![]() ![]() |
||
ඕලන්ද කාලේ සිදුවූ දරුවන් කෙටවීම රාජසිංහ රජු පිට පටවලා!
ඉන් අනාවරණය කෙරෙන එක් කරුණක් වන්නේ මවුවරුන් ලවා දරුවන් වනයේ ලා කෙටවීමේ තිරශ්චිත දඬුවම් ක්‍රමය මුලින් ම අත්හදා බලා ඇත්තේ ඕලන්දවරුන් විසින් බව ය. මෙම කරුණේ විශ්වාසනීයත්වය වඩාත් තහවුරු වන්නේ එකී හෙළිදරව්ව කර ඇත්තේ එවකට ඕලන්ද බටහිර ඉන්දියා සමාගමේ සේවය කරමින් සිටි සාමාන්‍ය සෙබළෙකු වූ යොහාන් යාකොබ් සාර් නමැත්තා ද ඕලන්ද ජාතිකයෙකු වීම නිසාවෙනි. දරුවන් වනයේ ලා කෙටවීමේ මෙම ඛේදනීය සිද්ධිය සිදුව ඇත්තේ ඕලන්දවරුන් විසින් පෘතුගීසීන් සතුව පැවැති කොළඹ කොටුව ආක්‍රමණය කොට එය වටලා සිටි අවස්ථාවේදී ය. සාර් ඕලන්ද බසින් තබා ඇති එම මුල් විස්තරය පසු කලෙක ඉංග්‍රීසියට පෙරළා ඇත්තේ තවත් ඕලන්ද ජාතිකයෙකු වූ පිලිප් ෆ්‍රොයිඩෙන්බර්ග් නම් තැනැත්තා විසිනි. සාර්ගේ එම විස්තරයේ දැක්වෙන කරුණුවල ගැබ්ව ඇති ඓතිහාසික හා සමාජීය වැදගත්කම අවබෝධ කරගත් කල් මහතා විසින් ඉදිරිපත් කරන ලද එම දීර්ඝ විස්තරයෙන් උපුටාගත් කොටස් කිහිපයක් එම සංගමයේ ශාස්ත්‍රීය කලාපයෙහි පළ කර ඇත. දරුවන් වනයේ ලා කෙටවීම් සිද්ධිය ද දැක්වෙන ඔහුගේ එම විස්තරය මෙසේය. වසර 1505 දී ලංකාවට පැමිණ මුහුදුබඩ ප්‍රදේශවල සිය ආධිපත්‍යය පතුරුවා සිටි පෘතුගීසීන් ගෙන ගොස් ඇත්තේ දුර්දාන්ත, ක්‍රෑර පාලනයක් බැව් ඉතිහාසයේ සඳහන් ය. එහෙත් සියවස් එක හමාරකට ආසන්න කාලයකට වඩා ඔවුනට එම පාලනය රඳවා තබාගත නොහැකි වූයේ යුද බලය අතින් ඔවුනට වඩා ප්‍රබල තවත් ජාතියක් වූ ලන්දේසීන්ගේ ආගමනය නිසා ය. පළමුවෙන් ම ගාල්ලේ තම බළකොටුව ගොඩනඟාගත් ඔවුනට උඩරට රජුගේ ද උපකාර ඇතිව අවසානයේ දී පරංගීන් මෙරටින් මුළුමනින් ම පලවා හැරීමට හැකි විය. එහෙත් ඔවුනට එය කළ හැකි වූයේ ජීවිත විශාල ගණනාවක් බිලි දීමෙන් කරන ලද උග්‍ර සටනකින් පසුව ය. එවකට ලංකාවේ ප්‍රධාන ඕලන්ද බළකොටුව වශයෙන් පැවති ගාල්ලට සාර් පැමිණ ඇත්තේ 1647 වසරේදී ය. ඒ වන විට කොළඹ, මීගමුව, කළුතර, මන්නාරම සහ යාපනය යන බළකොටු තිබී ඇත්තේ පෘතුගීසීන් සතුවය. සෙබළෙකු වශයෙන් සාර්ගේ විශේෂත්වය වන්නේ තමා මෙරටෙහි සේවය කළ පසළොස් වසරක පමණ කාලය තුළ ලද සිය අත්දැකීම් දින සහ අදාළ ස්ථාන ද සහිතව දින පොතක ආකාරයෙන් සවිස්තරාත්මකව සටහන් කර තැබීම ය. මෙහිදී අපට සිහිපත් වන්නේ සිරකරුවෙකු වශයෙන් උඩරට ප්‍රදේශයට සීමා වී වසර ගණනාවක් ගත කළ රොබට් නොක්ස් ය. එහෙත් මේ දෙදෙනාගේ වාර්තාවල දක්නට ඇති වෙනස වන්නේ නොක්ස් උඩරට පැවති තත්කාලීන සමාජය විස්තර කරන අතර සාර් විසින් පහතරට ප්‍රදේශ ඇසුරෙන් තමා ලද අත්දැකීම් විස්තර කර තිබීම ය. සාර්ගේ විස්තරයෙන් හෙළි වන කරුණක් වන්නේ ඔහු විසින් ලක්දිව අග රජතුමා වශයෙන් හඳුන්වන මහනුවර රජු (එනම් දෙවැනි රාජසිංහ රජතුමා - ක්‍රි.