කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
නෙළාගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන...

නෙළාගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන...

මම විසල් අහස්තලය දෙස නිසන්සල ව බලා සිටින්නෙමි. මා අවට මිහිතලයේ අනේක විධ සොබාදම් නිමැවුම් වෙතින් එන ශබ්දය විනා ඝෝෂාකාරී බවක් නැත. මීට ටික වේලාවකට පෙර වට වැස්සෙන් ප්‍රමුදිත වූ ගස් කොළන් දිය බීමේ සතුටින් ප්‍රාණවත් ව සිටී. පෙර දිනයෙක කෑ කැකිරි ගෙඩියක ඇට මා මිදුලට වීසි කළේ මිහිතලයට නොරිදෙන තරමට සුමුදු ව ය. ඒ බීජ පෙරදා වැටි වැස්සෙන් ප්‍රමුදිත ව ප්‍රාණවත් වී තමාගෙන් මහී මාතාවට ඉටුවිය යුතු යුතුකම ඉටු කරන්නට මෙන් අංකුර බවට පත් වී පැළ වන්නට, පොළොවේ නවාතැන් ගන්නට සූදානමින් සිටී. එබැවින් තැනින් තැන පැළ වූ කැකිරි බීජ තම හිතුමතේ වැලක් ව අහසට නඟින්නට මාන බලමින් සිටී.

මුළු මහත් පරිසරය ම පරිසරයේ ම නාද රටාවන්ගෙන් විනා වෙන කිසියම් ම හෝ ඝෝෂාවකින් දූෂණය වී නොමැත.

අහස් කුස අරා කරණම් ගසමින් වරෙක පොළොවට ම පහත් වෙමින්, තවත් වරෙක මට පෙනෙන්නට මෙන් දඟකම් කරනා කවුඩෙක් ඒ නිසල බව වෙත සිය සුපුරුදු ශෝකී ගී රාවය මුදා හැරියේ ය. ඒකාකාරී ළයකින් එහෙත් විරහවෙන් පිරුණු ඒ ගීය තම පෙම්බරිය වෙනුවෙන් ද? ඈත අහසේ කුස පුරා විවිධ හැඩතල මවමින් පියඹන මේ කුඩා කවුඩාට මෙතරම් ‍ශෝකයක් ඇති වූයේ ඇයි? ම සිත ප්‍රශ්න කරයි. ඒ ආදරය වෙනුවෙන් ද? ආදරය යනු ශෝකය ද?

අපි ආදරය හා ශෝකය එකට සම්බන්ධ කර ගන්නෙමු. මම මගේ දෙමව්පියන්ට ආදරය කරන්නෙමි. ඔවුන් මළ විට ශෝකයට පත් වන්නෙමි. කුඩා කල මිය ගිය මගේ මවගේ මතකය තවමත් ම සිත රිදවන්නේ මා මවගේ ආදරය හා ශෝකය එකට සම්බන්ධ කරගෙන සිටින බැවිනි. එබැවින් අපි සියල්ලෝ ම ආදරය ශෝකය හා සම්බන්ධ කර ගනිමු. එහෙත් මඳක් සිතා බලන්න. දුක් විඳීම හෙවත් ශෝකය ඇති තැන ආදරයට ඉඩක් තිබේ ද? ආදරය යනු ආශාව ද? නැත්නම් ආස්වාදය ද? ඒ දෙක එනම් ආශාව හා ආස්වාදය අහිමි වූ කල දුක් විඳීම ඇතිවන්නේ ඒ නිසාද? ඊර්ෂ්‍යාව, ඇල්ම හා මගේ ය යන හැඟීම් දුක් විඳීම බවට පත්වෙයි. ඒ දුක් විඳීම අප ගන්නේ ආදරයේ ම කොටසක්, අංශයක් ලෙස ය. ඒ අප සිතන ආකාරයයි. එහෙත් ඔබ දන්නවා ද; ආදරය හා ශෝකය යන දෙකට එක් ව පැවැතීමට කොහෙත් ම ඉඩක් නැති බව.

විවිධ හේතු නිසා කිසියම් කෙනකු ඔබ හට ළැදි බවක් පෙන්වන්නේ නම් ඒ ළැදිකම පිටුපස යම් අපේක්ෂාවක් ඇති බව ඔබ දනියි. එහෙත් ආදරයට අපේක්ෂාවක් නැත. යම්කිසි අපේක්ෂාවක් ඇත්නම් එතැන ඇත්තේ ආදරය නොවේ. ලිංගික ආස්වාදයක් හෝ විවිධ සැප පහසුකම්; (එය භෞතික හෝ ආධ්‍යාත්මික විය හැකිය.) කෙනෙක් ඔබට ලබා දෙන්නේ නම් ඔබ හා ඔහු අතර ආධීනත්වයක් ඇති වන්නේ ය. ඔබ, ඔහු හෝ ඇය කෙරෙහි ආධීන වන්නේ ඒ වෙනුවට දෙයක් ලැබේ යැයි වන බලාපොරොත්තුව නිසා ය.

එලෙස එක් ව වාසය කිරීමේදී හෝ එකඟතාවකට පත් වීමේදී එයට ආදරය යැයි කියන්නට අපි පුරුදු වී සිටින‍්නෙමු. එහෙත් ඒ ආදරය ද? අසා බලන්න ඔබේ සිතෙන්. එතැන ඇත්තේ වෙනත් අපේක්ෂාවක් නො වේ ද?

කියවා බලනු මැනවි ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් ගේ Live in the time of cholera නම් මාහැඟි නවකතාව. එය ගාමිණී වියන්ගොඩ විසින් ‘කොලරා කාලේ ආලේ’ නමින් සිංහලයට නඟනු ලැබ තිබේ. ආලය අන්ධ නොවනවා පමණක් නොව, සියලු අඩුලුහුඬුකම් ද හොඳින් දකින බවත්, නමුත් ඒ කිසිවක් ගණන් නොගන්නා බවත් අපූරු වියමනක් කොට පාඨක අපිට එමඟින් පසක් කරයි.

ආදරය යනු අයිති කර ගැන්ම නොවේ. අයිතිකර ගත් බොහෝ දෑ අප නොදැනුවත් ව ම අපෙන් ගිලිහී යන්නට ද ඇත. එපමණක් නොවේ; මම, මගේ ය කියා අයිතිකර ගත් කිසිම දෙයක් ඇතුළත ඇත්තේ ආදරය නොවේ. මේ ලෝකය විසල් නිසාවෙන් ම අපේ ආශාව, ආස්වාදය ‍හෝ වෙනයම් ප්‍රිය කරන දෙයක් ගිලිහේ යැයි බියෙන් අපි අයිති කර ගන්නෙමු. එහෙත් හිර කර ගැනීම, අයිති කර ගැනීම ඇතුළත ආදරය මිය යන බවට ඔබට බොහෝ අත්දැකීම් ඇති. අහලා බලන්න...මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ නන්දා මාලිනී ගායනවේදිනිය ගයන මේ ගීය. ඉන්පසු හැරී බලන්න ඔබේ ජීවිතය දෙස...

නෙළාගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන....
නෙළා ගෙනා කිසිම මලක් නැහැ මේ තරමට ලස්සන.....

[email protected]


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]