කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සංස්කෘතික සංවේදනයේ අසහාය හඬ පෞරුෂය

සංස්කෘතික සංවේදනයේ අසහාය හඬ පෞරුෂය
 

ලෙස්ටර් ජේම්ස් පීරිස්

අදින් වසර ගණනාවකට පෙර එක්තරා විද්‍යුත් මාධ්‍ය සාකච්ඡාවකට මැදිහත් ව අදහස් පළ කිරීමට මට අහම්බෙන් මෙන් අවස්ථාව උදා විය. ‘සොක්කල්චර් ශ්‍රී ලංකා’ නම් වූ කණ්ඩායම ද්‍රවිඩ බසින් එම සාකච්ඡාව පැවැත්වූහ. එකල සිංහල සහ දෙමළ යන දෙපාර්ශ්වයට එකිනෙකාගෙන් දුරස්ථව, එකිනෙකා කෙරෙහි චෝදනා නඟමින් සිටි අතර එය ඓතිහාසික, සංස්කෘතික හා මනුෂ්‍යත්වය අතින් ද පිරිහුණු අවදියක් විය. එහිදී එක්තරා ද්‍රවිඩ පුද්ගලයකු මේ සාකච්ඡාවට එක් වෙමින් මෙසේ ඇසුවේ ය.

“අපි සිංහලයන් නිර්සංස්කෘතික ජාතියක් ලෙස හඳුන්වන්නේ කොහොමද? ඔවුන් අමරදේව වැනි කලාකරුවකු ලොවට දායාද කර ඇති විටෙක?

ඒ කාලයේදී ම මම ‘කලාව සහ එහි අරමුණු’ යන මැයෙන් ජනතා විමුක්ති පෙරමුණෙහි හිටපු ක්‍රියාකාරිකයකු හා සියලු ම වර්ගයේ කලාවන් පිළිබඳ උසස් රසිකත්වයෙන් යුතු භෞතිකවාදියකු අතර ඇති වූ උණුසුම් විවාදයකට සහභාගි වූයෙමි. මාක්ස්වාදියා විප්ලවවාදී කලාවෙහි වටිනාකම් හුවා දක්වමින් දේශපාලන ව්‍යාපාරයක උන්නතිය උදෙසා කලාවෙන් ලැබිය හැකි පිටිවහල පිළිබඳ කරුණු ඉදිරිපත් කළේ ය. ඔහු සිය අදහස සනාථ කිරීමට නන්දා මාලනී ඉදිරිපත් කළ ‘පවන’ ගී ප්‍රසංගයෙන් එකල ජනතා විමුක්ති පෙරමුණෙහි මතවාදය ජනගත කිරීම සඳහා ලැබුණු සහයෝගය ගෙන හැර පෑවේ ය. භෞතිකවාදියා සිය මතයෙහි පිහිටා සිටිමින් උසස් කලාව අකාලික වන්නක් බව පැවැසුයේ නන්දා මාලනියගේ ‘සුදු හාමිනේ ඔබ කොතැනද’ වැනි ගීතයක් එහි අකාලික ගුණයෙන් ඉතා පොහොසත් වන බව පෙන්වා දුන්නේ ය. නියත වශයෙන් ම අමරදේව සහ ඔහුගේ නිර්මාණ විවාදයට ප්‍රවිෂ්ට වූ අතර විප්ලවවාදියාට පසු බසින්නට සිදු විය.

ජනප්‍රිය සංස්කෘතියෙහි ඉහළටම නැඟ, සැනෙකින් ගිලී යටපත් වුණු ගායකයෝ සිය ගණන් වෙති. වසරක් පාසාම සිංහල සංගීත ක්ෂේත්‍රයට රැල්ලක් පරිද්දෙන් නව ගායන තරු පායා එති. සෑම වසරකම ඒ හා සමාන “හොඳ මුත් ප්‍රමාණවත් තරම් නොවන” යනුවෙන් අසතුටු දායක ගොඩට තල්ලු කර දමන නවක තරු සංඛ්‍යාවක් ද වෙති. එලෙස පායන තරු අතර වාණිජ ‍රැල්ලට හසු නොවී දස්කම් පාමින් දිගු කලක් රැ‍ඳෙන්නකු බිහි වන්නේ ඉතා කලාතුරෙකිනි.

දශක සයක් මුළුල්ලේ ම යමකු එක හා සමාන කැපවීමකින් යුතුව ස්වකීය අසහාය ශක්‍යතාව විදහා පාමින් නිර්මාණකරණයේ යෙදෙන්නේ නම් නිසැකයෙන් ම ඒ අප කතා කරන්නේ අද්විතීය කලාකරුවකු පිළිබඳ ව ය‍.

අමරදේවයන් පිළිබඳ සලකා බලන කල ඔහුගේ සෑම නිර්මාණයක් ම විශිෂ්ටත්වයෙන් විශිෂ්ටත්වයට පත්වන අතර ඒ වෙනුවෙන් අමුතුවෙන් වර්ණනා කිරීමත් අවශ්‍ය නොවේ.

