![]() ![]() |
||
ආසියාවේ හොඳම ගුවන් සමාගම් පහ අතර ශ්‍රී ලන්කන්ආසියානු කලාපයේ පැවැත්වෙන ප්‍රධානතම හා විශාලතම සංචාරක සම්මාන ප්‍රදානෝත්සවය සහ සංචාරක වෙළෙඳ සම්මේලනය වන “අනාගත සංචාරක අත්දැකීම් - ආසියා එක්ස්පෝ 2015” උලෙළ පසුගියදා සිංගප්පූරුවේදී පැවැත්විණි. ලෝකයේ ප්‍රමුඛ පෙළේ අන්තර්ජාතික සංචාරක සම්මාන උලෙළක් වන මෙහිදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ආසියාවේ හොඳම ගුවන් සමාගම් පහ අතරට තේරුණු අතර මධ්‍යම සහ දකුණු ආසියා කලාපයේ විශිෂ්ටතා පූර්ණ සේවා ගුවන් සේවයට හිමි සම්මානය දිනා ගත්තේය. “ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙහි නව පාලනාධිකාරිය සමාගමෙහි අනාගතය ජයග්‍රහණවලින් සපිරි මාවතක් කරා මෙහෙයවමින් සිටිනවා. ඒ සඳහා සමාගමේ සියලු දෙනාම දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරනවා. අපගේ පාරිභෝගිකයන් ගුවනේදී මෙන් ම ගොඩ බිමේදීත් සම්පූර්ණයෙන් ම තෘප්තිමත් කරන්නට අපි ඇප කැපවී සිටිනවා. මෙය ජයග්‍රහණය කරා අප ගමන් කරන මාවතෙහි පළමු පියවර ලෙස මා සලකනවා” යැයි සිය ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා පවසයි. මේ ගෞරවාන්විත සම්මාන උලෙළේදී ප්‍රථම ස්ථාන දිනාගත් ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් පහ අතරට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇතුළත් වීම ද විශේෂත්වයකි. පූර්ණ සේවා අංශයේ සම්මානලාභී සෙසු සමාගම් වන්නේ සිංගප්පූරු ගුවන් සමාගම, කැතේ ෆැසිපික් සමාගම, නවසීලන්ත ගුවන් සමාගම සහ කටාර් එයාවේස් සමාගමය. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් සුරේන් රත්වත්ත මහතා පවසන්නේ “මෙම ගෞරවාන්විත සම්මානයෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය එය සතු විශිෂ්ට තත්ත්වයේ පහසුකම් හා සේවාවන් අන්තර්ජාතික තලයට ඔසොවා ඇති බවයි. මෙවැනි සම්මානයක් දිනා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවෙයි. ගුවන් සේවා ක්ෂේත්‍රයේ දැවැන්තයන් හා විශිෂ්ටයන් විසින් සමස්ත මගී අත්දැකීම් හා සේවාවන් පරීක්ෂා කරමින් ලොව ප්‍රමුඛ පෙළේ සියලුම ගුවන් සේවා හා සසඳා බලා තියුණු තරගයකින් පසුව ලබා දෙන සම්මානයක්. මෙහි ගෞරවය අප සමාගමෙහි සමස්ත කාර්ය මණ්ඩලයටම හිමි විය යුතු යැයි සේවා අංශ ප්‍රධානී චානක ඔලගම මහතා පවසයි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |