කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඔබේ දැනුම පොතට

ඥාන කෝෂය

ඔබේ දැනුම පොතට

මොකක්ද මේ ගිනස් පොත

ලොකු කුඩා කාටත් ගිනස් පොත හෙවත් ගිනස් ලෝක වාර්තා යනු අමුත්තක් නොවේ. ලෝක වාර්තා සම්බන්ධයෙන් කථා කරන විට අමතක කළ නොහැකි ගිනස් පොතෙහි නිර්මාතෘ ලෙස සැලකෙන්නේ අයර්ලන්ත ජාතිකයකු වන ශ්‍රීමත් හියු බිවර්ය. අයර්ලන්තයේ බියර් සමාගමක් වන ගිනස් බෲවරි සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ බීවර්ගේ සිතෙහි මෙවැනි ග්‍රන්ථයක් පළ කිරීම පිළිබඳ ප්‍රථමයෙන් අදහසක් පළ වී ඇත්තේ 1951 වසරේ දීය.

එම වසරේ නොවැම්බර් මස 10 වැනි දින හියු බිවර් තවත් කණ්ඩායමක් සමඟ අයර්ලන්තයේ උතුරු ස්ලොබ් ප්‍රදේශයේ දඩයම් සංචාරයක නිරත වී ඇති අතර ලෝකයේ වේගවත්ම කුරුල්ලා සම්බන්ධයෙන් එම සංචාරය අතරතුර ඇති වූ තර්ක විතර්ක මෙවැනි ග්‍රන්ථයක් පිළිබඳ අදහස මතු කළ බව පැවසේ. ලෝකයේ වේගවත්ම කුරුල්ලා රන් වටුවා බව බීවර්ගේ අදහස වුවත් එය සනාථ කළ හැකි මූලාශ්‍රයක් සොයා ගැනීමට ඔහුට නොපුළුවන් විය.

ලෝකයේ මෙවැනි කාරණා සම්බන්ධයෙන් සම්බන්ධයෙන් දැනුවත් විය හැකි ග්‍රන්ථයක අඩුපාඩුව බීවර් කල්පනා කළේය. එම සිතුවිල්ලත් සමඟ දඩයම් සංචාරය නිමවා නිවසට පැමිණි බිචර්ගේ අරමුණ මුදුන් පමුණුවා ගත හැකි වූයේ ඔහුගේ සමාගමේ සේවය කළ ක්‍රිස්ටෝපර් නැමැති සේවකයකු නොරිස් සහ රොස් නමැති සොහොයුරන් දෙදෙනා හඳුන්වා දීමත් සමඟය.

විශ්වවිද්‍යාල සිසුන් වූ නොරිස් සහ රොස් මෙවැනි වාර්තා සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දැක් වූ තරුණයන් දෙදෙනකු වූ අතර මොවුන් දෙදෙනා ඒ වන විටත් ලන්ඩන් නුවර මෙවැනි තොරතුරු එකතු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යමින් සිටියහ. ගිනස් වාර්තා පොත රචනා කිරීම සඳහා 1954 අගෝස්තු මස මෙම සොහොයුරන් හට බලය පැවරුණු අතර ප්‍රථම ගිනස් වාර්තා පොත 1955 අගෝස්තු මස 27 වැනි දින එළිදැක්විණි.

පිටු 198කින් යුත් ප්‍රථම ගිනස් වාර්තා පොත 1955 නත්තල වන විට බ්‍රිතාන්‍යයේ වැඩිම අලෙවියක් සහිත පොත බවට පත් විය. ඊළඟ වසරේ දී අමෙරිකා එක්සත් ජනපදයේ දී එළිදක්වන ලද ගිනස් පොතෙහි පිටපත් 70,000ක් අලෙවි විය. එතැන් පටන් අද දක්වා ලෝක වාර්තා සම්බන්ධයෙන් සන්නාමයක් බවට ගිනස් පොත පත්ව තිබේ. ආරම්භයේ දී ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පළ වූ ගිනස් වාර්තා පොත මේ වන විට භාෂා 37කින් මුද්‍රණය කෙරේ.

රටවල් සියයක දී පිටපත් මිලියන 100 ඉක්මවා අලෙවි වී ඇති ගිනස් වාර්තා පොත එදා මෙදා තුර ලෝකයේ වැඩියෙන්ම අලෙවි වූ ප්‍රකාශන හිමිකම සහිත ග්‍රන්ථ මාලාව ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියයි. ලෝක ප්‍රසිද්ධ ගිනස් වාර්තා පොතෙහි සමාරම්භක කර්තෘවරුන් වූ නොරිස් සහ රෝස් සහෝදරයන් දෙදෙනා ඇවිදින විශ්වකෝෂ බඳු දැනුමින් පිරිපුන් පුද්ගලයෝ වූහ. ගිනස් වාර්තා පොත පදනම් කර ගනිමින් වාර්තා බිඳින්නෝ යන නාමයෙන් සැකසුණු රූපවාහිනී වැඩසටහනේ දී විවිධ ලෝක වාර්තා සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් නැඟූ ප්‍රශ්න සියල්ලටම නිවැරැදි පිළිතුරු ලබා දීමට මොවුහූ සමත් වූහ. 1976 වසරේ දී අමෙරිකාවේ එම්පයර් එස්ටේට් ගොඩනැගිල්ලේ දී ගිනස් වාර්තා කෞතුකාගාරය විවෘත කෙරුණු අතර ගිනස් වාර්තා සම්බන්ධ සාක්ෂි, වීඩියෝ ආදිය එහිදී නැරැඹීමට පුළුවන. 1995 වසරේ දී මෙම කෞතුකාගාරය වසා දැමුවත් ටෝකියෝ, කෝපන්හේගන් සහ සැන් ඇන්ටොනියෝ නගරවල තවමත් කෞතුකාගාර පවත්වා ගෙන යනු ලැබේ.

ලෝක වාර්තා බිඳ හෙලීම ධෛර්යමත් කරනු පිණිස අන්තර්ජාතික ගිනස් ලෝක වාර්තා දිනයක් නම් කිරීමට ගිනස් සමාගම තීරණය කළ අතර 2005 නොවැම්බර් මස 09 වැනි දා එය ප්‍රථම වරට සැමරිණි. අන්තර්ජාතික ගිනස් ලෝක වාර්තා දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු 2008 වසරේ දී හෙළි වූයේ මාස 12ක කාලයක් ඇතුළත නව ලෝක වර්තා 2244ක් පිහිටුවා ඇති බවයි

එය ඊට පෙර වර්ෂය හා සැසඳීමේ දී සියයට 173ක අති දැවැන්ත වර්ධනයක් විය. 1954 සැප්තැම්බර් මස 16 වැනි දා නිව්යෝර්ක් නුවර උපත ලද අශ්රිතා ෆර්මන් ලෝකයේ වැඩිම ගිනස් වාර්තා සංඛ්‍යාවකට හිමිකම් කියන පුද්ගලයා වේ. 1979 වසරේ සිට ලෝක වාර්තා බිඳින ෆර්මන් මේ වන විට ගිනස් ලෝක වාර්තා 551ක් පිහිටුවා ඇති අතර එයින් 200කට පමණ අද දක්වා හිමිකම් කියයි.

මෙම වර්ෂයේ දී වසර 60ක් සැපිරුණු ගිනස් වාර්තා පොත දශක හයක් තිස්සේ ලෝ වටා ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ විශිෂ්ට ග්‍රන්ථයකි. 1954 වසරේ දී ප්‍රථම ගිනස් පොත නිකුත් කෙරුණේ ගිනස් ලෝක වාර්තා සමාගම මඟිනි. නමුත් 1970 වසරේ දී ගිනස් පොත ගිනස් බෲවරි සමාගම යටතට පවරා ගනු ලැබිණි. 2001 වසර දක්වා ගිනස් බෲවරි සමාගම සතු ව තිබුණු අයිතිය ඉන් පසුව කිහිප වරක්ම විවිධ සමාගම් යටතට පත් වූ අතර වර්තමානයේ දී ගිනස් පොතෙහි හිමිකම දරන්නේ ජිම් පැටිසන් සමූහයයි.

ගිනස් සමාගම දැනුවත් කිරීමෙන් අනතුරුව ගිනස් වාර්තාවකට හිමිකම් කීමට ලොව ඕනෑම පුද්ගලයකුට අවස්ථාව ඇත. කෙසේ නමුත් සදාචාරාත්මක හේතු මත ඇතැම් වාර්තා පිහිටුවීමට ගිනස් කණ්ඩායම අනුමැතිය ලබා නොදේ. උදාහරණයක් වශයෙන් සත්ව ඝාතනය හෝ හිංසනය සම්බන්ධ ලෝක වාර්තා පිහිටුවීමට ඉඩක් නැත. ගිනස් වාර්තා පොතට ඇතුළත්ව තිබුණු එවැනි වාර්තා සදාචාරාත්මක හේතු මත එයින් ඉවත් කිරීමට ගිනස් කණ්ඩායම ඇතැම් අවස්ථාවල කටයුතු කර තිබේ.

අරුම පුදුම ලෙන

ලොව මෙතෙක් සොයා ගෙන ඇති විශාලතම ලෙන ලෙස හැඳින්වෙන්නේ වියට්නාමයේ පිහිටා තිබෙන සොන් ඩෝන්ග් ලෙනයි. ලාඕස් වියට්නාම් දේශසීමාවේ පිහිටා තිබෙන මෙම ලෙන මීටර් 150ක් පමණ ගැඹුරු වන අතර එහි පළල මීටර් 9000ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ. 1991 වසරේ දී පමණ සොයා ගන්නා ලද මෙම ලෙනෙහි සුවිශේෂත්වය වන්නේ ලෙන තුළ ගලන අභ්‍යන්තර ගංඟාවක් මෙන්ම වනාන්තරයක් ද පිහිටා තිබීමයි.

2013 වසර මුල් කාලයේ දී මෙම අපූරු ලෙන නැරැඹීම සඳහා ප්‍රථම සංචාරක කණ්ඩායම රැගෙන ගොස් ඇත්තේ එක් පුද්ගලයකුට අමෙරිකානු ඩොලර් 3000ක් අය කරමිනි. ලෙන නැරැඹීම සඳහා අවසර පත්‍රයක් අවශ්‍ය වන අතර අවසර පත්‍ර ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් නිකුත් කෙරේ. 2015 පෙබරවාරි සිට අගෝස්තු කාලය තුළ ලෙන නැරැඹීමට අවසර පත්‍ර නිකුත් කර ඇත්තේ 500ක් පමණි. අගෝස්තුවෙන් පසු ඇරැඹෙන දැඩි වර්ෂාව නිසා ඒ කරා ළංවීම අසීරුවේ.

ලොව වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රටවල්

ඈත අතීතයේ සිට මිනිසා සංචාරයට පෙම් බැන්දේය. සංචාරක කර්මාන්තය අද ලෝකයේ බොහෝ රටවලට ඉහළ ආදායමක් ගෙන දෙන කර්මාන්තයක් ලෙස වර්ධනය වී ඇත්තේ සංචාරයන් කෙරෙහි මිනිසුන්ගේ සිත් තුළ පවතින නොනිමි ලොල් බව නිසාය යන්න කවුරුත් පිළිගනිති. එක්සත් ජාතීන්ගේ ජගත් සංචාරක සංවිධානය විසින් වාර්ෂිකව සකස් කරනු ලබන ජගත් සංචාරක වර්ගීකරණයට අනුව 2014 වසරේ දී ලොව පුරා සංචාරය කර තිබෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව බිලියන 1. 133කි. එය 2013 වසරත් සමඟ සසඳා බැලීමේ දී සියයට 4. 3ක වර්ධනයකි. 2013 වසරේ ලොව පුරා සංචාරවල යෙදී ඇති සංචාරකයන්ගේ සංඛ්‍යාව බිලියන 1. 087කි. 2014 වසරේ සංචාරක ව්‍යාපාරයෙන් උපදවා ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1245කි. එය 2013 වසර හා සසඳා බැලීමේ දී සියයට 3. 7ක වර්ධනයකි.

ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් මේ දිනවල ලෝකයේ වැඩිපුර කථාබහට ලක් ව තිබෙන ප්‍රංශය ලොව වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට ලෙස සැලකේ. එක්සත් ජාතීන්ගේ ජගත් සංචාරක සංවිධානයට අනුව 2014 වසරේ දී ප්‍රංශයට පැමිණ ඇති සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන 83. 7කි. එය 2013 වසරේ දී මිලියන 83. 6ක් විය. ප්‍රංශයේ අගනුවර වන පැරිසීය ලොව වැඩිම වරක් නැරැඹූ නගර අතර පස්වැනි ස්ථානය දිනා සිටී. සංචාරකයන් පැමිණීම අතින් ප්‍රථම ස්ථානයේ පසු වුවත් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම අතින් ප්‍රංශය සිටින්නේ සිවු වැනි ස්ථානයේය. 2014 වසරේ දී ප්‍රංශය සංචාරක ව්‍යාපාරයෙන් ලබා ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 56. 7කි.

සංචාරකයන්ගේ පැමිණීම අතින් දෙවැනි ස්ථානයේ සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදයයි. අමෙරිකා එක්සත් ජනපදය වෙත 2014 වසරේ දී පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය මිලියන 74. 8කි.

2013 වසරේ දී එම ප්‍රමාණය මිලියන 70ක් විය. 2914 වසරේ දී ලබා ඇති වර්ධනය සියයට 6. 8කි. සංචාරක ව්‍යාපාරයෙන් වැඩිම ආදායමක් උපයන රට ලෙස හැඳින්වෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයයි. 2014 වසරේ දී අමෙරිකාව සංචාරක ව්‍යාපාරයෙන් උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 177. 2ක් විය.

ස්පාඤ්ඤය වෙත වෙත 2014 වසරේ දී පැමිණ ඇති සංචාරකයන්ගේ ප්‍රමාණය මිලියන 65කි.

මෙම වර්ගීකරණයට අනුව ස්පාඤ්ඤයට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි. 2013 වසරට වඩා සියයට 7. 1ක වර්ධනයක් ස්පාඤ්ඤය 2014 වසරේ දී හිමි කර ගෙන තිබේ. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම අතින් දෙවැනි ස්ථානයේ සිටින ස්පාඤ්ඤය 2014 වසරේ දී අමෙරිකානු ඩොලර් බිලියන 65. 2ක් උපයා ඇත්තේ සංචාරක ව්‍යාපාරයෙනි. එය 2013 වසරේ දී අමෙරිකානු ඩොලර් බිලියන 62. 6ක් ව තිබිණි.

ලොව උසම දියඇල්ල

ලෝකයේ උසම දියඇල්ල ලෙස සැලකෙන්නේ වෙනිසියුලාවේ ඒන්ජල් දියඇල්ලයි. අඩි 3230ක උසකින් යුත් ඒන්ජල් ඇල්ල වෙනිසියුලාවේ කැනයිමා ජාතික උද්‍යානයේ පිහිටි අයාන් ටෙපුයි කන්දෙන් පහළට වැටේ. ලොව උසම දියඇල්ල වන ඒන්ජල් දියඇල්ල සොයා ගැනීමේ ගෞරවය හිමිව ඇත්තේ අමෙරිකානු ජාතික ගුවන් නියමුවකු වන ජේම්ස් ඒන්ජල් හටය. රන් නිධි සොයා වෙනිසියුලාවේ ඝන වනාන්තරවලට ඉහළින් ගමන් කරමින් සිටි ජේම්ස් එන්ජල් මෙම දියඇල්ල ප්‍රථමයෙන් නිරීක්ෂණය කර ඇත්තේ 1933 නොවැම්බර් මස 16 වැනි දාය.

අනතුරුව 1937 ඔක්තෝබර් මස 09 වැනි දා ජේම්ස් ඒන්ජල් මෙම දියඇල්ල පිහිටි අයාන් ටෙපුයි කන්දට ගොඩබෑමට උත්සාහ කර ඇතත් අනතුරට ලක් වූ ගුවන් යානය වගුරු බිමක ගිලී ඇත. ජේම්ස් ඒන්ජල් ඇතුළු පිරිසට සිදුව ඇත්තේ පාගමනින් කන්දෙන් බැසීමටය. ජේම්ස් ඒන්ජල් ප්‍රමුඛ කණ්ඩායමකට ජනාවාසයකට පැමිණීම දින 11ක් ගතව ඇත. ඒන්ජල් ගමන් කළ ගුවන් යානය වසර 33ක් කඳු මුඳුනෙහි තිබුණු අතර පසුව එය හෙලිකොප්ටරයක් මඟින් පහළට ගෙනෙන ලදී.

ප්‍රතිසංස්කරණය කරන ලද එම ගුවන් යානය මාර්සේයි හි ගුවන් යානා කෞතුගාකාරයේ තැන්පත් කරන ලද අතර වර්තමානයේ දී වෙනිසියුලාවේ බොලිවර් ප්‍රාන්තයේ ක්‍යුඩඩ් බොලිවර් ගුන්තොටුපළ ඉදිරිපිට ස්ථාපිත කර තිබේ. අමෙරිකානු ජාතික ගවේෂකයන් පිරිසක් 1947 වසරේ දී මෙම දියඇල්ල ආසන්නයට ගොස් නිරීක්ෂණය කර ලෝකයේ උසම දියඇල්ල මෙය බවට වාර්තා කර කළහ. තමන් විසින් සොයා ගත් දියඇල්ල වෙත යාමට එන්ජල්ට වාසනාවක් නොමැති වුවත් දියඇල්ල ප්‍රථමයෙන් නිරීක්ෂණය කළ තැනැත්තා වීම නිසා ඔහුගේ නමින් දියඇල්ල නම් කෙරිණි.

අන්තර්ජාලය ඇසුරිනි


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]