වරක් හේමපාල විජයවර්ධන පැවැසූ පරිදි ම අමරදේවයන් පිළිබඳ විශේෂ ප්‍රශස්ති ගැයුම් හෝ වර්ණනා අවශ්‍ය නොවේ. ඔහු තමා විසින් ම විශිෂ්ටත්වයට පත්ව සිටින අතර ඔහු ගැන අතිශයෝක්තියෙන් වර්ණනා කිරීමක් අවශ්‍ය ‍වන්නේ නැත.”

මේ අසහාය කලාකරුවාගේ ජීවන අන්දරය රසවත් ය. තමා තෝරාගත් විෂය ක්ෂේත්‍රයෙහි ලා ඔහු දක්වන දායකත්වය, ඔහු ගේ සිත්ගන්නා සුලු ගති සොබා, යන මේ සියල්ල විචාරකයාගේ මාහැඟි සම්පත් වේ. ඔහුගේ පෞරුෂය හා ඇතැම් සිදුවීම් පිළිබඳ අංශු මාත්‍රයක් මෙහි ලා ගෙන හැර දැක්වීමට මම කැමැත්තෙමි. මගේ සිහියට නැ‍ඟෙන සියල්ල මෙහි ලා සඳහන් කිරීමෙන් මේ ලිපියෙහි මුඛ්‍යාර්ථය තරමක් වෙනස් වූවාට කමක් නැත. පොදු රසිකයා දැනටමත් ප්‍රධාන කෘතියට ළඟා වී ඇති හෙයිනි.

1927 වසරේ මොරටුවේ කොරළවැල්ලේ දී වන්නකුවඩුගේ දොන් ඇල්බට් පෙරේරා යන නමින් ඔහු උපත ලැබුවේ ය. ඔහු ගේ පියා වූ ජිනෝරිස් පෙරේරා වෘත්තියෙන් වඩු කාර්මිකයෙකි. ඔහු කොතරම් දක්ෂ වඩුවකු වී ද යත් ඒ පළාතෙහි විසූ සියලුම සංගීත ගුරුවරුන් සිය වයලීන පිළිසකර කර ගැනීමට ගෙන ආවේ ජිනෝරිස් වඩු මහතා වෙත ය.

වඩු කර්මයෙහි මතු නොව වයලීන වාදනයෙහි ද සමත්කම් පෑ ‍ඔහු නූර්ති ගීත ගැයුමෙහි ද හපනකු වූයේ ය. දරුවන් සය දෙනකු ගෙන් යුතු පවුලේ බාලයා වූ ඇල්බට්ට ‍ඔහු බෙහෙවින් ආදරය කළේ ය. කුඩා වියෙහි පටන් ම වයලීනය අතපත ගාමින් බුහුටිකම් පෑ ඇල්බට්ට තමා අතින් ම තැනූ වයලීනයක් ඔහු තෑගි කළේ ය. එවක විසූ දක්ෂ සංගීත ගුරුවරයකු වූ එම්.ජී. පෙරේරා මහතාගේ ගෝලයකු වූ ඇල්බට්ගේ වැඩුමල් සොයුරු චාල්ස්, ඇල්බට් ගේ පළමු සංගීත ගුරුතුමා විය.

මොරටුව ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලත් ඇල්බට් පාසලේ පැවැති සෑම ගායනා තරගයක් ම පහසුවෙන් ජය ගත්තේ ය.‍ කවි, ගාථා වැනි කවර අංශයකින් වුව ඇල්බට් පරාජය කළ හැකි සමතකු පාසලේ නොවී ය. පාසලේ විදුහල්පතිවරයා වූ කේ. ජේ. පෙ‍රේරා මහතා ද සංගීතය ප්‍රිය කළේ ය. ඔහුගේ සංගීත ගුරුවරයා වූ ඩබ්ලියු.ජේ. ප්‍රනාන්දු මහතා මුනිදාස කුමාරතුංග මහතා ගේ අනුගාමිකයෙකි. ප්‍රනාන්දු ගුරුතුමා විසින් සිය ගෝලයා වූ ඇල්බට්, කුමාරතුංගයන් වෙත හඳුන්වා දෙනු ලැබිණ. අමරදේව සිහි කරන ආකාරයට ඔහු තුළ භාෂාව පිළිබඳ උනන්දුවක් ඇතිවන්නේ එතැන් පටන් ය.

සංගීත විෂයයෙහි ලා අමරදේවයන් විසින් දක්වන ලද සමත්කම් හේතුවෙන් ඒ පළාතේ වූ බොහොමයක් පාසල් ඔහු වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට‍ ඉදිරිපත් විය. ඒ අනුව පාණදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුළු වූ ඇල්බට් අනතුරුව කළුතර විද්‍යාලයට ඇතුළත් විය. ඔහු උගෙනුම අවසන් කළේ බලපිටියේ සිද්ධාර්ථ විදුහලෙනි. එහිදී ඔහු ඩබ්ලියු. ජේ. ප්‍රනාන්දු ගුරුතුමාගේ වැඩිමල් සොයුරු ඩී.ටී. ප්‍රනාන්දු ගුරුතුමාගේ භාරකාරත්වය යටතට පත් වූයේ ය. ඩී.ටී. ප්‍රනාන්දු එකල මෙරට ගී තනු රචනයෙහි ප්‍රමුඛයා බවට පත් ව සිටි මොහොමඩ් ගවුස් මහතා සංගීත අධ්‍යක්ෂණය කළ ‘අශෝකමාලා’ නාට්‍යයෙහි ගී පද රචකයා විය.

ගවුස් මාස්ටර් ගේ වාද්‍ය වෘන්දයෙහි වාද්‍ය ශිල්පියකු වූ ජෙරාඩ් පීරිස් විසින් ඇල්බට් නම් වූ මේ දක්ෂ තරුණ වයලීන වාදකයා ගවුස් මාස්ටර් වෙත හඳුන්වා දෙනු ලැබීය. අමරදේව එය සිහි කරන්නේ මෙසේ ය. ‘ගවුස් මාස්ටර් ‍මගේ දස්කම් හඳුනාගෙන ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ නිර්මාණ සඳහා දායක වන්නට මට අවස්ථාව උදාකර දුන්නේ ය.

සංගීතඥයකු ලෙස අමරදේව ගේ වෘත්තීය දිවියෙහි ඇරඹුම එයයි. ‍ෙම් ප්‍රමුඛ පෙළේ කලාකරුවන් දෙදෙනා ගේ සංකලනයෙන් බිහිවූ අමරණීය සංගීත ස්වර මාලාවන් ප්‍රේම කුමාර එපිටවෙලයන් විසින් නිර්මාණය කරන ලද සාර්ථකම මුද්‍රා නාට්‍යය වු සැළලිහිණි සංදේශයෙහි අන්තර්ගත වේ.

1954 දී ඉන්දියාවේ ලක්නව් හි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙහි අධිපති පණ්ඩිත ක්‍රිෂ්ණ නාරායන් රතන්ජංකර් මහතා ශ්‍රී ලංකා ජාතික ගුවන් විදුලි සේවයේ සංගීත වැඩසටහන් ශ්‍රේණිගත කිරීම සඳහා මෙරට පැමිණියේ ය. එතුමා විසින් ඇල්බට් පෙරේරා වයලීන වාදනය හා ගායනය යන දෙඅංශයෙන් ම විශිෂ්ට ශ්‍රේණියේ ශිල්පියකු ලෙස ශ්‍රේණිගත කරනු ලැබී ය. එදා මෙදා තුර එම උසස් ශ්‍රේණියට පත්වූ එකම ලාංකේය ශිල්පියා අමරදේව සූරීහු වෙති. කෝකිල දේවී වීරතුංග එම ශ්‍රේණිය ලබාගත් එකම ශිල්පිනිය වූවා ය. රතන්ජංකර් පඬිතුමා සහ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර වැනි විද්වතුන් ගේ උනන්දු කිරීම මත මේ තරුණ සංගීත ශිල්පියාට ඉන්දියාවේ ලක්නව් හි භාත්ඛණ්ඩේ සංගීත පීඨයට ඇතුළත් වී ක්‍රමානුකූල ව සංගීතය ඉගෙනීමට හා පුහුණුව ලැබීමට අවස්ථාව උදා විය.

මහාචාර්ය සරච්චන්ද්‍ර මෙන් ම ඩී.බී‍. ධනපාල මහතා ද ප්‍රේමකුමාර් එපිටවල මහතාගේ මුද්‍රානාට්‍යය මඟින් තරුණ ඇල්බට් ගේ දස්කම් හඳුනාගෙන සිටිනවා. “සරච්චන්ද්‍ර මා සොයා ගත්තා. ඔහුගේ රෙකමදාරුව මත ඩී.බී. ධනපාල මහතා සිය ලංකාදීප පුවත්පත මඟින් අරඹන ලද ලංකාදීප ශිෂ්‍යත්වයෙහි ආධාරයෙන් මට ලක්නව් හි අධ්‍යාපනය ලබන්නට හැකි වුණා.” අමරදේව කියයි.