ව. 1635 – 1687) පරංගින් කෙරෙහි දැඩි නොරිස්සීමක් පළ කළ බව ය. ඔවුන් ලක්බිමෙන් නෙරපා දැමීම පිණිස රජතුමා කිහිප විටක් ම ලන්දේසි හමුදාවේ ආධාර පැතූ බවත් එක් අවස්ථාවක දී බතාවියට ඒ අරමුණෙන් දූත පිරිසක් පවා පිටත්කර යැවූ බවත් සාර් සඳහන් කරයි. ලන්දේසීන් ද කිසිදු පැකිළීමකින් තොරව උඩරැටියන් සමඟ කිසියම් සුහදතාවකට එළඹ සිට ඇත. ගාලු බළකොටුවේ සිටි ලන්දේසි අණදෙන නිලධාරියා පරංගින්ට එරෙහිව සිදු කරන ලද සටනට මුලපුරා ඇත්තේ පෘතුගීසීන්ගේ මීගමුව බළකොටුවට එල්ල කරන ලද ප්‍රහාරයකිනි. එවකට මීගමුව බළකොටුවෙහි පස්මුලු හැඩයෙන් යුත් මුර අට්ටාල හතරක් තිබී ඇති අතර, ඉන් දෙකක් මුහුද දෙසට ද, ඉතිරි දෙක ගොඩබිම දෙසට ද එල්ල වන සේ සූදානමින් තබා තිබී ඇත. ඒ සෑම මුර අට්ටාලයක් ම කාල තුවක්කු හතරකින් සන්නද්ධව තිබූ අතර, අට්ටාලවල වටයට අඩි විසි දෙකක් ගනකමට සිටින සේ පස් පිඩලි අල්ලා සුරක්ෂිත කර තිබූ බව ද සාර් හෙළි කරයි. මීගමුව බළකොටුව අත්කර ගැනීමට ලන්දේසීන් හමුදාව සමත් වූ නමුදු පරංගින් විසින් එය නැවත වරක් සිය ග්‍රහණයට ගන්නා ලදී. මේ අයුරින් බළකොටුව අල්ලා ගැනීම පිණිස ලන්දේසීන්ට කිහිප වරක් ම යුද වැදී දරුණු ලේ වැගිරීම් කිරීමට සිදු වූවද, අන්තිමේ දී ඔවුනට එය ස්ථිරවම අත්පත් කරගත හැකි වූයේ කොළඹ පරංගි බළකොටුව අල්ලා ගැනීමෙන් සහ උඩරට රජුගේ උදව් ලබා යුද වැදීමෙන් පසුව ය. සාර් ගේ විස්තරයේ මෙසේ සඳහන් වෙයි: “වැටලීමට පාත්‍රව සිටි පෘතුගීසීන්ගේ දිරිය පිරිහී ගියේ අප දවසින් දවස නගරය ආසන්නයට ම ළං වන බව ඔවුන් දැනගත් නිසා ය. ජනයා හැම දිනකම නගරය හැර දමා අප වෙතට දිව එන්නට වූ අතර, ඔවුන් පැවසුවේ නගරය තුළ අතිශයින් ම උග්‍ර ආහාර අහේනියක් පැන නැඟී ඇති බවත්, බොහෝ ජනයා කුසගින්නේ මියැදෙන බවත් ය. පරංගින් විසින් දිනපතා කළු මිනිසුන් (ස්වදේශිකයන්) නගරයෙන් පලවා හැරීමෙන් මෙම කරුණ තහවුරු වූ අතර ඔවුනට අපගේ කඳවුර තුළට රිංගා ගැනීමට ඉඩ දිය නොහැකි වූ හෙයින් අපට සිදු වූයේ දිය අගල් සහ නගරය අතර පිහිටි භූමි ප්‍රදේශයේදී ඔවුනට වෙඩි තැබීමට ය. අන්තිමේදී සාගතනය කෙතරම් දරුණු වී ද යත්, එක් ස්වදේශික ගැහැනියක් තමාගේ ම දරුවා කා දැමුවා ය.
මෙම සිද්ධියේ දී අපට සිහිපත් වන්නේ සීතාවක රාජසිංහ රජු විසින් කොළඹ පරංගි කොටුව වටලා සිට සිටි අවස්ථාවේදී කොටුව තුළ උද්ගත වූ දරුණු සාගත තත්ත්වයයි. එහිදී සාගිනි උසුලාගත නොහැකි වූ ඇතැම් ජනයා තම දිවි රැකගෙන ඇත්තේ තමන් හුරතලේට ඇති කළ බල්ලන් සහ බළලුන් පවා මරා කෑමෙන් බව පළ වේ. එහෙත් රාජසිංහ රජුට වැඩි දවසක් කොටුව වටලා සිටින්නට නොහැකි වූයේ ගෝවේ සිට නැව් මඟින් පරංගිනට ආධාර ලැබුණු හෙයිනි. ලන්දේසීන්ට මෙන් රාජසිංහ රජුට ද නාවික බළ ඇණියක් තිබුණි නම්, එම අවස්ථාවේදී ම පරංගි බළකොටුව අල්ලා ගැනීමේ හැකියාව ඔහුට තිබෙන්නට ඇතුවාට සැකයක් නොමැත. “අප්‍රියෙල් 9 වැනිදා අපි උමඟක් හාරන්නට පටන් ගෙන එය දිය අගල් යටින් එක පැත්තකට සිටින ලෙසට හැරුවෙමු. කෙසේ වුවද, ඔවුන්ගේ පැත්තට වන්නට දින දෙකක් උමඟ හෑරූ පසුව ඔවුනට එය දැන ගන්නට ලැබී අපගේ පැත්තට වන්නට ඔවුන් ද උමගක් හාරන්නට වූ නිසා අපට එය ඇසී ඒ ගැන දැනගන්නට ලැබුණෙන් අපි අපගේ කාර්යය අත්හැර දැමුවෙමු. අප්‍රියෙල් 12 දා අපගේ අණදෙන නිලධාරියාට සතුරන්ගේ උපායවල් ගැන සොයා බැලීම පිණිස වෙනත් ප්‍රදේශයකින් උමගක් හැරිය නොහැකි දැයි දැන ගැනීමට අවශ්‍ය විය. එහෙත් අප අන්තිම දිය අගල වෙත යන විට මුර අටල්ලකින් නිකුත් වූ වෙඩිල්ලක් වැදී ඔහු එතැනම මැරී වැටුණෙන් එය අපගේ සෙබළුන් අතර ඇති කළේ මහත් කැලඹීමකි.මැයි 2 දා ඔහුගේ සිරුර ගාල්ලට ගෙන යන ලදුව එහි වූ පල්ලිය තුළ භූමිදාන කරන ලද්දේ ආචාර වෙඩිමුර සහිතව ගරු ගම්භීර අන්දමිනි.” සාර් දක්වන පරිදි ලංකාවේ අධිරාජ්‍යයාට (උඩරට රජුට) සහ ඕලන්ද හමුදාවට අවශ්‍ය වූයේ කොළඹ පරංගි බළකොටුවට නැවත ප්‍රහාරයක් එල්ල කිරීමට ය. ඒ අනුව ඔවුන් සෙනසුරාදාවක් වූ මැයි 6 වැනි දින මුළු රැය පුරා අගල්වලට වී රැකවලේ යෙදී සිටිනාතර අපූර්ව දෙයක් සිදු වී ඇත. එක් පෘතුගීසි සෙබළෙක් ආයුධ සන්නද්ධව එහි දිව ආ අතර, ඔහු අත්අඩංගුවට ගෙන මිය ගිය අණදෙන නිලධාරියාගේ තැන ගෙන සටන මෙහෙයවමින් සිටි ආණ්ඩුකාරවරයා හමුවට පමුණුවනු ලැබී ය. දැඩි ලෙස ප්‍රශ්න කිරීම්වලට භාජන කරනු ලැබූ එම සෙබළා හෙළි කර සිටියේ නගරය තුළ සිටින සියලු දෙනා ලන්දේසි ආක්‍රමණයක් නැවත සිදුවෙතැයි අපේක්ෂා සහගතව පසුවන බව ය. ඔහු තවදුරටත් හෙළි කර සිටියේ නගරයේ ගෙවල්වල බිත්ති සිදුරු කර ඒවා අතරින් ගමන් කළ හැකි පටු මඟක් තනා ඇති බවත්, වීදිවල දෙපස පොල් කඳන් ගොඩ ගසා උල් වැටක් තනා ඇති බවත්, පවුරේ තිබූ කාලතුවක්කු බිමට බා වෙඩි තැබීමට සූදානමින් වීදිවල අටවා ඇති බවත් ය. ලන්දේසි හමුදාවට ඉදිරියට ගමන් කිරීමට නියමිතව තිබූ මාර්ගයේ පිහිටි ගෙවල්වල බිත්ති පාමුල වෙඩි බේත් පිරවූ පෙට්ටි තබා තිබූ අතර ඒවා සකස් කර තිබුණේ, ඉන් එකකට ගිනි තැබූ විට ඒවා ගෙවල් දිගටම ගිනි ගනිමින් ගොස් පුපුරා යන ලෙසට ය. ඒ අතරවාරයේ අට්ටාලවල සිටි සෙබළුන් සූදානමින් සිටියේ ඔවුනට වෙඩි මුර එල්ල කිරීමට ය. පරංගින්ගේ උපාය මාර්ගය වී තිබුණේ ඉදිරියට පැමිණෙන කල ලන්දේසි සේනාව ම ගින්නෙන්, වෙඩි තැබීමෙන් සහ බිම් බෝම්බ මඟින් සමූලඝාතනය කිරීමයි. ඒ හැරුණුවිට පරංගි සෙබළා ඔවුනට තවත් වැදගත් ඔත්තුවක් ද සැපයීය. පසුව දා ඉරු දිනයක් වූ හෙයින් නිදි වරා රැය පහන් කළ නගරවාසීන් එදින උදෑසන සෙබළුන් ද සමඟ එක්ව දේව මෙහෙයට සහභාගි වීම පිණිස යන බව ය. එවිට මුර අට්ටාලවල රැඳී සිටින සෙබළුන් ගේ සංඛ්‍යාව පස් හය දෙනෙකුට වඩා වැඩි නොවේ. හැරත්, කොටුව තුළ සිටින නියම පෘතුගීසි සෙබළ පිරිස සියයක් පමණ වන බවත්, සෙසු අය නගරවාසීන් සහ වහලුන් බවත් ඔත්තුකරුවන් හෙළිකර සිටියේ ය. “මෙවෙලේ අපි උදය කාලයේ දී සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට අපේ බෙරවාදකයන්ට බෙර වැයීමත්, හොරණෑ පිඹින්නන්ට හොරණෑ පිඹීමත් එක වරම කරන ලෙස අණ කර, අපි අගල් තුළට වැඳ නිසොල්මනේ සැඟවී සිටියේ අපේ අරමුණ පිළිබඳ සැකයක් ඔවුනට නොදැනෙන ලෙසට ය. ඉන් පැය භාගයකට පසුව ඔවුන් සියලු දෙනා පල්ලියට ගොස් සිටින අතරවාරයේදී අපගේ උපාය වූයේ ප්‍රහාරය ඇරඹීම ය. මෙම උපායමාර්ගය ගැන අපි බෙහෙවින් සතුටට පත් වූවෙමු. ගිනි අවි රැගත් කණ්ඩායම් තුනක් මුලින් පිටත්කර හරින ලද අතර, පළමුවෙන් ම මුර අටල්ලේ බිත්තියට නැඟ ගත් තැනැත්තාට ඩොලර් පනස් හයක තෑග්ගක් ප්‍රදානය කරන බවට පොරොන්දු විය. යුහුසුලුව ඉනිමං සූදානම් කරගත් අපි ඒවා මුර අටල්ලේ බිත්තියට හේත්තු කර තබා කිසිවෙකුගේ බැල්මට හසු නොවී ඉහළට නැඟ ගැනීමට සමත් වූයෙමු. අපි දුටුවේ ස්වදේශිකයන් අට දෙනෙකු එහි සිටින බවත්, ඒ අතුරින් හත් දෙනෙකුම සිටියේ නිදමින් බවත් ය. මුර කරුවා අවදිව සිටි නමුදු, ඔහුට පැන යෑමට ඉඩ නොතබා මරා දැමුවෙමු.” ලන්දේසීන්ගෙන් අනතුරුව මෙරට මුහුදුබඩ ප්‍රදේශවල ස්වකීය බලය තහවුරු කරගත් ඉංග්‍රීසීන්, තම පුරෝගාමීන් විසින් ඔවුන්ගේ සටන්වල දී අනුගමනය කරන ලද යුද උපායමාර්ග ගැන හොඳින් දැන සිටින්නට ඇතුවාට සැක නැත. සූක්ෂ්ම ක්‍රමෝපක්‍රම පිළිබඳව ලන්දේසීන්ට ද වඩා ඉදිරියෙන් සිටි ඉංග්‍රීසීහු උඩරට රාජ්‍යය අත්පත් කර ගැනීමට නොයෙකුත් උපායමාර්ග සැලසුම් කරන්නට වූහ. ඉන් එක් උපායමාර්ගයක් වූයේ රජු වටා සිටින උඩරට ප්‍රභූවරුන් මෙන් ම පොදු ජනතාව ද භේදභින්න කර ඔවුන් රජුගෙන් ඈත් කරවීම ය. නිලමේවරුන් ඇතුළු රජුගේ ප්‍රධාන නිලතල දරන්නන්ට තාන්නමාන්න හා වටිනා පුදපඬුරු ප්‍රදානය කිරීමේ මාර්ගයෙන් ඔවුන් දිනා ගැනීමත්, රජුට ද්‍රෝහිවීමට ඔවුන් පොලඹවා ගැනීමත්, බොරු ආරංචි ප්‍රචාරය කිරීම මඟින් සාමාන්‍ය ජනතාව රජු කෙරෙහි බිඳවීමත් ඔවුන්ගේ උපායමාර්ග අතර වූ බවට සාධක ඇත. ඔවුනට එම කාර්යය වඩාත් පහසු වූයේ උඩරට රාජධානිය පාලනය කළ ඉහතින් සිටි රජවරුන්ට වඩා දරුණු ආකාරයේ පරසතුරු ආක්‍රමණවලට මුහුණ පෑමට අමතරව තම රාජසභාව තුළ ම ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණවලට ද මැදිව සිටීමෙන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි ශ්‍රී වික්‍රමරාජසිංහ රජු මත්පැනට තදින් ඇබ්බැහිව සිටීම ය. අවසිහියෙන් පසුවන එබඳු පුද්ගලෙයකු විසින් මවක ලවා තම දරුවා වනයේ ලා කෙටවීම සිදුවිය හැක්කක් බව ජනයාට ඒත්තු ගැන්වීම ඉංග්‍රීසීන්ට පහසුවෙන් කළ හැක්කක් වන්නට ඇත. මෙහිලා සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට පෙර ලංකාව පාලනය කළ වෙනත් කිසිදු රජෙකු විසින් මෙම දඬුවම් ක්‍රමය අනුගමනය කළ බවට කිසිදු සඳහනක් නොතිබීම ය. එසේ ම මහනුවර යුගයේ පැවති ක්‍රෑර ආකාරයේ දඬුවම් ලෙස සැලකෙන දෙතිස් වධය අතරට ද මෙම වධය ඇතුළත්ව නොතිබීම ද සැලකිය යුතු කරුණකි.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |