුළු වූ විදුහල්පතිතුමා ඉක්මනින්ම ජාතික බැනියම ඇදගෙන ලොකු මහත්වරුන් ළඟට දිව්වේය. “විදුහල්පතිතුමා... මේ මොකද?” නිලධාරියෙක් ඇසුවේය. “මොකුත් නෑ... අයිබොවං...” කියමින් බය පක්ෂපාතීකම පෙන්වා විදුහල්පතිතුමා හිස කැසුවේය. සියල්ලෝම සිනාසෙති. විදුහල්පතිතුමා කලබලේට ජාතික බැනියම ඇඳ තිබුණේ සරමක් නැතිවය.
මෙත්සිරි බී. හේරත් - මාතලේ අතිරේක
එයත් අපේ එකෙක්!
මේ සිදුවීම මීට වසර විසිපහකට පමණ පෙර සිදු වූවකි. වෙරළබඩ පාසල්වල ළමයි ඉතාම නිරෝගීය. ඔවුහු තම ශක්තිය වැය කරගැනීමට පොර කෑම ගහගැනීම හා සණ්ඩු සරුවල් කිරීම විනෝදාංශයක් ලෙස සලකා කරති. මෙය ළමයින්ගේ චර්යාවේ ඇති විවිධ වෙනස්කම් නිසා නිතර ඔළු පළාගෙන තුවාල සිදු කර ගැනීම සාමාන්‍ය දෙයකි. මෙසේ තුවාල සිදුකළ ශිෂ්‍යයකුට දිනක් විදුහල්පතිවරයා වේවැලින් පාර කීපයකින් දඬුවම් කළේ දරුවාගේ දඩබ්බරකමට ප්‍රතිකර්මයක් වශයෙනි. දඬුවමින් සිත රිදුණු ශිෂ්‍යයා කෙළින්ම පාසලින් පැන ගියේ තම නිෙවසටය. සිදුවීම දරුවා මවට කීවේය. මවගේ ඉහමොළ රත් විය. ඇඳිවතට උඩින් තවත් රෙද්දක් බාගෙට ඇඳ ඇඳම පාරට පැන්නාය. “අද මම ප්රින්සිපලයාට හොඳ පාඩමක් උගන්වනවා” කියා තිත්ත කුණු හරුපයෙන් බැණ වදිමින් පාසලට ළඟා වූයේ නාලාගිරි ඇතා වගේය. ශබ්දය සමඟ ගෝරනාඩුවට සවන් දුන් විදුහල්පතිවරයා කාමරයේ මුල්ලේ තිබුණු වේවැලත් රැගෙන මේ බැණ වදිමින් ඉදිරියට එන කාන්තාව ඉදිරියට ගියේය. “දුවපිය යන්න” කියා හොඳ තිත්ත කුණු හරුප දෙකක් කියමින් වේවැල උස්සත්ම කාන්තාව ආවට වඩා වේගයෙන් ආපසු දිව්වාය. විදුහල්පතිවරයා සිනාමුසු මුහුණින් ජයග්‍රාහී ලීලාවෙන් කාර්යාලයට ගොඩ වැදුණේය. ටික දිනකට පසු එම කාන්තාව තමාට වූ ලැජ්ජාව වසා ගැනීමට කළේ “එයත් අපේ එකෙක්” කියා විදුහල්පතිවරයාවත් තමන්ගේ ගොඩට දමා ගැනීමය.
ඩබ්ලිව්. එල්. බැසිල් ප්‍රනාන්දු වේවැල් කසාය මගේ මතකයේ හැටියට ඒ එක්දහස් නවසිය පනස් එකේ වර්ෂයයි. එවකට මම අවුරුදු දොළහක පමණ පාසල් සිසුවෙක්මි. මා ඉගෙන ගත්තේ හලා/ බණ්ඩිරිප්පුව රෝමානු කතෝලික පිරිමි ප්‍රාථමික පාසලේය. මේ සිද්ධිය වන විට මා ඉගෙනුම ලැබුවේ පස්වැනි පන්තියේය. මේ කතාවට සම්බන්ධ පාත්‍ර ජනයා දැනට මිය ගොස් ඇති නිසා සිද්ධියට සම්බන්ධ නම් ගම් එලෙසම සඳහන් කරමි. මේ පාසලේ මුල් ගුරු මහතා වූයේ එවකට අංක ගණිත විශේෂඥ ගුරු පියකු වූ පී. ජේ. මාස්ටර්ය. දුඹුරු පාට ටුවිඩ් රෙද්ද ඇඳ, ඊට උඩින් සුදු කබායක් හැඳි එතුමා අඩි පහමාරක් පමණ උස මහත දෙහෙත පෞද්ගලයෙකි. හිස කෙස් රහිත රවුම් හිස සහ පුළුල් නළල් තලය මට අදටත් මැවී පෙනේ. දහවල් විවේකයෙන් පසු සෑම සිකුරාදාවකම දහවල් දොළහට සියලුම ළමයින් මුල් ගුරුතුමාගේ මේසය වටේ වාඩි විය යුතුය. නඩු අසන්නේ ඉන් පසුවය. එදා නඩු කීපයක් අසා වරදකරුවනට දඬුවම් කළ මුල් ගුරුතුමා ඊළඟ නඩුව කැඳවීය. විත්තිකාරයා වූයේ අපේ පන්තියේ රිචඩ් හෙවත් රිචාය. රිචාගේ හැසිරීම පාසලටම හිරිහැරයක් බව ගුරු මණ්ඩලයේ ද අදහස විය. පැමිණිල්ල වූයේ තුනේ පන්තියේ ළමයකුට ගසා ඔහු ළඟ තිබූ දිවුල් ගෙඩියක් උදුරා ගැනීමය. මේ වගේ දේවල් රිචාට අලුත් දෙයක් නූණත් ලොකු මහතාගේ වේවැලට නම් ඔහු දක්වන්නේ පුදුම බයකි. අඩි තුනක් පමණ දිග මාපට ඇඟිල්ල තරම් මහත වේවැල දකින හැම ළමයකුටම ඇත්තේ මහත් බියකි. සාක්කි විභාගයේදී රිචා වරදකරු විය. ලොකු මහත්තයා වේවැලත් ගෙන නැගිට රිචා ළඟට ගොස් ඔහුගේ අතකින් අල්ලාගෙන පස්ස පැත්තට පහරක් ගැසීය. එහෙත් රිචා අනෙක් පැත්තට පැන්නෙත් ඒ පාර වැදුණේ මුල් ගුරුතුමාගේ ටුවිඩ් රෙද්දටය. එහෙත් දෙවන වේවැල් පහර නම් දැඟලීම නිසා රිවාගේ පිටකොන්ද හරහා වැදුණි. ඒ සමඟම අමු තිත්ත කුණු හරුපයක් කියා ලොකු මහතාගේ අත සපා කා එළියට පැන්න රිචා තවත් කුණු හරුප වැලක් කියමින් අඬ අඬා පැන දිව්වේය. එහෙත් කිසිවෙක් ඔහු හඹා නොගියේ ඔහුගේ හැටි දන්නා නිසාය. නඩු විභාගය එතෙකින් අවසන් විය. ඒ වගේම රිචඩ්ගේ අධ්‍යාපනය ද එතෙකින් අවසන් විය. මේ මුල් ගුරුතුමාණෝ සුප්‍රසිද්ධ කතෝලික පියනමක් වූ අර්නස්ට් පෝරුතොට පියතුමාගේ පියාණෝය.
ඊ. එෆ්. කෲස් විශ්‍රාමලත් විදුහල්පති කුමාර කට්ටුව |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |