කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
“අනේ මගේ පුතේ! පුතා බේරාගන්න කවුරුත් නැද්දෝ”

සංසාර සාගරේ

“අනේ මගේ පුතේ! පුතා බේරාගන්න කවුරුත් නැද්දෝ”

පුතා මිය ගිය වරදට හි‍ෙර් දුක් විඳින මවක්

“ප්‍රදීප් පුතේ උඹ මිනිහෙක් කරන්න මම කොච්චර නම් දුක් වින්දද? මනුස්සයා මැරුණු දා ඉඳලා උඹයි නංගියි උස් මහත් කරගන්න මම නොවිඳිනා දුක් වින්දා. උඹලගේ ජීවිතේ සරුසාර කරන්න මම අරාබි ගියායින් අන්තිමට උඹේ ජීවිතේ, විනාශ වුණා. අන්තිමට මට උඹත් නැතිවුණා. සැනසිල්ලේ මැරෙන්නත් නැතිවුණා.

ලලිතා පද්මිණී උපාසිකාව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ යකඩ කූරු අතරින් හිස් අවකාශය දෙස බලමින් සුසුමක් හෙළුවා ය. ඇයගේ දෙනුවන් තෙත් කරමින් වෑස්සෙන උණු කඳුළු කැට සිමෙන්ති පොළොව සිපගනී.

හැත්තෑ තුන් හැවිරිදි ලලිතා පද්මිණී උපාසිකාවට වසර දහයක සිරදඬුවමක් ලැබුණේ කුඩුවලට ඇබ්බැහි වී සිටි මානසික රෝගියකු වන තම ප්‍රදීප් පුතුගේ මරණය සම්බන්ධයෙනි. පනස් පස් හැවිරිදි ප්‍රදීප් මෙන්ඩිස් මිය යෑමට හේතුව කොන්ක්‍රීට් තාප්පයේ හිස වැදීමෙන් හිසේ අභ්‍යන්තර රුධිර වහනය වීමයි.

වැලිවේරියේ සිට ලලිතා මරදාන ප්‍රදේශයේ ප්‍රේමදාස සමඟ දීග ආවේ යෝජිත විවාහයක් ලෙසිනි. මරදාන ප්‍රදේශයේ ගරාජයක රැකියාවේ යෙදෙන මේ පවුල ජීවත්වූයේ නාගරික සංවර්ධන අධිකාරියේ නිවසක ය. ලලිතා හා ප්‍රේමදාසට ප්‍රදීප් පුතා ලැබීමෙන් වසර හයකට පසු ශ්‍රීමාලි දියණිය උපන්නේ ය.

ප්‍රේමදාස ඇඳුම හා පීනස රෝගයෙන් කාලයක් පීඩා විඳි අයෙකි. ඒ මදිවාට ඔහුට නිතරම වාහන දූවිල්ල හා දුම සමඟ ගැටීමට සිදුවූයේ රැකියාව නිසාවෙනි. ඇදුම උත්සන්න වී ප්‍රේමදාස රෝහල්ගත වන්නේ වරක් දෙවරක් නොවෙයි. ප්‍රේමදාස පපුවේ ආබාධයකින් මෙලොව හැර යන්නේ පුංචි දියණිය හා තරුණයකු වූ ප්‍රදීප් පමණක් නොව ලලිතා ද අසරණ කරමිනි.

කිසිදු රැකියාවක් නොකළ ජීවත්වීමට ආදායමක් නැති ලලිතා උදේ පාන්දරට ලැවරියා, ඉඳිආප්ප සාදා කඩවලට දමා ජීවත්වීමට පටන් ගත්තා ය. ප්‍රදීප් දෙමටගොඩ පෞද්ගලික සංචාරක හෝටලයක රැකියාවට යොමුවීමට කල්පනා කළේ ය. එහෙත් ඊට මූලික පුහුණු පාඨමාලාවක් මුදල් ගෙවා හැදෑරිය යුතු විය. ලලිතා පාසල් අධ්‍යාපනය ලබන යොවුන් දියණියගේ අනාගතය ගැන ද සිතිය යුතු විය. ලලිතා මැද පෙරදිග රැකියාවකට යාමට කල්පනා කළේ මේ ප්‍රශ්න නිසා ය. ලලිතාට තම දරුවන් දෙදෙනා නතර කිරීමට තම මල්ලිගේ නි‍ෙවසට වඩා විශ්වාසවන්ත තැනක් නොවී ය. දරුවන් දෙදෙනා රැකබලාගැනීමට සහාය වන නිසා දරුවන්ගේ වියදම්වලට අමතරව මසකට රු. 5000 මුදලක් එවීමටත් ඇය මල්ලීට පොරොන්දු වූවා ය.

ඒ පොරොන්දු වූ අන්දමින් ම ලලිතා අරාබි ගිය පසු වියහියදම් අඩු නැතිව එව්වා ය.

මුල් කාලයේ ලලිතාගේ මල්ලි හා නෑනා විසින් දරුවන් හොඳින් රැක ‍ගෙන තිබුණි. ලලිතාගේ මල්ලිටත් දියණියන් දෙදෙනෙකු සිටි අතර, ඇතැම් අවස්ථාවලදී අක්කාගේ හා මල්ලීගේ දරුවන් නිසා පවුලේ අඬදබර ද ඇති විය.

ක්‍රම ක්‍රමයෙන් ප්‍රදීප් වැඩිපුර මිතුරන් ඇසුරට පත්වූ අතර ඇතැම් දිනවල මිතුරන්ගේ නිවෙස්වල නතර විය. මේ ගැන මාමා ප්‍රදීප්ට දොස් කියමින් අවවාද කළේ ය. එහෙත් ප්‍රදීප් නොවේ ඒවා කනකටවත් ගත්තේ.

පාසල් ගමන නිමා කළ ශ්‍රීමාලි, ගමේ තරුණයකු වන ශිරන්ත හා පෙම් සබඳතාවක් ඇති කර ගත්තේ ය. නැන්දා හා මාමා ඇයට හොඳටම පහරදුන්හ. නි‍ෙවසේ ප්‍රශ්න දුරදිග යෑම නිසා ලලිතා තම සේවා කාලය නිම කිරීමට තෙමසක් ඉතිරිව තිබියදී නැවත ලංකාවට පැමිණියාය”.

“ශ්‍රීමාලියෝ මම රට ගිහින් දුක් වින්දෙත් උඹලා හින්දා. උඹට උගන්නලා රස්සාවක් අරන් දීලා හොඳ තැනකට දෙන්න. කමක් නෑ. උඹේ කැමැත්තනේ., එසේ කියූ ලලිතා රන් අභරණ, ගෘහ භාණ්ඩ, ඇඳුම් සියල්ලක් ම ලබාදී ශ්‍රීමාලි දියණිය ශිරන්තට විවාහ කර දුන්නා ය.

ඒ වනවිට ප්‍රදීප් හෝටලයක සේවය කරමින් සිටි අතර අසාමාන්‍ය චර්යා රටාවක් ප්‍රදීප් කෙරෙන් දිස් විය. ඔහු කලක් තිස්සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවත් කිසියම් මානසික ‍රෝගී තත්ත්වයකින් පෙළෙන බවත් ඇය දැනගත්තේ වෛද්‍ය පරීක්ෂණයකට ඔහුව යොමු කිරීමෙන් පසුව ය. “මෙයාව පුනරුත්ථාපනය කරන්න නතර කරන්න වෙනවා, නැත්නම් මේ තත්ත්වය උග්‍ර වෙන්න පුළුවන්” වෛද්‍යවරු ලලිතාට උපදෙස් දුන්හ.

ඒ අනුව ප්‍රදීප්, මත්ද්‍රව්‍ය නිවාරණ හා මානසික සෞඛ්‍යය ප්‍රතිකාරක අංශයකට යොමු කෙරුණි. ටික දිනකින් ඔහු එතැනින් පැන ආවේ ය.

මෙසේ කීප වරක් ම කීප ස්ථානයක ප්‍රදීප්ව නතර කළත් ඔහු නි‍ෙවසටම ආවේ ය. මත්කුඩු භාවිතයට මවගෙන් මුදල් ඉල්ලා මව සමඟ දබර කළේ ය. මරදාන ප්‍රධාන පාරක එහෙට මෙහෙට දුවමින් වාහන නවත්වන අයගෙන් මුදල් ඉල්ලා සිටින්නේ ය. නිතරම තනිවම මොනවාදෝ හෙමින් මුමුනන ප්‍රදීප් කාටදෝ අසභ්‍ය වචනයෙන් බැණ වදියි.

වරක් පොලිසියෙන් ප්‍රදීප් අල්ලා ගත්තේ කුඩු පැකැට්ටුවක් අතේ තිබියදී ය. මත්කුඩු ළඟ තබාගැනීමේ වරදට රු. 7500/= දඩයක් ඔහුට නියම කෙරුණි. දඩ මුදල නොගෙවන්නේ නම් මාස 04 ක සිරදඬුවම් නියම කෙරුණි. ලලිතාගේ තීරණය වූයේ ප්‍රදීප් නැවත පුනරුත්ථාපනයට යොමු කිරීමට ය. එහෙත් වෙන කොහේවත් යාමට ප්‍රදීප් එකඟ නොවූ නිසා ශිරන්ත බෑනා දඩ මුදල් ගෙවා ප්‍රදීප් නිදහස් කරගත්තේ ය.

නි‍ෙවසට යළි පැමිණි ප්‍රදීප් නිතර නිතර මව සමඟ දබර කරගත්තේ ය‍. කුඩු පානයට මවගෙන් මුදල් ඉල්ලා සිටින විට ඇය නොදෙන නිසා ඇතැම් විට ප්‍රදීප් මවට ද පහර දෙයි.

“අපේ එකා දැන් යකෙක් වෙලා. මම නම් පුදුම පවක් කරලා තියෙන්නේ.‍ මට සැනසීමක් තියෙන්නේ පන්සලට ආවම විතරයි යසෝමා.”

සිල් සමාදන් වූ දිනක ලලිතා තවත් උපාසිකාවක් සමඟ කීවා ය. ගමේ පන්සලේ පින්කම් කටයුතුවලදී ලලිතා තම කාලය, ශ්‍රමය, මුදල් කැප කරමින් ආගමික කටයුතුවලට කැපවූවා ය. ඇගේ සිතට මහත් කලකිරීමක්, සංතාපයක් වූයේ ප්‍රදීප්ගේ ක්‍රියා කලාපය හා මානසික තත්ත්වයයි. වියපත් වුව ද ඇය උදෑසන අවදිව ලැවරියා, ඉඳිආප්ප තම්බා කඩවලට දමයි. මැදිවිය ඉක්මවූ රෝගී අවිවාහක පුතාගේ වියහියදම් දරන්නේ ද මේ මව ය.

එක් ඉරිදා දිනක කඩපිලට ගිය ලලිතා කෑමවල මුදල් එකතු කරගෙන නිවෙසට ආවාය. මවගෙන් මුදල් ඉල්ලා කරදර කළ ප්‍රදීප් ඇයට පහරදී ඇගේ බෙල්ලෙන් අල්ලා ගත්තේ ය.‍ කිසිවක් කරකියාගත නොහැකි තැන ලලිතා දෑතේ වීරියෙන් ප්‍රදීප් තල්ලු කළාය. ඔහු කැරකී ගොස් කොන්ක්‍රීට් කටු තාප්පයේ වැදුණු අතර ක්ලාන්තව බිම ඇඳ වැටුණි.

“අනේ මගේ පුතේ... කවුරුත් නැද්දෝ...” ලලිතා මහ හයියෙන් විලාප දී ප්‍රදීප් රෝහලට රැගෙන ගියා ය. කොන්ක්‍රීට් කටු තාප්පයේ හිස වැදීම නිසා සිදුවූ අභ්‍යන්තර රුධිර වහනය ප්‍රදීප්ගේ මරණයට හේතුව බව වෛද්‍යවරු තීරණය කළහ.

ප්‍රදීප්ගේ මරණය මව අතින් සිදුවූවත් චේතනාත්මක නොවන මරණයක් නිසා ඇයට වසර 7 ක සිරදඬුවමක් නියම කළේ සැහැල්ලු වැඩ සහිතව ය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ 10, පංචිකාවත්ත අබේසිංහාරාමාධිකාරී, මරදාන ශ්‍රී සංඝරාජ මධ්‍ය විද්‍යාලයේ විශ්‍රාමලත් විදුහල්පති, ශාස්ත්‍රපති, පූජ්‍ය දෙමළුස්සේ මේධංකර හිමිපාණෝ මෙසේ පැවසූහ.‍

“මෙම කතා පුවතේ මව තුළ දරුවා මරන්න චේතනාවක් තිබුණේ නැහැ‍. අම්මා ඝාතනය කර පුතා සිදුකරගන්නා ආනන්තරීය පාපකර්මයෙන් පුතාව ගලවා ගැනීමේ චේතනාව මවට තිබුණා විය හැකියි. අනිත් අතට තමන්ගේ ජීවිතය බේරා ගැනීමට මවට වුවමනා වූවා විය හැකියි. මෙවන් ශෝචනීය සිදුවීම්, බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් පැවතෙනවා. මහා ධනයකට හිමිකම් කියූ අනේපිඬු සිටු තුමාගේ පුත්‍රයා වූ කාල සිටු පුත්‍රයාගේ කථාවත් මෙවැන්නක්.

වර්තමානයේ මත්ද්‍රව්‍ය උවදුර විසින් තරුණ පරපුර හා පාසල් සිසුන් බිලිගන්නේ දෙමවුපියන් හා දරුවන් අතර අන්‍යෝන්‍ය අවබෝධය නොමැති නිසයි. ඇතැම් වැඩිහිටියන් පවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා. මේ සඳහා ජනමාධ්‍යයත් බලපාලා තියනවා නරක විදිහට. ඒ වගේ ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට එම තරුණයන්ගේ පෙර කර්ම ශක්තිය, මානසික ප්‍රශ්න, ආශ්‍රය, සමාජ වටපිටාව හේතු සාධක වෙනවා. ඒ නිසා දරුවාට කුඩා කල පටන් ම යහපත් ගෙදර වටාපිටාවක් සකසාදීම වැදගත් වෙනවා.”


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]