ඉන්දියාවේ දී ඔහුට භාරතීය සම්භාව්‍ය සංගීත ක්ෂේත්‍රයෙහි ජය දද නැංවූ අතිදක්ෂ ගුරුවරුන් වූ පණ්ඩිත් විෂ්ණු ගෝවින්ද් ජෝග්, කාදම්බරී රංග රාවෝ සහ පණ්ඩිත් රතන්ජංකර් යන ගුරුවරුන් යටතේ ඉගෙනුම හා පුහුණුව ලැබීමට අවස්ථාව උදා විය‍. 1955 දී භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයට අනුබද්ධ සමස්ත ඉන්දීය සංගීත විද්‍යාපීඨ අතර පැවැත්වුණු තරග විභාගයෙන් සියලු ශිල්පීන් අබිබවා යමින් වයලීන වාදනය සඳහා විශිෂ්ට සම්මාන‍යක් හිමිකර ගත්තේ ය. එලෙසින් ම වයලීන වාද්‍ය ශිල්පීන් සඳහා වූ විභාගයෙන් ප්‍රථම පන්ති ගෞරව සාමාර්ථයක් ලබා ගන්නට සමත් විය. 1958 දී හෙතෙම භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයෙන් ගායනය සහ වාද්‍ය විශාරද උපාධිය ලබාගත්තේ ය.

මේ අවදියේ දී ආචාර්ය සරච්චන්ද්‍රයන් විසින් ඔහුගේ ‘ඇල්බට්’ යන නම වෙනුවට ‘අමරදේව’ යන නම භාවිතා කරන මෙන් ඉල්ලා සිටියේ ය. ඩන්ස්ටන් ද සිල්වා පවසන පරිදි මේ නම ඔහුගේ අනාගත වෘත්තියාභිවෘද්ධියට මහත් පිටිවහලක් වූ අතර වර්තමා‍නයෙහි ඔහු වැජැඹෙන මේ ඉහළ තලයට නැංවීමට තරම් ප්‍රබල ආශිර්වාදයක් විය. චිත්‍රසේන කලායතනය හා තමා පවත්වන ලද ඇසුර ස්වකීය නිර්මාණ කෞශල්‍යය හා කලා ඥානය පෝෂණය කිරීමට මහත් සේ උපකාරී වූ බව අමරදේව පවසයි.‍

එය උසස් නිර්මාණ බිහි කරන්නට කදිම තෝතැන්නක්. නිතර එහි ආ ගිය සෑම අංශයකින් ම උසස් කලා ශිල්පීන් ගේ ඇසුර ලබන්නට එහිදී මට අවස්ථාව උදා වුණා. සරච්චන්ද්‍ර මහතා මඟින් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වීමටත්, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මඟින් චිත්‍රපටවලට සම්බන්ධ වීමටත් මට හැකි වුණා. මගේ ප්‍රධාන විෂය සංගීතය වුවත්, මුද්‍රා නාට්‍ය, වේදිකා නාට්‍ය සිනමාව, සහ භාෂාව පිළිබඳව වඩාත් උනන්දු වීමටත් හොඳින් අවබෝධ කරගන්නටත් එමඟින් හැකි වුණා. ආශ්‍රේය සෑම කලාවක් පිළිබඳ ව ම ප්‍රමාණවත් දැනුමක් ලබා ගන්නට මට උපකාරි වූයේ චිත්‍රසේන කලායතනය යි.”

අමරදේවයන් ගේ සමාගමය චිත්‍රසේනයන් සිහි කරන්නේ විචිත්‍රවත් බසකිනි.

“අම‍රදේව යනු අප ලත් දිව්‍යමය ත්‍යාගයකි. ඔහු අපගේ වාද්‍ය වෘන්දයෙහි වාදකයකු ලෙස කටයුතු කළේ ය. ඒ මුද්‍රා නාට්‍යයට සංගීතය සැපැයීමෙහි ලා ආරම්භක යුගය විය. අමරදේව සතු වූ පුළුල් භාෂා ඥානය ද අවබෝධය ද අපේ රටට උචිත අපේ ම වූ සංගීත සම්ප්‍රදායක් ගොඩනැඟීමට ඔහුට මහෝපකාරී විය. භාරතීය රාගධාරී සංගීතය අප‍ගේ දේශීය නාද රටාවන් හා මනාව සුසංයෝග කරමින් අපේම වූ දේශීය සංගීත ශෛලියක් බිහි කිරීමට අමරදේව පුරෝගාමී විය. ‘නල දමයන්ති’ සහ ‘කරදිය’ යන මුද්‍රානාට්‍යවලට සංගීත සංයෝජනය කරමින් අමරදේව සමඟ මම සමීපව කටයුතු කළෙමි.”

අමරදේව කිසියම් සංගීත නිර්මාණයක් බිහිකරන කල්හි එහි මුද්‍රාව වූයේ දේශීය නාද රටාවයි. එය රසවත් ලෙස ගාන්ධි සහ තාගෝර් සම්ප්‍රදායෙන් බිදී එයි. වරක් රවීන්ද්‍රනාත් තාගෝර් තුමා මෙසේ පැවසීය.

“සෑම සංස්කෘතික ප්‍රවාහයක් ම ‍මගේ නිවෙස තුළට හමා එනු දක්නට කැමැත්තෙමි. එහෙත් ඒවාට හසුව මම දෙපසින් ගිලිහී යනු දක්නට අකැමැත්තෙමි.”

එසේ ම තාගෝර්තුමා මෙසේ ද පැවැසීය.

“ඔබට ඕනෑම සංස්කෘතියකින් යම් යම් දේ ණයට ගැනීමේ හැකියාව තිබේ. එහෙත් ඒ සඳහා තමාගේ ම කාසිවලින් ගෙවන්නට නොහැකි තැනැත්තා ලජ්ජාවට පත්විය යුතු ය.‍”

ගීත දහසකට අධික සංඛ්‍යාවක් ගැයූ හෝ සංගීතවත් කළ තැනැත්තකුගේ ජයග්‍රහණයන් ලැයිස්තු ගත කරන්නට වෙර දැරීම ඔහුට කරනු ලබන අවමානයකට සම වෙයි. මේ නිර්මාණවලින් ඇතැම්වා සිනමාව හෝ වේදිකාව සඳහා නිමවන ලද ඒවා ය. සිංහල සංගීත ක්ෂේත්‍රයට අමරදේවයන් විසින් ඉටු කරන ලද මෙහෙවර අනල්ප ය. ලංකා ගුවන් විදුලි සේවයේ වාද්‍ය වෘන්දයේ නායකයා ලෙස ද, රජයේ සංගීත විද්‍යාලයේ අධිපතිවරයා ලෙස ද ලංකා ගුවන් විදුලි සේවයේ පර්යේෂණ අංශයේ පාලකවරයා ලෙස ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද එතුමා විසින් ඉටු කරන ලද මෙහෙවර පුළුල් පරාසයක පැතිර යයි.

මඩවල එස්. රත්නායක, මහගම සේකර වැනි කලාකරුවන් හා එක් ව, ඔහු විසින් ගුවන් විදුලියට නිෂ්පාදනය කරන ලද ‘ජන ගායනා’, ‘මධුවන්ති’, ‘රසමියුරු’, ‘විජය ගීත’ හා ‘ස්වර්ණ වර්ණ’ වැනි වැඩසටහන් ද ‘ගී අමබින්දු’, ‘දෑ ගී සරණිය’, ‘සංඛ පද්ම’ සහ ‘සංගීත මකරන්ද’ වැනි රූපවාහිනි වැඩසටහන් ද අමරදේවයන් පොදු ජන හදවත්වලට වඩාත් සමීප කරවීමට ඉවහල් විය.

ඔහුගේ සමකාලීන උසස් කලා ශිල්පීන් හා සමඟ එක් ව කටයුතු කිරීමට අවස්ථාව ලැබීම තමා සතුවූ භාග්‍යයක් ලෙස අමරදේව සලකයි.

“සංගීත නිර්මාණයේදී මා තුළ වූ පුළුල් භාෂා ඥානය නිර්මාණයෙහි සාරවත් බව රැක ගැනීම සඳහා මට උපකාරී විය. කුමාරතුංග මුනිදාසයන් ගේ ඇසුරින් ද සරච්චන්ද්‍ර හා මාර්ටින් වික්‍රමසිංහයන් ගේ නිර්මාණ ඇසුරින් ද මා ලැබූ පුළුල් භාෂා ඥානය ගීත නිර්මාණයෙහිලා මට විපුල ඵල ලබා දුන්නේ ය. සංගීත සංයෝජනය කරනු පිණිස කිසියම් පදමාලාවක් මා වෙත යොමු කළ කල්හි එය වඩාත් රසවත් හා අර්ථවත් කරනු පිණිස ‍උචිත යැයි හැඟුණු පද හෝ යෙදුම් යෝජනා කරන්නට මට හැකි විය.

ප්‍රවීණ ගීත රචකයන් අතරින් මඩවල එස්. රත්නායක, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ඩෝල්ටන් අල්විස් සහ මහගම සේකරයන් ගේ ඇසුර සුවිශේෂී වෙයි. වර්තමාන පද රචකයන් අතර ජයම්පති අල්ගම, වසන්ත කුමාර කොබවක, රත්න ශ්‍රී විජේසිංහ, සුනිල් ආරියරත්න, සුනිල් සරත් පෙරේරා, මහින්ද දිසානායක හා උදයසිරි පතිරණ වැන්නවුන් ද අතිදක්ෂයෝ ය.”

රෝහණ වීරසිංහ, ලයනල් අල්ගම සහ සෝමදාස ඇල්විටිගල මෙරට අග්‍රගණ්‍ය සංගීත ශිල්පීන් ලෙස අමරදේව සලකයි. සනත් නන්දසිරි සහ වික්ටර් රත්නායක තමා ගේ අඩි පාරෙහිම ගමන් කරමින් තමා බිහි කළ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යන්නවුන් ලෙස ඔහු සලකයි.

මහගම සේකර ගැන ඔහු හැම විටම සිහිපත් කරන්නේ ඇතැම් විට සේකර අමරදේව තරමටම විවිධ ‍ක්ෂේත්‍රයන්හි කුසලතා දැක්වූ එක ම කලාකරුවා වූ බැවින් විය හැකි ය.

‍”නවසිය හැටේ දී සේකර ගුවන් විදුලියට පැමිණියේ ගී පද රචකයකු ලෙසිනි. ඔහු දක්ෂ පද රචකයකු වූවා මතු නොව, රිද්මය හා සංගීතය පිළිබඳ මනා අවබෝධයකින් ද යුතු වූයේ ය. ‘රන් සළු’ චිත්‍රපටයට ‘සිරිපා පියුමේ’ යන ගීතය සංගීතවත් කරන විට මට තුන් සරණයෙහි රිද්මය ඊට යොදා ගන්නා ලෙස යෝජනා කළේ සේකර ය. මෙය මගේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස මම සලකමි. අන්තර් ජාතික තලයේ සිනමා විචාරකයකු වූ‍ රොජර් ම‍ෑන්වෙල් පවසා සිටියේ එය චිත්‍රපටයක ඇතුළත් වූ විශිෂ්ටතම ගීතයක් බවත් එය ‘ෆෝ හූම් ද බෙල් ‍‍ටෝල්ස්’ (For whom the bell tolls) චිත්‍රපටය සිහිගන්වන බවත් ය. ‘රුවන්මලී’ සහ ‘කරදර පොදිබැඳ’ යන ගීත රචනා කළ උදයසිරි බොහෝ කලක් අප්‍රකට ව සිටි කලාකරුවෙකි. ඔහු අපට සිටින අතිදක්ෂ ගී පද රචකයෙකි. අමරදේව පවසයි.

අදින් වසර දහයකට පෙර මම මිතුරකුගේ විවාහ මංගල්‍යයකට සහභාගි වී අම්පාරේ සිට නුවර බලා එමින් සිටියෙමි. අප මිත්‍ර සමාගමය උහන හරියේදී ගී ගයන්නට පටන් ගත් අතර හුන්නස්ගිරිය දක්වා ම එක හුස්මට අමරදේවයන් ගේ ගීත ගැයුවෙමු. සිව් හෝරාවක් මුළුල්ලේ මඔහුගේ ගීත ගයන්නට හැකි වීමත් ඒ ගී සියල්ල ඉතා හොඳින් මතක තිබීමත් පිළිබඳ අපි අමන්දානන්දයට පත් වූ අයුරු මට තවමත් සිහියට නැ‍ඟෙයි. ඒ අනුව මට මෙන් ම තවත් බොහෝ දෙනකුට ද අමරදේවයන් ගේ හොඳ ම ගීතය තේරීම එතරම් පහසු කරුණක් නොවනු නිසැක ය.

ඔබේ විශිෂ්ටතම නිර්මාණය කුමක් දැයි වරක් මම ‍ඔහුගෙන් ඇසුයෙමි.

“ඈත කඳුකර ගීතය, සාහිත්‍යමය සහ සංගීතය අතර කදිම සුසංයෝගයක්. ‘මහබෝ වන්නම’ සහ ‘සිරිපා පියුමේ’ යනු ජන්ම භූමියේ මිහිකතගේ සුවඳ රැඳුණු ගීත’ යැයි ඔහු කීය.

“කලාව යනු අන්‍යයන් ගේ හැඟීම් උච්චතම සහ හොඳම තැනට ඔසොවා තබන්නා වූ මානව ක්‍රියාවලියයි.” යනුවෙන් ටෝල්ස්ටෝයි පවසා තිබේ. මෙය ම‍ගේ නිර්මාණ සඳහා මාර්ගෝපදේශයක්. බඳු ය. සංගීතය යනු හැඟීම්වල භාෂාවයි‍. මා උත්සාහ කරන්නේ මගේ නිර්මාණ තුළින් මේ අදහස පසක් කරලීමට යි” ඔහු කියයි.

අමරදේවයන් හට ‘සිංහල සංගීතයේ නිර්මාතෘවරයා ය’ යන ගෞරව නාමය බොහෝ විට පුදනු ලැබෙයි. භාරතීය සංගීතයෙන් හා සමකාලීන දේශීය සංගීතඥයන් ගෙන් තමා ආභාසය ලද බව අමරදේව ද පිළිගනියි. ඔහුගේ අද්විතීය භාවය රඳා පවතින්නේ නිරන්තර පර්යේෂණයන්හි නියැළීම තුළ ය. මාර්ටින් වික්‍රමසිංහ දේශීය ඌරුව ගවේෂණ කරමින් සිය නිර්මාණකරණයට පිවිසුණු අයුරින් ම අමරදේව ද සිය නිර්මාණ සඳහා නිජ බිමෙහි උරුමය සොයා ගියේ ය. ඒ සියල්ලට ම වඩා තමාට හමුවන සියලු ම ධාරාවන්හි පවතින හොඳම කොටස් තෝරාගෙන ඒවා මනාව සංකලනය කිරීමේ දුලබ හැකියාව ඔහු සතු විය.

බයිලාව පවා ශ්‍රී ලංකාවට ආවේණික ක්‍රමයකට ලාංකිකයන් විසින් සකස්කර ගෙන තිබේ. අමරදේව ද මුලින් ම බයිලාවකින් අරඹා තිබෙන බව ඔහු පිළිගනියි.

“මොරටුවෙන් පැමිණි මට බයිලාවෙහි උරුමයක් තිබේ. “පිපී පිපී රේණු නටන” වැනි මගේ මුල් ම ගීතයකට පදනම සකස් වී ඇත්තේ බයිලාවෙනි. එය බයිලාවෙහි කිසියම් ඉහළ මට්ටමක් දක්වන්නකි.” ඔහු කියයි.

එච්. එච්. බණ්ඩාර පවසන ආකාරයට අමරදේව ගේ සුවිශේෂ හැකියාව වන්නේ සම්ප්‍රදායික ජනශ්‍රැතිය ඇසුරෙන් අපේ ම ආරක සංගීත ආරක් ප්‍රතිනිර්මාණය කිරීමේ දස්කමයි. විශ්ව පරිමාණයෙන් ගත් කල ඒ උත්සාහය සුහුඹුලක් සේ පෙනෙන්නට ඉඩ තිබේ. ‍එහෙත් අප එය අගයන්නේ දේශීය වටිනාකමකිනි. අමරදේවයන්ගේ ගීත බහුතරයක ම පදනම සකස් වූයේ සිංහල ජන ගී ආරයෙන් එච්. එච්. බණ්ඩාර යළි යළිත් අවධාරණය කරයි. සංගීත ඛණ්ඩයක හා සංගීත සංයෝජනයක් අතර වෙනස අමරදේවයන් ගේ නිර්මාණවලින් පැහැදිලි වේ. සමුදයාර්ථය වශයෙන් ගත් කල ඔහුගේ නිර්මාණ තුළින් මතුව ආ‍යේ දේශීයත්වයයි. ඒවා ජාතික හැඟීම්වලට පමණක් පටු වූයේ නැත. ඔහු සිය අලංකාර නිර්මාණ හරහා සිංහල ජන සංගීතය වඩාත් ප්‍රචලිත කිරීමට පු‍රෝගාමී මෙහෙවරක් ඉටු කළේ ය.

ඩී. බී. කප්පාගොඩට අනුව රතන්ජංකර් පඬිතුමා ශ්‍රී ලංකාවේ සංගීතඥයන්ට පිරිත් හා ජනප්‍රිය ජනගී ඇසුරෙන් නව පර්යේෂණ කරන්නැයි කඩිනම් කරවූයේ අපේ දේශීය ඌරුව හඳුනා ගැනීම සඳහා ය. අමරදේව මේ උපදේශය අන් හැම දෙනාටම වඩා සාර්ථක ව පිළිපැඳ ඇති බවට ඉතිහාසය සාක්ෂි ‍දරයි.

ඔහු කිසියම් අවස්ථාවක දී හෝ ගාථා සහ පිරිත් ස‍ූත්‍ර සංගීතවත් කරන්නට උත්සාහයක් දරා නැත්දැයි මම අමරදේව ගෙන් ඇසුවෙමි. එමෙන් ම භාවනානුකූල සංගීතයක් නිර්මාණය කරන්නට තැත් කළේ නැත්දැ යි මා ඔහු ගෙන් ඇසුවේ ඔහු තරම් ආගම භාෂාව හා සංගීතය පිළිබඳ එක හා සමාන දැනුම් සම්භාරයකින් යුතු සංගීතඥයකු මෙරට තවත් නොවන හෙයිනි.

“මගේ මව මෙතෝදිස්ත දහම අදහන්නියක්. ඇයට හොඳින් ගීතිකා ගැයීමේ හැකියාව තිබුණා. මා බැති ගී සංගීතයේ ආභාසය ලැබුයේ ළදරු අවදියේ පටන්මයි. මගේ මුල් කාලීන ගීතවලින් එකී ආගමික ආභාසය විද්‍යමාන වෙනවා. ‘වඳිමු සුගත ශාක්‍යසිංහ’ ගීතය ඊට නිදසුනක්. දේශීයත්වය පිළිබඳ මා තුළ ඇති ඇල්ම සනාථ වන ගීතයක් ලෙස ‘පීනමුකෝ කළු ග‍ඟේ’ ගීතය දක්වන්න පුළුවන්. එයට පසුබිම් වූයේ කළුතර බෝධියයි. ‘ඔබේ දෑසයි’, සහ ‘කුණ්ඩලකේශී’ ගීත සඳහා මා ආභාසය ලැබුයේ තේරි ගීවලින්. ධම්මපදය සහ ගුත්තිල කාව්‍ය සංගීතවත් කළ හැකි බව මගේ අදහසයි. ඇත්තෙන් ම බෞද්ධ ගාථා සංගීතවත් කිරීම මා තුළ වන සිහිනයක්.‍” ඔහු පිළිතුරු දෙයි.

අමරදේවයන් විසින් සංගීතය සපයන ලද ‘සබ්බ පාපස්ස අකරණං’ ගාථාව අනුව යන්නේ නම් ඔහු තුළ වන සිහිනය සැබෑවක් වනු නිසැක ය. එය අග්‍රගණ්‍ය නිර්මාණකරුවකු ලෙස ඔහු ලද සත්කීර්තිමත් වෘත්තීයමය භාවය උච්චතම ස්ථානය කරා ඔසොවා තබනු ඇත. එය පුරවැසියකු විසින් සිය රට දැය සමය වෙත ඉටු කරනු ලැබූ අනගිතම මෙහෙවර ලෙස කිරුළු පලදිනු නිසැක යැයි කීම සාධාරණ ය.

ස්වකීය ජීවිත කාලය පුරාම අමරදේව විවිධාකාර ඇගැයීම් හා සම්මානවලින් පිදුම් ලැබීය. 1986 දී කලාකීර්ති සම්මානයෙන් ද 1998 දී දේශමාන්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබීය. 1998 දී ඔහු මහවැලි රන්දියවරින් පුදනු ලැබුයේ විසි වැනි සියවසෙහි ලාංකීය සංගීත ක්ෂේත්‍රයට ඔහු විසින් ඉටු කරන ලද අනුපමේය මෙහෙවර සලකා බලමිනි. 1999 දී ඔහු ‘යුගාන්තර 99’ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබුවේ ය.

1991 දී මෙරට නිර්මාණශීලී සංගීත ක්ෂේත්‍රය උදෙසා අමරදේවයන් විසින් ඉටු කරන ලද අනගි මෙහෙවර අගයමින් ‍භාත්ඛණ්ඩේ සංගීත පීඨයෙන් අමරදේවයන් වෙත ‘පණ්ඩිත්’ ගෞරව සම්මානය පිරිනැමුවේ ය. පේරාදෙණිය, කැලණිය හා රුහුණු විශ්ව විද්‍යාලවලින් අමරදේවයන් වෙත ගෞරව ආචාර්ය උපාධි පිරිනමනු ලැබිණි. මෑත භාගයේ 1983 දී ජනමාධ්‍ය සාහිත්‍ය හා නිර්මාණාත්මක සන්නිවේදන කලාවන් උදෙසා පිරිනමනු ලබන ‘රේමොන් මැග්සයිසේ’ සම්මානය ඔහුට හිමි විය. මේ වනවිට එම සම්මානය දිනා ගනු ලැබ ඇත්තේ ලාංකිකයන් හය දෙනෙකු පමණි.

පොදුජන හදවත් තුළ අමරදේවයන් ලැඟුම් ගෙන ඇත්තේ කෙලෙසද? කලකට පෙර රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සොරබොර වැවෙහි නෙළුම් මල් නෙළන්නට ගොස් දියේ ගිලී මිය ගිය අහිංසක දිළිඳු දැරියක ගැන ‘සුදු නෙළුම’ නම් වූ ගීතය රචනා කරන ලද්දේ ය. විජේසිංහයන් විසින් රචිත ගී සමුච්චයත් අඩංගු තැටියක පසු කවරයක මෙවන් සටහනක් වෙයි. “ඈ මිය ගියදා ඇගේ මා පියෝ ළසොවින් වැල‍පුණෝය. එහෙත් එදා අමරදේවයන් සිය අසාමාන්‍ය ස්වරයෙන් මේ ඛේදාන්තය පිළිබඳ ගැයූ මොහොතේ දෙනෙත්වලින් කඳුළින් තෙත් නොවූ එකම දෑසක්වත් එදින ටවර් රඟහලෙහි නොතිබිණි. ඔහුගේ ස්වරය සමඟ නියත වශයෙන් ම ජනතාවගේ සිනහව සහ කඳුළ බද්ධ වී තිබේ. සොබා දහම සහ මිහිකත හා සමඟ අපගේ අත්දැකීම් බද්ධ වී පවතින අයුරින් ම මාහැඟි සම්පතක් වූ මේ අද්විතීය අපූර්ව මිනිසා සැමදා අප මතකයෙහි ලැඟුම් ගනු නිසැක ය.

මහාචාර්ය සමන්ත ෙහ්රත් සංස්කරණය කළ “අමරදේව ජාතිෙය් ස්වර්ණ ස්වරය” කෘතිෙයනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]